2022 අගෝස්තු 07 වන ඉරිදා

පට්ටම් - කරණම් මැද හැදෙන්න යන සර්ව පාක්ෂික පාලනය

 2022 අගෝස්තු 07 වන ඉරිදා, පෙ.ව. 08:00 53

''ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ සැපයක් යැයි කකුළුව දිය කෙළියේ'' මේ කතාව කකුළුවන් පිළිබඳව හෝ ලෝවැඩ සඟරාව පිළිබඳව නොවේ. ගිනි ගන්නා රටක පන්දු කෙළින්නන් ගැනය. සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමට වර්තමාන පාලකයන් දරන වෑයම තුළ මෙම පන්දු කෙළිය අපි දුටුවෙමු. කොතරම් නිරස වුවද එහි යථා තතු අප ඔබ වෙනුවෙන් ලියා තැබිය යුතුමය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතේ ආණ්ඩුවක් නිර්මාණය වීම දක්වා වූ කතාව අප අමුතුවෙන් ඔබට සිහිපත් කළ යුතු නොවේ. එහි ගුණ අගුණ කෙසේ වුවද මේ මොහොතේ අප දරා සිටින්නේ එම ආණ්ඩුවයි. මෙම ආණ්ඩුවේ පාලකයන්ට විසඳීමට සිය දහස් ගණනින් ආර්ථික දේශපාලන අර්බුද මෙරට තුළ තිබේ. පෙර පාලකයන්ට සේම සැබැවින්ම එම ගැටලු විසඳීම ඔවුනට ද පහසු නොවේ. සර්ව පාක්ෂික ආණ්ඩුවක් ස්ථාපිත කළ යුත්තේ එබැවිනි. මේ මොහොතේ මෙරට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇතිකොට සාමූහිකව රට ගොඩගැනීම හැර වෙනත් විකල්පයක් අපට නොමැත.

අප පළමුව කී පන්දු කෙළිය දැකගත හැක්කේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ මෙකී යාන්ත්‍රණය තුළයි. ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා වූ සාකච්ඡා ප්‍රසිද්ධියේ මෙන්ම අප්‍රසිද්ධියේ ද මේ දිනවල පැවැත්වේ. විශ්වාස කටයුතු දේශපාලන ආරංචි අනුව තනතුරු කේවල් කිරීම් රැසක් මෙම සර්ව පාක්ෂික යාන්ත්‍රය තුළ සිදුවෙමින් පවතී. පක්ෂ විපක්ෂ බොහෝ දේශපාලනඥයන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් තුළ රැඳී සිටීමට තමන්ට හිමිවිය යුතු තනතුරු සහ වරප්‍රසාද කිරා මැන බලා බලධරයන්ට දන්වා තිබේ. ඇතැමුන් ඇමැතිකම් නම් කොට ඒවා ඉල්ලා ඇතැයි ද දැනගන්නට ලැබේ.

කෙසේ වෙතත් මෙරට සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කළ යුතුය යන පොදු ස්ථාවරයේ සියලුම දේශපාලන පක්ෂ මෙන්ම අරගලකරුවෝ ද රැඳී සිටිති. ඊට හේතුව රට තුළ දේශපාලන ස්ථාවරයක් ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවයයි. වර්තමානයේ අප හමුවේ ඇති කිසිදු ආර්ථික අර්බුදයක් තනිව විසඳිය හැකි අර්බුද නොවේ. එම ගැටලු විසදා ගැනීමට අපට බොහෝ දෙනකුගේ සරණ යාමට සිදුවනු ඇත. එහෙත් ගිලී යන නැවියෝ සහ කපිතාන් කුලල් කා ගන්නා නැවකට ගොඩවී උපකාර කිරීමට කිසිවකු සූදානම් නොවේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇතුළු අප වෙත සහයෝගය ලබා දෙන ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියට රටක් ලෙස අපට යා හැක්කේ ස්ථාවර ආණ්ඩුවක් රට සතු වුවහොත් පමණි. එසේම රට තුළ පවතින බොහෝ පරිපාලන යාන්ත්‍රණ ක්‍රමවත් කොට යථා තත්ත්වයට පත් කළ හැක්කේ ද දේශපාලන ස්ථාවරත්වය හරහා පමණි. සර්ව පාක්ෂික යෝජනාව  ප්‍රමුඛ වන්නේ මේ හේතුවෙනි. එහෙත් සැබැවින්ම සර්ව පාක්ෂික ආණ්ඩුව නිර්මාණය කිරීමේදී මෙරට බහුතර දේශපාලනඥයන්ගේ අවශ්‍යතාවය ඊට ඉඳුරාම වෙනස්ය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට සහයෝගය ලබා දීමට පසුගියදාක මෙරට ඉහළම තනතුර දැරෑවකු කතානායක ධුරය ඉල්ලා ඇතැයි අපට දැනගන්නට ලැබේ. එම තනතුර තමන්ට ලබා දෙන්නේ නම් පමණක් ආණ්ඩුවට සිය පක්ෂය එක්වන බව ඔහු කියා තිබේ. පසුගිය සතියේ පැවති ප්‍රකට දේශපාලන සාකච්ඡාවක අභ්‍යන්තර තොරතුරු ඇසුරෙන් අපට ඒ බව දැනගන්නට ලැබුණි. සැබැවින්ම කථානායක ධුරය වැනි තනතුරක් ඉල්ලීම තුළ පිළිබිඹු වන්නේ හුදෙක් තනතුරු ලෝභය පමණි. මාධ්‍ය ඉදිරියේ කොතරම් පාරම් බෑවද මෙවන් දේශපාලනඥයන්ගේ දේශමාමකත්වයේ තරම දන්නෝ දනිති.

