එංගලන්ත ජාතික තරග තීරක ක‍්‍රිස් බ්‍රෝඩ් මහතා පසුගිය සතියේ සෙනසුරාදා ප‍්‍රකාශයකට පත් කළ ‘කැකිල්ලේ’ තීන්දුව කැරළිකාර බංග්ලාදේශ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඉදිරියේදී ද විනය විරෝධීව හැසිරීමට ලබාදුන් බලපත‍්‍රයක් වැනිය. බංග්ලාදේශය සහ ශ‍්‍රී ලංකාව අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැති ‘නිදහස් කුසලාන’ විස්සයි20 තරගයේදී බංග්ලාදේශ පිලේ නායක ශකීබ් අල් හසන් ක‍්‍රීඩාගාරයේ වීදුරු දොර පොඩි පට්ටම් කිරීමට සහ විනිසුරුවන්ට තර්ජනය කිරීමට තරග තීරක ක‍්‍රිස් බ්‍රෝඩ්ගෙන් ලැබුණේ තරග මුදලින් 25%ක දඩයක සීනිබෝල දඬුවමකි. එම තරගයේ අතිරේක ක‍්‍රීඩකයකු වූ නුරුල් හසන් ප‍්‍රතිවාදී කණ්ඩායමේ නායක තිසර පෙරේරාට තර්ජනය කිරීමට ද ලැබුණේ තරග මුදලින් 25%ක දඩයක් පමණි.
තරගයේ අවසන් ඕවරයේදී විනිසුරුවන් නිපන්දුවක් නොදීම මෙම සිද්ධියට හේතු වූ අතර එහිදී බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් පන්දුවට පහර දෙමින් සිටි පිතිකරුවන්ට ක‍්‍රීඩාංගණයෙන් එළියට එන ලෙස දැනුම් දෙමින් විනිසුරුවන්ට තර්ජනය කළේය. බංග්ලාදේශ පිලේ ක‍්‍රීඩාගාරයේ වීදුරු දොර කුඩු කර තිබූ අතර එය ද ශකීබ් විසින් කරන ලද්දක් බවට චෝදනා එල්ල වී තිබුණි.
ක‍්‍රිස් බ්‍රෝඩ්ට අනුව විනිසුරුවන්ට සහ ප‍්‍රතිවාදී කණ්ඩායමේ නායකයාට තර්ජනය කිරීම මෙන්ම නායකයකු ක‍්‍රීඩාගාරයේ වීදුරු දොර කුඩු කිරීමට වඩා ඕවර සංඛ්‍යාව නියමිත වෙලාවට සම්පූර්ණ නොකිරීම බරපතළ වරදක් වී තිබීම පුදුමයකි. මෙම සිද්ධියට දින කීපයකට පෙර ක‍්‍රිස් බ්‍රෝඩ් විසින්ම ඕවර හතරක් යැවීම ප‍්‍රමාද කළේ යැයි ශ‍්‍රී ලංකා පිලේ නායක දිනේෂ් චන්දිමාල්ට තරග දෙකක තහනමක් සමගින් දඩයක් ද නියම කරන ලදී.
බංග්ලාදේශ පිලේ නායක ශකීබ් අල් හසන් විනය විරෝධී ක‍්‍රියාවලට නම් දැරූ ක‍්‍රීඩකයකි. ඔහු මීට පෙර ද විනය විරෝධී හැසීම් සම්බන්ධයෙන් දඬුවම් ලැබූවෙකි. තරගයක් අතරතුරදී ශකීබ්ගේ බිරිඳ සහ ප්‍රේක්‍ෂකයකු අතර ඇතිවූ ප‍්‍රශ්නයකට මැදිහත්වී ප්‍රේක්‍ෂකයාට පිත්තෙන් පහර දුන්නේ යැයි කියන සිද්ධියකට සහ තරගයක් අතරතුරදී රූපවාහිනී කැමරාව ඉදිරියේ අශෝභන ලෙස හැසිරුණේ යැයි කියන සිද්ධියකට ශකිබ් දඬුවම් ලැබීය. මෙවර ශකීබ්ගේ වරද වඩාත් බරපතළ වුවද ඊට පෙර වැරදිවලට වඩාත් අඩු දඬුවමක් ලැබීම ‘පනින රිලවුන්ට ඉනිමන් බඳිනවා’ වාගේ යැයි කිවහැකිය.
අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව ක‍්‍රීඩාවේ විනය පත්වාගෙන යාම සඳහා ක‍්‍රීඩකයන් සහ සහය කාර්ය මණ්ඩලයට බලපැවැත්වෙන පරිදි ආචාර ධර්ම පද්ධතියක් ක‍්‍රියාත්මක කරයි. අචාර ධර්ම පද්ධතියට අනුව වරදේ බරපතළතාවය මත 1,2,3 සහ 4 ලෙස වර්ග කර තිබේ. එහිදී විනිසුරුවන් ඉදිරිපත් කරන වාර්තාව අනුව තරග තීරකවරයා වරද පළමු වර්ගයේ ද, දෙවැනි වර්ගයේ ද, ලෙස වර්ග කරන බව පැවසේ. මෙම තත්ත්වයට හේතු වූ සිද්ධියේදී ශ‍්‍රී ලංකා විනිසුරැවන් දෙපලගේ දුර්වලතාව කැපී පෙනුණි. මෙහිදී විනිසුරුවන් තමන්ගේ දුර්වලතාව වසා ගැනීමට තරග තීරකවරයාට දුර්වල වාර්තාවක් ලබා දුන්නේ ද යන සැකය මතුවේ. ඒ අනුව ශකීබ්ට පළමු වර්ගයේ ද, නුරුල් හසන්ට දෙවැනි වර්ගයේ ද, චෝදනා එල්ල විය.
