2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා

ආණ්ඩුව ඇත්තටම වියදම් කපනවද?

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 28

ශ‍්‍රී ලංකාවේ ආදායම හා වියදම අතර පරතරය වැඩි වෙමින් තිබේ. කොවිඩ් වසංගත තත්ත්වය ආර්ථිකය දරුණු කුණාටුවක් වෙත තල්ලු කර ඇත. අපහසුතා මගහැරෙන තෙක් අධිෂ්ඨානශීලීව ගත කළ යුතුය. බර අඩු කරගෙන සැහැල්ලුව පවත්වා ගැනීම වැදගත්ය. සාමාන්‍ය ජනතාව වෙත සැපයෙන සහන පවත්වා ගෙන යා යුතු නමුත් අනවශ්‍ය වියදම් අඩු කරන සේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රජයේ ආයතනවලට දැනුම් දී ඇති බව අනාවරණය වෙයි. ඇමැතිවරුන් හා අමාත්‍යංශ ප‍්‍රධානීන් කැඳවා උපදෙස් නිකුත් කර තිබේ. සහන අඛණ්ඩව කරගෙන යන නමුත් එවැනි පියවර වෙනුවෙන් වැය කරන ආයතනික පිරිවැය කළමනාකරණය කරගත යුතු බව දක්වා ඇත.

සංවර්ධන අවශ්‍යතා සහ අයවැය හිඟය පාලනය කර ගැනීම අරමුණු කරගෙන වියදම් අඩු කරන නියෝග ප‍්‍රකාශයට පත් වූ පළමු අවස්ථාව නොවේ. ඉතිහාසය සාක්ෂි දරන පරිදි මහා භාණ්ඩාගාරයේ පත්ල නිසි පරිදි පෙනෙන මුදල් අමාත්‍යංශය රජයේ වියදම පාලනය කරන ලෙස වරින් වර දන්වයි. ඇතැම් වසරවල අයවැය මගින් වෙන් කළ ප‍්‍රතිපාදන ඉක්මවා වියදම් නොකරන සේ අවවාදාත්මකව කියා ඇත. එහෙත් අතිරේක ඇස්තමේන්තු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. මැසිවිලි මැද ඒවාට ප‍්‍රතිපාදන සැපයේ. අවසානයේ දී දේශීය වශයෙන් තව තවත් ණය ගන්නට සිදුවන බව වගකිව යුතු ඇමැතිවරුන් හා නිලධාරීන් කල්පනා කරන්නේ නැත.

වියදම පාලනය කරන පියවරකට යා යුතු ඇයි?

රජයේ ආදායම සීමිත රාමුවකට යටත් වී ඇත. සාමාන්‍ය ජීවිතයේ දී පවා අත මිට හිඟ වන විට අරපරෙස්සමක් ගැන අවධානය යොමු කෙරේ. රජයේ ආදායම රුපියල් බිලියන 1,961 ක් වනු ඇතැයි අය 2021 වසර සඳහා වන වැය යෝජනා දක්වා තිබිණි. එහෙත් වසර මැද භාණ්ඩාගාර ලේකම්වරයා කරුණු සඳහන් කරමින් ආදායම රැපියල් බිලියන 2.019 ක් දක්වා විය හැකි යැයි කියා ඇත. කෙසේ නමුත් පාර්ලිමේන්තුවේ දී කරුණු දැක්වූ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ අදහස වසර අවසන් වන විට රුපියල් බිලියන 1,500ක පමණ ආදායම පහත වැටීමකි.