මේ අතර ආණ්ඩුව සමඟ හිතවත්ව කටයුතු කිරීමට තවත් පිරිසක් ආණ්ඩුකාර ධුර ඉල්ලා ඇති බව දැනගන්නට ලැබේ. යම් යම් පළාත් සභා නම් කරමින් තමන්ට ඒ ඒ පළාත්වල ආණ්ඩුකාර ධුරය අවශ්‍ය බව ඔවුන් ඉහළටම දන්වා ඇත. මෙම පිරිස ආණ්ඩුකාර ධුර රුගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවට සහයෝගය ලබා දී ආර්ථික ගැටලු විසඳන්නේ කෙලෙසද? සැබැවින්ම සියලු කටයුතු පසෙකලා එය බලා සිටීමට වටීයි. ආණ්ඩුකාර ධුර පිළිබඳ ඉල්ලීම් සිදුකරන්නෝ කලක් තිස්සේ මෙරට දේශපාලනයේ තෙම්පරාදු සටකපට ජ්‍යෙෂ්ඨ දේශපාලකයෝය. මේ මොහොතේ පවා රට පිළිබඳ අල්පමාත්‍රික හැඟීමක් ඔවුන් තුළ නොවීම කනගාටුවට කරුණකි.

ජ්‍යෙෂ්ඨයන්ගේ පමණක් නොව කනිෂ්ඨයන්ගේද තත්ත්වය මෙයයි. සති දෙකකට පමණ ඉහත දී ආණ්ඩු පක්ෂ රැස්වීමකදී පොහොට්ටුවේ කට මැද දොඩවන මන්ත්‍රීවරයකු විසින් මන්ත්‍රීවරුන්ට තවත් වාහනයක් ලබා දෙන ලෙස ඉල්ලා අරගලයක් මෙහෙයවා තිබේ. මෙහිදී පිරිසක් තමන්ට ඇති අගහිඟකම් පිළිබඳ කියමින් වරදාන වරප්‍රසාද ඉහළ පෙළේ නායකයන්ගෙන් ඉල්ලා ඇතැයි දැනගන්නට ලැබේ. මෙවන් වූ මොහොතක මහජන නියෝජිතයන් ඒ ආකාරයෙන් ඉල්ලීම් කළේ දුක් විදින මහජනයා පිළිබඳ අල්පමාත්‍රික හෝ හැඟීමකින් තොරව බව පැහැදිලිය.

සැබැවින්ම ඉදිරිපත් කරන මෙම තතු හරහා ශ්‍රී ලාංකීය පුරවැසියන් තුළ නිර්මාණය වන්නේ මෙරට දේශපාලනය පිළිබඳ අපුලක්ය. තෙල් කඳුළක් නොමැති පෝලිම්වල දිය පොදක් නොමැතිව වියළී මිය යන මිනිසුන් පිළිබඳ සෑම දිනකම අපට අසන්නට ලැබේ. කිරිපිටි පැකැට්ටුවක්, බිස්කට් පැකැට්ටුවක් දරුවකුට දෙන්නට මෙරට සාමාන්‍ය පවුල්වල දෙමව්පියන්ට තවදුරටත් වත්කමක් නොමැත. මෙවන් පීඩා අතරේ පවා මහජනයා තවදුරටත් බලාපොරොත්තු දල්වා සිටින්නේ අටවා ගන්නා බව කියන සර්ව පාක්ෂික ආණ්ඩුව පිළිබඳවයි. ඒ හරහා හෝ යම් සහනයක් ලැබෙතැයි කියා ඔවුහු බලාපොරොත්තු වෙති.

