2025 අගෝස්තු 02 වන සෙනසුරාදා

ට්‍රම්ප් බද්දේ වාසිය (2)

 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 31

ට්‍රම්ප්ගේ බද්ද වෙනත් රටවලට කොහොම වෙතත් ලංකාවට නම් දේශපාලන “බද්දක්” වී තිබිණි. මේ බදු ගැන විස්තර මුලින් එළියට දැමූ අප්‍රේල් 02 වැනිදා සිටම විපක්ෂයේ බොහෝ නායකයන් සහ ජ්‍යෙෂ්ඨයන් කිව්වේ මේ බද්ද අඩු කරගන්න සාකච්ඡා සඳහා යැවීමට තරම් සුදුස්සන් ආණ්ඩුවට නැතැයි කියාය. අමෙරිකාවේ ජනාධිපති හෝ ඔහුගේ නියෝජිතයන් හෝ සමඟ කතා කිරීමට තරම් දැනුමක් පළපුරුද්දක් ආණ්ඩුවේ දූත පිරිසට ඇතුළු කිරීමට සොයාගත නොහැකි බවය. මේ නිසා ට්‍රම්ප් සමඟ සාකච්ඡාවට දොර ඇර තිබූ කාලසීමාවේදී ආණ්ඩුව ඇනගනු ඇතැයි විපක්ෂයේ අප්‍රකාශිත බලාපොරොත්තුව වී තිබිණි.

එහෙම වැඩේ හබක් වුණා නම් ආණ්ඩුවට ගහන ගේම් ප්ලෑන් එකක්ද විපක්ෂය හදාගෙන නොසිටියා නම් පුදුමය. හැබැයි සාකච්ඡාවල ප්‍රතිඵලයක් විදිහට 44% බද්ධ 30% දක්වා අඩු කරන බව ට්‍රම්ප් ජනාධිපති අනුර කුමාර ජනාධිපතිට ලියුමකින් ලියා එව්වාම විපක්ෂයට කියාගන්න දෙයක් නොතිබුණි. කියන්න තිබුණේ ඒ අඩු වූ ප්‍රමාණය මදියි කියලාය. දන්න පිරිසක් ගියා නම් තවත් අඩු කරගන්න තිබූ බවත් සමහරු කීහ. විපක්ෂ නායක සජිත්ද කිව්වේ අඩු කළ ප්‍රමාණය හොඳටම මදි බවයි.
ඒ වුණත් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා නම් ඒ වෙලාවේ කිව්වේ මේ ගාණ හරි අඩුකිරීම ගැන රටක් වශයෙන් අප සතුටු විය යුතු බවය. එහෙම අඩු කිරීමේ තීන්දුවක් ලබා ගැනීමට ආණ්ඩුව කළ උත්සාහය ගැන ආණ්ඩුවට ක්‍රෙඩිට් එක දිය යුතු බවත් ඔහු “වොයිස් කට්” එකක් දෙමින් කියා තිබුණි.

ඊට පස්සේ අගෝස්තු 01 වැනිදාට පෙර සාකච්ඡා කර තවදුරටත් බදු අඩුකර ගැනීමට පියවර ගන්නා බව ආණ්ඩුව කිව්වේය. ඒ සඳහා හිලව් කිරීමට ලංකාවට දිය හැකි දේ ඉතා සීමිත විය. ආසියාවේම ඉන්දුනීසියාව, ඉන්දියාව, වියට්නාමය සහ දකුණු කොරියාව වැනි රටවල් අමෙරිකාව සමඟ ඩොලර් බිලියන 50, 150 සහ 250 යනාදී තරමේ වෙළෙඳ ගනුදෙනු කිරීමට ප්‍රතිඥා දීමද සිදුවිය. ලංකාව එහෙම වෙළෙඳ ගනුදෙනු නැති කුඩා රටක් බව ට්‍රම්ප්ම වරක් කියා තිබිණි.

මේ වටපිටාවේ ලංකාවට ලැබෙන සහනය ගැන නොයෙක් කතා පැතිරුණේය. විපක්ෂය වරින් වර කිව්වේ ආණ්ඩුවට මේ වැඩේ කරගන්න හරිහමං සාකච්ඡාකරුවන් නැති බවය. එසේ වුවත් කලින් සාකච්ඡා කණ්ඩායම ලංකාවේ සිටිමින් සූම් තාක්ෂණය ඔස්සේ අමෙරිකානු බලධාරීන් සමඟ සාකච්ඡා කරගෙන ගියේය. දවස කිට්ටු වෙනකොට ආණ්ඩුවෙන් කියැවුණේ “අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ගන්න අමාරුයි. සාකච්ඡා ඒ තරම් සාර්ථක වුණා කියලා කියන්න බෑ. සාකච්ඡාවල ප්‍රගතිය ගැන සුබවාදීව හිතන්න අමාරුයි.” වගේ කතාය. චතුරංග දිසානායක නියෝජ්‍ය අමාත්‍යවරයාත් සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයාත් එවැනි අදහස් ප්‍රකාශ කර තිබිණි. අගෝස්තු 01 වැනිදා මේ නිසා තීරණාත්මක දවසක් විය.

