2021 අප්‍රේල් 03 වන සෙනසුරාදා

අතකසට වසර 86යි

 2021 අප්‍රේල් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 409

1935 අප්‍රේල් මස 18 වැනිදා කොළඹ වික්ටෝරියා උද්‍යානයේ (දැන් විහාර මහා දේවී උද්‍යානය) රැස්වී පී.බී. අල්විස් පෙරේරා, පීටර් පෙරේරා, විල්සන් හෑගොඩ ප්‍රමුඛ තරුණ කවීන් විසින් කොළඹ කවි සමාජය පිහිටුවා ගන්නා ලදී. පසුව අගනුවර තරුණ කවි සමාජය හෙවත් අතකස යනුවෙන් නම් ලද එම සංවිධානය, ඊට පදනම දැමූ තරුණ කවීන් පරිණතව ගොස් ඔවුන් මියයෑමෙන් පසුවත් තවත් පරම්පරා දෙක තුනක් ගතවන තුරුම ශක්තිමත්ව වැඩුණේය. මේ වසරේ සිය අසූ හය වැනි සංවත්සරය සමරන්නට තරම් අතකස හි පදනම සවිමත් වූයේය. මන්ත්‍රීවරයකු වූ සෝමවීර චන්ද්‍රසිරි කවියා පාර්ලිමේන්තුවේ කවි කී කාලයේ පාර්ලිමේන්තුවේ කවි කීම තහනම් කළද 1985 අංක 35 දරන පාර්ලිමේන්තු පනතෙන් අගනුවර තරුණ කවි සමාජයට නීතිමය ආරක්ෂාව ලැබිණි. පාර්ලිමේන්තු පනතකින් නීතිමය ආවරණය ලැබූ මෙරට එකම කවි සමාජය අතකසය. අතකස කවීන් කවි කීවේ කටකසනවාට නොව ජාතික මෙහෙවරක් උදෙසා බව එයින් පෙනී යයි.

අතකස කවීහු අදටත් කවි ලියති, කියති, ගායනා කරති. එදා පුවත්පත්වලින් කවි පොත් හෝ කවි කොළ හරහා පාඨකයාට සමීප වූ අතකස අද අන්තර්ජාලය හරහා පාඨකයාට සමීප වෙමින් කාලයට අනුව සිය මෙහෙවර ඉටුකරයි. පාසල් සිසු සිසුවියන් සැදැස් කවියට යොමු කිරීමද අතකසෙන් කෙරේ. ඔවුහු හිටිවන කවිමඩු පවත්වති. අන්තර්ජාල වෙබ් අඩවි පවත්වාගෙන යති. ෆේස්බුක් හෙවත් මුහුණු පොත හරහා නව පරපුර සමගද අතකස වර්තමානයේ එක්වේ. නව කෘති ජනගත කිරීම, කවිය නර්තනාංග හා එක් කොට අත්හදා බැලීම් කිරීම ආදී කාර්යභාරයද අද අතකස සංවිධානයෙන් ඉටු වේ.

කාව්‍යකරණය පිළිබඳ සිංහලයාගේ ඉතිහාසය අවුරුදු දහසකටත් වඩා අතීතයට දිව යන්නකි. සීගිරිය නරඹන්නට පැමිණි ජනයාගේ කාව්‍ය හැකියාව කැටපත් පවුරේ ලියැවුණු කුරුටු ගී වලින් පෙනේ. ඒ ක්‍රි.ව. 700ක තරම් ඈතකය. කෝට්ටේ යුගයේදී ශාස්ත්‍රීය මට්ටමෙන් උච්ඡ ස්ථානයකට නැගුණ සිංහල කවිය මාතර යුගයේදී පොදු ජනයාට වඩාත් සමීප බසකින් ලියැවිණි. වෛද්‍ය, ජ්‍යොතිෂ්‍ය ආදී බොහෝ ශාස්ත්‍රයන්හි විෂය කරුණු මතක තබාගන්නට භාවිත කළ මාධ්‍යය සඳැස් කවියයි. අගනුවර තරුණ කවි සමාජයේ මෙහෙවර සාර්ථකව වැඩුණේ අපට උරුම වූ මෙකී කාව්‍ය පසුබිම තුළයි. එකළ අතකසට දායක වුණු තරුණ කවීන් මේ පිළිබඳව ඉතා සවි්ඤාණිකව පසුවූ බව එච්.එම්. කුඩලිගම කවියාගේ පහත සඳහන් ප්‍රකාශයෙන් පෙනේ.