අයවැය ඇස්තමේන්තු අනුව කලින් ඇස්තමේන්තු කළ වියදම රුපියල් බිලියන 3,525 ක් බව දැක්වෙයි. වසර තුළ පවත්වාගෙන යන හිඟය රුපියල් බිලියන 1,564කි. එකී වියදම තුළ ප‍්‍රධාන අංශ කිහිපයක් වෙන් කර දැක්විය යුතුය. රජයේ හා පළාත් සභා සේවක වැටුප් වෙනුවෙන් රුපියල් බිලියන 846 ක් වැය කරන්නට සිදුවී තිබේ. විශ‍්‍රාම වැටුප් වියදම රුපියල් බිලියන 250කි. රුපියල් බිලියන 800 ක් ණය වාරික හා පොලිය වෙනුවෙන් ගෙවන්නට නියමිත බව දැක්වෙයි. සහනාධාර වෙනුවෙන් රුපියල් බිලියන 581කි. ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි අත්‍යවශ්‍ය දේ වෙනුවෙන් පවා ගෙවන්නට ආදායම ප‍්‍රමාණවත් නැත. මෙවැනි පැති ගැන සියුම්ව කල්පනා කිරීම වගකීමකි.

කොවිඩ් වසංගත තත්ත්වය පැන නගින්නේ එවැනි පසුබිමකය. සෞඛ්‍ය වියදම පාලනය කරගත නොහැකි වෙයි. දිනපතා පී.සී.ආර්. පරීක්ෂණ, නිරෝධායන මධ්‍යස්ථාන, එන්නත්කරණය යනාදිය සඳහා අති විශාල වියදමකි. අනෙක් පැත්තෙන් ජනතාවට සහන, නිරෝධායන පවුල්වලට ගෙවීම්, නිලධාරීන්ට පහසුකම් යනාදී වශයෙනි. මේවා කලින් අපේක්ෂා නොකළ වියදම් වශයෙන් සැලකේ.

ආණ්ඩුව ගෙවන සහන 

ආණ්ඩුව ගෙවන ඍජු සහනවලට අමතරව රජයේ ආයතන කරන ලද කැපකිරීම ද සුළු පටු නොවේ. විදුලිය හා ජල බිල්පත් ලැබීම අක‍්‍රමවත්ය. විශාල හිඟයක් ඇත. බිල් නොගෙවන පාරිභෝගිකයන්ගේ ජල සම්බන්ධතා කපා හරින්නට සිදුවන බව ජල සම්පත් මණ්ඩලය කියයි. විදුලිය ගාස්තු වාරික වශයෙන් ගෙවන විට පොලියක් අය කරන බව නිවේදනය කර තිබේ. හේතුව මෙම ආයතන පවත්වාගෙන යනු සඳහා ආණ්ඩුවට බර දැරිය හැකි සීමාව බව අවිවාදිතය. දැනටමත් සමහර රාජ්‍ය ආයතනවල වාර්ෂික ආදායමෙන් සෑහෙන කොටසක් බැංකු ණය වාරික හා පොලිය ගෙවන්නට වැය කරන්නට සිදුවී තිබේ. රාජ්‍ය බැංකු බිලියන විස්ස ඉක්මවා බදු ගෙවීමෙන් පසු වාර්ෂික ලාභ උපයන අතර ඒවා සංවර්ධනයේ ප‍්‍රතිඵලයක් බව ඉඳුරා දක්වන්නට හැකියාවක් නැත. බැංකු අයිරාවලින් පවත්වාගෙන යන රජයේ ආයතන පොලිය ගෙවන විට බැංකු පද්ධතිය තවත් පොහොසත් වීම වැළැක්විය නොහැක.

