2025 ජුලි 26 වන සෙනසුරාදා

මාතර නිල්වලා රිවර් පාක් දෙමං තලාවක!

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:03 161

උද්‍යානයක් යනු නගර අලංකරණය සඳහා වන අත්‍යවශ්‍ය අංගයකි. එසේම කාර්යබහුල ජීවිත ගත කරන නාගරිකයන්ට මෙන්ම, විඩාබර ජීවිතයෙන් වෙන්වී මොහොතකට හෝ සැනසීම සොයන සැමටත් උද්‍යානයක් යනු අපූරු පාරාදීසයකි. අප සංවාදයට නිමිත්ත සපයන මාතර නිල්වලා ගඟබඩ උද්‍යානය ද එවන් අපූරු සංකල්පයක ප්‍රතිඵලයකි. දකුණු පළාතේ ප්‍රධාන නගරයක් වන මාතරට මෙවන් ගංතෙර උද්‍යානයක අවශ්‍යතාව වටහාගත් එවක හිටපු අමාත්‍යවරයකු වූ මංගල සමරවීර මහතා මෙම වෙරළබඩ උද්‍යාන සංකල්පයේ නිර්මාතෘවරයා විය.

මීට කලකට ඉහතදී ඔහුගේ මැදිහත්වීමෙන් මෙම ව්‍යාපෘතියට මුල්ගල තබා වැඩ කටයුතු ආරම්භ කෙරුණි. එකල මෙම ස්ථානය මාතර නගර සභාවේ කුණු කසළ බැහැර කරන ස්ථානයක් ලෙස පැවති භූමියක් විය. නාගරික සංවර්ධන අධිකාරිය (UDA) හරහා දියත් කෙරුණු මෙම ව්‍යාපෘතියේ ආරම්භය මාතර නගරයට නව බලාපොරොත්තුවක් ගෙන ආවේය. එහෙත්, ආණ්ඩු මාරුවීම් සහ තවත් ගැටලු රැසක් හේතුවෙන් මෙම සංවර්ධන ව්‍යාපෘතිය අවාසනාවන්ත ලෙස අතරමග නැවතිණි. යම් ප්‍රමාණයකට සංවර්ධනය කර තිබූ මෙම ස්ථානය පසුව කැලෑවට ගොස්, සමාජ විරෝධී ක්‍රියා සිදුකරන්නන්ගේ තිප්පොළක් බවට ද පත් වූයේ නිරායාසයෙනි.

උද්‍යානය ජනතාවට ප්‍රයෝජනවත් වන ආකාරයට පවත්වාගෙන යාමේ අරමුණින්, නාගරික සංවර්ධන අධිකාරිය විසින් කිහිප වරක්ම මෙය බදු දීමට උත්සාහ කර තිබේ. අවසානයේ ඔවුන් ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවීමක් සිදුකළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සීමාසහිත මාකෝප් රිවර් රෙස්ටොරන්ට් පෞද්ගලික සමාගමට මෙම ටෙන්ඩරය හිමි විය. මුලින් මෙම ටෙන්ඩරය ලබා ගැනීමට සිටි ලංසුකරුට කිඹුලා වැව ඉදිකිරීම සම්බන්ධයෙන් ගැටලු මතුවීම හේතුවෙන්, නිල ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හරහා මෙම අවස්ථාව මාකෝප් රිවර් සමාගමට හිමි වූ බව කියැවේ.

