ප්‍රභූ ආරක්ෂාව යනු ආරක්ෂක වාහන පිරිවරාගෙන පාරේ දකුණෙන් යාම යැයි වර්තමානයේ කෙනකුට සිතුණද එය ඇත්තෙන්ම සමාජයේ ආරක්ෂාව අත්‍යවශ්‍ය යැයි හැඟෙන බලවතුන් වෙනුවෙන් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ලබාදෙන විශේෂ වරප්‍රසාදයකි. වර්තමානය වන විට අපේ රටේ කිහිප දෙනකුට හැර අනෙක් හැමෝටම වගේ ප්‍රභූ ආරක්ෂාව ඇතැයි සිතෙයි. ඒ මන්ද යත් ඒ තරමට පඳුරකට ගැහුවොත් විසිවෙන තරමට ප්‍රභූන් සිටින නිසාය. දීර්ඝ කාලයක් නුවර පෙරහරේ දළදාව වැඩමවූ නැදුන්ගමුවේ රාජා පෙරහරට ගියේ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේය. එහෙත් පසුගිය කාලයේ අනුරාධපුරයේ ඥානක්කාත්, තිළිණි ප්‍රියමාලිටත් ප්‍රභූ ආරක්ෂාව ලැබී තිබුණු බව පසුකාලීනව හෙළි විය. ක්‍රිකට් ක්‍රීඩකයකුගේ පියාගේ නිවෙසකටත් ප්‍රභූ ආරක්ෂාව ලබාදුන් බව අනාවරණ විය.
පොලිස් නිලධාරීන් 7693 ක් ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදවා ඇතැයි අනාවරණය විය. ඒ අනාවරණය කළේ අන් කවුරුත් නොව මහජන ආරක්ෂක අමාත්‍යවරයාමය. මෙයින් ඇමැතිවරුන් සඳහා 563 ක්ද, මන්ත්‍රීවරුන් සඳහා 1800 ක්ද යොදවා සිටින බවත් හෙතෙම පැවසීය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් නොවන ප්‍රභූන් කාණ්ඩයට විශ්‍රාමික ජනාධිපතිවරුන්, හිටපු මැති ඇමැතිවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, ආණ්ඩුකාරවරුන්, හිටපු ආරක්ෂක ලේකම්, හිටපු මහ බැංකු අධිපති, විශ්‍රාමික පොලිස් නිලධාරීන්, තානාපතිවරුන්, විනිසුරුවරුන් සහ බස්නායක නිලමේවරුන් ඇතුළු කාණ්ඩ රුසක් අයත් වෙයි. ඔවුන් වෙනුවෙන් නිලධාරීන් දෙදහසක් පමණ යොදවා සිටින බවද එහිදී අනාවරණය විය. මෙහිදී ප්‍රභූ ආරක්ෂාව ලබා දීමේදී උපයෝගී කරගත් නිර්ණායක වූයේ ආරක්ෂාව සම්බන්ධයෙන් වූ බුද්ධි වාර්තා ද එසේත් නැතිනම් පාලක කැමැත්ත ද යන්න අපි නොදනිමු. ඒ කෙසේ වෙතත් මේ වන විට දැවැන්ත ප්‍රශ්නයකට පොලිසිය මුහුණ දී සිටී. එනම් නිලධාරී හිඟයයි. මෙම මාතෘකාව කාලයෙන් කාලයට මතුවන අතර මෙවරත් යළි කරළියට ආවේ කවර හේතුවක් නිසාදැයි අපි නොදනිමු.
ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් නොමැති ප්‍රභූවරුන්ට පොලිස් නිලධාරීන් 5000කට ආසන්න පිරිසක් කාලයක සිට යොදවා ඇතැයි තොරතුරු වාර්තා වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසුවේ මෑතකය. ඔහු පැවසූයේ ඒ සම්බන්ධයෙන් බුද්ධි අංශ වාර්තාවක් කැඳවා අනවශ්‍ය ආරක්ෂකයන් වහා ඉවත් කරන බවයි. ආරක්ෂාව පිළිබඳ තර්ජන නොමැති පිරිස්වලට ප්‍රභූ ආරක්ෂකයන් යෙදවීම හේතුවෙන් පොලිසියේ සාමාන්‍ය රාජකාරි කටයුතු සඳහා පොලිස් නිලධාරීන්ගේ බරපතළ හිඟයක් මතුව ඇති බවත් අමාත්‍යවරයා පැවසුවේය.
මෙසේ ආරක්ෂාව ලබා දෙන පුද්ගලයන් අතර හිටපු දේශපාලකයන්, හිටපු ආණ්ඩුකාරවරුන්, හිටපු මහ ඇමැතිවරුන්, දේශපාලක බිරින්දෑවරුන් සහ නිලමේවරුද සිටිති. මෙසේ ආරක්ෂාව සලසන නිලධාරීන්ට ආරක්ෂක රාජකාරිවලට අමතරව ප්‍රභූන්ගේ ගෙදර දොරේ කටයුතුවලටත් සම්බන්ධ වීමට සිදු වී ඇතැයිද තොරතුරු වාර්තා වී ඇතැයි කියයි. බොහෝ ප්‍රභූන් තමන්ට ආරක්ෂකයන් තබාගත්තේ සැබැවින්ම ආරක්ෂාවකට නොව සමාජ සංදර්ශනයකට වග මෙරට ජනතාව හොඳින් දනී. ඔවුන් සිය ආරක්ෂකයන් ලවා කරගත්තේ අලුතෙන් හදන ගෙදර ගඩොල් ඇදීම, බල්ලන් නෑවීම, දරුවන් පන්ති රැගෙන යාම, කුඩ ඇල්ලීම, මන්ත්‍රී බිරිඳ සුපර්මාකට් රැගෙන ගොස් බඩු මල්ල උස්සාගෙන පැමිණීම ආදී වැඩපොළය. එක්තරා උත්සවයකට පැමිණි ප්‍රභූවරයකුට එම උත්සවයේ තේ පැන් සංග්‍රහය අවස්ථාවේදී දොරකඩ සිටීමට අමතරව තමන් අනුභව කළ කෙසෙල් ගෙඩියේ ලෙල්ල ලබාදීමටත් ආරක්ෂකයෙක් සිටියේය.
