2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

තමන්ටම කියලා කෙනෙක් නැති ජීවිතය හරි හිස්!

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 85

Sameera සමඟ Danushka 

හෙණ ගහන්න වැස්සත් මම අද මෝටර් බයිසිකලේ ලොකු රවුමක් යනවා යනවාමයි.... පාරට බැස්සෙම එහෙම හිතාගෙන. දින ගණනාවක ඉඳලා ඇදහැලෙන වරැසාව අද ටිකක් අඩුවෙලා.. කොළඹ අහස සිසාරා තාමත් වැහි වලාකුළුනම් අඩුවක් නෑ... ඒ වලාකුළු අතරින් යාන්තමට ඉරඑළිය තාර ඇතිරිල්ලට පතිත මොහොතක අපි ගියේ මරදාන දුම්රිය පොළට... ඒ දුම්රියෙන් ගමනක් යන්න හිතාගෙන නම් නෙමේ... වෙන වැඩකට...

අද ටිකක් පාරවල් ට්‍රැෆික්, මමත් ටිකක් පරක්කුයි...
කවුන්ටරෙන් ගත්ත ෆ්ලැට්ෆෝම් ටිකට් එක සාක්කුවේ දාගෙන ඉක්මනට දුම්රිය පොළ ඇතුළට ගියේ විශේෂ කෙනෙක් මුණගැහෙන්න.

හම්බවෙන්න ආපු අමුත්තා වෙලාවට ඇවිත් මම හිතන්නෙ... 
5 වැනි ෆ්ලැට් ෆෝම් එකේ මැදකට වෙන්න තියෙන දිග බංකුවේ කෙළවරේම අසුනෙ ඔහු අසුන්ගෙන හිටියේ ලොකු කල්පනාවකට සමවැදිලා.. 
ආයුබෝවන්... සමාවෙන්න ඕනෙ මම ටිකක් පරක්කුයි.. 

ඔහුගේ දැහැන නම් බිඳුනා...
ආ... ආයුබෝවන්... මමත් දැන් තමයි ආවේ... 
ඔහුගේ උත්තරය මට සැනසිල්ලක්.

එයා ගැන මම මෙහෙම පටන්ගන්නම්කො... කලාව ගැන වෙනස්ම විදිහක රහක් තියෙන, නිර්මාණයට උපරිම සාධාරණයක් ඉටුකරන අපේ කාලේ තරුණ කොල්ලෙක්.. එයා කරපු පළමු චිත්‍රපටයෙන්ම සම්මාන පිට සම්මාන ගත්තා.. ඒ වැඩේ නම තමයි මෝටර් බයිසිකල් කියන්නෙ. ඒක පිටරටවලත් ඇගයීමට ලක්වුණා.
මේ වෙන කවුරැත් නෙමේ ශමීර නාඔටුන්න...

ශමීර මොනවාද මේ දවස්වල වෙන්නෙ... අපි එහෙම පටන් ගමු නේද?
සාමාන්‍ය පරිදි ජීවිතය ගතවෙනවා... විශේෂයෙන්ම මම මේ දවස්වල නිෂ්පාදකයෙක් හොයන එක තමයි කරන්නෙ.... මොකද මගේ ඊළඟ චිත්‍රපටයේ තිරරචනය කරලා ඉවරකරලා ඉන්නෙ... නුදුරේදීම හොඳ නිෂ්පාදකවරයෙක් හම්බවෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා...  ඒ චිත්‍රපටයේ වැඩ පටන්ගන්න.

හරි... අපි එහෙනම් මතෘකාවට බහිමුකෝ..
ශමීරගේ හැකියාවන් අපි දැකලා රසවිඳලා තියෙනවා... ඒවා ගැන නෙමේ... ඔබේ  හිතට තදින්ම කාවැදුනු නිර්මාණයක් ගැන චුට්ටක් කතා කරමුද? අපේ වචනෙන්ම කිව්වොත්... සුපිරියටම බොක්කටම වැදුණු එකක් ගැන... හැබැයි... ඒක සින්දුවක් වෙන්නත් බෑ...

ඔව්.. එහෙම නිර්මාණ ගොඩක් තියෙනවා... ඒ අතරින් මගේ හිත ගොඩක් කැමති සිනමා අධ්‍යක්ෂවරයෙක් තමයි ඉරාන ජාතික අප්ජා පර්හාති කියන්නෙ. එයා නිර්මාණය කරපු සෙපරේෂන් කියන චිත්‍රපටයට මම ගොඩක් කැමතියි. හරිම ආශාවෙන් විඳපු නිර්මාණයක් තමයි ඒක..  