“ලෝකයේ ප්‍රථමයෙන් පහළ වූ සාහිත්‍ය සංග්‍රහය තමයි පද්‍ය. පද්‍යයටත් කලින් පහළ වූයේ ඡන්දසයයි. පද්‍යයේ ප්‍රභවය සිදුවූයේ මිනිසා තුළ ඡන්දස කෙරෙහි පවත්නා අසිමිත ආශාව තුළින්ම බව සිතිය හැකියි. කිසිදු තේරුමක් අදහසක් පේනතෙක් මානයක නැතත් හුදෙක් ඡන්දසක් පමණක් ඇතිව පද්‍යවලට නගාගත් නිකම් හිස් වචන වැලකින් අජීව ශබ්ද මාලාවකින් පවා ආස්වාදයක් ලබන්නට මිනිසා පුරුදුව සිටියේ ඈත අතීතයේ සිටමයි. ඡන්දසින් කැටිවුණු ඒ අජීව ශබ්දයනට ජීවය කවන්නට ඔහු කලකදී අනුක්‍රමයෙන් පුරුදු වුණා.”

1967 ලියූ එම ලිපියේම ඔහු තවත් තැනක මෙසේ කියයි. “එදා වෛද්‍ය ශාස්ත්‍රය ‍ජ්‍යොතිෂ ශාස්ත්‍රය, ශබ්ද ශාස්ත්‍රය, ධර්ම ශාස්ත්‍රය වැනි සෑම ශාස්ත්‍රයක්ම ග්‍රන්ථාරූඪ වුණේ, පොත්වල ලියවුණේ ඡන්දස් සහිත පද්‍යයෙනුයි.”

පී.බි. අල්විස් පෙරේරා කිවිඳුන්ගේ සභාපතිත්වයෙන් ඇරඹි අතකසෙහි ඉන්පසුව සභාපති ධුරයට පත් වූවෝද ප්‍රබල කවීනුයෝය. විමලරත්න කුමාරගම, සාගර පළන්සූරිය, බඹරකොටුවේ සුධර්ම සෙනෙවිරත්න, යූ.ඒ.එස්. පෙරේරා (සිරි අයියා) එච්.එම්. කුඩලිගම, විමලේන්ද්‍ර වතුරේගම, සූරසේන ආටිගල, උපනන්ද බටුගෙදර, විමලසිරි පෙරේරා, බිංගිරියේ විජයකුමාර, චිත්‍රානන්ද අබේසේකර, වල්ගම සෝමතිලක, සේසිරි විජේසේකර, ගාල්ලේ බර්ලින් යන කවීහුද අතකසහි සභාපති ධුර උසුලමින් අසූහය වසරක් තිස්සේ එයින් කළ මහඟ මෙහෙවරට දායක වූහ. අතකස සාමාජිකයන් වූ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ හා මහගමසේකර කවියේ දෘෂ්ටිමය අංග පෝෂණය කොට නූතන ගීත සාහිත්‍යයටද ශක්තිමත් පදනමක් දැමූහ.

අතකස බිහිකරන්නට පදනම දැමූ පී.බී. අල්විස් පෙරේරා කිවිඳුන්ගේ සම්පූර්ණ නම පිලදුව බෝගමගේ අල්විස් පෙරේරාය. ඔහු 1917 මාර්තු 3 වැනිදා කොල්ලුපිටිය පල්ලියවත්තේදී උපත ලැබුවේය. කොල්ලුපිටියේ උපත ලැබුවද ඔහු ජීවත්වූයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වදාකඩ නම් ගමේය. හෙලදිව පුවත්පතේ ප්‍රධාන කතුවර ධුරය ඉසිලූ ඔහු සිංහල ජාතිය, ස්වදේශ මිත්‍රයා, ලංකාදීප, දිනමිණ ඇතුළු පුවත්පත්වලට ලිපි සම්පාදනය කළේය. අවුරුදු හතළින් නවයෙන් (1966 අගෝ.21දා) අවසන් ගමන් ගිය ඔහු ඒ වනවිට කාව්‍ය නිර්මාණ 34කට වඩා රචනා කොට තිබිණි. ඒ අතර කේයස් (සාගර පළන්සූරිය හෙවත් කලල්ඇල්ලේ ආනන්ද සාගර) ගැනත් විමලරත්න කුමාරගම ගැනත් කවි පන්ති දෙකක් ලියා තිබිණි.

