2021 ජුනි 05 වන සෙනසුරාදා

නිරෝධායනය සහ එන්නත්කරණය

 2021 ජුනි 05 වන සෙනසුරාදා, ප.ව. 06:00 53

නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන් නිතිපතා අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණි. එසේම පසුගිය කාලය තුළදී එසේ අත්අඩංගුවට ගන්නා පිරිස් අතුරින් දහස් ගණනකට එරෙහි නඩු පවරා ඇති බවද ඒ මහතාගේ ප්‍රකාශයේ සඳහන් විය.

මේ ලෙස අත්අඩංගුවට ගැනීම් සහ නඩු පැවරීම් සිදුව ඇත්තේ නිරෝධායන නීති උල්ලංඝනය කළ පිරිසක් පමණක් නොවේ. කොවිඩ් වසංගතය පාලනය කිරීමේදී අත්‍යාවශ්‍යම සෞඛ්‍ය නීති වන මුඛආවරණ පැළඳීම සහ දුරස්ථභාවය ැකගැනීම කඩ කළ චෝදනා මතද පිරිසක් දඬුවම් ලබා සිටිති. නිතරම දෑත් සෝදා ගැනීමද අත්‍යාවශ්‍යම සෞඛ්‍ය නීතියක් වුවද එය සෝදිසි කිරීමට පොලීසියට අවස්ථාවක් නැත. එවැනි අවස්ථාවක් තිබුණා නම් දඬුවම් ලබන සංඛ්‍යාව මීට වඩා තවත් දහස් ගුණයකින් වැඩිවීමට ඉඩ තිබෙන බව පැවසීම මුසාවක් නොවේ.

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙලෙස නීතිය ක්‍රියාත්මක වනවිට මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් තිබේ. එසේම රෝගය පාලනය කිරීම සඳහා දැඩි සංචරණ සීමා පැනවීමේ තීන්දුව ක්‍රියාත්මක වුවද තවමත් රෝගය පාලනය වී ඇති බවක් සංඛ්‍යාලේඛන නොපෙන්වයි. මෙය අප කිසිවකුටත් සෑහීමකට පත්විය හැකි තත්ත්වයක් නොවන බව කිවයුතු නැත. එම තත්ත්වයේ බරපතළකම හේතුවෙන්ම සංචරණ සීමා ලබන 14 වැනිදා දක්වාම දීර්ඝ කරනු ලැබීය. එහෙත් කනගාටුවට කාරණය නම් එවැනි බරපතළ තත්ත්වයක් යටතේත් නිරෝධායන නීති කඩකරමින් අවිනීත ලෙස හැසිරෙන දහස් ගණනක් අප රට තුළ නිරතුරැව සැරිසරමින් සිටීමය. පොලීසිය තවදුරටත් සෙවුම් බැලුම් වැඩිකළහොත් මීට වඩා පිරිසක් නීති කඩ කිරීමේ වරදට හසුවන බවද නොරහසකි.

මේ තත්ත්වය කොවිඩ් වසංගතය පාලනය කර ගැනීමේ මූලික අරමුණුවලට පටහැනි බව පෙන්වා දිය යුතුය. රෝගය පාලනය කර ගැනීමේදී පුරවැසියන් වශයෙන් අප අතේ තිබෙන වගකීම කුමක්දැයි වටහා නොගෙන කටයුතු කිරීම රටම භයානක අනතුරකට ඇද දැමීමකි. නිරෝධායන නීතිය රුකීමට කටයුතු කළ යුත්තේ පොලීසියට හසුවීමෙන් වැළකීමට නොව කොවිඩ් ව්‍යසනයෙන් ගැලවීමේ මගක් හැටියට බව අවබෝධ කරගත යුතුය. මුඛ ආවරණය පොලීසිය දකින විට පැළඳ ගැනීම තමන්ම රවටා ගැනීමකි. එපමණක් නොව තමන්ද අමාරැවේ වැටී රටම අවදානමකට ඇද දැමීමකි. සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක වනවිටත් දෛනිකව වාර්තා වෙන රෝගීන්ගේ සංඛ්‍යාවේ පහළ යාමක් සිදු නොවීම මෙවැනි වගකීම් විරහිත ක්‍රියාවල එක් ප්‍රතිඵලයක් බවද සඳහන් කළ යුතුය. කොවිඩ් වසංගතයේ පහළ යාමක් බලාපොරොත්තු වෙනවා නම් නිරෝධායන නීති අකුරටම පිළිපැදීම අත්‍යාවශ්‍යම බව සිතට ගත යුතු පාඩමය.

