හොඳඑක රස එක, හොඳඑක රස එක ගෙඩියක් විස්සයි ගෙඩි හය සීයයි... හොඳ එක රස එක හොඳ අඹ රස අඹ... කාල බලලා අරන් යන්න හොඳ පළතුරු රස පළතුරු... දුවට පුතාට නෝනට, දානෙට මඟුලට, කාල බලල අරන් යන්න...
බලු වැඩ කරන්න එපා මල්ලී.
ඇයි නෝනා මොකක්ද ප්‍රශ්නේ?
කෑ ගගහ විකුණනවා ඒත් කටේ තියන්න බැහැ මේ අඹ.
මේ නෝනා නිකන් වාචාල විදියට කෑ ගහන්න එපා. අපි බාල බඩු විකුණන්නේ නෑ.
බොරු කියන්න එපා මනුස්සයෝ දැන් ටිකකට කලින් මම මෙතනින් අඹ ගෙඩි ටික අරං ගියේ බලනවා මේවා කටේ තියන්න බැහැ හරිම ඇඹුලයි.
පිස්සු කථා කරන්න එපා නෝනා අපි ගේන්නේ සුපිරි බඩු... නෝනට ඕනනම් අපි කපලා දෙන්නම් අලුත් ගෙඩියක් කාලබලලා සල්ලි දීලා අරන් යන්න.
මොකටද මම ආයෙම සල්ලි දෙන්නේ මම මෙතනින්නේ බඩු ගෙනිච්චේ.
නෝනා ඔයා වෙන කොහෙන් හරි බඩු අරන් ඇවිත් මෙතන බොරුවට කෑගහන්න එපා.
තමුසෙලාට හොඳක් සිද්ධ වෙන්නේ නෑ. කරන බලු වැඩවලට සහගහනවා කන්න විකුණන දේවල්වලට මෙහෙම කරනකොට.
එසේ කියූ ඇය පදික වේදිකාවේ වෙළඳාම් කරමින් සිටි වෙළෙන්ඳාගේ මුහුණට අඹ පාර්සලය දමා ගසා එතැනින් පිට වූයේ වෙළෙන්ඳාගේ දෙමව්පියන් ඇතුළු මුතුන්මිත්තන් ද සිහිපත් කරමිනි.
කොළඹ පමණක් නොව රට පුරා නගරවල දක්නට ඇති මෙම පළතුරු වෙළෙඳුන් කරන මගෝඩි වැඩ පිළිබඳව සොයා බැලීමට ලියුම්කරු තීරණය මේ සිද්ධිය දැකීමෙනි.
කොන්දේසි කිහිපයක් දැමීමෙන් අනතුරුව පදිකවේදිකාවේ පළතුරු විකුණන අයෙක් එම පළතුරු විකිණීමට යොදන උප්පරවැට්ටි පිළිබඳව තොරතුරු කීමට කැමැත්ත පළ කළේය.
කොහෙන්ද මේ පළතුරු ගෙන්නේ?
ලංකාවේ හැමතැනින්ම අපිට බඩු එනවා වාරේ අවාරේ කියලා නෑ ඕනම කෑල්ලක් ඉල්ලුවම ඒවා ගෙනත් දෙන ඩයල් ඕන තරම් ඉන්නවා.
ඒ ගේන පළතුරු ද මෙහෙම විකුණන්නේ?
නැතුව ඉතින් ආයේ රටින් ගේනවා කියලද අපි.
එතකොට මේ මැලේසියන් රඹුටන් මැලේසියන් අඹ කියලා විකුණන්නෙත් මෙහේ බඩුමද?
නැතුව ලොක්කා ඔය හැමතැනින්ම ගේන බඩු තමයි අපි දෙන්නේ කලවමේ. අපිට දෙන බඩු තමයි අපි එහෙම දෙන්නේ.
එතකොට අර ලෑල්ලේ රහ බලන්න කියලා ගෙඩියක් කපලා තියනවනේ. ඒ වුණාට ලෑල්ලේ ඒවා අරගෙන ගිහින් කන්න ගත්තම ගොරක පරාදයිනේ?
මෙහෙමනේ මල්ලී ඔය ගේන බඩු ඔක්කොටෝම බෙහෙත් ගහනවා. හොඳ රහ ගහකින් ගෙනාපු බඩු තමයි ඒ විදියට තියෙන්නේ. ඒ ඔක්කොම කලවමේ තමයි දෙන්නේ. මේ තට්ටුවේම ඉඳලා අපි දන්නවනේ මල්ලී බඩු ගන්න එන ඩයල් කවුද කියන්න.