මාර්ටින් වික්‍රමසිංහ “නව පද්‍ය සිංහලය” නම් කෘතියේ අල්විස් පෙරේරාගේ කවි ශක්තිය ගැන සඳහන් කළේ මෙසේය.

“තමන් ඇසූ සිතූ දේ සංවේග දනවන බසින් වර්ණනා කිරීමෙන් අනික් තරැණ කවියෙක් අල්විස් පෙරේරාට ළං නොවෙයි. සිතින් මවනු ලබන ලෝකය විසිතුරු ලෙස වර්ණනා කරන්නට පැරණි සිංහල කවීන් පවා නොලත් ශක්තියක් අල්විස් පෙරේරාට ඇත.”
වස්තු විෂය තෝරා ගැනීමේදී කොළඹ යුගයේ කවීන්ට බොහෝ සෙයින් බලපෑවේ 18 සියවස අගභාගයේ යුරෝපයේ මතුවූ රොමාන්තිකවාදී නිර්මාණකරුවන්ගේ නිර්මාණ බව කියැවේ. සොබාදහමේ අංග සෞන්දර්යාත්මක ඇසින් බලා මිනිසාගේ ජීවිතයට සොබාදහමේ සොඳුරු බව එක්කොට කරන විවරණයන් හා වර්ණනයන් එම යුගයට අයත් යුරෝපීය කවිවල බහුල විය.

එම ආභාෂය මංපෙත් කිහිපයක් ඔස්සේ කොළඹ කවීන්ට ළං විය. ඍජුව ඉංග්‍රීසි බසින් පළවූ එම කවි සංකල්පනා කියවා ගන්නට ලැබීම පළමුවැනි මානයයි. දෙවැන්න රබින්ද්‍රනාත් තාගෝරයන් හරහා ලැබුණු ආභාෂයයි. මෙම සෞන්දර්යමය ඌරුවෙන් තම කාව්‍ය නිර්මාණයේදී රබින්ද්‍රනාත් තාගෝර්ද ආභාෂය ලැබුවේය. නොබෙල් ත්‍යාගය 1913දී ලැබීමෙන් පසු තාගෝරයන් මෙරට කලාකරැවන් අතරද ජනප්‍රිය වුවේය. තාගෝරයන් ආරම්භ කළ ශාන්ති නිකේතනයේ කලාව හැදෑරුවේ සුනිල් ශාන්ත, අමරදේව, ප්‍රේමකුමාර එපිටවෙල ආදී කලාකරුවන් පමණක් නොව, සාගර පලන්සූරියද ශාන්ති නිකේතනයේ කලාව හැදෑරුවේය. තාගෝරයන් හට නොබෙල් ත්‍යාගය හිමිවූ ගීතාංජලී කෘතියේ ඉංග්‍රීසි පිටපත කොළඹ යුගයේ කවීන් පරිශීලනය කළ බවට සැක නැත.

මේ සම්බන්ධයෙන් ජී.ඒ. මදාරා කරුණාරත්න කරන විග්‍රහයක් අන්තර්ජාලයේ දැකගත හැකිය. ගීතාංජලී කෘතියේ 66 වැනි කව එච්.එම්. කුඩලිගමගේ (දැරියකගේ සිනාරැල්ල) කවි පන්තියටත්, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ටත්, මහගම සේකරයන්ටත් බලපා ඇති ආකාරය එහි විස්තර කොට තිබේ. අතකස ප්‍රමුඛ කොළඹ කවීන්ට කරන ගරු කිරීමක් ලෙස එම කරැණු මෙහිදී කෙටියෙන් ඉදිරිපත් කිරීම මැනවැයි හැඟෙන්නේ කොළඹ කවීන්ගේ කවි රසවිඳින පාඨකයාටත් ඉන් යම් පිටිවහලක් ලැබෙන බැවිනි. එම රචනාවේ ඇති ගීතාංජලියේ හැට හයවැනි කවියේ කොටසක් මෙසේය.
 
