2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

හම්බන්තොටටත් අධිවේගය

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 962

බලයට පත් වූ විවිධ රජයන් ලංකාවේ පවතින මාර්ග තදබදයට හා ගමනාගමනයේදී ගතවන කාලය අවම කරගැනීම කෙරෙහි පිළියම් ලෙස අධිවේගී මාර්ග පද්ධතියක් ඉදිකිරීම සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදීම යෝජනා ඉදිරිපත් කෙරුණු නමුත් එම සිහිනය සැබෑ කරගැනීමට අඩ සියවසකට ආසන්න කාලයක් ගත විය. පළමුවෙන්ම කොළඹ සිට කටුනායක දක්වා අධිවේගී මාර්ගයක් ඉදිකිරීම සඳහා කටයුතු ආරම්භ වූ නමුත් ඒ සඳහා පැන නැගුණු විවිධ ගැටලු හේතුවෙන් එම සිහිනය සැබෑ කරගැනීමට කල් ගතවිය.

විවිධ බාධක මධ්‍යයේ නමුත් ලංකාවට අධිවේගී මාර්ග සිහිනය සැබෑ කර ගැනීමට හැකිවූයේ මීට වසර කිහිපයකට පෙරදීය. ඒ කොට්ටාව සිට ගාල්ල දක්වා ඉදි වූ දක්ෂිණ අධිවේගී මාර්ගයයි. කොට්ටාව සිට ගාල්ල දක්වා පළමු අදියර යටතේ දක්ෂිණ අධිවේගී මාර්ගය ආරම්භ වීමත් සමග ලාංකික සැමගේ අධිවේගී මාර්ග සිහිනයද සැබෑවක් බවට පත්විය. ඒ විවිධ බාධක මධ්‍යයේ ආ ගමනකි. එලෙස ඉදි වූ දක්ෂිණ අධිවේගී මාර්ගය තවදුරටත් මාතර දක්වා පුළුල් කෙරුණේ විශාල පිරිසකට සෙත සලසමිණි. කොට්ටාව සිට මාතර දක්වා වූ අධිවේගී මාර්ගය ඉදිකිරීමට විශාල කාලයක්ද ගතවූයේ ලාංකික අපට අධිවේගී මාර්ග සංකල්පය නවමු අත්දැකීමක් වූ නිසාවෙන් විය යුතුය. කෙසේ නමුත් අද වනවිට ලංකාවාසීන්ට ද අධිවේගී මාර්ග සිහිනය යථාර්ථයක් බවට පත්ව තිබේ.

මෙලෙස ඉදිවූ දක්ෂිණ අධිවේගී මාර්ගය මාතරින් නැවතුණු අතර වත්මන් රජය යටතේ එය තවදුරටත් සංවර්ධනය කෙරුණේ හම්බන්තොට දක්වා එම මාර්ගය දිගු කරමිණි. මාතර සිට හම්බන්තොට දක්වා ඇති දුර ප්‍රමාණය කිලෝමීටර් 96කි. මෙම කොටස දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව ලෙසයි හඳුන්වන්නේ. දක්ෂිණ අධිවේගී මාර්ග දිගුවෙහිද වැඩ කටයුතු මේ වනවිට පවතින්නේ අවසන් අදියරේය. මෙම මාර්ගය ඉදිකිරීමේදී වත්මන් රජය ඒ පිළිබඳව වැඩි ප්‍රචාරයක් ලබා නොදුන් නමුත් එහි වැඩකටයුතු ලහි ලහියේ සිදුවෙන අයුරු දැකිය හැකිය. කොට්ටාව සිට මාතර දක්වා අධිවේගී මාර්ගය ඉදි වු කාල පරාසයටත් වඩා ඉතා අඩු කාල පරාසයක් තුළ දක්ෂිණ අධිවේගී මාර්ග දිගුවේ වැඩ කටයුතු සිදුවීමද විශේෂත්වයකි.