අමෙරිකාවේ වෙලාවෙන් අගෝස්තු 01 වැනිදාට පෙර රාත්‍රියේ අලුත් බදු ප්‍රකාශයට පත් විය. ලංකාවට 20% ක බද්දක් දක්වා අඩු බද්දක් ක්‍රියාත්මක බව සඳහන් විය. ඉන්දියාවට 25% ක්ද ඉන්දුනීසියාවට සහ වියට්නාමයට 19% ක්ද බංග්ලාදේශයට 20% ක්ද පනවා තිබේ. ඒ අනුව ලංකාවට වඩාත්ම බලපෑම් කළ හැකි වූ තරගකාරී රටවල් සමඟ කරට කර සිටීමට ශ්‍රී ලංකාවට දැන් හැකියාව තිබේ. මෙරට අපනයන ක්ෂේත්‍රයේ සියලු දෙනාගේ බලාපොරොත්තුව වී තිබුණේද එයයි. 30% බද්ද පැනවූ අවස්ථාවේ ඔවුන් කියා තිබුණේ එම අඩුකර ගැනීමට ක්‍රියා කිරීම ගැන ආණ්ඩුවට ස්තූතිය පුද කරන බවත් ඒ වුවද තවදුරටත් බද්ද අඩු කරගත හැකි නම් එය විශාල සහනයක් වනු ඇති බවත්ය. මේ හේතුවෙන් 20% ක බද්දක් යනු අපනයන ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන්ට දරාගත හැකි මට්ටමේ පවතිනු ඇතැයි විශ්වාස කළ හැකිය.

මෙවර බදු ප්‍රතිශතය ප්‍රකාශ වූ වහාම හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ඒ පිළිබඳ නිකුත් කළ නිවේදනය මෙසේය.

“අමෙරිකාව විසින් මෙරට භාණ්ඩ සඳහා අය කරන තීරුබදු අනුපාතය 20% ක් දක්වා අඩු කිරීම ජයග්‍රහණයක් වන අතර ඒ තුළින් අපගේ අපනයනවල කලාපීය තරගකාරිත්වය තවදුරටත් පවත්වාගෙන යාමට හැකිවනු ඇත. ඒ පිළිබඳව මා හදවතින්ම සතුටු වන අතර මේ වෙනුවෙන් කැපවී කටයුතු කළ (තිරය ඉදිරිපස හා පිටුපස) සියල්ලන්ටත් කුඩා රටක් ලෙස අප හමුවේ ඇති අභියෝග තේරුම් ගනිමින් එම සහනය ලබා දුන් අමෙරිකාවටත් ස්තූතිවන්ත වෙමි. මෙවැනි තත්ත්වයන් තේරුම් ගනිමින් ශ්‍රී ලංකාවේ තිබෙන සීමා මායිම් ලිහිල් කරමින් ලංකාව ලෝකය සමඟ එකතු කිරීමට කටයුතු කිරීම තුළින් තවත් ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට හැකිවනු ඇතැයි අවධාරණය කරමි.”

විපක්ෂ නායක සජිත් සිය X තීරුවේ සටහනක් තබමින් මෙසේ ප්‍රකාශ කර තිබිණි. “අමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට පනවන ලද අන්‍යොන්‍ය තීරුබදු අනුපාතය සියයට විස්සක් දක්වා පහත දැමීම ගැන සතුටට පත් වෙමි. මෙරට අපනයනකරුවන්ට සැබෑ සහනයක් ලබාදීම සඳහා නම් එම බද්ද සියයට පහළොවට අඩුවෙන් ඉලක්ක කළ යුතුය. එය අප රට වියට්නාමය සහ බංග්ලාදේශය සමඟ සමපාත කර ඇති අතර ඉන්දියාවට 25% ක් ගෙවීමට සිදුවෙයි. අපට දිගටම ඒ සඳහා සාකච්ඡා කිරීමට වෙළෙඳ ආර්ථික විශ්ලේෂකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් සිටිය යුතුය.”

