තේ සහ ක්‍රිකට්වලින් පසු ජාත්‍යන්තරයේ අවධානය ශ්‍රී ලංකාව වෙත යොමු කරවන තවත් එක අංශයක් වන්නේ ශ්‍රී ලංකාවේ මැණික් සම්පතයි. පසුගියදා අපට අහන්නට ලැබුණේ මැණික් ගැන පෙරළියක් ඇතිකරවන ආරංචියකි. ඒ වර්ග කි.මී. 65610 ක් විශාල ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් සියයට 70 ක මැණික් නිධි පැතිර තිබෙන බවයි. එම ඇස්තමේන්තුව සකස් කර ඇත්තේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසිනි.
මෙතෙක් හඳුනාගෙන නැති මැණික් නිධි හඳුනා ගැනීම මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ අභ්‍යාස ආයතනය විසින් නව තාක්ෂණය භාවිතයෙන් ආරම්භ කර තිබේ. පසුගිය වසරේදී මෙම ව්‍යාපෘතිය යටතේ ඉංගිරිය, දෙහිඕවිට, අයගම සහ පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මූලික මැණික් සිතියම්ගත කිරීමට පියවර ගෙන තිබේ. ඇස්තමේන්තු කර තිබෙන මෙරට මැණික් නිධිවලින් සියයට 20 ක් මේ වනවිට ගවේෂණය කර තිබෙන අතර හඳුනාගෙන නැති මැණික් නිධි හඳුනා ගැනීම සඳහා නව තාක්ෂණය භාවිතයෙන් පර්‌යේෂණ සිදු කිරීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පියවර ගෙන ඇත.
මාතලේ, බදුල්ල, පොළොන්නරුව, මාතර, ගාල්ල, කළුතර, රත්නපුරය ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක භූගත මැණික් නිධි තිබෙන බව හඳුනාගෙන තිබෙන අතර පරිසරයට හානි නොවන ලෙස මැණික් කැණීම් සඳහා නිර්ණායක හඳුන්වා දී බලපත්‍ර නිකුත් කිරීම සිදු කෙරේ. කෙසේ වුවත් අනවසර මැණික් පතල් ද බොහෝ පෙදෙස්වල ක්‍රියාත්මක වන බව ප්‍රසිද්ධ රහසකි.
මේ මැණික් නිධි කතාවේ වැඩි විස්තර දැන ගැනීමට අප කතා කළේ මැණික් සහ ස්වර්ණාභරණ පර්‌යේෂණ සහ පුහුණු ආයතනයේ පර්‌යේෂණ අධ්‍යක්ෂ ආර්.එම්.එන්.පී.කේ. ජයසිංහටයි. ඔහු එවිට සඳහන් කළේ භූ විද්‍යා ගණනය කිරීම් අනුව ලංකාවේ භූමියෙන් සියයට 70 ක් මැණික් තිබෙන බව පෙන්නුම් කරන අතර ඉන් වාණිජ වශයෙන් වටිනා මැණික් හැමතැනම තිබේදැයි පැවසීමට අපහසු බවයි. “සමහර විට මැණික් ඛනිජ දූවිලි මට්ටමින් පවතිනවා වෙන්නත් පුළුවන්. එවිට මැණික් විදිහට අපට ලබාගන්න බෑ. නමුත් මෙරට භූමියෙන් සියයට 70 ක මැණික් පැවතීමේ විභවයක් පවතිනවා. මේ කාලයේ ලංකාවේ මැණික් පවතින ප්‍රදේශ ගැන නව තාක්ෂණය භාවිතයෙන් සිතියම්ගත කිරීමක් සිදුවෙනවා.තවම සම්පූර්ණ කර ඇත්තේ කොටසක් පමණයි. එය සම්පූර්ණ වූ විට මැණික් තිබෙන ප්‍රදේශ ගැන නිවැරදි දත්ත ලබාගැනීමට හැකි වේවි.” ඔහු වැඩිදුරටත් කීවේය.
මැණික් හා ස්වර්ණාභරණ සහ වටිනා ලෝහ හා ගල් ආශ්‍රිත කර්මාන්තය ශ්‍රී ලංකා ආර්ථිකයට ප්‍රධානතම දායකත්වයක් සපයන කර්මාන්තයක් ලෙස දැක්විය හැකි අතර ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳපොළ වෙත වටිනා ගල් වර්ග අපනයනය කරනු ලබන නවවැනි විශාලතම අපනයනකරු වේ. ලෝකයේ වටිනාම මැණික් සහිත රටවල් පහෙන් එකක් වන්නේ ද ලංකාවයි. ශ්‍රී ලංකාව අලංකාර මැණික් වර්ග අඛණ්ඩව ලෝක වෙළෙඳපොළට සපයන සැපයුම්කරුවෙකි. 2021 දී මැණික් සහ ස්වර්ණාභරණ අපනයන ආදායම ඇ. ඩොලර් මිලියන 265 ක් වූ අතර 2022 මහ බැංකු වාර්ෂික වාර්තාවට අනුව, ශ්‍රී ලංකාව, මැණික්, දියමන්ති සහ ස්වර්ණාභරණ අපනයනය මගින් හිමිකරගෙන ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 450 ක පසුගිය වසර 5 තුළ එවන් අපනයනයන්හි වාර්ෂික සාමාන්‍ය ඇමෙරිකානු ඩොලර් මිලියන 298 ක් විය. 2023 දී ඩො. මිලියන 315 ක් ඉන් උපයාගෙන තිබේ. 2024 වසරේදී ස්වර්ණාභරණ, දියමන්ති සහ මැණික් අපනයනයෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 355 ක ආදායමක් උපයාගෙන ඇත. 2025 දී මේ ආදායම ඩොලර් බිලියනයක් දක්වා වර්ධනය කර ගැනීම අරමුණු කරගෙන ඇතැයි ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය සඳහන් කළේ මේ වසර ආරම්භයේදීය. මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයේ නිරත වන සංඛ්‍යාව 650,000කි. අප රටේ මැණික් සහ ස්වර්ණාභරණ අපනයනකරුවන් 900 ක් පමණ සිටින අතර මැණික් කර්මාන්තයේ නිරත ලියාපදිංචි වෙළෙඳුන් සංඛ්‍යාව 3000 කි. ලියාපදිංචි නොවූ වෙළෙන්දෝ විශාල සංඛ්‍යාවක් ද ඊට අමතරව සිටිති.