අමාත්‍යංශ වියදම් අඩු කිරීමෙන් රුපියල් බිලියන හතළිහ බැගින් ඉතිරි කර ගැනීම අපේක්ෂාවයි. පුනරාවර්තන වියදම් පාලනය කෙරේ. අලුත් වාහන හෝ උපකරණ මිල දී ගැනීම වාරණය කර ඇත. රට තුළ පමණක් නොව රටින් බැහැර පවත්වාගෙන යන මහ කොමසාරිස් කාර්යාල හා තානාපති කාර්යාලවලට ද මෙම දැනුම්දීම වලංගුය. රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරීන්ට ගෙවන දීමනා මාස තුනකට දැනට අත්හිටුවා ඇත. රජය සැලසුම් කර තිබුණු අලුත් සංවර්ධන යෝජනා ක‍්‍රම නතර කර තිබේ. ජනතාවට ලැබෙන සහන හැර ආයතනවලින් කරන අනෙක් වියදම්වලට සීමා පනවා ඇත. මුල්‍ය විනය පවත්වාගෙන යෑම වැදගත්ය. රජයේ නිලධාරීන් මිලියන 1.5කට හිමි ඇතැම් අතිරේක ගෙවීම් නතර කරන්නට දක්වා ඇත. ගමන් වියදම්, දුරකතන දීමනා, රියැදුරු දීමනා ආදී වශයෙන් ගෙවන අතර එම සේවාවන් හි ස්වභාවය හා අවශ්‍යතාව සලකා වහාම අවම කරන ලෙස දැනුම් දී ඇති බව ප‍්‍රකාශ වේ. ඉන්ධන පිරිවැය, විදුලිය වියදම් සහ අත්‍යවශ්‍ය නොවන අලුත්වැඩියා කිරීම් පවා නතර කරන සේ දක්වා ඇත.  

ඉහළ ආදර්ශය ගැන පහළ තලයේ අනවබෝධය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය රාජකාරි රැස්වීම්වලදී බෝතල් කළ ජලය පිරිනැමීම නතර කර තිබුණු බව මතක් කළ යුතුය. රජයේ කාර්යාල අවුරුද්දකට බෝතල් වතුර මිල දී ගැනීමට කොපමණ මුදලක් වියදම් කරන්නේදැයි සොයා බැලිය යුතුය. රජයේම ජල සම්පාදන දෙපාර්තමේන්තුව බෙදාහරින ජලය අවිශ්වාස කරන්නේ ඇයි? වියදම සුළු ප‍්‍රමාණයකින් අඩු කිරීමෙන් පවා රටට දැනෙන සැහැල්ලුව සුළු පටු නොවේ.

මෙම වසරේ පළමු මාස හතර තුළ රජයේ සහ පළාත් පාලන කාර්ය මණ්ඩල වැටුප් වියදම රුපියල් බිලියන 274 තෙක් සියයට අටකින් වැඩි වී තිබේ. රජයේ සේවක පිරිස 2020 අවසන් වන විට ලක්ෂ 152 ක් දක්වා ඉහළ ගොස් තිබුණු අතර වියදමට හේතු පැහැදිලිය. වියදම සුළු ප‍්‍රමාණයකින් හෝ අඩුකර ගැනීමට හැකි වෙතොත් සැහැල්ලුවකි. විශ‍්‍රාම වැටුප් වියදම සියයට 9.3කින් ඉහළ නැග ඇති අතර එය රුපියල් බිලියන 87.3කි. මෙකී අවශ්‍යතා වෙනුවෙන් මුදල් සොයාගන්නේ කෙසේද? අලුත් බදු පැනවිය යුතුය. නොඑසේනම් මුදල් මුද්‍රණය කරන්නට සිදුවෙයි. පහසු වචන නමුත් ඒවායේ අවසාන බර ජනතාවට පැටවේ. රජයේ ණය සීමාව රුපියල් බිලියන 3,397 දක්වා මිලියන 400කින් නංවන්නට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

යෝජනා කරනු ලබන ණය ගන්නේ මහජනතාවගෙනි. බැංකුවල ඉතිරිකිරීම් රජය ලබාගනී. භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වශයෙන් ලබාගත් පසු නියමිත කාලය අවසානයේ අලුත් මුදල් නෝට්ටුවලින් පියවනු ඇත. එය උද්ධමනයට හේතුවකි. අත ඇති මුදලේ මුර්ත වටිනාකම පහළ වැටේ. බදු පැනවීමෙන් ද එය අනෙක් පැත්තකින් සිදුවෙයි. ජනතාවගේ මිල දී ගැනීමේ හැකියාව අඩුවෙයි. බදු නොපනවන අතර මුදල් අච්චු ගැසීමට සිදුවන ණය නොගැනීමට නම් ආර්ථික ක‍්‍රියකාරීත්වය දියුණු කරගත යුතුය. ආදායම හා වියදම පාලනය කර ගැනීමට සිදුවෙයි. තාවකාලිකව සිදුවන ආර්ථික ප‍්‍රශ්න හමුවේ පියවරක් පසුපසට ගෙන ඉතා සකසුරුවම් පටිපාටියක් අනුගමනය කිරීම නරක අදහසක් නොවේ. එයට සමාන්තරව නැවතත් ආපසු ආර්ථිකය දියුණු කරන්නට හේතුවන ප‍්‍රතිසංස්කරණ ප‍්‍රකාශයට පත් කළ යුතුය. 