මාතර සිට හම්බන්තොට දක්වා වූ අධිවේගී මාර්ග දිගුවේ දිග කි.මී. 96කි. මෙහි ඉදිකිරීම් කටයුතු සිදුවන්නේ අදියර හතරක් යටතේය. එමෙන්ම මෙම අදියර හතරෙහිම කටයුතු එකවර ආරම්භ කිරීමද විශේෂත්වයකි. කිලෝමීටර් 30ක දුරකින් යුත් මාතර සිට බෙලිඅත්ත දක්වා වූ කොටස පළමු අදියර ලෙසත්, කිලෝමීටර් 26න් සමන්විත බෙලිඅත්ත සිට වැටිය දක්වා වූ කොටස දෙවන අදියර ලෙසත්, කිලෝමීටර් 15න් සමන්විත වැටිය සිට අන්දරවැව දක්වා වූ කොටස තුන්වන අදියර ලෙසයි. සිවුවැන්න ලෙස ඉදිවන්නේ මත්තල ගුවන් තොටුපොළේ සිට අතුරු අධිවේගී මාර්ගයක් ලෙස පැමිණ අන්දරවැවදී අධිවේගය හා සම්බන්ධ වී හම්බන්තොට දක්වා දිවෙන මාර්ගයයි. එහි මුළු දිග කිලෝමීටර් 25කි. මෙම මාර්ග පද්ධතිය ඉදිකිරීමේදී මුල්තැනක් ගන්නේ නිල්වලා නදියේ ජල ගැලීම් මඟින් පහත් බිම් ආරක්ෂා කර ගැනීමට මුල් තැනක් ලබා දී තිබීමයි. එමෙන්ම මාතර ප්‍රදේශයේ කිරළ කැලේ වනෝද්‍යානයට හානි නොවන ලෙසද මාර්ගය ඉදිකිරීමද තවත් විශේෂත්වයකි. එමෙන්ම දන්දෙණිය වන රක්ෂිතයට සිදුවන හානිය අවම කර තිබීම, මදුනාගල උණුවතුර ළිංවලට මේ මාර්ගයේ සැලැස්මෙන් කිසිදු හානියක් සිදු නොවීම හා එම මාර්ග පද්ධතිය නවීන පරිදි සංවර්ධනය කිරීම හා රිදියගම වනාන්තරයට මෙන්ම හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතයට කිසිදු  හානි නොවන සේ මාර්ගයේ ඉදිකිරිම් සිදුකිරීම මෙම ව්‍යාපෘතියේ විශේෂත්වයකි.

දක්ෂිණ අධිවේගී මාර්ග දිගුවේ ඉදිකිරීම් සම්බන්ධයෙන් අප කළ විමසීමේදී අපත් සමඟ අදහස් දැක් වූ මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ කේ.ඩබ්ලිව්. කණ්ඩම්බි මහතා මෙසේ පැවසයි.

අධිවේගී මාර්ග කියන එක අපේ රටට සිහිනයක් විතරක් වෙලා තිබුණා කාලාන්තරයක්. නමුත් මේ වනවිට එම සිහිනය සැබෑවෙලා තියෙනවා. මේ වනවිට මාතර සිට හම්බන්තොට දක්වා වූ දක්ෂිණ අධිවේගී මාර්ග දිගුවේ වැඩ කටයුතු පවතින්නේ අවසන් අදියරේයි. මෙහි ඉදිකිරීම් පිළිබදව වැඩි ප්‍රචාරයක් ලබා දුන්නේ නෑ. නමුත් එහි ඉදිකිරීම් වල කිසිදු ප්‍රමාදයක් වුණේ නෑ. ඉතා අඩුම කාල පරාසයක් තුළ ඉදි වු අධිවේගී මාර්ගය ලෙසයි මෙම කොටස හදුන්වන්න පුළුවන්. ඒ වගේම මේ මාර්ගය ඉදිකිරීමේදී විවිධ ගැටලු රැසක් ආවා. මහජනතාව මේ පිළිබදව හිටියේ වැරදි මතවලයි. නමුත් අද වන විට ඒවා දුරු කරගෙන මෙහි ඉදිකිරීම් සිදු කිරීමට හැකි වී තිබෙනවා.

