2025 අගෝස්තු 09 වන සෙනසුරාදා

කකුල් මාට්ටු - නරක හීන

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 51

පසුගිය අවුරුද්දේ (2024) නොවැම්බර් මාසය වනවිට ජනාධිපති වෙලා හිටියේ අනුර කුමාර දිසානායකය. නමුත් ඒ වනවිට මාලිමා ආණ්ඩුව තිබුණේ නැත. ආණ්ඩුවක් පිහිටුවාගැනීම සඳහා ඒ වනවිට මහ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ඇරඹී තිබුණි. ජනාධිපති ධුරයට 50% ඉක්මවා ඡන්ද ලබාගැනීමට අනුර කුමාරට නොහැකිව තිබූ නිසා විපක්ෂයේ අය ද සටනට බැස්සේ පාර්ලිමේන්තුව ඇතුළේ බහුතරය කෙසේ වුණත් ආණ්ඩුව සටනක් දිය හැකි විපක්ෂයක් හෝ හදාගැනීමේ අරමුණෙනි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණයේදී 18% ක ඡන්ද ප්‍රතිශතයකුත් විපක්ෂ නායකව සිටි සජිත් ප්‍රේමදාසට 29% කුත් ලැබී තිබීම නිසා තමන්ට මේ ඉලක්කයට කිට්ටු කළ හැකි බවට මතයක් ඔවුන් තුළ තිබෙන්නට ඇත. එහෙම වුණත් ප්‍රධාන රැස්වීම් හැරුණුවිට වෙනත් රැස්වීම් පවත්වාගැනීමට හෝ දුෂ්කරතා මතුවන විට විපක්ෂය තම ඉලක්කය වරදින බව හිතන්නත් ඇත. මේ නිසා ඔවුහු දිස්ත්‍රික් මට්ටමින් තැබූ මැතිවරණ රැලිවල වේදිකාවලදී මාලිමා ආණ්ඩුවක් බිහිවුණොත් සිදුවිය හැකි දේ ගැන විවිධ මත පළ කළහ. මේ මත පළකිරීම්වලට මාලිමාව වෙනුවෙන් කළ කැම්පේන් එකේ ප්‍රධාන කථිකයා වූ ජනාධිපති අනුර වේදිකාවලදී පිළිතුරු දුන්නේය.

ජනාධිපතිවරණයට දින කිට්ටු වෙද්දී අම්පාරේදී පැවති ප්‍රධාන රැස්වීමේදී ජනාධිපති අනුර මාලිමා ආණ්ඩුවක් ආවොත් විය හැකි දේ ගැන විපක්ෂය කරන චෝදනාවලට පිළිතුරු දුන්නේය. එහිදී කළ ඔහුගේ කතාවේ මෙසේ සඳහන් විය.
“හිටපු මැති ඇමැතින් රජයේ නිවාසවලින් ඉවත් කරන්න නඩු දාන්න අපි තීරණය කරලා තිබෙනවා. ඔවුන් ජීවිත කාලයම ආණ්ඩුවෙන් යැපුණු අය. මේ රට මහ ණය උගුලක හිරකරපු ඔවුන් ඔවුන්ගේ පවුල්වල උදවියට හා වටේ සිටින කණ්ඩායම්වලට පමණක් සේවයක් කළ අයයි.”

ආණ්ඩුවේ හිටපු ලොකු ලොක්කන් ගැන එහෙම කියූ අනුර ඊළඟට විපක්ෂ වේදිකාවල නගන හඬට මෙහෙම පිළිතුරක් දී තිබිණි.

