2018 ජුනි 02 වන සෙනසුරාදා

හරියට උණ බලන්නෙ කොහොමද?

 2018 ජුනි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 28682

මේ දිනවල දැඩි කතාබහකට ලක්ව ඇති මාතෘකාවකි උණ. උණ ගැන හැමෝම දැන උන්නත් ඒ ගැන නොදන්නා කාරණාත් බොහෝය. කොටින්ම හරියට උණ මැන ගන්නටත් අපේ බොහෝ දෙනා දන්නේද නැත.

කෙනෙකුගේ ශරීරයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 37 නැතිනම්  ෆැරන්හයිට් අංශක 98.6 දක්වා පවතින බව වෛද්‍ය විද්‍යාත්මක පිළිගැනීමයි. ශරීරයේ උෂ්ණත්වය සෙන්ට්‍රිග්‍රේඩ් අංශක 37ට හෝ ෆැරන්හයිට් අංශක 100 වැඩි වූ විට උණ සෑදී ඇතැයි කියයි. හරියටම කිවහොත් උණ සෑදී ඇතැයි සලකන්නෙ සෙන්ටිග්‍රේඩ් 38 හෝ ෆැරන්හයිට් 100.4 ට වැඩි  වූ විටය.  ශරීරයේ ක්‍රියාකාරීත්වය අනුව ශරීරයේ උෂ්ණත්වයේ සුළු වෙනසක් සිදුවීමට පුළුවන. ශරීරයේ ක්‍රියාකාරීත්වය අඩු නිසා උදේ පාන්දරම ශරීරයේ උෂ්ණත්වය අඩුය. ශරීරය වෙහෙසෙන විට හා හවස් වනවිට ශරීරයේ උෂ්ණත්වයද වැඩිය. ශරීරය වෙහෙසෙන විට හා හවස් වනවිට ශරීරයේ විවිධ කොටස්වල වුවද උෂ්ණත්වය සුළු වශයෙන් වෙනස් වන්නට හැකිය. 

උණ සම්බන්ධ වැදගත් කාරණාවක් තිබේ. එනම්, උණ වැඩිවන තරමට රෝගයත් භයානකය යන වැරදි වැටහීමයි. සමහර විට සෙම් ගෙඩි ආසාදනය වූවෙකුගේ උණ ෆැරන්හයිට් අංශක 105ට නැඟ තිබෙන විට ඊට වඩා භයානක රෝගයක් වන ලියුකේමියාවෙන් පෙළෙන දරුවකුගේ උණ එතරම් වැඩි වී නොතිබෙන්නට හැකිය. 

ෆැරන්හයිට් 101ට සටහන් වී ඇති දරුවන්ගේ නියුමෝනියාව, මොළයේ උණ අංශක 104 ලෙසට සටහන් වූ දරුවාට වඩා අසාධ්‍ය විය හැක. එබැවින් රෝගයේ බැරෑරුම්කම විනිශ්චය කිරීමට උණ හැරෙන්නට අනෙක් රෝග ලක්ෂණද පරීක්ෂා කිරීම අවශ්‍ය වේ.

හරියට  උණ බලන   හැටි  

කෙනෙකුගේ නළලට අත: පිට අත්ල තැබූවිට ඔහුගේ ශරීරයේ උෂ්ණත්වය වැඩි වී ඇත්නම් එය දැනගන්නට පුළුවනි. එහෙත් ශරීරයේ උෂ්ණත්වය මැන ගැනීමේ නිවැරුදි ක්‍රමය උණ කටුවක් හෙවත් උෂ්ණත්වමානයක් භාවිතා කිරීමයි.

උෂ්ණත්වමාන ප්‍රධාන වශයෙන් වර්ග තුනකි.

01. රසදිය උෂ්ණත්වමානය
02. අංක වැටෙන ඉලෙක්ට්‍රොනික් උෂ්ණත්වමානය
03. උෂ්ණත්වය අනුව පාට වෙනස් වන නළලේ අලවන පටියක් බඳු උෂ්ණත්වමානය

රසදිය උෂ්ණත්වමානය

අප රටේ වැඩිපුර භාවිතා කරන ඒ වගේම ඉතාමත් නිවැරැදිව උෂ්ණත්වය සටහන් කරගත හැකි උෂ්ණතත්වමානය නම් රසදිය උෂ්ණත්වමානයයි. අවුරුදු  එකහමාරට අඩු දරුවන්ගේ උෂ්ණත්වය මැනීමට උෂ්ණත්වමානය ගුද මාර්ගයට ඇතුළත් කළ හැකිය.  දරුවාගේ වයස අවුරුදු  එකහාමාරේ සිට අවුරුදු 6 දක්වා උෂ්ණත්වමානය කිහිල්ලේ තබා උෂ්ණත්වය සටහන් කළ හැක. ඊටපසු දරුවාට දැනුම් තේරැම් ඇති බැවින් උෂ්ණත්වමානය දිව යට තබා උෂ්ණත්වය මැණිය හැකිය.

