2017 ජනවාරි 14 වන සෙනසුරාදා

දකුණු අප්‍රිකාවෙන් ශ්‍රී ලංකාවට පලා බෙදිල්ලක්

 2017 ජනවාරි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 362

දකුණු අප‍්‍රිකාව විස්සයි20 සංචිතයෙන් ජ්‍යෙෂ්ඨ ප‍්‍රබල ක‍්‍රීඩකයන් විවේක ගැන්වීම ශ්‍රී ලංකාව පළමු ටෙස්ට් තරග දෙක පරාජයට පත්වීමත් සමඟ හැල්ලුවට ලක් කිරීමක් යන සැකය සමහරු මතු කරති. ශ්‍රී ලංකා පිලේ මෙම වසර අගදී පැවැත්වීමට නියමිත දකුණු අප‍්‍රිකානු සංචාරය අවලංගු කිරීමට සිදුවනු ඇති බවද දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී හරුන් ලොගාඩ් මහතා විදේශ මාධ්‍ය පසුගියදා පවසා තිබිණි. 

දෙරට අතර තෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගය පසුගිය බ‍්‍රහස්පතින්දා ජොහැන්නස්බර්ග්හිදී ආරම්භ විය. 

දකුණු අප‍්‍රිකානු විස්සයි20 පිලේ ප‍්‍රබල ක‍්‍රීඩකයන් වන නායක ෆෆ් ඩුප්ලෙසි, හෂීම් අම්ලා, ජේ.පී. ඩුමිනි, ක්වින්ටින් ඩිකොක්, ඒ.බී. ඩිවිලියර්ස් සහ කගිසෝ රබාඩා විවේක ගැන්වීමට දකුණු අප‍්‍රිකාව තීරණය කර තිබුණි. 

ෆර්මාන් බිහර්ඩීන්ගේ නායකත්වයෙන් යුත් දකුණු අප‍්‍රිකානු විස්සයි20 පිලට කෝඬුකාරයෝ හය දෙනෙක් ඇතුළත්ව සිටිති. නායක බිහර්ඩීන් සමඟ ඩේවිඩ් මිලර්, ඉම්රාන් තාහිර් සහ ඒරන් පන්ගිසෝ යන පළපුරුදු ක‍්‍රීඩකයෝ තිදෙනා පමණක් ශ්‍රී ලංකා පිලට එරෙහිව තරගාවලියට සහභාගි වීමට නියමිතය. ඊට අමතරව කයිල් ඇබට්, කි‍්‍රස් මොරිස්, රිලී රූසොව්, ඩේල් ස්ටේන් සහ ඩේවිඩ් වයිස් යන ක‍්‍රීඩකයෝද විස්සයි20 සංචිතයට ඇතුළත්ව නැත.

දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් ආයතනය පවසන්නේ එංගලන්තයේදී ලබන මැයි මස පැවැත්වෙන ‘ශූරයන්ගේ කුසලාන’ එක්දින තරගාවලියට කණ්ඩායම සකස්කර ගැනීමට ලැබෙන අවසන් අවස්ථාව මෙය වීම නිසා නවක ක‍්‍රීඩකයන්ට අවස්ථාව ලබා දුන් බවයි.

කෙසේ වෙතත් දකුණු අප‍්‍රිකාව නවක කණ්ඩායමක් ඉදිරිපත් කිරීමත් සමඟ විස්සයි20 තරගාවලිය ඇල් මැරුණු ස්භාවයකට පත්වීම වැළැක්විය නොහැක. දකුණු අප‍්‍රිකානු සංචිතය පළමු විස්සයි20 තරග දෙක සඳහා පමණක් නම් කර තිබේ. 

ශ්‍රී ලංකාවද විස්සයි20 තරගාවලිය සඳහා ටෙස්ට් තරගාවලියට සහභාගි නොවූ ක‍්‍රීඩකයන් නව දෙනකු පසුගිය අඟහරුවාදා නම් කර තිබුණි. 

එම සංචිතයට කෝඬුකාර ක‍්‍රීඩකයකු වන තික්‍ෂිල ද සිල්වා ඇතුළත් කිරීම කැපී පෙනෙන සිද්ධියක් බවට පත්විය. තික්‍ෂිල මීට පෙර අවම වශයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ පිලට හෝ ක‍්‍රීඩා කර නොමැත.

තික්‍ෂිල අන්තර් සමාජ මට්ටමේ වේගයෙන් පන්දුවට පහර දෙන තුන් ඉරියව් ක‍්‍රීඩකයකු ලෙස ප‍්‍රසිද්ධියක් උසුළන අතර ඔහු විස්සයි20 පිල තේරීම වෙනුවෙන් පැවැති තරගවලදී දැන්වූ අස්කම් මත සංචිතයට ඇතුළත් කළ බව තේරීම් කමිටු නිලධාරියෙක් පැවසීය. 

ශ්‍රී ලංකාවේදී කොතරම් ලකුණු අතර සිටියද සිම්බාබ්වේදී සංචාරයේදී එක්දින පිලේ ස්ථානය අහිමිවූ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකද මෙම සංචාරයට එක්කර තිබේ.

අසේල ගුණරත්න, සීකුගේ ප‍්‍රසන්න, සචිත් පතිරණ සහ ලක්‍ෂාන් සඳකැන් විස්සයි20 තරගාවලිය සඳහා පසුගිය සිකුරාදා පිටත්ව ගියහ.  

වේගපන්දු යවන්නන් වන නුවන් කුලසේකර සහ ඉසුරු උදාන නැවතත් සංචිතයට කැඳවා සිටිති. 

ටෙස්ට් තරගාවලියට සහභාගි වූ ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, සුරංග ලක්මාල් සහ නුවන් ප‍්‍රදීප් ක‍්‍රීඩකයන් හය දෙනා පමණක් විස්සයි20 තරගාවලිය සහභාගි වෙති. 

ටෙස්ට් තරගාවලියට සහභාගි වූ ප‍්‍රවේගකාරී ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට විස්සයි20 පිලේ ස්ථානය අහිමිවීම මෙහිදී කැපී පෙනුණි. කෝටි ගණනක් වියදම් කරමින් තහනම් උත්තේජක චෝදනාවෙන් බේරාගත් කුසල් අඛණ්ඩව අසාර්ථක වීම නිසා මෙම තත්ත්වය උදාවී තිබේ. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය පැවසුවේ අනාගතය පිළිබඳව අවධානය යොමු කර මෙම විස්සයි20 සංචිතය තෝරාගත් බවයි. 

♦ සටහන: යොහාන් භාසුර