“ජනාධිපතිවරණයේදී ඇතැම් ස්වාමින් වහන්සේලා පවා වේදිකාවට නැගලා පන්සලේ දානෙ නැතිවෙයි, පෙරහර නැතිවෙයි, ආයෙ පෝයට සිල් ගන්න බැරිවෙයි කිව්වා. මුස්ලිම් ජනතාවට කිව්වා වඳින්න දෙන්නෙ නැහැ, රැවුල වවන්න දෙන්නෙ නැහැ කියලා කිව්වා. එපමණක් නොවෙයි, ජාතීන් අතර සැකය, අවිශ්වාසය ගොඩනැගීමට මත වැපිරුවා. අපි ආවම ගෑස් පුපුරනවා, තෙල් පෝලිම් ඇතිවෙනවා, කිරිපිටි පෝලිම් එනවා, ඩොලරය 400ට නගිනවා කිව්වා. ආර්ථිකය කඩා වැටේවි කිව්වා. ඒ විතරක්ද අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළොත් රට මහ ලේ විලක් වේවි, අනෙක් පාක්ෂිකයන්ට ගහවි, හිංසා කරාවි කිව්වා. රට ජාත්‍යන්තර වශයෙන් හුදෙකලා වේවි කිව්වා. ඒත් අපි ඒ සියල්ලට මුහුණදෙමින් ඒ සියල්ල බොරු අවලාද බව තහවුරු කරලා තියෙනවා. පළමුකොටම මේ රට ගොඩනැගීමට දේශපාලන ප්‍රමිතීන් තිබිය යුතුයි. අප මේ දේශපාලනයට ප්‍රමිතියක් ගේනවා.”

ආණ්ඩුව දැන් ඉන්නේ වසරක් සම්පූර්ණ වන දොරකඩ ළඟය. එහෙම තිබියදී රටේ වර්තමාන ආර්ථිකය පිළිබඳ කල් තැබීමේ විවාදයට ජනාධිපති අනුර හදිසියේම පාර්ලිමේන්තුවට පැමිණ දිග, සැර කතාවක් කළේය. ඔහු විපක්ෂයට කෙළින්ම මෙසේ කිව්වේය.

“බලය ලබාගැනීම සඳහා කටයුතු කරන්න. රැස්වීම් තියන්න. සංවිධානය වෙන්න. හැබැයි කුමන්ත්‍රණ කරන්න එපා.”

“ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳවැටේවි යැයි විපක්ෂය හැමවිටම කුරිරු සිහිනයක් දකිනවා. නමුත් ඔවුන්ගේ සිහිනය කිසිවිටෙක ඉටුවෙන්නෙ නෑ. අයවැය ලේඛනයෙන් රජය අපේක්ෂා කළ ආදායමට වැඩි ආදායමක් ලබාගන්න පුළුවන් බවට සංඥා ලැබී තිබෙනවා. ලබන දෙසැම්බරය වනවිට ඩොලර් බිලියන 07 ඉක්මවන විදෙස් සංචිතයක් අත්කර ගන්නවා. දැන් ආණ්ඩුවට රුපියල් ට්‍රිලියනයක මුදල් තිබෙනවා. ඒක පටන්ගත්තෙ පසුගිය ආණ්ඩුව. ඒකට ස්තූති කරන්න ඕනෑ. ආණ්ඩුවේ ස්ථාවර ගමනට කවුරුවත් කකුල් මාට්ටු දාන්න සූදානම් වෙන්න එපා.”

මේ කතාවට ඒ වෙලාවෙම උත්තර බඳින්න විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේ සිටියේය. ඔහුගේ පිළිතුරු කතාවේ මෙසේ සඳහන් විය.

“ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිත් කතා කළේ බොහොම නරක හීනයක් දැකලා කියලා හිතෙනවා. එතුමා කුරිරු හීන ගැන කුමන්ත්‍රණ ගැන කතා කළා. ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රශ්නය ආපු වෙලාවේ රටක් ලෙස එකමුතු විය යුතු බවත් කිව්වා. ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් විපක්ෂයේ අනෙක් දේශපාලන පක්ෂත් එක්ක අත්වැල් බැඳගෙන අපි ජනාධිපතිට කිව්වේ දේශපාලන භේද අතහැර මේ ගැටලුවේදී අප එකට සිටගන්නා බවයි. මම ජනාධිපතිතුමාගෙන් අද දැක්කේ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරයෙක්ගේ කතාවක්.”

කොහොම වුණත් ජනාධිපතිවරයා මේ කතාව කළේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විපක්ෂය විවිධ අවස්ථාවල ගෙන එන ලද විවේචනවලට පිළිතුරක් වශයෙන් බව පෙනෙන්නට තිබේ. විපක්ෂය ජනාධිපති ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛන වැරදි බවක් කිව්වේ නැත. විපක්ෂනායකවරයා ලබාදුන්නේ බොහෝදුරට දේශපාලන පිළිතුරක් බවද පෙනී යයි.