කෙසේ වුවද සජිත් නම් මේ සහනය ලබා ගැනීමේ “ක්‍රෙඩිට්” එක රජයට ලබාදීම උවමනාවෙන්ම අතපසු කර තිබීම කැපී පෙනෙයි. මේ සහනය හර්ෂ ද සිල්වා ජයග්‍රහණයක් වශයෙන් දකින විට සජිත් කර ඇත්තේ මේ සහනය සිතන තරම් නොවන බව නොකියා කීමකි.

ආණ්ඩුව වෙනුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම ප්‍රකාශ කළේ අමෙරිකාව සමඟ පැවැත්වූ තීරුබදු සාකච්ඡාවල සාර්ථකත්වය මත තවදුරටත් වෙළෙඳ සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ඒ මහතා මෙසේ කියා තිබිණි.

“අමෙරිකාව සමඟ සාකච්ඡාවලින් ශ්‍රී ලංකාව අපේක්ෂා කළ ආකාරයේ බදු සහනයක් ලබා ගැනීමට හැකි වුණා. කලාපයේ සෙසු තරගකරුවන්ට සමාන තීරුබදු අනුපාතයක් මේ හරහා ලබා ගැනීමට හැකියාව ලැබුණා. මේ මගින් ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ කොටස පවත්වා ගැනීමට හැකියාව ලැබේවි. තවදුරටත් තීරුබදු අඩුකර ගැනීමට අමෙරිකාව සමඟ දිගටම කටයුතු කරනවා.”

ලංකාවේ යන්තමින් හිස ඔසවාගෙන එන ආර්ථිකයට ට්‍රම්ප්ගේ බද්ද හරහා වැදීමට නියමිතව තිබුණේ හෙණ පහරකි. මුලින්ම මේ බද්ද ප්‍රකාශයට පත් වූ අවස්ථාවේ මෙරට ඇඟලුම් ව්‍යාපාරය පවත්වාගෙන යන ව්‍යාපාරිකයෝ හතර ගාතෙන් ඇද වැටෙන තත්ත්වයකට පත් වූහ. ඇඟලුම් පමණක් නොව රබර් සහ පොල් කර්මාන්තවලට අයත් ව්‍යාපාරිකයන්ද මාධ්‍ය සාකච්ඡා තබමින් දිගටම කිව්වේ මේ බද්ධ අඩුකර ගැනීමට බැරි වුණොත් මේ රටේ ඍජු සහ වක්‍ර රැකියා ලක්ෂ ගාණක් අනතුරේ වැටෙන බවය.

මේ සියල්ල රජයේ සාකච්ඡාකරුවන් සැලකිල්ලට ගෙන ඇති බව බද්ද යළිත් අඩු කිරීම සඳහා පෙළඹවීමක් ඇති කිරීමට හේතු වන්නත් ඇත. කොහොම වුණත් මේ වැඩේ ආණ්ඩුව අනාගනියි කිය කියා හිත හිතා හිටපු විපක්ෂයේ ඇතැම් නායකයන්ට නම් ලැබී ඇත්තේ ඔවුන් සිතාගෙන සිටි පිළිතුර නොවේ.

විපක්ෂය දිගටම ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතින් ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේදී දක්වන දුර්වලකම් උපහාසයට ලක් කිරීමට පසුගිය සති කිහිපය තිස්සේ ක්‍රියා කළේය. හැබැයි සමහර විපක්ෂ ජ්‍යෙෂ්ඨයන් නම් එහෙම කළේ නැත. ආණ්ඩුව ඒ ඉංග්‍රීසි අලකලංචියට උත්තර දෙන්නත් ගියේ නැත. හැබැයි කොහොම හරි ට්‍රම්ප් එක්ක ගනුදෙනුව ලංකාවට සාධාරණයක් වෙන ආකාරයට කර ගැනීමට ආණ්ඩුවේ සාකච්ඡා මණ්ඩලයට හැකි වී තිබීම පොදුවේ ආණ්ඩුවට ලොකු උත්තේජනයක් ලබාදීමක් බව නම් පැහැදිලිය.

කෙසේ වුවද මෙම සාකච්ඡාවලට දිගින් දිගටම එකතු වී සිටි අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහගේ කාර්යභාරය ආණ්ඩුවේ ඇතැම් බලධාරීන් නොසලකා හැරීමද මෙහිදී කැපී පෙනෙයි. මහින්ද සමරසිංහ ඒ කාලයේ සිටම සැලකුණේ හොඳ සාකච්ඡාකරුවකු හැටියටය. මේ නිසාම ඔහුට විවිධ ආණ්ඩු යටතේ වගකීම් විශාල වශයෙන් පැවරුණේය.

