සංගීතය සභාවපූර්ණ දිව්‍යමය දායාදයක් හැඟීමක්... ඒ හැඟීමම ජීවිතය කරගත්ත පුද්ගලයෙක් දැන් මගේ ඉදිරියේ...
නවරත්න ගමගේ...
මේ දවස්වල ජීවිතය ගෙවන විදිය ගැන අහලා ඉමු නේද?
පහුගිය දවස්වල ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ අලුත්ම චිත්‍රපටයට සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වුණා. ඊටපස්සේ නවක චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන හර්ෂණ වික්‍රමසිංහගේ චිත්‍රපටයකට සංගීත අධ්‍යක්ෂණයෙන් එකතු වුණා. ජයලත් මනෝරත්නයන්ගේ වනලැහැබ නාට්‍යයට සංගීතයෙන් දායකවුණේ මම. ඒ වැඩකටයුතුවල නිරත වෙලා ඉන්නකොට තමයි එතුමාට අපෙන් සමුගන්න සිද්ධ වුණේ. නාට්‍ය පැත්තෙන් ඒවා තමයි... ඊට අමතරව සරල ගී නිර්මාණ කටයුතුවල නිරතවෙලා ඉන්නවා. පනාමුරේ කුංචනාද කියන මගේ නිර්මාණය මේ දවස්වල සැලසුම් කරගෙන යනවා...
ඒවා තමයි නවරත්න ගමගේ මේ දවස්වල කරන වැඩ...
හරි... මම මෙහෙම ඇහුවොත්, නවරත්න ගමගේව ප්‍රකම්පනය කළ, ආස්වාදයෙන් වෙනම ලෝකයකට අරන් ගිය කලා නිර්මාණයක් ගැන කියන්න කියලා... ඔබ මොන නිර්මාණයද තෝරගන්නෙ... හැබැයි කොන්දේසියක් තියෙනවා... ඒ නිර්මාණය ගීතයක් වෙන්න බෑ... එකඟද?
මිනිත්තු කීපයක නිහැඬියාවකින් පසුව.....
හරි අපි පටන් ගමු... ඒ තමයි ඔහුගේ කෙලින් උත්තරේ.
මෙහෙමයි... මගේ හදවතට තදින් දැනුණු... මාව සංවේදී කරපු නිර්මාණ රාශියක්ම මගේ මතකයේ තියෙනවා. ඒ අතරින් මම කැමති සත්සමුදුර කියන චිත්‍රපටය ගැන කතා කරන්න. ඒකට හේතු කිහිපයක්ම තියෙනවා. මම මේ චිත්‍රපටය බැලුවේ මගේ කුඩා අවදියේ. චිත්‍රපට නැරඹුවට පස්සේ මට ගොඩක් මේ චිත්‍රපයට දැනෙන්න ගත්තා. ඒ අතරින් චිත්‍රපටයේ රූපරාමු සහ සංගීතය විශේෂයි. එක්දහස් නමසිය හැටහතේ තමයි සිරි ගුණසිංහයන් සත්සමුදුර අධ්‍යක්ෂණය කළේ. සංගීතය අධ්‍යක්ෂණය කළේ සෝමදාස ඇල්විටිගලයන් විසින්. මේ දෙදෙනාම නාට්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ දැවැන්තයන් වූ අය. තවත් වැදගත්ම කාරණයක් තමයි ජාත්‍යන්තර ප්‍රමිතියේ ලෝකයේ අපි අගය කරන, අපි රසවිඳින නාද රටා සංගීතය සමඟ මේ චිත්‍රපටයට මුසුකරලා තියෙනවා. මට තාමත් හිතාගන්න බැරි මෙච්චර ලස්සන සංගීතයක් ඇල්විටිගලයන් කොහොමද නිර්මාණය කළේ කියලා. දැන් කාලේ වාගේ ලොකු තාක්ෂණයක් ඒ කාලේ තිබුණේ නෑනෙ. නමුත් ඒ සංගීතය හරිම තාත්ත්විකයි... ස්වභාවිකයි... තව කාරණයක් තමයි මේ චිත්‍රපටයට හැම ක්ෂේත්‍රයකින්ම සම්බන්ධ වුයේ විශිෂ්ඨයන්. ගීත