පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ වෘත්තීය ඉරණම ලබන අගෝස්තු 5 දා තීන්දු වනු ඇත. ඒ ඔහු පොලිස්පති ධුරය දැරූ සමයේ සිදුකළ විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවේදී යෝජනා සම්මත වීමත් සමඟය. එකී සම්මතය ගැන 50/50 හෝ 99.5% ක විශ්වාසය තබා ගැනීමට නොහැක. එහෙත් මන්ත්‍රීවරු 159 සිටින 2/3 ආණ්ඩුවක ප්‍රතිඵලය අමුතුවෙන් කිව යුතු නැත. ඒ නිසා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ගෙදර යාමේ තීන්දුව ලැබීම නියත වනු ඇත.
2002 අංක 5 දරන රජයේ ඉහළ නිලධාරීන් ඉවත් කිරීමේ පනතට අනුව රජයේ ඉහළ නිලධාරියකු ගෙදර යවන ක්‍රමවේදයේ පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසගත වනු ඇත. කෙසේ වෙතත් එම පනත යටතේ ඉවත් කළ හැක්කේ නීතිපති සහ පොලිස්පති පමණි.
එම පනත අනුව විමර්ශන කමිටුවක් පත් කළ යුතු වන අතර එහි සභාපතිත්වය දරන්නේ අග්‍රවිනිශ්චයකාරවරයා විසින් පත් කරන ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙකි. ඒ අනුව මෙම කමිටුවේ සභාපති වුයේ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාය. ඊට අමතරව පොලිස් කොමිසමේ සභාපතිවරයා නිතැතින්ම එම කමිටුවට ඇතුළත් වන අතර ඒ අනුව පොලිස් කොමිසමේ සභාපති විශ්‍රාමික විනිසුරු ලලිත් ඒකනායක මහතා ඒ සඳහා පත් විය. ඊට අමතරව අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයාගේ එකඟත්වය මත තවත් අයකු පත් කළ යුතු අතර ඒ සඳහා පත් කරනු ලැබුවේ අල්ලස් හෝ දූෂණ කොමිසමේ සභාපති විශ්‍රාමික විනිසුරු නීල් ඉද්දවෙල මහතාය. ඒ අනුව මෙම කමිටුව විසින් සාක්ෂි විමසීම දින කිහිපයක් පුරා සිදු කරනු ලැබීය.
එම සාක්ෂි විමසීමේදී 2023 දෙසැම්බර් 30 දා වැලිගම “ඩබ්ලිව් 15” හෝටලයේ වෙඩි තැබීම විශාල කතාබහකට ලක්වූ සිදුවීමක් විය. එම ප්‍රහාරය සැලසුම් සහගත ක්‍රියාවක් බව ඔප්පු විය. එනම් නීතියට පිටින් යමින් සිදුකළ බලය අවභාවිත කිරීමක් බව පැහැදිලි විය. එම සිදුවීම සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා පැමිණි පොලිස් නිලධාරීන්ගේ සාක්ෂි ඊට හොඳම උදාහරණ විය. ඇතැම් නිලධාරීන්ට මෙලෝ සංසාරයක් අමතක වූවාට ඇතැම් නිලධාරීහු හඬා වැටෙමින් තමන් සිදුකළ වරද පිළිගත්හ. එහෙත් ඒ කිසිවක් දැන සිටි බව පොලිස්පති පෙන්නුවේ නැත.
මීට අමතරව මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා නියෝග නිකුත් කර තිබියදී ශ්‍රී ලංකාවේ පොලිස්පති පොලිසියට කොකා පෙන්වා සැඟවී යාම ගැනද ප්‍රශ්න කෙරිණි. එහෙත් පොලිස්පතිවරයා වගේ වගක් නොමැතිව, තමන් නීතියට අවනත නොවුණා යන වරද පිළිනොගෙන තමන් යටතේ වූ පොලිසිය හෑල්ලු කළේ තමන් ගෙදර සිටියදීත් පොලිසිය තමා සොයා නොගත් බව කියමිනි. ඒ නිසා පැහැදිලිවම ඔහුගේ ප්‍රකාශය හමුවේ තම නිලය විෂමාචාරය සඳහා යොදාගත් බවට සාක්ෂිවලින් ඒත්තු ගැන්වෙන තැනට පැමිණියේය. ඒ අනුව කමිටුවේ නිර්දේශය වූයේ ඔහුව පොලිස්පති ධුරයෙන් ඉවත් කළ යුතු බවටය. එය කමිටුවේ තීරණය පමණි. එය ක්‍රියාත්මක කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවටය.