ඒ වගේම කලින් ආණ්ඩුවෙන් පත්වීම් ලැබූ තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සෑහෙන පිරිසක් ආපසු ගෙන්වා ගැනීමට වත්මන් රජය කටයුතු කළත් අමෙරිකාවේ තානාපති වශයෙන් සිටි මහින්ද සමරසිංහ ආපසු නොකැඳවීමට ආණ්ඩුව ගත් තීරණය නිවැරදි විය. ඒ දිනවල අයි.එම්.එෆ්. සාකච්ඡා දිගටම පවත්වාගෙන යාමේදී ආණ්ඩුවට ඔහුගේ දැනුමෙන්, පළපුරුද්දෙන් සහ සබඳතාවලින් ප්‍රයෝජන ගැනීමට තිබෙන හැකියාව එහිදී ආණ්ඩුවේ සැලකිල්ලට ලක්වෙන්නට ඇත. මහින්ද සමරසිංහ තමන් කෙරේ ආණ්ඩුව තැබූ විශ්වාසය තදින්ම රැක ගැනීමට සමත්ව සිටින බව පෙනෙන්නට තිබේ. නමුත් ආණ්ඩුවේ ඇතැමුන් ට්‍රම්ප් බදු සම්බන්ධ සාකච්ඡාවලදී ඔහු ඉටුකළ කාර්යභාරය නොසලකා හැරීමට හේතු පැහැදිලි නැත.

ව්‍යාපාරික ප්‍රජාවද ට්‍රම්ප් බදු අඩු කිරීම සම්බන්ධයෙන් තම සතුට පළ කර තිබිණි. යූ.එන්.පීය ප්‍රකාශ කර තිබුණේ එම බදු අඩු කිරීම පිළිබඳ සාකච්ඡා සාර්ථකව අවසන් කිරීම සම්බන්ධයෙන් රජයට සහ සාකච්ඡා කණ්ඩායමට ප්‍රශංසා කරන බවය. කෙසේ වුවද එම තීරුබදු අඩු කිරීමේ පසුබිම යටතේ අර්ථවත් වෙළෙඳ සහ ආරක්ෂක ගිවිසුම්වලට ළඟා වීම පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් ආණ්ඩුව විසින් කළ යුතු බවද යූ.එන්.පීය ප්‍රකාශ කර තිබේ.

විපක්ෂය ආර්ථිකය සම්බන්ධයෙන් ආණ්ඩුවට වරින් වර ප්‍රහාර එල්ල කරයි. ට්‍රම්ප්ගේ බද්දත් දේශපාලනයට පටලැවුණේ ඒ අර්ථයෙනි. ඒ බද්ද අල්ලාගෙන ආණ්ඩුවට ගහන්න විපක්ෂය සැලසුම් කර තිබුණත් දැන් ඒ වාසිය ගන්නේ ආණ්ඩුව වීම වළක්වනු බැරිය.

ඒ අතර රටේ ආර්ථිකය ගැන ලොකු විග්‍රහයක් කිරීමට ජනාධිපති අනුර මාලේ සංචාරය යොදා ගත්තේය. ජනාධිපති හැටියට විදෙස්ගත ශ්‍රී ලාංකික ජනතාව ඇමතූ පළමු අවස්ථාව ද එය විය. අනුර එහිදී ඉතා දීර්ඝ කතාවක් කර තිබිණි. එහිදී ආර්ථිකය සම්බන්ධයෙන් ඔහු මෙසේද කියා තිබිණි.

“අපට ඩොලර් අවශ්‍යයි. ඉතාම සතුටින් කියන්න කැමැතියි අපට ඩොලර් ලැබෙන පළමු කණ්ඩායම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් වන ඔබයි. මේ වසර විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් වැඩිම ඩොලර් එවපු වසර බවට පත්වේවි. ඒ වගේම මේ වසර ඉතිහාසයේ වැඩිම සංචාරකයන් පැමිණි වසර සහ සංචාරක කර්මාන්තයෙන් වැඩිම ඩොලර් ඉපැයූ වසර බවට පත් වෙනවා. අපනයන ආදායම ගත් විට 2025 වසර ලංකාවේ වැඩිම අපනයන ආදායම ඉපැයූ වසර වෙනවා. මේ අයුරින් ආර්ථිකයේ ඉතාමත් ශක්තිමත් ස්ථාවරත්වයක් නිර්මාණය වී තිබෙනවා. මහ බැංකුව සතුව රුපියල් ට්‍රිලියනයක සංචිතයක් තිබෙනවා.”
ජනාධිපති අනුර මේ කතාව කියන විට ට්‍රම්ප් බද්ද අඩු වෙයිද යන්න දැන සිටියේ නැත.

 ශශීන්ද්‍ර