කොළඹ වාණිජ වෙළෙඳසල්වල කේන්ද්‍රස්ථානය වන පිටකොටුව ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ අමුතුම නමකිනි. ඒ Pettah ය. ඉංග්‍රීසින් ඉන්දියාවේ දී කොටුවකින් පිට පෙදෙස හැඳින්වීමට ඒ නම භාවිත කළ අතර, තම යටත්විජිතයක් වූ ශ්‍රී ලංකාවටත් එය යොදා ගැනිණි.
පිටකොටුවේ කුමාර වීදිය පුරාණයේ පටන්ම ඒ නමින් හැඳින්වූ බව පැවසේ. ජනප්‍රවාද අනුව එම නම තබන ලද්දේ රාජසිංහ රජුගේ පුත් කුමරු හැඳින්වීමටය. එය ඉංග්‍රීසිහු Prince Street ලෙස ඉංග්‍රීසියට හරවා ගත්හ. තවමත් ඒ නම භාවිත කෙරේ. වෙළෙඳසල් සහිත කුමාර වීදියේ ඕලන්ද කෞතුකාගාරය ද පිහිටා තිබේ.
මැලිබන් වීදියට එම නම යෙදී ඇත්තේ ලන්දේසි යුගයේදීය. සක්මන් මළුව යන අර්ථය ඇති මැලිබෝ යන වචනයෙන් එම නම උපත ලැබූ බව පැවසේ. ලන්දේසි කාන්තාවන් සක්මන් කිරීමට මේ පෙදෙස භාවිත කළ බව ආර්.එල්. බ්‍රෝහියර් කොළොම්පුර පුරාවෘත්ත කෘතියේ සඳහන් කරයි. පසුව මැලිබන් වීදියේ මැලිබන් හෝටලය ආරම්භ කළේ ව්‍යාපාරික ඒ.ජී. හින්නි අප්පුහාමිය. අද වනවිට මැලිබන් වීදියට වඩා මැලිබන් වෙළෙඳ නාමය ප්‍රසිද්ධ වී ඇත.
මැලිබන් වීදියට නුදුරින් ආරම්භ වන ඕල්කට් මාවත කොටුව දුම්රියපොළ ඉදිරියෙන් පිටකොටුව දක්වා ඇදී යයි. කොටුවේ එංගලන්තේ සුද්දන්ගේ නම් තැබූ වීදි අතර හමුවන අමෙරිකානු සුද්දකුගේ නම ඇති එකම මාර්ගය ඕල්කට් මාවතයි. එම නම තැබුවේ සුද්දන් නොව අප විසිනි. ශ්‍රී ලංකාවට පැමිණ බුදු දහමේ පුනර්ජීවනයක් ඇති කිරීමට කැපවූ කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් (1832-1907) සිහිපත් කිරීමට කලින් පැවති නොරිස් පාර පසුව ඕල්කට් මාවත ලෙස එසේ වෙනස් කෙරිණි. අමෙරිකන් හමුදා නිලධාරියකු මෙන්ම මාධ්‍යවේදියකුද වූ කර්නල් ඕල්කට් පරම විඥානාර්ථ බෞද්ධ සමිතියේ පළමු සභාපති විය. ඔහුගේ ප්‍රතිමාවක්ද කොටුව දුම්රියපොළ ඉදිරිපිට පිහිටා තිබේ.
ඕල්කට් මාවත පසුකරගෙන ලේක්හවුස් මන්දිරය ඉදිරිපිටට පැමිණෙන අප පිවිසෙන්නේ කලින් මැකලම් පාර ලෙස හැඳින්වූ මාර්ගයටයි. සමහරු අදත් මැකලම් පාර ලෙස එය හැඳින්වුවත් එහි වර්තමාන නාමය ඩී.ආර්. විජයවර්ධන මාවත වේ. හෙන්රි එඩ්වඩ් මැකලම් 1907 සිට 1913 දක්වා මෙරට ආණ්ඩුකාරයා වශයෙන් කටයුතු කළේය.
