2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා

බැඩ්මින්ටන් නිලවරණය පිටියෙන් එපිටට

 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 105

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ නිලවරණය සඳහා ක‍්‍රීඩා අමාත්‍යංශය පත්කළ නිලවරණ කමිටුවට එරෙහිව අධිකරණයේ විභාග වන නඩුවක් හේතුවෙන් බැඩ්මින්ටන් නිලවරණය පැවැත්වෙන දිනයක් පෙනෙන මානයක නොමැති බව ඇතැම් බැඩ්මින්ටන් නිලධාරීහු පවසති. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පරිපාලනයට හැකි ඉක්මනින් ස්වාධීන නිලවරණයකින් නිලධාරීන් පත්කළ නොගතහොත් ඉදිරියේදී ශ්‍රී ලංකාවට කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලිය රැසක් අහිමිවීමේ අවදානමකට පත්ව තිබේ.

ලෝක කනිෂ්ඨ සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය ඇතුළු ප‍්‍රධාන බැඩ්මින්ටන් තරගාවලි රැසක් ඉදිරියේදී පැවැත්වීමට නියමිත වුවද පනවා ඇති තහනමත් සමඟ ශ්‍රී ලංකාවට එම තරගාවලිවලට සහභාගි විය නොහැක. ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පත්කළ නිලවරණ කමිටුවෙන් තමන්ට ආසාධාරණයක් වූ බවට පවසමින් හිටපු බැඩ්මින්ටන් නිලධාරීන් කිහිපදෙනකු අධිකරණයට කරුණු දැක්වීමෙන් නිලවරණයට වාරණයක් පනවා ඇති බව වාර්තා වේ.

එහිදී එම නිලවරණ කමිටුව බැඩ්මින්ටන් සංගමයේ හිටපු නිලධාරීන් කිහිපදෙනකුගේ නාමයෝජනා ප‍්‍රතික්ෂේප කළ බවත් ඒ සඳහා ඉදිරිපත් කළ අභියාචනා සඳහාද යහපත් ප‍්‍රතිචාරයක් නොලැබුණු බවත් දැනගන්නට තිබේ. එම නිලවරණය පසුගිය අගෝස්තු මස 31 වැනිදා පැවැත්වෙමින් තිබියදී අධිකරණ නියෝගය හේතුවෙන් අතරමග අත්හිටුවීමට සිදුවිය. එම නඩුව මේ මස 17 වැනිදා නැවත විභාගයට ගැනීමට නියමිත අතර එහි තීන්දුවක් ලැබෙන තෙක් නිලවරණයක් පැවැත්විය නොහැකි බව වාර්තා වේ.

I සටහන: යොහාන් භාසුර