2025 ජුනි 14 වන සෙනසුරාදා

හීනෙන් පෙනෙන මාංචු

 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00 33

මේ දිනවල මට නිතර නිතර සිහිනෙන් මාංචු පෙනෙන්නට පටන්ගෙන තිබේ. ඒ, මා හිරේ විලංගුවේ වැටෙන වරදක් කර ඇති නිසා නම් නොවේ. සිරි ලංකාවේ දේශපාලනයේ නම් දරා සිටි ලොකු ලොක්කන් හා වෙනත් නිලධාරීන් මාංචු දමා සිරගෙවල්වලට දක්කාගෙන යන අයුරු දැන් දෛනික ප්‍රවෘත්තියක් වී තිබීම ඊට හේතුව විය යුතුය.

පුරවැසියන් උදේ නැගිටින්නේ “අද කාටද මාංචු, අද කවුද හිරේ යන්නේ” යන කුහුල් සිතින් යුතුවය.

සමහර චූදිතයන් යන්නේ රක්ෂිත බන්ධනාගාරවලටය. ඒවා ඔවුනට ගෙදර තරමටම ආරක්ෂිත ස්ථාන බවට පත්වන බවද එහෙන් මෙහෙන් අසන්නට ලැබේ. සිරකරුවෝද මනුෂ්‍යයෝය. එහෙයින් ඔවුන් සුව පහසුව සිටීම ගැන අපගේ විරුද්ධත්වයක් නැත. එසේම සිරකරුවෝ යනු වරදකරුවෝද වෙති. ඔවුන් විඳින්නේ දඬුවමකි. එය නිසි ලෙස ක්‍රියාත්මක විය යුතුය. නැතිනම් එය මෙරට නීතියට අවමානයකි.

සමාජ මාධ්‍යයක දැක්වුණු අන්දමට වෙසක් පෝයට සිරකරුවන් සමාව ලබා ගෙදර යද්දි, පොසොන් පෝයට හිරගෙදර ලොක්කෝ ‘ඇතුළට’ යති. මතුපිටින් මේවා හාස්‍යජනකය. ඇතුළතින් භයානකය. ප්‍රෙඩී සිල්වා කියූ අන්දමට මෙය ‘කොමඩි’ කන්ට්‍රියකි! “එහෙත් ජනතාව මේවාට සිනාසීමට සූදානම් නැත. මේ රට වැටී ඇති අගාධය පසුපස මේ සුදු රෙදි හොරුන් හා යුනිෆෝම්කාරයන් සිටිනා බව ඔවුහු දනිති. මේ පල දෙන්නේ කළ කම්ය. මේ ආත්මයේදීම විපාක දෙන කර්මයන්ය. බල්ලෙක් මළත් අනේ අපොයි කියන අපේ මිනිස්සු, හිත හදාගන්නේ එසේය.

ජනතාවගේ මුදල් හා දේපල මිලියන බිලියන ගණනින් කොල්ලකා ඇති අයුරු දැන් දැන් හෙළිදරව් වන විට මේ සිරි ලංකාව මෙහෙමවත් බේරී තිබීම මහා පුදුමයකැයි බොහෝ දෙනා ලියා කියා තිබුණි.

සැකකරුවකුට හෝ වරදකරුවකුට මාංචු දමන්නේ සිරගෙට ගෙනියන තුරු පමණි. ඉන්පසු මාංචු ගැලවේ. එහෙත් මාංචුවල බර හා සීතල, ජීවිත කාලය පුරා දැනෙන්නකි. එය නපුරු සිහිනයක් බඳුය.
මම ළඟකදි මනාලියක හා මුදු මාරු කරගනු සිහිනයෙන් දැක, දහදිය දමාගෙන අවදි වීමි. මඟුල් මුදුව යනු, ලෝකයේ ඇති පුංචිම මාංචුව යැයි කියමනක් ඇත.