ඇතැම් අය කිව්වා මේ නිසා පහත් බිම් යටවෙනවා. ජල ගැලීම් ඇති වෙනවා කියලා. එහෙම කිසිම දෙයක් වෙන්නේ නෑ කියලා වගකීමෙන් කියන්න පුළුවන්. කිලෝමීටර් 30ක් වූ 1 අදියරේ කිලෝමීටර් 10 ක් පමණම නිල්වලා ගඟේ බලපෑම සලකා මාර්ගය පාලම් මතින් ඉහළින් ගමන් කරන්නට කටයුතු යොදා තියෙනවා. වලවේ ගඟ සඳහාද මීටර් 600ක දිගු පාලමක්ද ඉදිකර තියෙනවා. මේ ව්‍යාපෘති හදන්නේ පූර්ව නිරීක්ෂණ වලින් පසුවයි.ඒ වගේම මේ මාර්ගය නිසා කිසිදු ගමකට යන අතුරු පාරකට හානියක් වෙන්නේ නෑ. ඒ විතරක් නෙමේ කිසිදු වනයකට කිසිදු වන සතෙකුට හානියක් වෙන්නේ නෑ. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ අධිවේගී මාර්ගය නිසා ඊට යාබද තියෙන සියලුම අතුරැ මාර්ගත් අපි මේ ව්‍යාපෘතිය හරහා සංවර්ධනය කෙරෙනවා. ඊට අමතරව වන අලින් සඳහා ඔවුන්ගේ සුපුරුදු මාර්ග කිසිවක් මේ ව්‍යාපෘතිය නිසා වැහිලා නෑ. වන අලි ගමන්කරන අලි මංකඩවල් තියෙනවා. ඒ අනුව වනජීවී දෙපාර්තමේන්තුවේ නිර්දේශ ඇතිව අලි මංකඩ පිහිටි ප්‍රදේශ හඳුනාගෙන ඒ ප්‍රදේශවල අධිවේගී මාර්ගය කණු උඩිනුයි ඉදිකරලා තියෙන්නේ. අධිවේගී මාර්ගය නිසා වන අලින්ට කිසිදු බාධාවක් වෙන්නේ නෑ. ඊට අමතරව ගොවිපොළ සතුන් සඳහා මෙන්ම හේන් ගොවිතැන් සඳහා යන එන ගොවින්ටත් මාර්ගය යටින් යාමට අවශ්‍ය (යටි බිම් මාර්ග - අන්ඩර් පාස්) ඉදිකරලා තියෙනවා. මාර්ගය හැකි උපරිම ලෙසින් පරිසර හානි අවම කරමිනුයි මෙම ව්‍යාපෘතිය සිදු කරන්නේ.

චීන සමාගම් මේ අධිවේගි මාර්ගය ඉදිකළාට එය සිදුවන්නේ මාර්ග සංවර්ධන අධිකාරියේ හා මහාමාර්ග මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ පුර්ණ අධීක්ෂණය යටතේයි. අමාත්‍යංශ ලේකම් ඩී.සී. දිසානායක හා මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි අදියර හතරෙම ව්‍යාපෘති අධ්‍යක්ෂවරුන් තිදෙනකුගේ පූර්ණ අධීක්ෂණය යටතේයි මේ ව්‍යාපෘතිය සිදුවන්නේ.
මාතර සිට හම්බන්තොට දක්වා එන මෙම අධිවේගී මාර්ගයේ අන්තර්හුවමාරු 09ක් තියෙනවා. මාතර ගොඩගම ප්‍රදේශයේ දැනට තියෙන පිටවීම් හා ඇතුළුවීමේ දොරටුවෙන් පසු පිළිවෙලින් අපරැක්ක, බෙලිඅත්ත, කසාගල, අගුණුකොළපෑලැස්ස, වැටිය, සූරියවැව, මත්තල හා හම්බන්තොට ලෙසයි. මෙහිදී මාතර සිට එන අධිවේගී මාර්ගය අන්දරවැවදී දෙකට බෙදෙනවා. අන්දරවැවදී තමයි මාර්ගය හම්බන්තොට දෙසටත් හා මත්තල දෙසටත් වෙන් වෙන්නේ. මෙම ස්ථානයෙන් කිසිදු වාහනයකට පිටවීමට හෝ ඇතුළු වීමට අවස්ථාවක් නෑ. අධිවේගී මාර්ගය හම්බන්තොටට හා මත්තලට බෙදෙන අන්දරවැව සිට මත්තලට දුර කිලෝමීටර් 06යි. හම්බන්තොටට ඇති දුර කිලෝමීටර් 14යි.
මෙම මුළු ව්‍යාපෘතිය සඳහා වියදම් වෙන සම්පූර්ණ මුදල රුපියල් බිලියන 241.9යි. එයින් 1 අදියර සඳහා රුපියල් බිලයන 103.3ක්ද ,2 අදියර සඳහා රුපියල් බිලියන 55.2ක්ද, 3 අදියර සඳහා රුපියල් බිලයන 31.5ක්ද, 4 අදියර සඳහා රුපියල් බිලියන 52.2ක්ද ලබා දී තිබෙනවා. ඒ සඳහා ණය ආධාර සපයනු ලබන්නේ චීන එක්සීම් බැංකුවයි. මේ වනවිට මෙහි වැඩකටයුතු සියයට 70ක් පමණ අවසන් වෙලයි තියෙන්නේ.