පැත්තෙන් මහගමසේකරයන් ගත්තත් පණ්ඩිත් අමරදේවයන් ගත්තත් එහෙමයි. ඒ වගේම සහාය අධ්‍යක්ෂණය කරන්නෙ වසන්ත ඔබේසේකර. රංගන ශිල්පීන් වුණත් එහෙමමයි. සිරිල් වික්‍රමගේ, දෙනවක හාමිනේ වගේ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පීන් මේ නිර්මාණයට සෘජුව දායකවෙනවා... වේදිකාවට කොටුවෙලා තිබුණු චරිත සහ කටහඬවල් ඇල්විටිගලයන් ප්‍රථම වතාවට සිනමාවට අරගෙන එනවා... වේදිකාව හරහා ලබාගත්ත පන්නරය, ඥානය බොහෝදුරට උපයෝගී වෙන්න ඇති සත්සමුදුර චිත්‍රපටය අති දැවැන්ත චිත්‍රපටයක් බවට පරිවර්තනය වෙන්න. බලන්නකො.... සුමුදු සුදු මුදු තලාවේ... ගීතය ඉතා විශිෂ්ඨ නිර්මාණයක්නෙ... මම කලිනුත් කිව්වා වාගේ වර්තමානයේ තාක්ෂණය කොච්චර දියුණුද...? නමුත් අද වෙනතුරු අපිට එවැනි ගීතයක් තාමත් නිර්මාණය කරගන්න බැරිවෙලා තියෙනවා... හැබැයි... ප්‍රේමසිරි කේමදාසයන් සෑහෙන දුරට එවැනි සංගීතයන් නිර්මාණ කළා...
මේ නිර්මාණයට වස්තුවිෂය වෙන්නෙ දකුණේ ධීවර ජනජීවිතය... දකුණු මුහුද ආශ්‍රිත මිනිස්සු බොහෝදෙනෙක් බඩවියත සොයාගන්නෙ මුහුදු ගිහිල්ලනේ. ඒ ගමනේ තියෙන අතිශය බිහිසුණු බව, ඒ ඇතුළේ තියෙන මානුෂික මෙන්ම අමානුෂික ගතිපැවතුම්, ආර්ථිකමය කාරණා සහ සංස්කෘතික සංසිද්ධි සියුම්ව කැමරා කාචයට හසුකරගන්න සිරි ගුණසිංහ සමත් වෙනවා... මේ සියලු සංසිද්ධි එක් කතාවක් ලෙස අපූරැවට කැටි කරලා ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරනවා... මම මේ චිත්‍රපටය මුලින් බලද්දි ලැබුණු ඒ අපූරු හැඟීමම පසුකාලීනව මේ චිත්‍රපටය බලද්දී මට දැනෙන්න ගන්නවා... ඒක හරි පුදුමාකාර හැඟීමක්... අපි කොච්චර වයසට ගියත් ඒ රසය පොඩ්ඩක්වත් අඩුවෙලා නෑ. වේදිකාවේ ගත්ත පන්නරය තමයි මේ චිත්‍රපටය ඉහළ තැනට උසවලා තබන්න හේතු වුණේ කියන එකයි මගේ මූලිකම අදහස...
මෙච්චරම ඔබ ආසකරන චිත්‍රපටයේ ඔබේ හදවතට කා වැදුණ ඔබ කැමතිම චරිතයක් එහෙම ඇති නේද?
ඔව්... මම ගොඩක්ම කැමති දෙනවක හාමිනේගේ විශිෂ්ට රංගනයට... ඇය හැරි පුදුමාකර රංගන ශිල්පිනියක්... අතිශය සියුම් හැඟීම් ඇගේ මුහුණේ ඉරියව්වලින් ඇය ප්‍රකාශ කරනවා. ඒ දේට මම ගොඩක් කැමතියි... අපේ නැන්දා කෙනෙකුත් හිටියා මේ වගේමයි. සමහරවිට ඒකත් හේතුවක් වෙන්න ඇති ඇයගේ රංගනය මට කිට්ටු වෙන්න. ඒත් එක්කම කියන්න ඕන සිරිල් වික්‍රමගේත් ඊට නොදෙවෙනි විදියට රංගනයේ යෙදෙනවා. මේ චරිත දෙක තමයි මගේ හදවතට තදින්ම දැණුනු චරිත දෙක...
මේ නිර්මාණය රසවිඳනකොට ඔබේ හදවත සංවේදී කරපු රෑපරාමු ඕනතරම් තියෙන්න ඇති... එකක් මතක් කරමුද?