එහෙත් මෙරට යුද්ධය ආරම්භ වන්නට පෙර කාලයේ සිටි ප්‍රභූ දේශපාලනඥයන්වත් අනවශ්‍ය ලෙස ආරක්ෂක රැකවලුන් පාවිච්චි කළේ නැත. රුකවලුන්ගේ රුස් වළල්ලට මුවාවන දේශපාලනඥයන්ට තමන්ගේ ගෞරවය හිමිනොවන බව ඔවුහු දැන සිටියහ. හිටපු ඇමැතිවරුන් වන ආචාර්ය විජයානන්ද දහනායක, ඩඩ්ලි සේනානායක වැනි මහත්වරුන්ට පෞද්ගලික ආරක්ෂකයන් සිටියේ දෙතුන් දෙනෙකි. ඔවුන් ජනතාව අතරට යනවිට කිසිදු ආරක්ෂක භටයකු රැගෙන ගියේ නැත. ඩඩ්ලි වගා සටන කරන්නට පොළොන්නරු ගියේද දහනායක, එම්.ඩී. බණ්ඩා, යූ.බී. වන්නිනායක වැනි ප්‍රබල ඇමැතිවරුන් ගමන් බිමන් ගියේද තනිවමය. ඔවුනට එදා අමුතුවෙන් විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය නොවීය. තමන්ගේ හොඳම ආරක්ෂකයෝ ජනතාව වූහ. මෙසේ ජනතාව ඉදිරියට ආරක්ෂකයන් පිරිවරා පැමිණෙන මහජන නියෝජිතයන්ගෙන් ඇති ඵලය කුමක්දැයි ජනතාවම ප්‍රශ්න කරන දවස වැඩි ඈතක නොවේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන 225න් 213 දෙනකුටම ප්‍රභූ ආරක්ෂාව සපයා දී ඇත. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනකු, දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් දෙදෙනකු හා ඇතුළු දොළොස් දෙනකු පමණක් ප්‍රභූ ආරක්ෂාව මෙතෙක් ගෙන නැත.
ප්‍රභූවරුන් 300කට පමණ මේ වන විට ඇමැති ආරක්ෂාව ලබා දී ඇති අතර එයට අමතරව වන්නිලැඇත්තන්ට පවා ප්‍රභූ ආරක්ෂාව ලබා දී ඇත. පාර්ලිමේන්තුවේ හිටපු මැති ඇමැතිවරුන් 30කට පමණ වසරකට වඩා කාලයක් තිස්සේ ප්‍රභූ ආරක්ෂාව ලබා දී තිබූ බව පසුගිය කාලයේ හෙළිවූයේ පාර්ලිමේන්තුවේ මහජන ආරක්ෂක අමාත්‍යංශ උපදේශක කාරක සභාවේදීය.
ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය, අගමැති ආරක්ෂක කොට්ඨාසය, ඇමැති ආරක්ෂක කොට්ඨාසය, මන්ත්‍රී ආරක්ෂක කොට්ඨාසය, රාජ්‍ය තාන්ත්‍රික ආරක්ෂක කොට්ඨාසය, විනිසුරු ආරක්ෂක කොට්ඨාසය පමණක් නොව හිටපු ජනපතිවරුන් වෙනුවෙන් වෙන වෙනම ආරක්ෂාව ලබාදීම සිදු කරයි. අධිකරණ විනිසුරුවන්ට පොලිස් ආරක්ෂාව දීමට විනිසුරු ආරක්ෂක කොට්ඨාසය නමින් වෙනම ඒකකයක් ආරම්භ කෙරුණේ කොළඹ මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය පාතාලේ වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් පසුවය. මහජන නියෝජිතයන් නොවන පුද්ගලයන්ගේ පොලිස් ආරක්ෂාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී හෙළිදරව් වූ තොරතුරු අනුව පොලිස්පති චක්‍රලේඛ 2323/2011 අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ, මහාධිකරණ (අපරාධ නඩු සම්බන්ධ) මහෙස්ත්‍රතාත් අධිකරණ (මහෙස්ත්‍රාත්/ අතිරේක මහෙස්ත්‍රාත්) ඇතුළු විනිසුරුවරුන්ටත්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්, නියෝජ්‍ය ලේකම්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන්ටත් ප්‍රභූ ආරක්ෂාව හිමිවෙයි. එසේම පොලිස්පති චක්‍රලේඛ 2531/2015 (II) අනුව පළාත් ආණ්ඩුකාරවරුන් සහ ආරක්ෂක තත්ත්ව වාර්තා අනුව ජීවිත තර්ජන ඇති බවට තහවුරු වන ප්‍රභූවරුන් සඳහා ආරක්ෂාව ලබා දෙයි. කෙසේ වෙතත් අවසාන වශයෙන් පැවසීමට ඇත්තේ මහජන මුදලින් නඩත්තු වන රාජ්‍ය සේවයේ රාජ්‍ය නිලධාරීන් නිකරුණේ විවිධ පුද්ගලයන්ගේ අතකොළු කර තැබීම වෙනුවට ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් මීට වඩා පුළුල්ව සොයා බලා අවශ්‍ය පිරිස පමණක් යෙදවීම අත්‍යවශ්‍ය බවය.
I සසංක චලන ගිම්හාන