2025 අගෝස්තු 02 වන සෙනසුරාදා

මුස්ලිම් රටවලින් හමාස්ට තර්ජනයක්!

 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 72

කටාර්, සෞදි අරාබිය සහ ඊජිප්තුව ඇතුළු අරාබි සහ මුස්ලිම් රාජ්‍යය එකතුවක් ප්‍රථම වරට ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස හමාස් සංවිධානයට ආයුධ අත්හැර එහි බලය අත්හැරීමට කටයුතු කරන ලෙසට ඒකාබද්ධ ඉල්ලීමක් නිකුත් කර තිබේ.

මේ අනුව සාමාජිකයන් 22 දෙනකුගෙන් යුත් අරාබි සංගමය, සමස්ත යුරෝපීය සංගමය සහ තවත් රටවල් 17 ක් සෞදි අරාබිය සහ ප්‍රංශය සම-සත්කාරකත්වය දැරූ එක්සත් ජාතීන්ගේ සමුළුවකදී අත්සන් කරන ලද ප්‍රකාශයකට සහාය දැක්වීය. නිව්‌යෝර්ක් හි පැවති රැස්වීමේ අරමුණ වූයේ “පලස්තීනයේ ප්‍රශ්නය සාමකාමීව විසඳීම සහ ද්වි-රාජ්‍ය විසඳුම ක්‍රියාත්මක කිරීම” වන අතර, අත්සන් කළ අය ඊළඟට ගත යුතු යැයි සිතන පියවර ප්‍රකාශයේ දක්වා ඇත. 2023 ඔක්තෝබර් 7 වැනි දින හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ මාරාන්තික ප්‍රහාරය ද එම ප්‍රකාශයෙන් හෙළා දකින ලදී.

සෞදි අරාබිය ද්වි-රාජ්‍ය විසඳුම ගාසා හි නැවත ඇති කිරීම සඳහා නැවත නැවතත් බලපෑම් කර ඇත. සැප්තැම්බර් මාසයේදී පලස්තීන රාජ්‍යයක් පිළිගැනීමට ඡන්දය දෙන බව ප්‍රංශය පවසා ඇති අතර එය ඊශ්‍රායලයේ කලකිරීමට හේතු විය. ගාසා තීරයේ සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ නොවන්නේ නම් සැප්තැම්බර් මාසයේදී පලස්තීන රාජ්‍යයක් පිළිගන්නා බව එක්සත් රාජධානිය සහ කැනඩාව ද පසුගිය දා කීවේය. ගාසා හි සිදුවන අමානුෂික ජන සංහාරය මේ වන විට ලෝක සංවිධාන සහ රටවල විවේචනයට ලක්ව ඇත. ගාසා හි මේ වනවිට අධික කුසගින්න නිසා මිය යන පිරිස ඉහළ ගොස් ඇති අතර සාගත තත්ත්වයක් හටගෙන ඇති අතර මන්දපෝෂණය ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද පෙන්වා දී ඇත.