මැකලම් පාර දිගේ ගොස් ටී.බී. ජයා මාවත හෙවත් කලින් ඩාර්ලි පාර පසුකරගෙන යන විට අප ළඟා වෙන්නේ පුරහලටයි. කුරුඳුවත්ත පුරහල අවට සුද්දන්ගේ නම් රැගත් මාර්ග කිහිපයක්ම හමුවේ. අප තවමත් සුද්දන්ට යටත් රටක්දැයි සිතෙන තරමට කොළඹ 7 අවට බ්‍රිතාන්‍ය නම් ගම් පැතිර තිබේ.
පුරහලට නුදුරින් පිහිටි නේවාසික ගොඩනැගිලි සහිත එක් මාර්ගයක් බාන්ස් පෙදෙසයි. ශ්‍රීමත් එඩ්වඩ් බාන්ස් (1776-1838) ආණ්ඩුකාරයා සිහිපත් වීමට බ්‍රිතාන්‍ය යුගයේ දී ඒ නම ලබා දී ඇත. ඔහු මෙරට පාලනය කළේ 1824 සිට 1831 දක්වාය. බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියකු වන බාන්ස් ලුතිනන් ජනරාල් ධුරයට පත්වූ පසු ශ්‍රී ලංකාවට පැමිණියේ වැඩබලන ආණ්ඩුකාරයා වශයෙනි. ඒ 1820 පෙබරවාරි 1දාය. 1822 දක්වා එම ධුරයේ වැඩ බැලූ ඔහු 1824 දී ආණ්ඩුකාර ධුරයට පත් වේ. බාන්ස් ආණ්ඩුකාරයා කොළඹ නුවර මහාමාර්ගය ඉදිකිරීමට මුල්වී කටයුතු කළ අතර කෝපි වගාව මෙරටට හඳුන්වා දීමට ද පෙරමුණ ගත් නිලධාරියෙකි.
හෙන්රි ජෝජ් වෝඩ් (1797-1860) ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාර ධුරය හෙබවූයේ 1855 සිට 1860 දක්වා වික්ටෝරියා රැජනගේ කාලයේය. දේශපාලනඥයකු ද වන හෙන්රි වෝඩ් මෙරට දුම්රිය මාර්ග ඉදිකිරීමට මුල් වූ බ්‍රිතාන්‍ය නිලධාරියෙකි. වෝඩ් පෙදෙස යන නම අදත් භාවිත කරමින් අපි ඔහු සමරමු.
වෝඩ් පෙදෙසට සමාන්තරව පිහිටා ඇත්තේ බොරැල්ල සේනානායක හන්දිය දක්වා දිවෙන හෝටන් පෙදෙසයි. ගස්වැල්වලින් සෙවණ වූ මේ මාර්ගයේ නිවාස, තානාපති කාර්යාල මෙන්ම අවන්හල් රාශියක්ද දැකගත හැකිය. රොබට් විල්මට් හෝටන් ආණ්ඩුකාරයා සිහිපත් කරවන මේ මාර්ගයේ ගමන් කරන වැඩි දෙනෙක් හෝටන් කළු ද සුදු ද කියාවත් දන්නේ නැත. ඔහු 1831 සිට 1837 දක්වා මෙරට පාලනය කළ අතර 1841 දී එංගලන්තයේ දී මියයන විට වයස අවුරුදු 56කි. කෝල්බෘක් - කැමරන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අප රටට හඳුන්වා දුන්නේ ඔහුගේ පාලන කාලයේදීය. නුවරඑළියේ හෝටන් තැනිතලාවට ඒ නම ලැබුණේද හෝටන් ආණ්ඩුකාරයා සිහිපත් කිරීමටය. ඔහු එකල අසුපිට නැගී හෝටන් තැනිතලාවට සංචාරයක් ද ගොස් තිබේ.