මා දුටු සිහිනයේදී මුදු මාරු කළ මනාලිය මගේ බිරිඳමදැයි මට සිහිපත් කරගත නොහැකිය. සමහර විට එය දෙවැනි විවාහයක් විය හැකිය. එකම ගැහැනිය දෙවරක් විවාහ කර ගන්නේ නම්, ඒ මිනිහාට ‘ඩිමෙන්ෂියා’ විය යුතුය.
මීට දශක කිහිපයකට ඉහත පතිරාජ එල්.එස්. දයානන්ද විසින් ‘මාංචු’ නමින් චිත්‍රපටයක් කිරීමට සැලසුම් කරන ලද අතර, පසුව එය ප්‍රදර්ශනය කෙරුණේ, ‘ජෝඩු වළලු’ නමිනි. එහි ප්‍රධාන චරිත දෙකකි. ඒ චරිත රඟපෑවේ එකල ගායකයකු ලෙස ප්‍රකටව සිටි, වින්සන්ට් ප්‍රේමසිරි හා ජෝ අබේවික්‍රම විසිනි.

‘ජෝඩු වළලු’ හි කතාව ගොඩනැගුණේ, සිරගෙයින් පැන යන පුද්ගලයන් දෙදෙනකු වටාය. සිර ගෙයින් පැන ගත්තද, එකිනෙකාගේ අත් එක්කර දැමූ මාංචු ගලවා ගැනීමට නොහැකිව ඔවුහු මහත් ගැටලුවකට මුහුණ පාති.
තමන්ට සුපුරුදු ජීවන රටාව අහිමිවීම, අලුත් සිරකරුවකු මුහුණදෙන කටුක තත්ත්වයකි. තරුපහේ කෑම කෑවකුට වුව සිරගෙදරදි හිමිවන්නේ ‘කල්දේරම් බත’ ය.
සිරගෙදර ජීවිතය පිළිබඳ සිනා කතා ද බොහෝය.

එක් සිරගෙදරක සිටි සිරකරුවන් තිදෙනෙක් යහපත් කල්ක්‍රියාවෙන් වෙසෙන බව දුටු නිලධාරිහු, ඔවුනට තමන් කැමැති දෙයක් ලබාගන්නා ලෙස පැවසූහ. ඒ අනුව ඔවුනට සිරදඬුවම විඳින මුළු කාලය තුළම භාවිත කිරීමට කිසියම් දෙයක් ඇති තරම් ලබා ගැනීමේ අවස්ථාව හිමි වෙයි.

මත්පැනට ගිජුව සිටි සිරකරුවා, මිල අධික මත්පැන් වර්ග ඉල්ලා සිටියේය. තවකෙක්, රසවත් ආහාර ඉල්ලුවේය. තෙවැනියා ඉල්ලුවේ සිගරැට්ය.
සිරදඬුවම නිමවීමටත් පෙරම, මත්පැන් ලෝලියා සිරෝසිස් රෝගයට ගොදුරුව මිය ගියේය. ආහාර ඉල්ලාගත් සිරකරුවාද, කොලෙස්ටරෝල් වැඩිවීමෙන් මිය ගියේය. සිගරැට් ඉල්ලාගත් සිරකරු පමණක්, සුපුරුදු සුවයෙන් කල් ගෙවීය.
හේතුව, ඔහු ගිනි පෙට්ටියක් ඉල්ලා නොතිබීමය!

වසර ගණනාවක සිරදඬුවමක් නියමව සිටි සිරි ලාංකික සිරකරුවෙක් වෙසක් උත්සවයට ආසන්නව, තම සිරකුටියෙහි බුදු පිළිමයක් අඹන්නට පටන් ගත්තේය. මේ පිළිබඳව විමසිලිමත් වූ නියාමක නිලධාරියකුට, පිළිමය ඇඹීමට පස් ලබාගන්නේ කෙසේද යන සැකය මතුවුණි. කුටිය පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ, සිරකරුවා බුදු පිළිමයට යටින් උමඟක් කණිමින් සිටි බවය.
අප්‍රිකානු සිරගෙදරක සිටි දේශපාලන සිරකරුවෙක්, තම කුටියෙහි වූ ඔරලෝසුව ගාඩ්වරයාට ආපසු දුන්නේය.
“හිරකාරයකුට වෙලාව බැලීමෙන් වැඩක් නෑ. පුළුවන් නම් මට කැලැන්ඩරයක් දෙන්න.”

• කපිල කුමාර කාලිංග