මෙවන් වටපිටාවක සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ යථාර්ථය දන්නා පිරිස් තුළ හටගෙන ඇත්තේ ජුගුප්සාවකි. පසුගිය සමයේ ජනතාව විසින් අතිශය බරපතළ ලෙස ප්‍රතික්ෂේප කරනු ලැබූ දේශපාලනඥයන් දෙතුන් දෙනකු හෙට අනිද්දාට ඇමැතිකම් ලැබීමට ද නියමිත බව කියැවේ. ඔවුන් සතුව ධන බලය නොමැති මුත් පාර්ලිමේන්තුවේ පිරිස් බලය තිබේ. සිය පිරිස් බලය කේවල් කොට මෙම ප්‍රතික්ෂේපිත දේශපාලනඥයන් කිහිප දෙනා නුදුරේදීම කැබිනට් ඇමැති ධුර ලබාගනු ඇත. සැබැවින්ම එය තවත් පසෙකින් මහජනයාගේ බලාපොරොත්තු මරා දැමීමක් වනු ඇත.

මේ අතර දැනට ආණ්ඩුවට සහයෝගය දක්වමින් සිටි පිරිස් අතරේ කොටසක් නියත වශයෙන්ම තමන්ට ඇමැතිකම් ඉල්ලා සිටිති. ඇමැතිකම් නොලැබේ නම් තමන් විපක්ෂයට යන බව ඔවුන් දේශපාලන කරළියේ තැන තැන කට මැද දොඩවා තිබේ. සැබැවින්ම මෙම දුෂ්කර අවස්ථාවේ ඔවුහු තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර හෙට්ටු කරමින් සිටිති. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා බවට පත් කිරීමට සහයෝගය ලබා දුන් සියලු දෙනාම පාහේ දැන් ඇමැතිකම් වරප්‍රසාද බලාපොරොත්තු වන්නෝය. සැබැවින්ම කවරාකාරයකින් පත් වුවද එය වික්‍රමසිංහ  ජනාධිපතිවරයාට ප්‍රායෝගිකව ඉටු කළ හැකි කටයුත්තක් නොවේ.

එහෙත් එය යම් පමණකට ඉටුකිරීමේ බලාපොරොත්තු සහිතව අමාත්‍ය මණ්ඩලය පුළුල් කිරීමක් සම්බන්ධව මේ දිනවල ආණ්ඩුවේ ප්‍රධානීහු නිතර කතාබහ කරති. කැබිනට් ඇමැතිකම් විස්සක්, රාජ්‍ය ඇමැතිකම් හතළිහක් තවදුරටත් මෙම තිළිණ ප්‍රදානය සඳහා ප්‍රමාණවත් නොවේ. එම ප්‍රමාණය යම් පමණකට ජනපති වික්‍රමසිංහ මහතා පුළුල් කළ ද සැබැවින්ම සියලු දෙනාම සතුටු කිරීම පහසු නැත. ඒ නිසාම ඉදිරි සතියක දෙකක කාලය තුළදී කලකට පසුව මෙරට දේශපාලන මැඩියන් කවුදැයි අපට අවබෝධ කර ගැනීමට හැකිවනු ඇත.

දැනට ඇති ආරංචි අනුව විස්සකට ආසන්න පිරිසක් මෙලෙස දෙපසට පැනීමට සූදානමින් සිටිති. පිරිසක් තනතුරු වෙනුවෙන් ආණ්ඩුවටත්, තවත් පිරිසක් තනතුරු නොමැතිවීම නිසාවෙන් විපක්ෂයටත් කරණම් ගසනු ඇතැයි කියැවේ. කෙසේ වෙතත් ඔවුන් සියලු දෙනාම මෙම කරණම් පිළිබඳ අපූරු සාධාරණ හේතු මාධ්‍ය සංදර්ශනවලදී සඳහන් කරනු නොඅනුමානය. එසේම එම හේතු වසා තවත් පිරිසක් හුරේ දමනු ඇත. මෙය ශ්‍රී ලාංකීය දේශපාලන ඛේදවාචකයේ ස්වභාවයයි.

අවසානයේ කිව යුත්තේ මෙරට දේශපාලන කකුළුවන් සියලු දෙනාම දිය සැලියේ ඔබ මොබ පිහිනා යන්නෝය. එය ලිප ගිනි මෙලවූ පසුව ඔවුන් සියල්ලෝම වැනසී යනු ඇත. සැබැවින්ම ඔවුනට සොරා කෑමට, දේශපාලනය කිරීමට පවා රටක් ඉතුරු වේදැයි දැන් අපට උපදින්නේ සැකයකි. එහෙත් පුදුමය නම් ගිනි පෙනෙල්ලෙන් බැට කෑ නමුත් කණාමැදිරි එළියට තබා අවීචියේ ලෝදිය සැලියකටවත් මෙරට ඇතැම් දේශපාලකයන් බිය නොවීමයි.

 චමිඳු නිසල් ද සිල්වා