ඉරානය කියන්නෙ දීර්ඝ ඉතිහාසයක් උරුමකම් කියන රාජ්‍යයක්. අතීතයේ ඉඳලා ලොවපුරා ව්‍යාප්ත වෙච්ච ආර්යයන්ගේ නිජභූමිය. ඉස්සර ඉරානය හැඳින්වුණේ පර්සියාව කියලා. සෙසු මුස්ලිම් රාජ්‍යයන්ගෙන් වෙන්වෙච්ච සෞන්දර්ය‍ෙන් පිරිච්ච ලස්සන සංස්කෘතියක් තියෙන රටක් තමා ඒක. ඉරානයේ බහුතරයක් බුද්ධිමතුන්ගෙන් පිරිච්ච රටක් වුණත් කුමේනි කියන පාලකයාගේ යටතේ සමහර අවස්ථාවලදී චිත්‍රපට අධ්‍යක්ෂවරුන් අත්අඩංගුවට ගත්තා... ඇතැම් අයට චිත්‍රපට නිර්මාණය කිරීම වාරණයට ලක්කළා. ඒ අභිමුවෙ වුණත් ඉරාන සිනමාව ලෝකයේ අවධානය දිනාගෙන තියෙනවා. ඒ රටේ හැදිච්ච මේ සෙපරේෂන් කියන චිත්‍රපටය මට පුදුම විදියට දැනිච්ච නිර්මාණයක්.

හරි ශමීර මෙච්චරම මේ චිත්‍රපටයට ආස හිතෙන්න නිර්මාණයේ තියෙන විශේෂත්වය මොකක්ද?
මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නෙ පර්සියානු භාෂාවෙන්. ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම විදේශීය චිත්‍රපටයට හිමි සම්මානය සෙපරේෂන් චිත්‍රපටයට හම්බවෙනවා. ගොල්ඩන් බෙයාර්, ගෝල්ඩන් ග්ලෝබ් ඇතුළු සම්මාන විශාල සංඛ්‍යාවකට මේ නිර්මාණය උරුමකම් කියනවා. ඉරානයේ ඉන්න සම්භාවනීය නළු නිළියන් රැසක්ම මේ සිනමා කෘතියට රංගනයෙන් දායකවෙලා තියෙනවා. මේ  නිර්මාණයේ අන්තර්ගතය මෙහෙමයි... 
ගුරුවරියක් වන සිමින් විදේශ ගතවෙන්න ඕන වෙනවා. මේ තීරණයට ඇගේ සැමියා වන නදර් කැමති වෙන්නෙ නෑ. ඒකට හේතුව තමා ඇයගේ පියා මොලේ ආශ්‍රිත ඇල්සයිමා කියන මානසික අාබාධයෙන් පෙළෙන නිසා. මේ ප්‍රශ්නය දුරදිග යනවා. අන්තිමට මේක ලොකු අවුලක් බවටත් පරිවර්තනය වෙනවා. කොච්චර දුරදිග යනවද කිව්වොත් දික්කසාද වෙන තැනටම කටයුතු යෙදෙනවා. අන්න එතනින් තමා මේ චිත්‍රපටය මුලින්ම පටන්ගන්නෙ....

මේ කාන්තාව සැමියාව අතඇරලා දාලා ගෙදරන් පිටවෙලා ජීවත්වෙනවා. තත්තා පෙළෙන මානසික රෝගය නිසා ඔහු නිතරම පාරේ ඔහේ ඇවිදගෙන යනවා.. ඔහුට එකතැනකට වී ඉන්න අපහසුයි. එයාගෙ වැඩකරලා දෙන්න එයා බලාගන්න හැම වෙලාවෙම කෙනෙක් ඉන්න ඕනෙ. ඒත් මේ පවුලේ අයට ආර්ථික ප්‍රශ්න  ගොඩක්  ‍තියෙනවා, ඔවුන් ගතකරන්නෙ නාගරික ජීවිතයක් මේ හේතු ඔක්කොම නිසා මෙයාට සිද්ධවෙනවා මෙහෙකාර කාන්තාවකගේ සේවය ලබාගන්න.
මෙහෙකාර කාන්තාව තමා උදේ කාලයේ මේ මානසික රෝගයෙන් පෙළෙන පියාව බලාගන්නෙ. මෙහෙකාර කාන්තාවටත් දරුවෙක් ඉන්නවා. ඇයත් වගකීම් බහුල කාන්තාවක්.  ඒ දරුවවත් මොන්ටිසොරි යවන්න ඕනෙ... එයාව එක්කගෙන එන්නත් ඕනෙ. එයාත් හරිම කාර්යබහුලයි. එක්තරා දවසක මේ මෙහෙකාර කාන්තාව අර තාත්තව ඇඳේ ගැටගහලා තියලා මොන්ටිසෝරියෙන් දුවව එක්කන් එන්න යනවා. 

