දැන් වත්ත බද්දට දී ඇස්සට දත නියව නියවා සිටි කාලය අවසන්ය. මේ උදාවී ඇත්තේ වත්ත බද්දට දී ඇස්සටද බදු ගසන යුගයයි. 2024 ජනවාරි පළමු දින හෝ ඊට පසු වයස අවුරුදු 18ට එළඹෙන සියලු තැනැත්තන් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ බදු ලිපිගොනු විවෘත කළ යුතු බව මේ වනවිටත් ජනාධිපතිවරයා පවසා තිබේ.
මේ පිළිබඳ කරුණු දක්වන ගැසට්ටුවක්ද ඉකුත් ජූනි මාසයේදී නිකුත් වී තිබුණි. එහි සඳහන් වූයේ 2023 දෙසැම්බර් 31 දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ වී ඇති, හෝ 2024 ජනවාරි 01 දින හෝ ඊට පසු වයස අවුරුදු 18ට එළඹෙන සියලු තැනැත්තන්ද නව විධි විධානයට යටත්ව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවීම අනිවාර්ය කර ඇති බවකි.
අප මේ පිළිබඳ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවයේ නියුතු තරුණ තරුණියන්ගෙන් විමසීමක් කළෙමු. මෙහිදී අප පළමුව සම්බන්ධ කර ගත්තේ අර්ධ රාජ්‍ය ආයතනයක සේවය කරන ප්‍රනීත් මිලින්ද ය.
''ඔය බදු ගැන මගේ අදහස හරි සරලයි. හොරා කාලා, බංකොලොත් වෙච්ච රට බදු ගහලා හදන්න බැහැ කියලා තමා කියන්න තියෙන්නෙ. දැන් අපේ රට පාලනය කරන අය ගැන කිසිම විශ්වාසයක් නැහැ. බදු ගැහුවත් කොච්චර සැලසුම් ඉදිරිපත් කළත් විශ්වාසයක් නැහැ. බදු ක්‍රමය හරියට හදාගෙන ගොඩ ගියපු රටවල් තියෙන බව අපි දන්නවා. ඒත් වර්තමානයේ ඉන්න අපේ පාලකයෝ මොනවා කළත් අපිට පේන්නේ කිසි තේරුමක් නැති දේවල් වගෙ. මේ අය කරපු දේවල් අපි දන්නවා.
පෞද්ගලිකව අපේ අනාගතය ගැනවත් රටේ අනාගත ගැනවත් සුභවාදී බලාපොරොත්තුවක් අපිට නැහැ. දැන් හැමෝම ගතින් බැරි නම් හිතින් හරි මේ රට දාල ගිහිල්ලා. පාලනයේ වෙනසක් කරලා, අලුත් පිරිසක් ආවොත් යම් බලාපොරොත්තු තියෙයි.''
කෙසේ වෙතත් වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාම බදු ලිපි ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය වුවද සියලුදෙනාම බදු ගෙවීමක් සිදුකිරීම අවශ්‍ය නොවන බව අමාත්‍ය සියඹලාපිටිය මහතා පසුගියදා ප්‍රකාශ කොට තිබුණි.
''විශේෂයෙන් 2023 අයවැය ලේඛනයේ යෝජනාවක් තිබුණා අපේ රටේ අවුරුදු 18ට වැඩි සියලුම පුරවැසියන් සඳහා බදු ලිපි ගොනුවක් විවෘත කරනවා කියලා. මේකෙන් අදහස් වෙන්නේ නැහැ මේ සියලු දෙනාගෙන් රජය බදු මුදලක් ගන්න යනවා කියලා. සියලුදෙනා ලියාපදිංචි කිරීමේ අරමුණ යම්කිසි නියාමනයක් කිරීම රාජ්‍ය ආදායම.''
''සමහරක් අයට ඒ ලිපි ගොනුව තුළින් තමයි අපි තීරණය කරන්නේ රජයෙන් දෙන ආධාරය ඔහුට ලබාදීම සිද්ධ වෙන්නේ ඒ ලිපිගොනුවේ තොරතුරු අනුව. ඒක ලෝකයේ බොහෝ රටවල තියෙන දෙයක්. ඒ නිසා පළමු කාරණාව තමයි ඒ සියලු දෙනාගෙන් බදු අය කරන්න යනවා කියලා, සියලු පුරවැසියන් ලියාපදිංචි කරනවා කියන කාරණාව ඇතුළේ.''
කෙසේ වෙතත් ගැසට් නිවේදනය අනුව අර්ථසාධක අරමුදලට මාසිකව සේව්‍ය සේවක දෙපාර්ශ්වයෙන්ම එක්ව රු.20,000ට වැඩි දායකත්ව ලබාදෙයි නම් එම සේවකයන් දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවීම අනිවාර්ය වේ.
පෞද්ගලික අංශයේ රුකියාවක නියුතු දිනේෂ් සඳරුවන්ද මෙම බදු ෆයිල් පිළිබඳ අප සමඟ අදහස් බෙදා ගත්තේය.
''බදු ෆයිල් එකක් ඕපන් කරන එක නෙවෙයි ප්‍රශ්නෙ. ලෝකේ දියුණු රටවල් බදු ගහලා ඒ හරහා රටේ ජනතාවට පහසුකම් ටික ලබාදෙනවා. හැමෝගෙම ආදයම් පිළිබඳ ආණ්ඩුවට අදහසක් තියෙන්න ඕනෑ. අපේ රටේ ලොකු ලොක්කෝ කී දෙනෙක් ආදායම් තමන්ගේ ආදායම් ගැන ඔය අය දන්නවාද දන්නෙ නැහැ. මුලින්ම ඒ ටික හොයලා බැලුවා නම් හරි.