ඔව් එහෙම දර්ශන ගොඩක් තිබුණා. ඒ අතරින් චිත්‍රපටයේ අවසාන භාගයේ තියෙන ලස්සන දර්ශනයක්... ඒ දර්ශනය නම් මගේ හිතට තදින් කාවැදුණා. මට තාමත් මැවිලා වගේ පේනවා... ඒ රෑපරාමුවේ තියෙන්නෙ දළ රළ පෙළ නැගෙද්දී සිරිල් වික්‍රමගේ මුහුදු යන දර්ශනයක්... වර්තමානයේ අපි මුහුණ දෙන්නෙත් එවැනිම සංසිද්ධියකට කියලයි මට හිතෙන්නෙ... ආර්ථිකය නැමැති දළ රළ පෙළ නැගෙද්දී අපිටත් සිද්ධවෙලා තියෙනවා ඊට මුහුණදීලා ජීවිතේ ගොඩදාගන්න. මේ ඛේදවාචකය අතීතයේ වගේම වර්තමානයට පොදුවෙලා. සංකේතාත්මකව අධ්‍යක්ෂකවරයා එයා නිරූපණය කරලා තියෙනවා.
තවත් දර්ශනයක් තිබෙනවා දෙනවක හාමිනේ මහා රාත්‍රියේ චිමිණි ලාම්පුවකුත් අත දරාගෙන, මහා වරැසාවක් මැද්දෙ තම පුත්‍රයා සොයමින් යන ගමන හරිම අනුවේදනීයයි. දැවැන්ත කළුගල් කුට්ටි මතින් වැටෙමින්, නැගිටිමින්, වැසි දියෙන් බේරෙන්න තම අත නළලට තියාගෙන, එක අතකින් චිමිණි ලාම්පුවත් උස්ස උස්ස, සැරින් සැරේ තෙත බරිත ඇඳිවතත් උස්ස උස්සා ඈ කළ අභිනයන් පුදුමාකාරයි.
නිර්මාණ ශිල්පියෙක් විදියට මේ නිර්මාණය තුළින් ඔබට ඔබේ ජීවිතයට මොන වගේ දෙයක්ද එකතු කරගන්න පුළුවන් වුණාද...?
ජීවන අත්දැකීම් කලාකෘතියක් හරහා ගොඩනගන්න ඕනෙ කොහොමද කියලා තමයි මම මුලින්ම ඉගෙන ගත්තේ. මෙවැනි නිර්මාණ නරඹද්දී දැනටත් මාව උද්දීපනය වෙනවා... සත්සමුදුර චිත්‍රපටය සිනමාව ඉගෙනගන්න කෙනෙකුට අත්පොතක්. මෙවැනි කෘති නැවත නැවත බලද්දී තව තවත් අපේ නිර්මාණ ශක්තිය වැඩිවෙනවා...
නවරත්න ගමගේට මේ චිත්‍රපටය මුලින්ම ඇසගැටෙන්නෙ කොහොමද?
මම මේ චිත්‍රපටය බලන්න ලැබෙන්නෙ කුඩා කාලේ. අපේ පුංචි අම්මා කෙනෙක් හිටියා ඇය තමයි මගේ චිත්‍රපට බැලීමේ රුචිකත්වය වැඩි කළේ. ඇයත් එකක් තමයි මම සිනමා ශාලාවට ගිහින් මේක බැලුවේ. මට මතක විදියට සත 55ක් දීලා තමයි අපි ගැලරියේ මේ චිත්‍රපටය බැලුවේ. දැනට පස් හය වතාවක් මම මේ චිත්‍රපටය බලලා තියෙනවා...
කතාවන් කතාවෙන්... අපි අන්තිම ප්‍රශ්නයට ආවා... මේ නිර්මාණය අවසානයේ ඔබට දැනුණු හැඟීම වචනවලට පෙරළමුද?
මට ඇත්තට හිතුණේ ජීවිතය කියන්නෙ මොනතරම් ගැඹුරු දෙයක්ද කියන එක.. සාගරේටත් වඩා ජීවිත ගැඹුරුයි, විශාලයි... ඒක තමයි ඇත්ත... ඕනම කලාකෘතියක් ඇසුරු කිරීමෙන් සහ ඊට අනුගත වීමෙන් මම ලබන්නෙ අමුතුම හැඟීමක්... ඒක වචනවලට පෙරළන එක ලේසි නෑ...
► Text - Danushka Wijesiri / Pic - Sumudu