අන්න ඒ වෙලාවෙ නදර්ගේ දුව ගෙදරට එනවා... එතකොට එයා දකිනවා තමන්ගේ සීයාව ඇඳේ ගැටගහලා දාලා... බිම ඇදවැටිලා ඉන්නවා. ඇය දැඩි කම්පනයකට පත්වෙනවා. ඇය මේ සිද්ධිය ඇගේ තාත්තට කියනවා. තාත්තා වන නදර් මෙහෙකාර කාන්තාවගෙන් ප්‍රශ්නය කරනවා ඇයි ඔබ පියාව ඇඳේ ගැටගහලා ගෙදරින් පිටවුණේ කියලා. ඒ වෙලාවේ නදර්ට හොඳටම කේන්ති ගිහින් අර මෙහෙකාර ගෑනු කෙනාව ගෙදරින් එළියට තල්ලුකරලා දානවා. ඇය පඩිපෙල දිගේ බිම ඇදවැටෙනවා. ඒ වෙනකොටත් මෙහෙකාර කාන්තාව ගැබ්ගත් කෙනෙක්. ඇගේ කුසේ ඉන්න දරුවා කුස තුළම මියයනවා. 

ඊටපස්සෙ මිනීමැරැම් චෝදනාවට ශරියා නීතියට අනුව නඩුවක් විභාග කෙරෙනවා. ශරියා නීතිය අනුව කෙනෙකුගේ ප්‍රාණය අහිමි කිරීම මරණ දඬුවම හිමිවෙන වරදක්.  මේ සියලු ප්‍රශ්න දුරදිග ගිහින් ඉතාම සංකීර්ණ තැනකට මේ අධ්‍යක්ෂකවරයා ප්‍රේක්ෂකයාව අරගෙන එනවා. මොහොතින් මොහොත කුතුහලයක් සහ කම්පනයන් ඇතිකරමින් චිත්‍රපටය තුළම අපිව රඳවාගන්නවා. මේ චිත්‍රපට බලන කොයිම වෙලාවකවත් හිතෙන්නෙ නෑ මේක චිත්‍රපටයක් කියලා. ඒ තරම්ම අපූරුවට නළු නිළියන් රංගනයේ යෙදෙනවා ඇත්තම සිද්ධියකට මුහුණදෙනවා කියලා තමයි මට නම් හිතුණේ. ජීවිතයේ තියෙන අතිශය සියුම් තැන්, හැලහැප්පීම් මෙච්චර අපූරුවට කතාකරපු වෙනත් නිර්මාණයක් මට මෑතකදී හම්බවෙලා නැති තරම්. 

මේ චිත්‍රපටයේ නරඹද්දී ඔබට සමීපම වෙච්ච චරිතයක් එහෙම ඇති නේද?
මේ චිත්‍රපටයේ එක චරිතයක් කියලා තෝරගන්න හරිම අමාරුයි. හැම චරිතයක්ම හරිම විශිෂ්ඨයි. ඒ අතරින් මගේ අවධානය වැඩියෙන්ම දිනාගත්තේ ප්‍රධාන චරිතයක් වෙන නදර් කියන ස්වාමි පුරුෂයාගේ චරිතයට. ඒ චරිතය හරිම සංකීර්ණ චරිතයක්..  එයාට පුදුම ප්‍රශ්න රාශියකට මුහුණපාන්න සිද්ධවෙන්නෙ. Peyman Moaadi කියන නළුවා තමයි නදර්ගේ චරිතයට පණ පොවන්නේ හරිම සියුම් විදියට ඔහු ඒ කාර්යය ඉටුකරනවා. 