මාකෝප් රිවර් සමාගම උද්‍යානය බාරගත් පසු එය විශාල මුදලක් ආයෝජනය කරමින් සංවර්ධනය කර පවත්වාගෙන ගියේය. මාතර නගරයට නව ජීවයක් ලබා දෙමින් පවුල්වලට සහ තරුණ තරුණියන්ට විවේකය ගත කිරීමට සුදුසු ස්ථානයක් බවට එය පත්වෙමින් තිබුණි. මේ සඳහා නිල්වලා ගඟබඩ උද්‍යානය යන නම තැබීමටද ඔවුන් කටයුතු කර තිබුණි. මෙම සමාගම නාගරික සංවර්ධන අධිකාරියට මාසිකව රුපියල් අට ලක්ෂයකට වැඩි බදු මුදලක් ගෙවමින් උද්‍යානය ඉතා සාර්ථකව පවත්වාගෙන ගියේය. මේ දක්වාම මෙම ව්‍යාපෘතියට අදාළ සංවර්ධන කටයුතු අදාළ සමාගම් විසින් දිගින් දිගටම සිදු කරගෙන යනු ලබූ අතර, මූලික අදියරේ විවෘත කිරීම් සිදුකර විවිධ කටයුතු සඳහා මෙම උද්‍යානය මහජනතාව වෙත විවෘත කර තිබුණි. කෙසේ වෙතත් උද්‍යානයේ සැලකිය යුතු ප්‍රමාණයක කටයුතු අවසන් කරමින් නිල වශයෙන් නැවතත් මෙය විවෘත කිරීමට අදාළ සමාගම උත්සාහ දැරුවේය. වර්තමාන ගැටලු‍ව නිර්මාණය වූයේ මෙම විවෘත කිරීම සම්බන්ධව පාර්ශ්ව කිහිපයක් හරහා එල්ල වූ විරෝධතා මතය. මේ පිටුපස සැඟවුණු දේශපාලන කතාවක් පවතින බව මාතරින් ලැබුණු ආරංචි අනුව පෙනී යයි.

මෙම අර්බුදය හමුවේ ජූලි 21 වැනි දින මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා විසින් අධිකරණ නියෝගයක් නිකුත් කරමින්, 2025 අගෝස්තු 26 වැනි දින දක්වා උද්‍යානය තාවකාලිකව වසා දමන ලෙස සීමාසහිත මාකෝප් රිවර් රෙස්ටොරන්ට් පෞද්ගලික සමාගමට නියෝග කරනු ලැබීය. මෙම නියෝගය නිකුත් කර ඇත්තේ මාතර මූලස්ථාන පොලිසිය විසින් කරන ලද ඉල්ලීමකට අනුවයි. පොලිසිය පවසා ඇත්තේ ඇත්තේ උද්‍යානය අනාරක්ෂිත බවත්, එහි අනවසර ඉදිකිරීම් ඇති බවත්, එමගින් මහජන පීඩාවක් සිදුවන බවයි.

මෙම වසා දැමීමට හේතුව ලෙස පොලිසිය පෙන්වා දී ඇත්තේ පුද්ගලයන් සිවු දෙනකු විසින් සිදු කරන ලද පැමිණිලිය. එම පැමිණිලිවලට අනුව පරීක්ෂණයක් පවත්වන බැවින්, එය මහජනතාවට විවෘත නොකරන ලෙස පොලිසිය අධිකරණයට කරුණු දක්වා ඇත. අධිකරණ නියෝගයට අනුව, උද්‍යානයේ අනාරක්ෂිත බවක් තිබේද යන්න පරීක්ෂා කර ලබන අගෝස්තු 26 වැනි දිනට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට නාගරික සංවර්ධන අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය සහ මාතර මහ නගර සභාව ඇතුළු ආයතන කිහිපයකට නියෝග කර තිබේ. එසේම මෙම වසා තැබෙන කාලසීමාව සඳහා මාකෝප් රිවර් සමාගම නාගරික සංවර්ධන අධිකාරියට ගෙවිය යුතු බදු මුදල් නිදහස් කිරීමට ද නියෝග කරනු ලැබීය. මේ අතර, මෙම වසා දැමීම පිටුපස දේශපාලන අරමුණු ඇති බවට චෝදනා එල්ල වේ. විශේෂයෙන් ජාතික ජන බලවේගයේ (NPP) අවශ්‍යතාවක් මත මෙම තහනම සඳහා වන කටයුතු සැලසුම් වී ඇති බවට චෝදනාවක් මේ වන විට ඉදිරිපත්ව ඇත. මාතර සංවර්ධන කමිටුවේදී මෙම ටෙන්ඩර් ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡා වී ඇති බව මෙම වසා දැමීමට විරෝධය දක්වන්නෝ සඳහන් කරති. මෙම ටෙන්ඩර් පිරිනැමීම විධිමත් ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව සිදුවී ඇති බව එහිදී සාකච්ඡා වී ඇත. එහෙත් සමාගම කියා සිටින්නේ මෙය මුළුමනින්ම අනවබෝධයෙන් සිදුකළ කටයුත්තක් බවය.