ආදායම ගැන ප‍්‍රමාණවත් අවධානයක්

රජයට ආදායම ලැබෙන ආකාරය ගැන රජයේ නිලධාරීන් පවා දන්නේ නැත. ආණ්ඩුව ධනය උත්පාදනය කරන්නේ නැත. ව්‍යාපාර වශයෙන් කරගෙන යන ආයතන හාරසියයක් පමණ තිබේ. තවත් අනුබද්ධ ආයතන විශාල ප‍්‍රමාණයකි. ඒවායේ අලාභ ගැන දක්වන ඉලක්කම් විස්මිතය. සාමාන්‍ය ව්‍යවසායකයකු මෙවැනි අලාභ ලබන ආයතන පවත්වාගෙන යන්නට කිසිම කැමැත්තක් නැත. එහෙත් ආණ්ඩුව දක්වන පරිදි එම ආයතනවලින් ඉටු කරන්නේ මහජන සේවයකි. සේවය කරගෙන යන බව කියන අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් හා සභාපතිවරුන් වශයෙන් පත්වන පිරිස හැසිරෙන ආකාරය ලජ්ජා සහගතය. මැති ඇමැතිවරුන් කරන වියදම් ගැන රට තුළ මහත් උපහාසයක් ඇත. සමහර නිලධාරීන්ගේ නිල කාමර, වාහන, විදේශ සංචාර වියදම් සහ ලබන දීමනා රටට බරකි. තනතුරට එන විට විශාල වරප‍්‍රසාද අපේක්ෂා කරන මෙම ඇතැම් පිරිස් ඒවාට ගෙවන්නේ දුප්පත් ජනතාව බව අමතක කරති. ඉතාම සුඛෝපභෝගී වාහන කුලියට ගෙන සිය ආයතනවලට යොදවා ඇති පිරිස් මෙම තීරණාත්මක මොහොතේ ක‍්‍රියා කළ යුතු කෙසේද? 

අලුත් ප‍්‍රවේශයක් ගැන කරුණු හුවා දක්වන ලද වත්මන් ආණ්ඩුව බලයට පත් වන්නේ වියතුන් පිරිසකගෙන් සමන්විතවය. රාජ්‍ය ආයතනවලට දක්ෂ, රටට වැඩදායක පිරිසක් තෝරාගැනීමට විශේෂ කමිටුවක් ක‍්‍රියා කළ බව මතක් කළ යුතුය. ආයතනවල ක‍්‍රියාකාරීත්වයේ වෙනසක් තිබේද? රට වෙනුවෙන් කැපවීමක් ඇති බවක් නොපෙනේ. වැඩ කරන ජනතාවට වඩා දැක්මක්, හැඟීමක් තිබිය යුතු ඉහළම නිලධාරීන් පවතින දුෂ්කර ආර්ථිකය ගැන තකන්නේ නැත. මැති ඇමැතිවරුන්ගේ වැටුප් කොවිඩ් අරමුදලට බැර කරන ලෙස කියැවෙන අතරවාරයේ වියත්, විශිෂ්ට ප‍්‍රධානීන් ස්වකීය පරිත්‍යාගය දැක්විය යුතුය. කිසිම තැනකින් පරිත්‍යාගයක් ගැන වාර්තා වූයේ නැත. පිරිමැස්මක් ගැන අනාවරණය නොවේ. රජය කළ යුතු ඇතැම් කාර්යය තමන්ගේ වියදමින් පවා කරගෙන බව කියැවුණු ඇතැම් යහපත් මිනිසුන්ට තනතුර තබා ඉවත්ව යන්නට සිදුවී තිබේ. එවැනි අවාසනාවන්ත තත්ත්වයක් නිර්මාණය වූයේ ඇයි? ජනතාවට සහනයක් විය යුතු සතොස වැනි ආයතනවල දූෂිත නිලධාරීන් ක‍්‍රියා කරන ආකාරය මාධ්‍ය වාර්තා කර ඇත. බරපතළ අපරාධ වන අතර සම්පූර්ණ පිරිවැය ජනතාව මත පැටවේ. 

