2024 මැයි 04 වන සෙනසුරාදා

නමගිය විදෙස් ක්‍රීඩකයෝ මෙවර එල්.පී.එල්. පිටියේ

 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 111

ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් ලෝක මට්ටමේ තවදුරටත් ඔසවා තැබීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියට මෙවර වර්තමාන ලෝක ක්‍රිකට් පිටියේ ප්‍රබල ක්‍රීඩකයන් රැසක් සහභාගි වීමට සූදානමින් සිටිති.

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ පස්වැනි අදියර ලබන ජූලි මස 1 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර එම තරගාවලිය සඳහා විදේශ ක්‍රීඩකයන්ගෙන් කළ අයැදුම්පත් කැඳවීමට ප්‍රබල ක්‍රීඩකයන් ඇතුළු විදේශ ක්‍රීඩකයන් 612 ක් අයැදුම් කර ඇති බව එම තරගාවලියේ ප්‍රධානී සමන්ත දොඩන්වල මහතා පැවසීය. අයැදුම්පත් යොමුකර ඇති ක්‍රීඩකයන් අතරට එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් රැසක ජ්‍යෙෂ්ඨ සහ තරුණ ක්‍රීඩකයන් රැසක්ද සිටින බවත් අයැදුම්පතේ ඔවුන්ගේ අඩුම ලංසුව ද ඉදිරිපත් කර ඇති බවත් දොඩන්වල මහතා කීය.  

නවසීලන්ත ප්‍රබල ක්‍රීඩකයන් වන ටිම් සවුති, ජිමී නිෂාම්, ඉෂ් සෝදි සහ මාක් චැප්මන්, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් වන ශායි හෝප් සහ ඇන්ද්‍රි ෆ්ලෙචර්, එංගලන්ත ක්‍රීඩක රිචී ටොප්ලි සහ ඔස්ට්‍රේලියාවේ උස්මාන් කවාජා එම ප්‍රබල ක්‍රීඩකයන් අතර සිටීම නිසා මෙවර එල්.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියේ ක්‍රීඩක ඩොලර් වටිනාකම ඉහළ වටිනාකමක් ඇතිවනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.

මෙවර තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මෙම මස 16ත් 21ත් අතර කාලයේ  පැවැත්වීමට නියමිත බවත් බංග්ලාදේශ ප්‍රබල ක්‍රීඩකයන් වන මුෂ්ෆිකුර් රහීම්, තමීම් ඉක්බාල්, නජ්මුල් හොසේන් ෂැන්ටො සහ ටස්කින් අහමඩ් තරගාවලියට සහභාගි වීමට අයැදුම් කර තිබීමත් කැපී පෙනේ. එම ක්‍රීඩකයන් පස්දෙනා එම තරගාවලියට සහභාගි වුවහොත් එය බංග්ලාදේශ සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතර පළුදුව තිබෙන හොඳ හිත නැවත වර්ධනය කරගැනීමට අවස්ථාවක් වනු ඇත.  

පසුගිය එල්.පී.එල්. තරගාවලියට සහභාගි වූ දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක තබ්‍රීෂ් ශම්සි ඇතුළු මීට පෙර තරගාවලියට සහභාගි වූ ක්‍රීඩකයන් වැඩි සංඛ්‍යාවක් මෙවර ද අයැදුම් කර තිබීම කැපී පෙනේ.

උස්මාන් කවාජා, තමීම් ඉල්බාල්, ටිම් සවුති, රසිව් වෑන් දුසේන්, ජිමි නිෂාම්, මුෂ්ෆිකුර් රහීම්, රීසා හෙන්ද්‍රික්ස්, රිලී රොසෙව්, ෂායි හෝප්, ටස්කින් අහමඩ්, ලුන්ගි න්ගිඩි, නසීම් ෂා, ඊබ්‍රහිම් ශර්ද්‍රාන්, රමනුල්ලා ගුර්බාෂ්, නජ්මුල් හොසේන් ෂැන්ටො, කොලින් මුන්රෝ, ඉෂ් සෝදි, මාක් චැප්මන්, ජොසන් බිහෙන්ඩොර්ෆ්, ඇන්ද්‍රි ෆ්ලෙචර්, ඔෂේන් තෝමස් සහ කීමෝ පෝල් සහ ෆාබියන් ඇලන් අයැදුම්පත් ඉදිරිපත් කළ විදේශ ක්‍රීඩකයන් අතර කැපී පෙනේ.

මෙම ක්‍රීඩකයන්ගෙන් වැඩි සංඛ්‍යාවක් ලොව වටා ලීග් ක්‍රිකට් තරගාවලිවලට සහභාගි වන ක්‍රීඩකයන් වීම නිසා ඔවුන්ට ඉදිරිපත් වන ඉහළ ලංසුවත් සමඟ මෙරට ක්‍රීඩකයන්ගේ ඉල්ලුම ද ඉහළ යනු ඇත.

මෙවර තරගාවලියට කණ්ඩායම් පහක් සහභාගි වන අතර සම්පූර්ණ තරග සංඛ්‍යාව 24 කි. එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් 20ත් 24ත් අතර සංඛ්‍යාවක් ඇතුළත් වන අතර ඉන් ක්‍රීඩකයන් 6ක් විදේශ ක්‍රීඩකයන් විය යුතුය.

I සටහන: යොහාන් භාසුර