තවද මෑතකදී පිහිටුවනු ලැබූ මාතර නගර සභාවට මේ වන විට නැවතත් මෙම ඉඩම පවරා ගැනීමට උවමනා වී තිබීම හේතුවෙන් මෙහි යම් සැලසුමක් ක්‍රියාත්මක වන බවට සැක සංකා මතුව තිබේ. එසේම මාතර නගර සභාව විසින් මෙම උද්‍යානයට ආසන්න ඉඩමක මාතර කුණු කසළ බැහැර කිරීමට උත්සාහ කරනු ඇතැයි ද කටකතා පැතිර යයි. මෙම චෝදනා සහ කටකතා, නිල්වලා ගඟබඩ උද්‍යානය වටා නිර්මාණය වී ඇති සංකීර්ණ තත්ත්වය තවදුරටත් සංකීර්ණ කරයි.

මෙම උද්‍යානය වසා දැමීමට පොලිසිය පැමිණි අවස්ථාවේද යම් අර්බුදයක් නිර්මාණය වී ඇති බව කියැවේ. මෙහිදී මේ හරහා මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බව සඳහන් කරමින් මානව හිමිකම් කොමිසම් සභාවට පැමිණිල්ලක් ද ඉදිරිපත් වී ඇත. කෙසේ වෙතත් අධිකරණ නියෝගයට ගරු කරමින් අදාළ සමාගම උද්‍යානය වසා දැමීමට පියවර ගෙන තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් මාතර ජනතාව අතර විවිධ අදහස් හා කතාබහට ලක්ව ඇත. අප මේ පිළිබඳ මාතර දිස්ත්‍රික් නාගරික සංවර්ධන නිලධාරීන්ගෙන් විමසිමට උත්සහා කළ නමුත් එම උත්සහය සාර්ථක නොවුණි.

උද්‍යානය නැවත විවෘත කිරීම සහ එහි අනාගතය පිළිබඳව තීරණය වන්නේ අධිකරණයේ ඉදිරි විභාගයන්ගෙන් සහ අදාළ ආයතනවල වාර්තා අනුවය. මේ සියලු‍ චෝදනා සහ අභියෝග මධ්‍යයේ මාතර නිල්වලා ගඟබඩ උද්‍යානයේ සැබෑ ඉරණම කුමක් වේදැයි දැන ගැනීමට ජනතාව බලා සිටිති. කෙසේ වෙතත් දේශපාලන උවමනා එපාකම් මත නොව මහජන අවශ්‍යතා සහ සාධාරණත්වය මත මෙම ගැටලුව විසඳෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

• චමිඳු නිසල් ද සිල්වා

 