ඒ අනුව අදාළ තීන්දුව ගැනීමේ දිනය අගෝස්තු 5 වැනිදාට යොදා ගැනීමට පක්ෂ නායකයෝ තීන්දු කළහ. කමිටු වාර්තාව සම්බන්ධයෙන් විවාදයකින් පසුව යෝජනාව සම්මත කිරීම හෝ නොකිරීම සිදු කරනු ඇත. එම යෝජනාව සම්මත වුවහොත් එය ලංකා ඉතිහාසයේ 2002 අංක 5 දරන රජයේ ඉහළ නිලධාරීන් තනතුරෙන් පහ කිරීමේ පනත ක්‍රියාත්මක කර පොලිස්පතිවරයකු ගෙදර යැවූ පළමු අවස්ථාව වනු ඇත.
එලෙස පොලිසියේ ප්‍රධානියා ගෙදර යාමට සූදානම් වන විට පසුගිය සතියේ ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨත්වයෙන් සිටි දෙවැනියා ද පොලිසියෙන් ඉවත් කරනු ලැබීය. වසර ගණනාවක් පොලිසියේ නීතිගරුක නිලධාරියකු ලෙස හඳුනාගෙන සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ප්‍රහාරයට අදාළව වරදකරු විය. ඒ ඔහු නිසි ලෙස තම රාජකාරි ඉටු නොකිරීම හේතුවෙනි. කෙතරම් නීතිගරුක නිලධාරියකු වුවද පාස්කු වැනි ප්‍රහාරයක් දැන දැනම වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ඔහුට දඬුවම් හිමිවිය යුතුමය. මේ නිසා ප්‍රථමයෙන් පොලිස් කොමිසම විසින් ඔහුව අනිවාර්ය නිවාඩු යවනු ලැබීය. ඒ ඔහුට එල්ල වුණු චෝදනා සම්බන්ධයෙන් විනය පරීක්ෂණ සිදුකිරීම සඳහාය. කෙසේ වෙතත් විනය පරීක්ෂණ අවසන් කිරීමෙන් පසුව පොලිස් කොමිසම පසුගිය සතියේ තීන්දු කළේ නිලන්ත ජයවර්ධන මහතා පොලිස් සේවයෙන් ඉවත් කිරීමටය.
පොලිස් කොමිසම එලෙස ගනු ලැබූ තීරණය සිය නිවේදනය මගින් පහදා දී තිබුණේ මෙලෙසය. “ඔහු විසින් කරන ලද වරදේ තීව්‍රතාවය සැලකිල්ලට ගෙන ආයතන සංග්‍රහයේ ii කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 24:3:1 වගන්තිය පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහ කිරීමට 2025.07.17 දින පැවති ජාතික පොලිස් කොමිෂන් සභා සැසි වාරයේදී තීරණය කරන ලදී.”
ඒ අනුව විධිමත් චෝදනා පත්‍රය අනුව අනිවාර්ය නිවාඩු යවා සිටි නිලන්ත ජයවර්ධන මහතා සියලු චෝදනාවලට වරදකරු වී සිටියි. එසේම එය ඉහත චෝදනා ආයතන සංග්‍රහයේ ii වැනි කාණ්ඩයේ සඳහන් රාජ්‍ය නිලධාරීන් විසින් සිදුකළ හැකි වැරදි සම්බන්ධව පළමුවැනි උපලේඛනය යටතට ගැනෙන වරදක් බවට වන කරුණ සැලකිල්ලට ගෙන එම නිලධාරියා චෝදනා පත්‍රයේ සඳහන් සියලු චෝදනාවලට වැරදිකරු බව එහිදී තීරණය විය. ඒ අනුව නිලන්ත ජයවර්ධන මහතා පොලිස් සේවයෙන් ඉවත් කරනු ලැබීය.
කෙසේ වෙතත් නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් අදාළ චෝදනා එල්ල වුණේ 2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයට අදාළව ඔහු රාජ්‍ය බුද්ධි ප්‍රධානියා ලෙස නිසි ලෙස අදාළ තොරතුරු සන්නිවේදනය නොකිරීම සම්බන්ධවය. ඒ අනුව ඔහුට විරුද්ධව අපරාධ පරීක්ෂණයක් පැවැත්වීමටත් විනය ක්‍රියාමාර්ග ගැනීමටත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රමුඛත්වයෙන් යුත් කොමිසම නියෝග කරනු ලැබීය.
