2025 ජුලි 12 වන සෙනසුරාදා

ට්‍රම්ප් බද්දේ වැදිල්ල

 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00 13

ඔන්න ආවා... මෙන්න ආවා... කිය කියා රැව් නගමින් සිටි අමෙරිකාවේ ට්‍රම්ප් බද්ද ශ්‍රී ලංකාවට බලපාන තරම පසුගිය බදාදා ප්‍රකාශයට පත් කරනු ලැබීය. එයට අනුව ශ්‍රී ලංකාවෙන් අමෙරිකාවට යැවෙන සෑම භාණ්ඩයක් සඳහාම ලබන අගෝස්තු 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි 30% ක තීරුබදු සමඟ 10% ක පදනම් බද්දක් ගෙවීමට සිදුවනු ඇත. එම ප්‍රතිශතය පසුගිය අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රකාශයට පත් කරන ලද 44% ක ප්‍රතිශතය අඩු කිරීමකි.

ට්‍රම්ප්ගේ මෙම තීරණයට අනුව ශ්‍රී ලංකාව මෙතෙක් කාලයක් අමෙරිකාවට භාණ්ඩ අපනයනයේදී භුක්ති විඳි බදු සහන අහෝසි වී යයි. ඒ අනුව විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ඇඟලුම් නව බද්ද සමඟ අමෙරිකානු වෙළෙඳපොළට පිවිසීම ඉතාම තරගකාරී මට්ටමකට පිවිසෙනු ඇත. අමෙරිකාවට ඇඟලුම් අපනයනය කරන සෙසු රටවලටද බලපාන තීරුබදු ප්‍රතිශතය අනාවරණය වීමෙන් පසුව ශ්‍රී ලංකාවට තරග කිරීමට සිදුවන සැබෑ තත්වය පිළිබඳ වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.
මේ කුමන තත්ත්වයක් යටතේ වුවද ශ්‍රී ලංකාවේ අපනයන ආදායමට ට්‍රම්ප් බද්ද පැනවීම හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා කඩාපාත් වීමක් බඳු වීම වැළැක්විය නොහැකි වනු ඇත. නිදහස් වෙළෙඳ කලාප නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ධම්මික ප්‍රනාන්දු මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබුණේ ට්‍රම්ප්ගේ “අන්‍යොන්‍ය බද්ද” යටතේ අප්‍රේල් 02 වැනිදා මෙරටට පැනවූ 44% ක තීරු බදුද ක්‍රියාත්මක වුවහොත් මුල් අදියරේදී ශ්‍රී ලාංකිකයන්ට රැකියා 50,000 ක් පමණ අහිමිවිය හැකි බවය. දැන් එය 30% ක් 10% ක් ලෙස අගෝස්තු 01 දා සිට ක්‍රියාත්මකය. 14% ක් අඩුවෙන් බදු පනවා තිබුණත් ප්‍රතිඵලය නම් ලොකු වෙනසක් වීමට ඉඩක් නැත. මේ නිසා අහිමිවීමට නියමිත රැකියා දහස් ගණන බේරා දීමට වහාම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇත. ආර්ථිකය ඉතා අමාරු අඩියක සිට ඉතා අපහසුවෙන් යම් තරමක වර්ධනයක් පෙන්නුම් කිරීම ඇරඹෙන විටම මෙවැන්නක් සිදුවීම ආර්ථිකයට විශාල පහරක් වනු ඇත. මෙය හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා වැටීමක් වශයෙන් අප හැඳින්වූයේ මේ පසුබිම සැලකිල්ලට ගනිමිනි.

අපනයන ක්ෂේත්‍රය තුළදී අමෙරිකාව ශ්‍රී ලංකාවේ තනි විශාලතම අපනයන වෙළෙඳපොළ වශයෙන් සැලකෙයි. එම වෙළෙඳපොළ තුළ ඇතිවන සුළු කැළඹීමක් වුවද ශ්‍රී ලංකාවට එය දැනෙනු ඇත්තේ “ගැඹුරු පීඩන අවපාතයක්” වශයෙනි. ධම්මික ප්‍රනාන්දු මහතාගේ ප්‍රකාශයේ සඳහන් වූයේ මෙම තීරුබදු පැනවීමට පෙර සිටම ශ්‍රී ලංකාවට බංග්ලාදේශය, ඉන්දියාව, වියට්නාමය, ලාඕසය සහ කාම්බෝජය වැනි රටවලින් දැඩි තරගකාරිත්වයක් එල්ල වන බවයි. මෙරට ඇඟලුම් සහ රෙදිපිළිවලින් සියයට 20 ත් 25 ත් අතර ප්‍රමාණයක් අමෙරිකානු වෙළෙඳපොළට යැවෙන බැවින් දැනට තිබෙන තරගකාරිත්වය ශ්‍රී ලංකාවට ඔරොත්තු නොදෙන මට්ටමට වර්ධනය වීමට ඉඩක් තිබෙන බවත් සඳහන් කළ යුතුය.

දැන් විය යුතු දේ සිදුවී හමාරය. කළ යුත්ත කුමක්දැයි රජය සියලු ව්‍යාපාරික ප්‍රජාව සමඟ එකතු වී තීරණය කිරීම වඩාත් වැදගත්ය. බද්ද පහළ දමා ගැනීමට තමන්ගේ සාකච්ඡාද හේතු වූ බව රජයේ ස්ථාවරය වී තිබේ. එසේ නම් ඉදිරියේදී එම බද්දේ බලපෑම් පිළිබඳ පැහැදිලි තක්සේරුවකට පැමිණීම අවශ්‍යය. අඳුරේ අතපත ගාමින් මේ බරපතළ ගැටලුවට විසඳුම් සෙවීමට හැකියාවක් නැත.

ඇඟලුම් ඇතුළු අපනයන ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන්ද මෙහිදී තම භූමිකාව තේරුම් ගත යුතුය. අලුත් වෙළෙඳපොළ සොයා ගැනීමටත් සෙසු රටවලටද බලපාන සේ ක්‍රියාත්මක කෙරෙන ට්‍රම්ප් බද්දේ බලපෑම්වලට ඒ රටවල් මුහුණ දෙන ආකාරය පිළිබඳ විමසිලිමත් වීමත් අවශ්‍යය. ට්‍රම්ප් බද්ද හිස මත තබාගෙන දෙස් දෙවොල් තැබීම මේ ගැටලුවට විසඳුම නොවන බවත් තේරුම් ගත යුතුය.

 

 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00