සියලුම රටවල තත්ත්වය 

ලෝකයේ සියලුම රටවල සමාජ ආර්ථික කටයුතු අසීරු තැනකය. කොවිඩ්-19 වසංගත තත්ත්වය බරපතළ ලෙස බලපා ඇති බවට ලැබෙන වාර්තා නොසලකා හැරිය යුතු නැත. ණය දෙන්නටත් ආධාර කරන්නටත් සිටින මිතුරු රටවල් පවා අසීරු අවස්ථාවක පසුවන අතර ලෝකයේ මෙතෙක් පැවැති ව්‍යුහය ආපසු හැරෙමින් තිබේ. අරපරෙස්සම මෙම අවකාශය තුළ වැදගත්ය. ආර්ථික වර්ධනය ගැන හිතන්නට කලින් රට තුළ පැවැත්ම ගැන අවධානය යොමු කළ යුතුය. 

දශක ගණනක් තිබුණු ව්‍යුහය වෙනස් විය යුතුව තිබේ. ආකල්ප අලුත් කරගත යුතුය. කැපවීමකින් තොරව අලුත් යුගයකට ඇතුළු විය නොහැක. තාක්ෂණය භාවිත කළ යුතු අතර කාර්යක්ෂමතාව ඉහළම තලයකට කැඳවීම වැදගත්ය. ජනතාවට දෙන ආධාර නතර නොකරන බව දක්වයි. රුපියල් පන්දහසක දීමනාවක් ගෙවන්නට රජයට දරන්නට සිදුවන වියදම ගණන් බලා තිබේද? ආධාර ලබන පිරිස වෙන් කරගෙන ගිණුමට බැර කළහොත් පිරිවැයක් නැත. නිලධාරීන් යොදවා ගෙවන අවස්ථාවල අතිරේක බරක් ද වැය කෙරේ. ඉන්දියාව ආධාර් නමින් කාඩ්පතක් හඳුන්වා දී ඇත. එය කෙළින්ම රජයේ සහන ජනතාවට ලැබෙන ක‍්‍රමයකි. එක අංකයකින් සියල්ල කළමනාකරණය කෙරේ. ශ‍්‍රී ලංකාව ද මෙවැනි ක‍්‍රමයක් අනුගමනය කරන බව කියා සිටියේය. සෑම ආණ්ඩුවක්ම දෙස් විදෙස් ණය ගෙන ජනතාව සතුටින් තබන්නට උත්සාහ කළ නමුත් එම යුගය අවසන්ය. ආර්ථිකයෙහි කළ යුතු අත්‍යවශ්‍ය ප‍්‍රතිසංවිධාන ක‍්‍රියාවට නැංවූයේ නැත. එයට හේතුවක් තිබිණි. ජනප්‍රියත්වය අඩු වනු ඇතැයි භීතියයි. අද අවසාන මොහොත කරා ළඟා වී තිබෙන බව පෙනේ. එක රැපියල් උපයා දෙකක් වියදම් කරන්නේ කෙසේද? මෙම තීරණාත්මක අවස්ථාව අලුතින් කල්පනා කළ යුතු මොහොතකි. වියදම් කපාහැර ජනතාව වෙනුවෙන් පරිත්‍යාගයකට යා යුතුය.

 සාරා කන්දෙගොඩ