මෙම මාර්ගය නිසා රටේ සමස්ත ජනතාවටම විශාල සෙතක් අත් වෙනවා. විශේෂයෙන්ම ලංකාවේ ප්‍රධාන අගනගරය හා ඉතා කෙටිකලක් තුළදී සම්බන්ධ වීමේ හැකියාව මේ තුළින් තියෙනවා. වෙනදා හම්බන්තොට සිටින කෙනෙක් සිය අස්වනු අරගෙන හෝ වෙනත් කටයුත්තකට කොළඹට එනවා නම් ඒ සඳහා අඩුම පැය හයක් හෝ හතක් ගතවෙනවා. නමුත් අධිවේගී මාර්ගය නිසා හම්බන්තොට සිට කොළඹට යන්න ගතවන්නේ පැය දෙක හමාරක් හෝ 03ක වගේ කාලයකුයි. ඒ හරහා විශාල කාලයක් ඉතුරුවෙනවා.

එමෙන්ම මෙම අධිවේගී මාර්ගය නිසා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළත් කටුනායක ගුවන්තොටුපොළත් එකට යා වෙනවා. එමෙන්ම හම්බන්තොට මාගම්පුර වරායට එන සියලුදෙනාට ඉතා කෙටිකලකින් කොළඹට ළඟාවෙන්න පුළුවන්. එමෙන්ම ඉදිරියේදී හම්බන්තොට ඉදිවීමට යෝජිත කර්මාන්තපුරය සඳහාද මෙම අධිවේගී මාර්ගය ඉතා වාසිදායක වෙනවා. විශේෂයෙන්ම රටක යටිතල පහසුකම් සංවර්ධනය වුණොත් විතරයි ආයෝජකයන් පවා හම්බන්තොටට එන්න කැමති වෙන්නේ. ඒ වගේම අධිවේගී මාර්ගය නිසා කොළඹ වාහන තදබදයටත් විසඳුමක් ලැබෙනවා. මොකද මේ නිසා කොළඹ නගරයට ඇතුළුවෙන වාහන කොළඹ නගරයට නොගොස් පිටත අධිවේගී මාර්ගය හරහා තමන්ගේ ගමනාන්තය දක්වා යාමේ හැකියාවක් ඔවුන්ට තියෙනවා.

වැටිය සිට සූරියවැව දක්වා වූ කොටසේ වැඩ මේ වසර අවසානයේ අවසන් කෙරෙනවා. අන්දරවැව සිට හම්බන්තොට හා මත්තල දක්වා කොටස ලබන වසරේ පළමු කාර්තුව වනවිට අවසන් කිරීමට නියමිතයි. ඒ වගේම දකුණු අධිවේගී මාර්ග දිගුවේ සියලුම අදියර ලබන වසරේ දෙසැම්බර් වනවිට අවසන් වීමට තමයි නියමිත. විශේෂයෙන්ම මෙහි අදියර 03 හා 04 කොටස් ලබන වසරේ පළමු කාර්තුව වනවිට ජනතා අයිතියට පත් කිරීමට බලාපොරොත්තු වෙනවා. අදියර 1 හා 2 කොටස් 2019 දෙසැම්බර් වනවිට ජනතා අයිතියට පත් වෙනවා. ඒ අනුව 2019 වසරේ දෙසැම්බර් වනවිට දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව මාතර සිට හම්බන්තොට දක්වාත්, පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ තුන්වැනි අදියර කඩවත සිට කෙරවලපිටිය දක්වාත් සියලු වැඩ අවසන් වී මහජන අයිතියට පැවරෙනවා. ඒ අනුව 2019 වසරේ දෙසැම්බර් වන විට කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයත්, පිටත වටරවුම් අධිවේගී මාර්ගයත්, දක්ෂිණ අධිවේගී මාර්ගයත් හා දක්ෂිණ අධිවේගී මාර්ග දිගුවවත් එකිනෙක යා වෙනවා. ඊට අමතරව අන්තර් ජාතික මට්ටමේ තවත් සේවා ස්ථානයක් බෙලිඅත්ත ප්‍රදේශයේ ඉදිවෙනවා. එහි කටයුතුත් මීට සමගාමීව සිදු වෙනවා. ඒ වගේම මීට අමතරව තවත් රෙස්ට් ඒරියා (රියදුරන් සඳහා විවේක ස්ථාන) දෙකක් ඉදිකිරීම කෙරෙහිත් අවධානය යොමුවෙලා තියෙනවා යැයි පැවසීය.

►(සටහන හා සේයා රූ - සූරියවැව නුවන් ජයසේකර)