සමීරව කම්පනය කරපු අවස්ථා මේ චිත්‍රපටය පුරා ගොඩක් ඇති නේද... එකක් දෙකක් මතක් කරමුද?
මේ චිත්‍රපටයේ ගොඩක් තැන් එහෙම තමයි. එක දර්ශනයක් තියෙනවා උසාවියක. නදර්ගේ සහ ඔහුගේ බිරිඳගේ දික්කසාද නඩුව විභාකරන මොහොත. නඩුකාරවරයා මේ දෙදෙනාගේ දුවගෙන් අහනවා ඔයාට ඕනෙ අම්මාද තාත්තාද කියලා.. මේ ගෑනු දරුවා ගොඩක් සමීප තාත්තාට... ගොඩක් දුවල එහෙමනේ. ඒත් මේ දරුවා නඩුකාරවරයාට කියනවා... මට මේ දෙන්නම ඕනෙ කියලා. ප්‍රේක්ෂක අපිත් අසරණ වෙන මොහොතක් තමා ඒක... මානව සම්බන්ධතා ගැන විශිෂ්ඨ විදියට නිරූපණය වෙනවා. මේ චිත්‍රපටයේ හැම රූපරාමුවක්ම හැම තත්පරයක්ම මට විශේෂයි. 
කොහොමද මේ නිර්මාණය මුලින්ම ඔබේ ඇස ගැටුණේ....

මම මේක මුලින්ම දකින්නෙ විදේශීය සිනමා උළෙලකදී. මට මේ චිත්‍රපටයේ රඟපාන නළු නිළියන් පවා එදා සජීවීව දැකගන්න කතබහ කරන්නත් අවස්ථාව ලැබුණා. 
මෙච්චර ආසකරන නිර්මාණය කී පාරක් ඔබ නැරඹුවද?
දෙපාරක් තුන්පාරක් මම මේක බලලා තියෙනවා.. 

මේ වගේ චිත්‍රපට තුළින් අපේ සමාජයට මොනවගේ දෙයක්ද ගන්න පුළුවන්...?
මේ අපි හැමෝටම බලපාන ප්‍රශ්න තමා කතාකරල තියෙන්නෙ. නාගරීකකරණයත් එක්ක ධනවාදී ආර්ථිකය ඇතුළේ හැමෝගෙම ජීවිතවලට බලපාන කාරණා තමා මේ චිත්‍රපටයෙන් කතා කරන්නෙ. උදාහරණයට ගමුකො අපි කොළඹ නගරයට උදේ වැඩට ගිහින් හවස ගෙදර එන මිනිස්සුන්ගේ ජීවිත ඇතුළේ කරන්න ඕන යුතුකම් වගකීම් කොච්චර මඟඇරිලද අපිට අහිමිවෙලාද? ඒ ඔස්සේ සමහර පුංචි පුංචි දේවල්  ඉතා සංකීර්ණ ප්‍රශ්න බවට පත්වෙලා. රස්සාවට යන අයට තමන්ගේ දරුවන් දාලා යන්න විදියක් නෑ. වයස්ගත මවුපියන්ව ගෙදර දාලා යන්න විදියක් නෑ. ඒ අයට සලකන්න විදියක් නෑ. රස්සාවට නොගියොත් ජීවත්වෙන්න විදියක් නෑ. ඒ වගේ දේවල් නිසා මිනිසුන්ගේ ජීවිත අසීරු අඩියට වැටිලා තියෙනවා. ඒවගේ ප්‍රශ්න සියුම්ව දකින්න පුළුවන් මානයක් තමා අපිට මේ චිත්‍රපටය හරහා දිගහැරෙන්නේ.

සමීරට මේ චිත්‍රපටය අවසානයේ මොනවගේ හැඟීමක්ද දැණුනේ..?
චිත්‍රපටයේ අවසානයේ එක්තරා මැද තැනක අපිව නතර කරනවා. අපිට තව කෙනෙකු නැතුව ජීවිතේ ගෙනියන්න කොච්චර අසීරුයිද කියන එක තමයි මට හිතුණේ. අර දරුවගෙන් අහනවා අම්මාද තාත්තා ඕනෙ කියාලා? අපි හැමෝටම හැමෝවම ඕනෙ. අම්මා, තාත්තා, දරුවන් ගැන සමාජයේ ඉන්න හැමෝම ගැන මීට වඩා වගකීමෙන්  සහ අවධානයෙන් ඉන්න ඕනෙ කියලා තමයි මට හිතෙන්නෙ.....
කතාව ඉවර වුණාට කතාව ඉවර නෑ.... මම හිතන්නෙ එහෙම.....