වසර 2025/2029 ජාතික අපනයන සංවර්ධන සැලැස්මට අනුව ජාතික අපනයන ආදායම වැඩිකර ගැනීමේ ප්‍රධාන ක්ෂේත්‍රයක් ලෙස මැණික් හා ස්වර්ණාභරණ අපනයන ක්ෂේත්‍රය හඳුනාගෙන තිබේ. ඒ සඳහා ක්‍රියාමාර්ග රාශියක් ගෙන ඇති බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සඳහන් කර සිටී. තාක්ෂණික සිතියම් මගින් මැණික් ඇති තැන් හඳුනාගෙන මැණික් කැණීම් වර්ධනය කිරීම එහි එක් පියවරකි. නමුත් මේ කැණීම්වලදී පරිසරයට සිදුවන හානිය අවම කර ගැනීම ගැන ඒ සඳහා බලපත්‍ර ලබාදීමේදී සලකා බැලේ.
ඈත අතීතයේ පටන් ලක් පොළවෙන් මැණික් මතුවුණු නිසා අප රට රත්නභූමි යන නමින් අප රට හඳුන්වා ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන්ම මැණික් හමුවන දිස්ත්‍රික්කය රත්නපුරයයි. එයට ‘රත්නපුරය’ යන නම ලැබී තිබෙන්නේ ද බහුලවම මැණික් නිධි හමුවන නිසාය. රත්නපුරයට අමතරව මාතර, මාතලේ, පොළොන්නරුව, මොණරාගල, ගාල්ල, බදුල්ල, කළුතර වැනි දිස්ත්‍රික්කවලින්ද මැණික් ඉල්ලම් වේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, නිවිතිගල, පැල්මඩුල්ල, රක්‌වාන, කලවාන, ඇහැලියගොඩ, කිරිඇල්ල, බලංගොඩ ආදී පෙදෙස්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල, හත්තොට අමුණ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බකමූණ, ඇළහැර ප්‍රදේශවලත් මැණික් ගැරීම සිදුවේ. මාතර දිස්ත්‍රික්කයේ මැණික් ඉල්ලම් පිහිටා තිබෙන්නේ මොරවක, රිදියගම, දෙනියාය, අකුරැස්ස ප්‍රදේශවල වන අතර ගාල්ලේ හිනිදුම, මීටියාගොඩ මැණික්වලට ප්‍රකටය. කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, අගලවත්තත්, මොණරාගල දිස්ත්‍රික්කයේ ඔක්කම්පිටියත් බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගලත් මැණික් ගැරීම සිදුවේ. ඉදිරියේදී මේ කැණීම් තවදුරටත් තිරසර ලෙස ව්‍යාප්ත කිරීම මෙන්ම අනවසර මැණික් ගැරීමට වැට බැඳීමත් අත්‍යවශ්‍ය වේ.
ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික කර්මාන්තයක් ලෙස මැණික් කැණීම අනුරාධපුර යුගය දක්වා ඈතට ඇදී යයි. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නියාමන අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන සාම්ප්‍රදායික, පරිසර හිතකාමී සහ ආචාරධාර්මික පතල් ක්‍රම මගින් ජාත්‍යන්තර මැණික් කැණීම් ක්ෂේත්‍රයේ කැපීපෙනෙන සලකුණු තබා ඇති මැණික් ගල් හමුවී තිබේ.
ශ්‍රී ලංකාවේ බහුලව භාවිත වන මැණික් කැණීම් ක්‍රමය වන්නේ වළවල් හෙඩ් පතල් හා උමං මාර්ගයි. ප්ලේසර් පතල් කැණීම සහ ගංගා ඇද හෑරීම බහුලව භාවිත වන අනෙක් ක්‍රම වේ.
මැණික් කැණීම් වන නිරත ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය නීති රීති මාලාවක් හඳුන්වා දී ඇත.
මැදපෙරදිගට තෙල් වගේ ලංකාවේ වැඩි බිම් පෙදෙසක මැණික් ඇතැයි පැවසුණත් දැන් ලංකාවේ හැමතැනම හාරා මැණික් සෙවීම නිෂ්ඵලය. එහෙම මැණික් ලැබෙන්නේත් නැත. ඒ සඳහා මැණික් ඉල්ලම් ඇති ස්ථාන නවීන තාක්ෂණය මගින් නිශ්චිතව හඳුනාගෙන තිරසරව කැණීම් කළ යුතු වේ.
• කුසුම්සිරි විජයවර්ධන