තවද ශකීබ් ක‍්‍රීඩාගාරයේ දොර හිතාමතාම විනාශ කළේ යන්න පිළිබඳව සාක්‍ෂි ඇතිව ඔප්පු කිරීමට එම ස්ථානයේ සී.සී.ටී.වී. දර්ශන ලබාගැනීමට නොහැකි විය. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසා තිබුණේ එම ස්ථානයේ කැමරා සවිකර නොතිබුණු බවයි. මෙම ක‍්‍රීඩකයන් දෙපළගේ හැසිරීම අනුව මීට වඩා දැනෙන දඬුවමක් ලබාදිය යුතුව තිබුණු බව ක‍්‍රිකට් ප‍්‍රවීණයෝ පවසති. ඉන්දීය හිටපු සුපිරි දඟපන්දු යවන ක‍්‍රීඩක හර්බජාන් සිං පවසා තිබුණේ මෙම දඬුවම කෙසේවත් ප‍්‍රමාණවත් නොවන බවයි.
එම අවස්ථාවේ ක‍්‍රීඩාංගණයේ විස්තර විචාරක අට්ටාලයේ සිටි ජාත්‍යන්තර විස්තර විචාරක රොෂාන් අබේසිංහ මහතාගෙන් ‘දේශය’ කළ විමසුමේදී පැවසුවේ මෙම දඬුවම කිසිසේත්ම ප‍්‍රමාණවත් නොවන බවයි.
ඒ මහතා වැඩි දුරටත් මෙසේ පැවසීය.
ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් හැටියට එවැනි සිද්ධි වෙන්න පුළුවන්. මෙම සිද්ධිය ඇති වූ අවස්ථාව වඩාත් උණුසුම් අවස්ථාවක්. එහිදී පළමු බවුන්සර් පන්දුව යැවූ අවස්ථාවේදී විනිසුරු පළමු බවුන්සර් පන්දුව යැයි සංඥා කළේ නෑ. ඉන්පසුව පන්දුවේදී ස්ක්වෙයාර්ලෙග් විනිසුරු නිපන්දුවක් හැටියට සංඥා කළත් පෙර පන්දුවේදී සිදුවූ අඩුපාඩුව නිසයි එම පන්දුව නිපන්දුවක් නොවුණේ.
මෙම නිපන්දුවේ ප‍්‍රශ්නය තමයි එහිදී වුණේ. තරගය ජය ලැබීමේ අරමුණින් කණ්ඩායම් දෙකම ආවේගශීලීව හැසිරුණා.
බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් හැසිරුණු ආකාරය අනුමත කරන්න බෑ. ඒ වගේ අතිරේක ක‍්‍රීඩකයා ප‍්‍රතිවාදී කණ්ඩායමේ නායකයා වූ තිසර පෙරේරාට තර්ජනය කළ ආකාරය තවත් බරපතළ තත්ත්වයක්.
මෙහි වඩාත් විහිළු සහගත දෙය බවට පත්වුණේ අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව පත්කළ තරග තීරකවරයාගේ දඬුවමයි.
දකුණු අප‍්‍රිකානු පිතිකරු ෆෆ් ඩූ ෆ්ලීසිස්ගේ ඇඳුමේ වෙනසක් තිබුණා කියා 50%ක් දඩ ගැහුවා. මුරලි විජේගේ පිත්තේ ස්ටිකරයක් වැඩි කියලා 25% ක් දඩ ගැහුවා. චන්දිමාල් ඕවර හතරක් ප‍්‍රමාද වුණා කියලා තරග දෙකක් තහනම් කරලා දඩ ගැහුවා. රාබාඩා ක‍්‍රීඩකයකුගේ ඇඟේ හැප්පුණා කියලා තරග දෙකක් තහනම් කළා. නමුත් විනය විරෝධීව හැසිරුණු බංග්ලාදේශ නායකයාට සහ අතිරේක ක‍්‍රීඩකයාට නියම වුණේ 25% ක දඩයක් විතරයි.
දඬුවම් තියෙන්නේ ප්‍රේක්‍ෂකයන් තුළ ක‍්‍රීඩාව පිළිබඳ සුබදායක හැඟීමක් ඇති කරන්නයි. මම පෙර කී සිද්ධිවලින් එහෙම දෙයක් වුණේ නෑ. නමුත් බංග්ලාදේශ ක‍්‍රීඩකයන්ගේ හැසිරීමෙන් මහත්වරුන්ගේ ක‍්‍රීඩාවට හානියක් වුණා. ඔවුන්ට සැළකිය යුතු දඬුවමක් ලැබුණේ නෑ.
තරග තීරකවරුන් තම අභිමතයට කටයුතු නොකළ යුතුයි. ඔවුන් සෑම ක‍්‍රීඩකයකුට සහ කණ්ඩායමකට සමානාත්මතාවයෙන් යුතුව කටයුතු කළ යුතුයි. නීතියට අනුකූලව දඬුවම් කළ යුතුයි යැයි අබේසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
► සටහන : යොහාන් භාසුර