කොළඹ කෞතුකාගාරය ඉදිරිපිට මාකස් ප්‍රනාන්දු මාවත සම්බන්ධ වන්නේ මෙට්ලන්ඩ් චන්ද්‍රවංකයටය. තෝමස් මෙට්ලන්ඩ් (1760-1824) මෙරට ආණ්ඩුකාරයා ලෙස කටයුතු කළේ 1805 සිට 1811 දක්වාය. එකල බ්‍රිතාන්‍යයන් පාලනය කළේ අප රටේ මුහුදුබඩ පෙදෙස් පමණි. මෙට්ලන්ඩ් ආණ්ඩුකාරයා ජීවත් වූ මන්දිරය අද ගල්කිස්ස මහ හෝටලයයි.
ග්‍රෙගරි පාරත්, කොළඹ 7 පිහිටි යටත්විජිත මතක සිහිපත් කරවන මාවතකි. විලියම් හෙන්රි ග්‍රෙගරි 1872 දී මෙරට ආණ්ඩුකාර ධුරයට පත්ව 1877 දක්වා එම තනතුර දැරුවේය. ඔහු නුවරඑළිය ප්‍රදේශයට දැඩි කැමැත්තක් දැක්වූ නිසාම එහි වැඩිපුර වාසය කළේය. නුවරඑළියේ ග්‍රෙගරි වැවද ඔහුගේ මූලිකත්වයෙන් ඉදිකළ වැවකි. කෞතුකාගාර පිළිබඳව දැඩි උනන්දුවක් දැක්වූ ග්‍රෙගරි කොළඹ ජාතික කෞතුකාගාරය පිහිටුවීමට ද මුල් විය.
කෞතුකාගාරය පසු කරගෙන කොළඹ විශ්වවිද්‍යාලය දෙසට යන විට අපට කුමාරතුංග මුනිදාස මාවත හමුවේ. මෑත අතීතයේ එම නම යෙදුවද, වැඩි දෙනෙක් ඒ පාර හඳුන්වන්නේ තර්ස්ටන් පාර යනුවෙනි. තර්ස්ටන් විදුහල පිහිටා ඇත්තේ එම මාවතේය. එම නම ලැබී ඇත්තේ ඇංග්ලිකන් පූජකවරයකු වූ ඒ.ජේ. තර්ස්ටන් සිහිපත් කරවමිනි. ඔහු 1859 දී එහි කෘෂිකර්ම හා තාක්ෂණික පුහුණු විදුහලක් ආරම්භ කළ අතර එය ටික කලකින්ම වැසී ගියේය. නැවත රජයේ අනුග්‍රහය ඇතිව 1884 දී කුරුඳු නිෂ්පාදන පුහුණු විදුහලක් ආරම්භ කළේය. තර්ස්ටන් විද්‍යාලය එම මාර්ගයේ ඉඩමක ඇරඹුණේ 1950 දීය.
තර්ස්ටන් පාර අසලින් හැරී කොල්ලුපිටිය දෙසට යන විට ඇල්ප්‍රඩ් හවුස් ගාර්ඩ්න් වෙත ළඟාවීමට පුළුවන. බ්‍රිතාන්‍ය කවුන්සිලය පිහිටා ඇත්තේ මේ මාර්ගයේය. කොල්ලුපිටිය බගතලේ විසූ දානපතියකු වූ චාල්ස් හෙන්රි ද සොයිසා තැනූ මන්දිරයට ඇල්ප්‍රඩ් හවුස් යන නම ලබා දුන්නේ එඩින්බර්ග් ආදිපාදවරයා හෙවත් ඇල්ප්‍රඩ් කුමාරයා 1870 දී ශ්‍රී ලංකාවට පැමිණීම සැමරීමටය. එම මන්දිරය පිහිටි ඉඩම ඇල්ප්‍රඩ් හවුස් ගාර්ඩ්න් විය. අද මන්දිරය නැතත් එදා ලැබුණු නම තවමත් භාවිතයේ පවතී.
බ්‍රිතාන්‍ය යුගයේ මතක සටහන් හෙළිදරව් කරන කිංසි පාර, කේම්බ්‍රිජ් ටෙරස්, රීඩ් මාවත, ගිල්ෆර්ඩ් චන්ද්‍රවංකය, ආමර් වීදිය ආදී තවත් මාර්ග නම් රාශියක් අපට අදත් හමුවේ.
► කුසුම්සිරි විජයවර්ධන