බණ්ඩාරගම තුන්බෝධිය පාලම ආසන්නයේ පසුගිය බ්‍රහස්පතින්දා සවස වෙඩි තැබීමක් සිදුවිය. මෝටර් රථයකින් ගමන්ගත් පුද්ගලයකුට යතුරුපැදියෙන් පැමිණි දෙදෙනකුගෙන් එක් අයකු ටී 56 ගිනි අවියකින් ඇඟ කුඩුවන්නට වෙඩි තබා තිබුණි. මෙලෙස ඇඟ කුඩුවන්නට යැයි පවසන්නේ සැබවින්ම ඒ ප්‍රහාරය නිසා මරණකරුගේ ශරීරය විනාශ වී තිබූ බැවිනි. ටී 56 ගිනි අවියක මැගසිනයක් ඉවරවන තෙක් සිදුකර ඇති මෙම වෙඩි තැබීමෙන් මියගියේ හිටපු බන්ධනාගාර නියාමකවරයකු වූ ලලිත් කෝදාගොඩ නමැත්තෙකි.
මෙම ප්‍රහාරය සිදුවූ සැණින් එය සිදුකළේ පානදුර සලිඳුගේ පාර්ශ්වය බවත්, මෙලෙස මියගියේ කංජිපානි ඉම්රාන්ගේ පාර්ශ්වයේ අයකු බවත් කතාව පැතිරී ගියේය. පුදුමය නම් ප්‍රහාරය එල්ල වූ සැණින් පාතාලය ගැන තොරතුරු හෙළිකරන ෆේස්බුක් පිටු පුරා කතාව ප්‍රචාරය වී තිබීමයි. කෙසේ වෙතත් ලියුම්කරු මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමේදී අනාවරණය වුණේ මෙය වසර හතකට පෙර සිදුවූ ප්‍රහාරයකට හේතුවක් සහ වර්තමාන පාතාල කල්ලි දෙකක් අතර සිදුවන ගැටුමක ප්‍රතිඵලයක් බවයි.
ඒ අනුව ඉතිහාසගත සිදුවීම වාර්තාව වන්නේ මාකඳුරේ මදූෂ් ජීවත්ව සිටි කාලයේ සිටය. ඇත්තම කීවොත් මදූෂ්ගේ කුඩා කල සිටය. අසූව දශකයේ අගභාගයේදී මදූෂ්ගේ මව භීෂණ සමයේ වෙඩි තබා ඝාතනය කිරීමත් සමඟ මදූෂ්ටත් මදූෂ්ගේ සහෝදරයාටත් මව වී සිටියේ මේ මියගිය ලලිත් කෝදාගොඩගේ මවයි. ඒ කෝදාගොඩගේ මවත් කඹුරුපිටියේ වීම හේතුවෙනි. කෙසේ වෙතත් ලලිත් සහ මදූෂ් සහෝදරයන් ලෙස ජීවත් වූ අතර කාලයත් සමඟ මදූෂ් අපරාධ ලෝකයටත්, ලලිත් බන්ධනාගාරයේ රාජකාරියටත් පිවිසුණහ. පසුව මදූෂ් මෙරටින් පැන ඩුබායිවලට ගිය අතර එසේ ගොස් කුඩු ජාලය මෙහෙයවමින් සිටියදී ඔහුට ප්‍රතිවිරුද්ධ කල්ලියක් ගොඩනැගෙමින් තිබුණේ හිතාගන්නවත් බැරි ලෙසටය. ඊට හේතුව වී තිබුණේ මදූෂ්ගේ ගිණුමට බැර වූ පළමු ඝාතනය වන ඩැනී හිත්තැටිය ඝාතනයේ යතුරුපැදිකරු වූ හර්ෂව වෙඩි තබා සමයං විසින් සිදුකළ ඝාතනයත් සමඟයි. මේ නිසා මදූෂ්ගේ ලොකුම හතුරා බවට පත් වූයේ මෙකී සමයං නමැත්තාය. එපමණක් නොව, මදූෂ්ගේ හොඳම මිත්‍රයා වූ අංගොඩ ලොක්කාට බන්ධනාගාරය තුළදී තර්ජනය කිරීම නිසාද මදූෂ් සිටියේ දැඩි වෛරයෙනි. මේ නිසාම සමයං ඝාතනය කරන සැලැසුම ක්‍රියාත්මක වී තිබුණේ මදූෂ්ගේ මෙහෙයුම මත බව කියැවේ.