ජනාධිපති අනුර පසුගිය අවුරුද්දේ කැම්පේන් එකේදී අම්පාරෙදි කියූ කතාවත් සමඟ වර්තමානය ගලපා ගැනීම වඩාත් සුදුසුය. පසුගිය දා ආණ්ඩුව හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කපන පනත පාර්ලිමේන්තුවේ සභාගත කළේය. ඊට කලින් මන්ත්‍රීවරුන්ගේ පැන්ෂන් එක අහෝසි කරන පනත ඉදිරිපත් කළේය. හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කපන පනත ශ්‍රේෂ්ඨාධිකරණයේදී කවුරුන් හෝ අභියෝග නොකළහොත් එම පනත බාධාවකින් තොරව සම්මත වනු ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යම්කිසි අයකු තීන්දුවක් ලබාගත්තත් එම තීන්දුවට අනුව කටයුතු කර පනත සම්මත කරගැනීමට අවශ්‍ය තරම් සුපිරි බලයක් ආණ්ඩුවට තිබේ. මේ නිසා එම පනත ඉදිරියේදී ක්‍රියාත්මක වීම වැළැක්විය නොහැකි වනු ඇත.

එපමණක් නොව රටේ ආර්ථිකය සම්බන්ධව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයේ සඳහන් සංඛ්‍යාලේඛන නිවැරදි දැයි ඕනෑම කෙනකුට තහවුරු කරගත හැක. පසුගිය සති කිහිපය මුළුල්ලේ මාධ්‍ය හරහා ද මේ පිළිබඳ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කෙරුණි. අපනයන ආදායම වැඩිවීම, විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඉහළ යාම, සංචාරකයන්ගේ ආදායම වැඩිවීම සහ විදෙස් සංචිතය ක්‍රමානුකූලව ඉහළ යාම එම වාර්තා අතර තිබිණි. එසේම ට්‍රම්ප්ගේ බද්ද 20% ක් දක්වා අඩුකර ගැනීමට සමත් වීමත් ඩොලරයේ අගය පසුගිය කාලය මුළුල්ලේම නොවෙනස්ව තබාගැනීමට හැකිවීමත් ආණ්ඩුව ලැබූ ආර්ථික ජයග්‍රහණ අතර ඉදිරියෙන් තිබේ. මේ පසුබිමේ විපක්ෂය ආණ්ඩුවේ ආර්ථික ඉදිරි ගමනට එල්ල කරන විවේචන බොහෝදුරට ඵල රහිත වනු ඇත.

ඒ වගේම විපක්ෂය අකැමැති වුවද හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපීම මාලිමාව ජනතාවට ලබාදුන් පොරොන්දුවක් ඉටුකිරීමකි. එයට එරෙහිව ජනතාව පොළඹවා ගැනීමට විපක්ෂයට ඉඩක් ඇතැයි සිතන්න බැරිය. ඒ සමඟ අල්ලස් හා දූෂණ කොමිසම හරහා අධිකරණය මගින් නීතිය ක්‍රියාත්මක කර වැරදි කළ හිටපු දේශපාලකයන් සහ ඔවුන්ට සහාය දැක්වූ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට දඬුවම් පැමිණවීමද ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දුවක් ඉටුකිරීමකි. පුංචි ඡන්දයේදී ආණ්ඩුවට ලැබුණු ඡන්ද ප්‍රමාණයේ අඩුවීම මේ තීන්දු ගැනීමට ප්‍රබල උත්තේජනයක් සපයා තිබෙන බවද පැහැදිලිය.

හැබැයි මේ ටික පමණක් ඇතිද? ජනතාව ආණ්ඩුව කෙරේ තැබූ බලාපොරොත්තු ඉටුකරන්න නම් විපක්ෂයේ දේශපාලනඥයන්ට උත්තර දීමට යාම සහ විපක්ෂයේ සිටියදී කළ කතා කියමින් සිටීම පමණක් මදිය. තමන්ට ජනතාව ලබාදෙන කැමැත්ත වැඩිකර ගැනීමට කළ යුතු දෑ බොහෝය. දේශපාලන විරුද්ධවාදීන්ට පහරදීමෙන් පමණක් එය ඉටුකරගත නොහැකිය. වසරක් පිරෙන විට ආණ්ඩුව මීට වඩා ඒ ගැන අවධානය යොමුකිරීම වැදගත් වනු ඇත. අතීත කතාවලින් පමණක් ජනතා කැමැත්ත දිනාගත නොහැකි බව ඉතිහාසය උගන්වා ඇති පාඩමයි.

• ශශීන්ද්‍ර