රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ කම්චට්කා අර්ධද්වීපය ආසන්නයේ බදාදා (ජූලි 30) එරට වේලාවෙන් රාත්‍රී 11:25 ට පමණ මැග්නිටියුඩ් 8.8 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුවිය. මෙම භූමිකම්පාව වෙරළ තීරයේ මීටර් හතරක් (අඩි 13) දක්වා ඉහළ ගිය සුනාමියක් ඇතිකළ අතර එමගින් ගොඩනැගිලිවලට හානි සිදු වූ අතර කලාපයේ සහ ජපානයේ නැගෙනහිර වෙරළ තීරයේ බොහෝ ප්‍රදේශවලින් ඉවත් වීමේ අනතුරු ඇඟවීම් නිකුත් කරන ලදී.
භූ කම්පනයෙන් පසු රුසියාව, ජපානය, පේරු, චීනය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ හවායි ඇතුළු ප්‍රදේශවලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණු අතර අවදානම් සහගත ප්‍රදේශවල ජීවත් වන පදිංචිකරුවන්ට වහාම එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙසට දැනුම් දී තිබුණි. රුසියාවේ කම්චට්කා අර්ධද්වීපය වෙත මීටර් 3-4 ත් අතර උස සුනාමි රළ පැමිණ ඇති අතර උතුරු ජපානයේ හොකයිඩෝ ප්‍රාන්තයට කඩා වැදුණු සෙන්ටිමීටර 30 (අඟල් 12) ක පළමු සුනාමි රළ හොක්කයිඩෝ හි නැගෙනහිර වෙරළ තීරයේ නෙමුරෝ නගරයට කඩා වැදුණි. අඩි පහක් උස සුනාමි රළ හවායි වෙත ළඟා වී තිබුණි. මෙයට පෙර සති දෙකක කාලය තුළ දකුණු ජපානයේ දූපත් සමූහයකට භූමිකම්පා 900 කට අධික සංඛ්‍යාවක් බලපා තිබුණි. එසේම පසුගිය දින 10 තුළ කම්චට්කා අර්ධද්වීපය ද භූමිකම්පා මාලාවකට මුහුණ දී ඇත. “ප්‍රබල පසුකම්පන” ඇතිවිය හැකි බවට දැන් අනතුරු අඟවා ඇත. මේ අතර රුසියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන RIA නොවොස්ටිට අනුව, යුරේසියාවේ උසම ගිනි කන්ද ද එදින පුපුරා ගොස් ඇත.