ඒ අනුව පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම තුළින් සිය මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව දන්වමින් පාර්ශ්ව ගණනාවක් විසින් පෙත්සම් 12 ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2021 ජනවාරි 15 වැනිදා අදාළ පෙත්සම් විභාගයට ගැනීමට තීන්දු කරනු ලැබීය. ඒ අනුව හිටපු ආරක්ෂක ඇමැති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන අය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ මේ අයට වන්දි ගෙවන ලෙසට නියෝග කරමිනි. ඒ අනුව නිලන්ත ජයවර්ධන විසින් මිලියන 75 ක් ගෙවිය යුතු බවට තීන්දු කෙරිණි.
ඉන් අනතුරුව 2023 නොවැම්බර් 17 වැනිදා නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව පොලිස් කොමිසම විසින් චෝදනා පත්‍රයක් නිකුත් කරනු ලැබීය. අදාළ චෝදනා පත්‍රයට අනුව 2024 මාර්තු 21 වැනිදා විධිමත් විනය පරීක්ෂණයක් ආරම්භ කෙරිණි. ඒ අනුව අදාළ විමර්ශනය සිදුකිරීම සඳහා ඔහුව අනිවාර්ය නිවාඩු යැවීය. කෙසේ වෙතත් අදාළ විමර්ශන සිදුවන අතරතුර 2024 ඔක්තෝබර් 07 වැනිදා නිලන්ත ජයවර්ධනගේ නීතිඥයන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබුණේ ඔහුට නියම වූ මිලියන 75 ක මුදල ගෙවා දමා ඇති බවයි. මේ සියල්ල සිදුකළ නිලන්ත ජයවර්ධන මහතා පසුගිය 17 වැනිදා සේවයෙන් ඉවත් කරනු ලැබීය.
මෙම සිදුවීමත් සමඟ කතෝලික සභාව මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා ඔවුන්ගේ ස්ථාවරය පැහැදිලි කළේය. එහිදී කොළඹ අගරදගුරු පදවියේ සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා ප්‍රකාශයක් කළේය. එනම් ජනතා මුදලින් යැපෙන මෙම නිලධාරීන් ජනතාව ආරක්ෂා කළ යුතු බවත් එසේ නොකිරීම මත උපරිම දඬුවම ලබා දිය යුතු බවත්ය. එමෙන්ම තමන්ගේ හැඟීම අනුව ඔවුන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නොව මරණ දඬුවම ලබා දිය යුතු බවද හෙතෙම පැවසීය. ආවේගයෙන් සිදුකළ එකී ප්‍රකාශය ජූඩ් ක්‍රිෂාන්ත පියතුමාට පාරා වළල්ලක් විය. ඒ ලෝක කතෝලික සභාවම මරණ දඬුවම ප්‍රතික්ෂේප කරන බැවිනි. එසේ නම් ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා එසේ කීවේ ඇයිද යන්න හැම දෙනාටම ගැටලු සහගත විය.
කෙසේ වෙතත් ඔහු සිදුකළ ප්‍රකාශය කතෝලික සභාවට කැළලක් වූ බැවින් ඊට පසුදින සිරිල් ගාමිණී පියතුමන් විසින් එය නිවැරදි කරමින් ප්‍රකාශ කළේ කතෝලික සභාව එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවයි. එම ප්‍රකාශය ජූඩ් ක්‍රිෂාන්ත පියතුමාගේ පෞද්ගලික අදහසක් බවයි.
මේ අයුරින් ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ නිළධාරීන් දෙදෙනකුගේ වෘත්තීය ඉරණම අවසන් විය. ඒ අනුව එම සිදුවීම ඉතිහාසගත වනු ඇත. අපට දැනගන්නට ඇති පරිදි දේශබන්දු තෙන්නකොන් මහතා පොලිස්පති ධුරය කාලයක් දැරීමෙන් පසුව නිලන්ත ජයවර්ධන මහතාට එම ධුරය ලබාදීමේ කැමැත්තක සිට ඇත. එහෙත් අවසානයේ දෙදෙනාටම තමන් සිටි තැනින්ද පහළ වැටීමක් විනා ලැබුණු දෙයක් නැත. එය අන් කිසිවක් නොව කර්ම න්‍යායයි.
• ගයාන් ගාල්ලගේ