2025 අගෝස්තු 09 වන සෙනසුරාදා

වාසනාවන්ත දේශපාලන නෑයෝ

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 45

ජනාධිපති අරමුදල අවභාවිත කිරීම පිළිබඳ කතා ඇවිස්සී ගියේ දැනට මාස කිහිපයකට කලිනි. දැන් යළිත් ජනාධිපති අරමුදල අවභාවිත කතාව අලුත් මුහුණුවරකින් එළිබැස තිබේ. කලින් වතාවේ වාර්තා වූයේ දිළිඳු ජනතාවගේ බරපතළ රෝගාබාධ සහ දිළිඳු පවුල්වල ඉගෙනුමට දක්ෂ දරුවන්ට පිහිටවීමට තිබෙන ජනාධිපති අරමුදලින් මැති ඇමැතිවරුන්ට විදේශගතව පවා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට කෝටි ගණනින් ආධාර ලබා දී ඇති බවය. මෙවර වාර්තා වන්නේ දේශපාලකයන්ගේ සමීප ඥාතීන්ට ජනාධිපති අරමුදලෙන් රුපියල් කෝටි 20ක් පමණ වටිනා ශිෂ්‍යත්ව ලබා දී තිබෙන බවයි.

මේ කතාව එළියට එන්නේ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයකු නැගූ ප්‍රශ්නයකට අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ලබාදුන් පිළිතුරෙනි. අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ දුප්පත් ජනතාවට සෞඛ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් පිහිටුවා ඇති ජනාධිපති අරමුදලෙන් පසුගිය කාලයේදී මැති ඇමැතිවරුන් ඇතුළු දේශපාලනඥයන් පිරිසකගේ දරුවන්, ඥාතීන් සහ හිතවතුන් 72කට වැඩි පිරිසකට රුපියල් කෝටි 20කට වඩා වටිනා විදේශීය ශිෂ්‍යත්ව ලබා දී ඇති බවය. ඒ සමඟ ඔහු කියා තිබූ පරිදි ජනාධිපති අරමුදලින් මෙසේ ශිෂ්‍යත්ව ලබාගෙන විදේශගත වී ඒ කටයුතු අවසන් කර නැවත පැමිණි පිරිස සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නැත. එසේ ලබාදුන් ජනාධිපති අරමුදලේ මුදල් ආපසු අයකරගෙනත් නැත. මේ ගැන ඉදිරියේදී පියවර ගන්නා බවද සඳහන් කෙරිණි.

ජනාධිපති අරමුදලේ සහන ලබාගැනීමට හිමිකමක් නොදරණ කිසිවකුට හෝ එම අරමුදලේ මුදල් ලබාදීම එම අරමුදල අවභාවිත කිරීමකි. සිටින ජනාධිපතිවරයාගේ අනුමැතිය නොමැතිව එම මුදල් ලබාදිය නොහැකිය. අරමුදලේ ප්‍රධානියා වශයෙන් චෙක්පතේ අස්සන යෙදිය යුත්තේද ජනාධිපතිවරයාය. එසේනම් මේ කර ඇත්තේ සියලු මුදල් හොර රහසේ සිතාමතා තම දේශපාලන සගයන්ට බෙදා දීමකි. එසේ බෙදා දී ඇත්තේ මෙරට මහජනතාව විසින් ලොතරැයිපත් මිලදී ගැනීම් ඇතුළු විවිධ ව්‍යාපෘති හරහා රජයට ලබාදෙන බදු මුදලිනි. මෙතැන වඩාත් ගැටලුව ඇත්තේ ආර්ථික වශයෙන් කිසිදු අපහසුවක් නොමැති සහ ධනවත් මෙන්ම දේශපාලනික වශයෙන් බලවත් පවුල්වල සමීප ඥාතීන්ටද මේ “ලොතරැයිය” ඇදී තිබීමය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත්චන්ද්‍ර රාජකරුණා සහ කරුණාසේන කොඩිතුවක්කු යන මහත්වරුන් ඒ සඳහා උදාහරණ දෙකක් පමණි.

මන්ත්‍රීවරුන් අතර වුවද තම දරුවකුට විදේශ අධ්‍යාපනයක් ලබාදීමට තරම් වත්කමක් නොතිබූ අය ද සිටිය හැක. එවැනි පවුලක දරුවකුට නම් ජනාධිපති අරමුදලින් පිහිටාධාරයක් ලබාගැනීම ලොකු වරදක් නොවේ. එහෙත් රටේ දිළිඳුම ජනකොටස් සඳහා පිහිටුවීමේ අරමුණ ඇති අරමුදලකින් එවැනි ආධාරයක් ලබාදීම දේශපාලන වශයෙන් වුවද සාදාචාරාත්මක නැත. එවකට විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන්ද මේ ආකාරයේ සහන ලබාගත්තා දැයි පැහැදිලි නැත. නමුත් නිසැකවම මේ ශිෂ්‍යත්ව ආධාර ලැබූ මැති ඇමැති පිරිස අතරින් අති බහුතරය ආණ්ඩු පාක්ෂික අය බව කිව හැකිය. එය කෙළින්ම තම අතැති හැන්දෙන් තමන්ටම බෙදා ගැනීමකි. විලිලජ්ජා නැති වැඩකි. අඩුම තරමින් ශිෂ්‍යත්ව ලබා විදෙස්ගතව අධ්‍යාපනය ලැබ ආපසු පැමිණීමෙන් පසුව හෝ එම ලබාගත් මුදල ආපසු ගෙවීමට කටයුතු කර ඇත්නම් එය යම් පමණකට සාධාරණය ඉටු කිරීමකි. නමුත් අමාත්‍යවරයා ප්‍රකාශ කළ ආකාරයට නම් එම මුදල් ආපසු ගෙවා නැත.

කෑම, බීම, ඉඳුම් හිටුම්, යාන වාහන පමණක් නොව විදෙස් සවාරි පවා රටේ මහජනතාවගේ බදු මුදලින් ලබාගැනීමට නොපැකිලෙන මෙවැනි “මහජන සේවකයන්” තම සමීප ඥාතීන්ටද කෝටි ගණනින් මුදල් වැය කර රට ගිහින් ඉගෙන ගැනීමට මුදල් වැය කිරීම ගැන එක අතකින් පුදුම විය යුතු නැත. එකල තිබූ එක් ප්‍රසිද්ධ කතාවක් වූයේ මේ රටේ දේශපාලනය කිරීමට නම් සියල්ලට පළමුව කළ යුත්තේ තම ලජ්ජා නහර කපාගත යුතු බවය. එය විහිලුවක් නොව සැබෑවක් බව මේ අසන කතා අනුව ජනතාව තේරුම්ගනු ඇත. රජයේ අරමුදල් තමන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට පමණක් නොව තම දූ පුතුන් ඇතුළු සමීප ඥාතීන්ට විදේශගත වී අධ්‍යාපනය ලබාගැනීමට අවශ්‍ය ශිෂ්‍යත්ව දීමට පවා යොදවන වෙන රටක් ලොවේ කොතැනක හෝ තිබේදැයි අපි නොදනිමු. අඩුම තරමින් තමන් වැය කර ඇත්තේ පොදු මහජනතාවගේ බදු මුදල් බව මේ “ශිෂ්‍යත්වලාභීන්” දන්නවාද යන්නත් සැක සහිතය.