ඒ කිව්වේ?
මෙහෙමනේ මල්ලී අපි කවලමේ තමයි ඔය බඩු ගන්නේ තට්ටුවේ උඩින්ම දාන්නේ හොඳ බඩු ටික. ඒ අතර අතරින් පතර අනිත් ඒවා ටිකත් දානවා. කපලා බලලා කන්න දෙන්නේ හොඳ ගෙඩියෙන්. කොහොමත් හැමෝම එතන ඉඳලා කන්න නෙවෙයිනේ බඩු ගෙනියන්නේ මල්ලී.
ඒ කියන්නේ එකට තියලා වික්කට බඩු වර්ග දෙකක් තමයි තියෙන්නේ?
දෙක නෙවෙයි ඊට වඩා තියෙනවා. අනික ඔය රටින් බඩුගේන සෙට් එකකුත් ඉන්නවනේ. ඒ ඩයල් ඉතිං හොඳ බඩු විතරයි ගන්නේ. ඔය ටිකක් එහෙ මෙහෙ ඩැමේජ් වෙච්චා ගන්නේ නෑ. අපි ඉතින් ලයින් කරලා ඒවාත් ටිකක් අඩුවට ගන්නවා.
මොනවද එහෙම ගන්නේ?
අඹ, මිදි, ඇපල්, පෙයාර්ස් ඔය ඔක්කොම ටිකක් ඩැමේජ් වෙලා තියනවා නම් අපි ගන්නවා. අරගෙන ඩැමේජ් වෙච්ච පැත්ත යටට තියලා විකුණනවා. කොහොමත් කොයි වෙලාවෙත් අපි බඩුවලට වතුර පාරක් එහෙම ගහලා ෆ්‍රෙෂ් පිට තියන් ඉන්නවා. හොඳට පෙනුමට තියනකොට බඩු ටික සින් සින් ගාලා ගහලා දාන්න පුළුවන්නේ. ලොක්කා අනික තනි දවසෙන් මේ බඩු ඔක්කොම ගහන්න ඕනේ.
එහෙම බැරි වුණොත්?
එහෙම වුණොත් ඉතින් අර ඩැමේජ් වෙච්චා නරක් වෙන්න පුළුවන්.
එතකොට මොකද කරන්නේ?
එහෙම වුණොත් ඔය ජූස් බාර් එකකට හරි මොකකට හරි ලයින් එකක් ගහලා දෙනවා බඩු. අපි ගන්නවා වගේම තමයි බඩු දෙන්නත් කොච්චර අය ඉන්නවාද ලොක්කා.
පාරිභෝගික එකෙන් එහෙම අවුලක් වෙන්නේ නැහැද?
මෙහෙමනේ බොසා අපි බිස්නස් කරන්නේ තල්ලු කරන් යන්න පුළුවන් කරත්තෙකනේ. ඒ නිසා අද කරන තැන හෙට අපි තට්ටුව දාන්නේ නෑ. මේ බජාර් එකේ අපිට රන් කරන්න පුළුවන් කොච්චර පොට් තියනවාද? එහෙමනම් ලොක්කා අපි කැපෙන්නම්. ලොක්කා මේක පත්තරේ දැම්මම අපේ බිස්නස් ඩවුන් වෙන්න පුළුවන් ඒ වුණාට ලොක්කා අපි දන්නවා නාඩියට ගේම ගහන් යන්න...
මුළු රටපුරා කරක් ගසා සොයනා භාණ්ඩයක් මුළු රටේම සොයා ගැනීමට නොහැකි වුවද පිටකොටුවේ පැමිණ සුළු මොහොතක් යන විටදී ඕනෑම දෙයක් සොයා ගැනීමට පුළුවන. ඒ තරමටම ඉදිකට්ටේ සිට මහා මන්දිර තැනීමට තරම් අවශ්‍ය ඕනෑම දෙයක් කොටුවේ තිබේ. එමෙන්ම මිනිසුන්ගේ හිත දිනා ගන්නා ආකාරයට ජනතාව මුලාකොට තමන්ගේ වෙළෙඳාම කර ගැනීමට දැනුම ඔවුන්ට උපතින්ම ලැබී ඇති දෙයක් බව අමුතුවෙන් මතක් කළ යුතු නැත. කොටුවෙන් ගන්නා විට ඕනෑම දෙයක් පිළිබඳව විමසිල්ලෙන් තෝරා ගැනීමෙන් මේ කූඨ උපක්‍රමවලින් ගැලවීමේ අවස්ථාව පාරිභෝගිකයාට තිබෙන බවද කිව යුතුය.
හසිත් අංජන