“බිළිඳු දෑසක පොපියන නින්ද
එය එන්නේ කොහි සිටදැයි කවරෙක් හෝ දනිත්ද?
එසේය, කණාමැදිරි එළියෙන් යම්තම් එළිය වූ
වණයේ සෙවණැලි අතර සුරඟන නිවහනේ
සිත්කළු සුමුදු කැකුළු යුවලක් ඇති තැන
එහි නිජබිම වේ යැයි කතාවෙක් ඇත
බිළිඳු දෑස සිපගන්නට එහි සිට පැමිණෙයි
බිළිඳු නිදන විට දෙතොලෙහි දිදුලන සිනාව
එය උපන්නේ කොහිදැයි කවරෙක් හෝ දනිත්ද?
එසේය නව සඳෙක නැවුම් රැස් දහරක්
සරත් කළ නොපෙනී යන වලාවෙක.....”
 
මෙයින් ආභාෂය ලබන කුඩලිගම කවියා ළදැරියකගේ සිනාරැල්ල පද්‍ය නිර්මාණයේ මෙසේ කියයි.
 
තැවරුණු සරත් සඳ කැන් රොද එකතු කොට
පෙණ බුබුලක රුවාගෙන ගොස් තිඹිරි ගෙට
සැඟවූ නිසා දියදම් මව දොතොල යට
ලැබුණෙලු කැකුළු සිනහව මේ ළදැරියට
සිනා කුමරියගේ උපත ගැන කියන මානවසිංහගේ එක් කවක් මෙසේය. (එය අමරදේවයන් ගීතයකටද නගා තිබිණි.)
 
සිලිලාරෙක හෙල්මැලී
පෙති අතරින් සැලි සැලී
කනට නොඑන සිතට දැනෙන
සිලි සිලියක පැටලිලා
එකී ආභාෂය මහගම සේකරයන් ලබන්නේ මෙසේය.
රුවන් වලා දුහුල් කඩින්
පෙරී සඳේ රිදී කැලුම්
තුෂාරපත් හා එතී ගලා හැලෙනවා
පුතුගෙ සිඟිති දෙතොල්වලට 
සිනා ගෙනෙනවා....
 
මෙවන් නිර්මාණ කළ කවීන් පරපුරෙන් පරපුරට යා කරනු ලැබූ අතකස සංවිධානයයි. අතකසට පදනම දැමූ කවීන් අතර සිටි විල්සන් හෑගොඩ කවියා අතකස කටයුතුවලට කෙතරම් කැපවීද යන්න පැහැදිලි වන ඡේදයකින් මෙම ලිපිය නිමාකරනු කැමැත්තෙමි. දෙවැනි ලෝක යුද්ධය ඇවිලී යද්දී ජපන්නු කොළඹට බෝම්බ දැමූහ. ඒ විල්සන් හෑගොඩ කවියා පොලීසියට බැඳුණු අලුතය. බෝම්බ දැමූ දිනයේ රැකියාවත්, ජීවිත අනතුරත් නොතකා එතුමා අතකස කාරක සභා රැස්වීමට සහභගි වී තිබේ.
“කොළඹට බෝම්බ වැටුණු දා අගනුවර තරුණ කවි සමාජයේ ලිපිලේඛන ගොනුවත් කිහිලි ගන්වාගෙන, රේල් පාර දිගේ පා ගමනින් කොල්ලුපිටියේ සිට කොම්පඤ්ඤවීදියේ අතකසයට විත් කාරක සභාවට සහභාගි වී ඇත. රැස්වීම නිමවා නැවත සේවාස්ථානය වෙත ආ මොහුට රාජකාරිය පැහැරහැරීමේ චෝදනාවට යටත් කොට වැඩතහනමකට ලක්කොට ඇත.”
 
(විල්සන් හෑගොඩ වියතාණන්ගේ සියවැනි ජන්ම දින සැමරුම වෙනුවෙන් අමිල ජයලත් පළකළ සටහනකින් මෙය උපුටා ගතිමි.)


 සමන් පුෂ්ප ලියනගේ