ඒ අනුව 2017 පෙබරවාරි 27 දා මදූෂ්, සමයං ඝාතන කිරීමට සැලසුම් කළේය. එදින සමයං ඇතුළු පස්දෙනකු කළුතර බන්ධනාගාරයේ සිට කඩුවෙල තෙක් රැගෙන ඒම සිදුවූ දිනයකි. ඒ අනුව අංගොඩ ලොක්කා ඇතුළු කල්ලියක් විසින් කළුතර එතනමඩලේ දී බන්ධනාගාර බස් රථයට වෙඩි තබා සමයං ඇතුළු පස්දෙනෙක් ඝාතනය කරනු ලැබූහ. කෙසේ වෙතත් එම ඝාතන සිදුවීමෙන් පසුව අනාවරණය වුණේ මෙම ප්‍රහාරය සඳහා ඔත්තුව ලබාදුන්නේ එදා කළුතර බන්ධනාගාරයේ ප්‍රධාන ගේට්ටුව බාරව සිටි බන්ධනාගාර නියාමක වූ ලලිත් කෝදාගොඩ බවය. ලලිත් කෝදාගොඩ මෙම සිදුවීමත් සමඟ අත්අඩංගුවට පත් විය. කෙසේ වෙතත් පසු කලෙක ලලිත්, මදූෂ්ගේ මිත්‍රකම හරහා ඩුබායිවලට පැන ගියේය.
එහෙත් ලලිත්ට වැඩි කල් සිටීමට හැකිවූයේ නැත. 2019 වසරේදී මදූෂ්, කංජිපානි ඉම්රාන් ඇතුළු කණ්ඩායම සමඟ ලලිත් ද එරට පොලිසියට කොටුවිය. අවසානයේ සියලු දෙනා ශ්‍රී ලංකාවට පැමිණීමත් සමඟ කතාව සම්පූර්ණයෙන් වෙනස් විය. ඒ මදූෂ් ඝාතනය කිරීමත් සමඟිනි. එතැන් පටන් ලලිත්ලා ගනුදෙනු කළේ ඉම්රාන් සමඟ බව කියැවිණි.
කෙසේ වෙතත් පසුගිය කාලයේ ඉම්රාන්ලා සහ කොමාන්ඩෝ සලින්දලා අතර සබඳතාවයක් ගොඩනැගිණි. මේ නිසා පානදුර සලිඳු ඇතුළු කණ්ඩායම සිටියේ දැඩි වෛරයකිනි. ඒ කාලයක් මදූෂ් සමඟ එකම කණ්ඩායමේ සිටි කංජිපානි, සලිඳුට විරුද්ධ පාර්ශ්වයේ පිරිසක් වන කෙහෙල්බද්දර පද්මෙලා සමඟ සමීප වීම හේතුවෙනි. ඉම්රාන්ට ඇති බලය නිසා නිතර සලිඳුලාට අභියෝග කළ අතර, මේ නිසා සලිඳු සිටියේ කොයි මොහොතක හෝ ඉම්රාන්ට රිදෙන්න ප්‍රහාරයක් එල්ල කිරීමටය. ඒ අනුව සලිඳු විසින් මදූෂ්ගේ සමීපතමයකු වූ ලලිත් කෝදාගොඩ ඝාතනය කළේ මේ නිසා බව දැන් පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත. ඒ ඉම්රාන්ට රිදෙන්නටය.
මේ ප්‍රහාරය ලෙහෙසි පහසු ප්‍රහාරයක් නොවූ අතර, තවත් යුද්ධයක ආරම්භයක් බව බොහෝ දෙනා කතා කරන්නට වූහ. එනම් මදූෂ්ගේ කල්ලිය සහ සලිඳුගේ කල්ලිය අතර ගැටුම උග්‍ර වුවහොත් එය කිසිදු ආකාරයකින් නොනවතිනු ඇති බවය. ඊටත් වඩා දැන් නඳුන් චින්තක නොහොත් හරක් කටා රිමාන්ඩ් වී සිටියි. හරක් කටා යනු සලිඳුගේ මිත්‍රයාය. හරක් කටාව එක් වතාවක් අධිකරණ භූමිය තුළත්, එසේම බූස්ස බන්ධනාගාරය තුළත් ඝාතනය කිරීමට කෙහෙල්බද්දර පද්මෙලා සූදානම් වූ අතර, ඒ උත්සාහයන් සියල්ල අනාවරණය විය. ඒ නිසා යම් ආකාරයකින් හරක් කටා මෙම ගැටුමට මැදිහත් වුවහොත් තව තවත් ගැටුම උග්‍රවන බව බොහෝ දෙනාගේ අදහස විය. එහෙත් වසර දෙකක් සහ මාස පහක කාලයක් අපා දුක් විඳි හරක් කටා නැවත මේ රැල්ලට හේත්තු වේ යැයි අපි නොසිතමු. එහෙත් අහිංසකලා අංගුලිමාලලා කිරීමට පාතාලයන් දක්ෂ බව කිව යුතුය. අංගුලිමාලලාට අහිංසකයන් වන්නට පාතාලයෙන් කිසිම ඉඩක් නැත. එසේ වන්නේ නම් ඒ පරලොවදීය. ඒ නිසා ජීවිතේ රැකගන්න අවසානයේ අවි ඔසවන්නට සිදුවනු ඇත. ඒ අනුව ඉදිරියේදී හරක් කටාද මේ කල්ලි කණ්ඩායම් එවැනි තැනකට පත් කරයිද යන්න අපි නොදනිමු. එසේ වුවහොත් මේ ගින්න දෙගුණ තෙගුණ වනු ඇත.
• ගයාන් ගාල්ලගේ