සභාපති - රිවර් රෙස්ටොරන්ට් පෞද්ගලික සමාගම

මේ දක්වා මහජනතාවට ලොකුවට විවෘත නොකරත් අපි මුදල් ගෙවාගෙන ගියා. පොඩි පොඩි උපන් දින සාද, උත්සව කටයුතු වගේ දේවල් සඳහා උද්‍යානය ලබා දුන්නා. ඉතින් ඒකෙන් ලොකු ආදායමක් උපයාගන්න හැකියාවක් තිබුණේ නෑ. ඒත් අපි අතිනුත් ඒ පාඩුව දරාගෙන අදාළ ගෙවීම් සිදු කරමින් මේ කටයුතු කරගෙන ගියා. මීට දෙසතියකට පෙර අපි මේක නිල වශයෙන් ජනතාවට විවෘත කළා. ඒ වෙනකොට මේ 8 වැනිදා අපිට ලියුමක් ඇවිත් තිබුණා මේක විවෘත කරන්න සුදුසු නැහැ, තාවකාලිකව නවත්වන්න කියලා. ඒ අවස්ථාවේ අපි සඳහන් කළා මේ වන විටත් විවෘත කරලා තියෙන්නෙ, ඒත් ඔබ සඳහන් කරන නිසා අපි මේ විශේෂ විවෘත කිරීම නවත්වනවා කියලා. අපි මේ පිළිබඳව ප්‍රශ්න කළාම දැනගත්තා මාතර සංවර්ධන කමිටුවේ සභාපති අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහත්මයා සංවර්ධන කමිටුවේදී ප්‍රකාශයක් කරලා තියෙනවා, මේ ටෙන්ඩරයේ වංචාවක් ඇති බවට. එක එක කතා මෙතැනදි කියැවිලා තියෙනවා. ඒත් අපි නීත්‍යානුකූලව නාගරික සංවර්ධනය අධිකාරියෙන් දෙන ගිවිසුමකට අනුව තමා මේ කටයුතු කරලා තියෙන්නෙ. අපි ටෙන්ඩර් කොන්දේසි කඩ කරලා නෑ, ගිවිසුම කඩ කරලා නෑ. පසුව අපි ඉකුත් සිකුරාදා විවෘත කිරීම සිදු කළා. ඒක සාමාන්‍ය විදිහට සිද්ධ කෙරුණා. පස්සේ එතැනට ඇවිල්ලා ඇහුවා ඇයි මෙහෙම විවෘත කරන්නෙ කියලා. අපි දිගින් දිගටම මුදල් ගෙවාගෙන යනවා නම් දැනටමත් විවෘත කරලා තියෙනවා නම් මේක සාමාන්‍ය දෙයක් කියලා අපි පැහැදිලි කළා. ඊට පස්සේ මෙතැන අනවසර ඉදිකිරීම් වගයක් තියෙනවා කියලා ගැටලු‍වක් ඉදිරිපත් වුණා. එතැනදි අපි ඇහුවා අනවසර ඉදිකිරීම් තියෙන්නේ කොහොමද? මේ සෑම ඉදිකිරීමක්ම නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරුණු ඒවා කියලා.

ඊට පස්සේ සෙනසුරාදා නාගරික සංවර්ධන අධිකාරියේ මාතර නිලධාරින් ඇවිල්ලා මේක වසා දමන්න උත්සාහ කළා. අපි මුදල් ගෙවාගෙන යනවා, මේක නිල වශයෙන් බාරදීලා තියෙන්නෙ, ඒ වගේ අවස්ථාවක අයුතු අවහිරතා කරන්න එපා කියන එක අපි මතක් කළා. ඊට පස්සේ සෙනසුරාදා රාත්‍රී 12 ට විතර ඇවිල්ලා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නියෝගයක් මත කියලා එළියෙන් ඉබ්බෙක් දාලා ගිහින් තියෙනවා. ඒත් උදේ අපේ ආරක්ෂක නිලධාරීන්ට හිතාගන්න බැරිවෙලා තියෙනවා මොකක්ද වුණේ කියලා. ඒ නිසා අපි මේක නැවත විවෘත කරලා සාමාන්‍ය විදිහට කටයුතු කරගෙන ගියා.

පසුව පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය එක්ක නාගරික සංවර්ධන අධිකාරියේ පිරිස මෙතැනට ඇවිල්ලා මේක වසා දමන්න උත්සාහ කළා. එහිදී මේ ස්ථානයේ හිටපු මහජනතාවත් මේ සඳහා විරෝධය පෑවා. මේ වෙනකොට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා පොලිස්පතිවරයාගෙන් සිදු කරපු ඉල්ලීමක් මත මේ අනාරක්ෂිත බව සඳහන් කරමින් උද්‍යානය වසා දමලා තියෙනවා. අධිකරණය මේ පිළිබඳ අදාළ ආයතනවලින් වාර්තාවක් කැඳවලා තියෙනවා.”
 

(චමින්ද ගුණසේකර)