උෂ්ණත්වමානය නිවැරුදිව භාවිතා කරන අයුරු

• උණ බැලීමට ප්‍රථම එහි ඉහළ කෙළවරින් අල්ලා රසදිය කඳ සෙන්ට්‍රිග්‍රේඩ් 35: ෆැරන්හයිට් 95 ලකුණට පහළට යන තුරු පහළට ගසන්න. 

• කුඩා දරුවකුගේ නම් ගුද මාර්ගයට උණ කටුව ඇතුල් කිරීමට පෙර තෙල් ටිකක් හෝ බේබි ක්‍රීම් ටිකක් රසදිය බල්බයේ ගල්වන්න. උෂ්ණත්වමානය ගුදය තුළට අඟලක් පමණ ඇතුළු කර විනාඩි 2 ක් පමණ තැබීමෙන් පසු උෂ්ණත්වය කියවන්න.

• ඔබ මුඛයෙන් උෂ්ණත්වය මනින්නේ නම් කට ඇර උණකටුව දිව යට තබා තොල්පට (දත් නොවේ) තදකර පියවන්නට උපදෙස් දෙන්න. උණකටුව මුඛයේ බහා විනාඩි දෙකකට පසු උෂ්ණත්වය සටහන් කරන්න.

• උණකටුව කිහිල්ලේ තබා ද ඔබට උෂ්ණත්වය මැනගත හැක. කිහිල්ල විවෘත වන පරිදි අත ඔසවා උණකටුවේ රසදිය බල්බය කිහිල්ලේ තබා විනාඩි දෙකකට පසු උණ වැඩි වී ඇත්දැයි බලන්න කිහිල්ලේ උෂ්ණත්වය ශරීරයේ උෂ්ණත්වයට වඩා සෙන්ට්‍රිග්‍රේඩ් අංශක දශම 6ක් හෝ ෆැරන්හයිට් අංශක 1ක් පමණ අඩු බව මතක තබාගන්න.

• දුව පැන සෙල්ලම් කර අවසාන වූ වහාම උෂ්ණත්වය මනින්න එපා. එය වැරදියි. දරුවාගේ කටේ උණකටුව තබා එහෙ මෙහෙ නොයන්න. 

• උණ බැලීමෙන් පසුව උණකටුව සබන් යොදා ඇල්වතුරෙන් සෝදා එහි කොපුවේ බහාලන්න. උණකටුව උණු වතුරේ දමන්න එපා. රසදිය කඳ ප්‍රසාරණය වී එය පුපුරා යා හැකි නිසාය.

මතකයට ගත යුතු වැදගත් කරුණු 

උණ, රෝගයක් නොවේ. ශරීරයට වැළඳී ඇති රෝගයක් නිසා ඇති වූ රෝග ලක්ෂණයක් පමණි. ශරීරයට ඇතුළු වූ රෝග කාරක විෂබීජයක් සමඟ ශරීරයේ ආරක්ෂක හමුදාවන් සටන් වදිනවිට ඇතිවන ප්‍රතිඵලයකි. එක අතකින් බලනවිට ඉහළ ගිය උෂ්ණත්වය ශරීරයට හිතකර ප්‍රතිඵලයකි. අනෙක් පැත්තෙන් ඔබට හෝ ඔබේ දරවාට රෝගය වැළඳී ඇති බවට කල්තියා කරන අනතුරැ ඇඟවීමක් ලෙසද එය සැලකිය හැකිය. රෝගයට කරන ප්‍රතිකාරයත් සමඟ උණ අඩුවන්නේ නැතිනම් එයින් කියන්නේ දෙන ඖෂධ (බොහෝ විට ප්‍රතිජීවක) රෝගකාරක විෂබීජය විනාශ කිරීමට සමත් නොවන බවයි. දවසේදී උණ වෙනස් වන රටාවද රෝගය (මැලේරියාව, උණසන්නිපාතය, ඩෙංගු ආදී වශයෙන්) නිසිපරිදි  තේරැම් ගැනීමට උදව් වේ. මේ නිසා උණ අපේ ජීවිත අනතුරුවලින් බේරාදෙන්නට කලින් එන පණිවුඩකාරයෙකි. 

  සුගත්