අපිට බදු ගෙවන්න පුළුවන් තත්ත්වයක් නැහැ. මාසේ අන්තිමට බදු වෙනුවට අපි ගෙවන්නෙ ණය. රටත් ණයයි, අපිත් ණයයි. රජයේ සේවකයන්ට නම් පඩි වැඩිවෙනවා. අපිට ඒකත් නැහැ. ඒ අස්සේ බදු ගැහුවොත් මරුවට තියෙයි.''
දේශීය අදායම් කොමසාරිස් ජනරාල්වරයාගේ අනුමැතිය ඇතිව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ ඉහත ගැසට් පත්‍රයට අනුව මෙම නව ප්‍රතිපත්තිය තවදුරටත් විග්‍රහ කරගත හැකිය.
මෙම ගැසට්ටුව අනුව ඕනෑම අර්ථසාධක අරමුදලකට මාසිකව සේව්‍ය සේවක දෙපාර්ශ්වයෙන්ම එක්ව රු. 20,000ට වැඩි දායකත්ව ලබාදෙයි නම් එම සේවකයන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය වේ. ඒ පහත සඳහන් අයවලුන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අනිවාර්ය ලියාපදිංචිය ලබාගත යුතු බව ඉකුත් ජූනි මාසයේදී නිවේදනය කෙරුණි.
• ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්.
• ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයන්.
• ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයන්.
• ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයන්.
• ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ සාමාජිකයන්.
• ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ සංගමයේ සාමාජිකයන්.
• ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයින්ගේ ආයතනයේ සාමාජිකයන්.
• ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරුන්
• ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ව්‍යාපාර ලියාපදිංචි කර ඇති පුද්ගලයන්.
• මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කර ඇති පුද්ගලයන් (ත්‍රී රෝද රථ, මෝටර් බයිසිකල් සහ අත් ට්‍රුක්ටර් හැර)
• 2018 අප්‍රේල් 01 දින හෝ ඊට පසු ශ්‍රී ලංකාවේ ඕනෑම නිශ්චල දේපලක් ඔප්පු පැවරීම මගින් මිලදී ගෙන ඇති හෝ උරුමය මගින් අත්පත් කරගත් පුද්ගලයන්.
• ඕනෑම අර්ථසාධක අරමුදලකට මාසිකව සේව්‍ය සේවක දෙපාර්ශවයෙන්ම එක්ව රු. 20,000ට වැඩි දායකත්ව ලබාදෙයි නම් එම සේවකයන්.
• පළාත් පාලන ආයතනයකින් ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබාගත් ඕනෑම පුද්ගලයෙක්.
• ශ්‍රී ලංකාව තුළ මාසිකව රු.100,000ක් හෝ වාර්ෂිකව රු. 1,200,000ක ගෙවීමක් ලබන වෙනත් ඕනෑම අයෙක්.
මේ අතර නව ව්‍යාපාරයක් අරඹා ඇති තරුණයෙක් සමඟ ඉහත බදු ප්‍රතිපත්තීන් පිළිබඳ අප සාකච්ඡා කළෙමු.
''ව්‍යාපාර ව්‍යවසාය ආරම්භ කරන්න කියලා හැමෝම කියනවා. ආණ්ඩුවේ ආයතන දැන්වීම් එහෙමත් දානවා. දැන් එතකොට, වාහනවලට ඔප්පුවලට බදු ගහන්නෙ ව්‍යවසායකයන්ට ධෛර්යය ශක්තිය දෙන්නද දන්නේ නෑ. ඇත්තට ව්‍යාපාර ආරම්භ කරලා යම් ස්ථාවරයක් ඇති කරගන්නකම් අපිට බදුවලින් සහනයක් ලැබෙන්න ඕනෑ. මේ වැඩපිළිවෙළ නිසා කිසි කෙනෙක් තවත් ලංකාවෙ අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න යන්නෙ නැහැ.''
මෙවන් අදහස් පළවෙමින් ඇති පසුබිමක විශේෂයෙන්ම සඳහන් කළ යුත්ත නම්, 2024 ජනවාරි මාසය වනවිට වයස අවුරුදු 18ක් සම්පූර්ණ කළ අයවලුන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බව එම දෙපාර්තමේන්තුව දන්වා ඇති බවයි. ඒත් අදාළ ලියාපදිංචිය සිදුවන ආකාරය පිළිබඳ මේ වනතුරුත් කිසි අවබෝධයක් පුරවැසින් තුළ නොමැත.
මේ අතර නොවැම්බරයේ පළ වූ ඇතැම් මාධ්‍ය වාර්තාවලට අනුව ජනවාරි මාසයෙන් අනතුරුව ලියාපදිංචි වී නැති පුද්ගලයන් සම්බන්ධයෙන් සොයාබලන බවත්, ඔවුනට පනත අනුව දඩ මුදල් පවා ගෙවීමට ඇතැම්විට සිදුවනු ඇති බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කොට තිබේ.
මේ අනුව සමස්ත සිදුවීම් පෙළ විග්‍රහ කරගන්නා විට උද්ගත වීමට හැකි තත්ත්වයේ බරපතළ බව ඔබට වැටහෙනු ඇත. වංචාව දූෂණය නාස්තිය අවම නොකොට, රටේ සමස්ත ණය බර, බදු මත තමා මහජනයාගේ කර මත තැබීම යුක්තිය යුක්ත නොවේ. සැබවින්ම මෙම බදුබර දරා සිටීමට නම් ශ්‍රී ලාංකිකයන් ඇට්ලස් යෝධයාගේ පරපුරේ ඥාතීන් විය යුතුය.
I චමිඳු නිසල් ද සිල්වා