සංචරණ සීමා හේතුවෙන් සියලු දෙනාගේම ජීවිතවලට අගුලු වැටීමක් සිදුව තිබෙන බව යථාර්ථයයි. මේ යථාර්ථයට පිටු පා කටයුතු කරන්නට යාම තත්ත්වය තවදුරටත් බරපතළ කරනු මිස එයින් ගැලවීමට මගක් නොවේ. ජනතාවගේ කැපවීම ඉහළින්ම නොතිබුණහොත් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරැන්, රෝහල් කාර්ය මණ්ඩල ඇතුළු සෙසු වෛද්‍ය කණ්ඩායම්, ආරක්ෂක හමුදා සහ පොලීසිය විසින් සිදුකරන කැපකිරීම් සියල්ල අපතේ යනු ඇත. එහි අහිතකර බලපෑම් එල්ලවන්නේද ජනතාවටමය.
කොවිඩ් වසංගතයේ භයානකකම අපි කිසිවෙක් හෝ දැන නොසිටිමු. කළුද සුදුද කියා හෝ නොදන්නා සතුරකු වන කොවිඩ් වෛරසයෙන් බේරී සිටීම සෑම පුරවැසියකුගේම අංක එකේ ප්‍රමුඛතාව විය යුතුය. එය නොසලකා කටයුතු කිරීම රටම අවදානමකට ඇද දැමීමකි. අප ප්‍රවේශම් නොවුණොත් මේ සංචරණ සීමා තුළම දිගින් දිගටම රුඳී සිටීම හැර වෙනත් විකල්පයක් නැති බවද සියලුදෙනා වටහා ගත යුතුය.

කෙසේ වුවද රටේ සාමාන්‍ය ජන ජීවිතය නිරෝධායන නීතිද රුකගනිමින් ක්‍රියාත්මක කිරීම සඳහා බලධාරීන් විසින්ද ක්‍රමානුකූල ලෙස සැලසුම් සහගතව පියවර ගැනීමද අවශ්‍යය. ජනතාව ව්‍යාකූල වන ආකාරයට තීන්දු තීරණ ප්‍රකාශයට පත් කිරීමෙන් වැළකී සිටිය යුතුය. එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව එය සිදුවන බවටද වගබලා ගත යුතු වෙයි. සයිනොෆාම්, ෆයිසර්, ස්පුට්නික් මාත්‍රා ලක්ෂ ගණනින් මෙරටට ගෙන්වන බවට රජයේ බලධාරීන්ගෙන් ප්‍රකාශ පිට ප්‍රකාශ නිකුත් වෙයි. එය යථාර්ථයක් කිරිම බලධරයන්ගේ වගකීමයි. 

එන්නත්කරණ වැඩසටහන් අතරතුර නොසන්සුන්කම් ඇතිවීමට එයද හේතු වී තිබේ. එසේම තනි එන්නතකට පමණක් කැමැත්ත ලබාගෙන එන්නත් ලබාදීම වැනි ක්‍රියාමාර්ග හේතුවෙන් රජයේ සමස්ත එන්නත් වැඩපිළිවෙළ පිළිබඳ ජනතාව අතර සැකපහළ වීමට ඉඩ තිබෙන බවද පෙන්වාදීම අවශ්‍යය. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයද පසුගියදා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දී තිබුණේ පවතින එන්නත්කරණ ක්‍රමවේදය දෝෂ සහගත බවය. එය වහාම සමාලෝචනයට භාජනය කර ප්‍රමුඛතා ලබාදිය යුතු පිරිස සම්බන්ධයෙන් තීන්දු ගැනීමක් නොකළහොත් එන්නත්කරණයෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගත නොහැකි වනු ඇති බවද එම සංගමය පෙන්වා දී තිබිණි. ජනතාව නිරෝධායන නීති අකුරටම රුකිය යුතු සේම රජයේ එන්නත්කරණ වැඩපිළිවෙළද සාර්ථකව ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බවත් එසේ සිදුකිරීමෙන් පමණක් රෝගය පාලනය කරගත හැකිවන බවත් පෙන්වාදීමට කැමැත්තෙමු.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00