2019 ජුලි 27 වන සෙනසුරාදා

කුණු කොතැනද අපි එතැන!

 2019 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 92

ප්‍රකට ලේඛකයෙකු මෙන්ම දේශකයෙකු ද වන ටොඩ් හෙන්රි ලියූ “Die Empty” කෘතිය ද බොහෝ ජනප්‍රිය විය. එය ලිවීමට නිමිති වූ සිද්ධියක් පිළිබඳව ඔහු මෙසේ සඳහන් කරයි.

එක්තරා ව්‍යාපාරික ආයතනයක පැවති උදෑසන රැස්වීමකදී එහි අධ්‍යක්ෂවරයා සභාවෙන් මෙසේ අසයි.

“මේ ලෝකයේ පොහොසත්ම භූමිය පිහිටා තිබෙන්නේ කොහේද?”

“තෙල් නිධි තියෙන අරාබියේ”

කෙනෙක් පිළිතුරු දුන්නේය.

“දියමන්ති ආකර තියෙන අප්‍රිකාවෙ”

තවත් කෙනෙක් කීය.

මඳ සිනාවක් පෑ අධ්‍යක්ෂවරයා මෙසේ පැවසීය.

“නෑ.. ලෝකේ තියෙන පොහොසත්ම භූමිය තමයි සොහොන් පිටිය.”

සභාවේ පිරිස අන්දුන්කුන්දුන්ව අධ්‍යක්ෂවරයා දෙස බලා සිටියහ. ඔහු යළිත් කතා කරන්නට විය.

“මේ ලෝකෙ මිනිසුන්ගෙන් වැඩිදෙනෙක් මැරෙන්නෙ තමන්ගෙ හිත් තුළ තිබෙන වටිනා අදහස් ක්‍රියාත්මක කරන්නේ නැතිව. සොහොන් පිට්ටනි තුළ වැළලෙන්නේ ඒ වටිනා අදහස්. ඒවා මිල කරන්න බෑ.”

ටොඩ් හෙන්රි තම පොතෙන් කියා සිටින්නේද අප මිය යා යුත්තේ අප සිත් තුළ තිබෙන වටිනා අදහස් ක්‍රියාවට නැංවීමෙන් පසුව බවය. ජීවත්ව සිටින කාලයේදී ඒවා බෙදාහදා ගතහැක. අනුන්ට පිරිනැමිය හැකිය. එවිට කවුරුන් හෝ ඉන් ප්‍රයෝජන ගනු ඇත. මිය යන විට මනසේ ගබඩා හිස්ව තිබිය යුතුය.

මට ටොඩ් හෙන්රිගේ මෙම අගනා අදහස හිටිහැටියේ හිතට ආවේ පසුගිය දිනෙක මුහුණු පොතේ වූ සටහනක් දැකීමෙනි. ඒ සමඟ වූ ඡායාරූපයෙහි දැක්වුණේ කොළඹ වෙළඳ සැලකින් මිල දී ගත් ලී මිටකින් යුත් කුඩා බුරුසුවකි. එහි Made in China යනුවෙන් ද සඳහන්ය. එම නිෂ්පාදන සටහන ශ්‍රී ලංකාවේ අපට බත් තරමටම හුරුය. පුරුදුය.

මුහුණු පොතට චීන බුරුසුව එක් කළ මහතා අපගෙන් මෙසේ විමසයි.

“අපිට තවම ලී බුරුසුවක්වත් හදාගන්න බැරිද?”

මට නම් හිතෙන්නේ මේ ප්‍රශ්නය ඇසිය යුත්තේ ජේ.ආර්.ගෙනි හැම “මඟුල”ම රටින් ගෙන්වීමට වරායේ දොරටු විවෘත කර දුන්නේ ඔහුය.

“තමන්ගේ ගින්දර පිටටත් එපා, අනුන්ගේ ගින්දර ගෙටත් එපා” යැයි කීවේ පැරන්නෝය. දැන් නම් ගින්දර නොව අනුන්ගේ කුණු පවා ගෙට ගෙනෙන්නෙ කන්ටේනර් ගණන්ය. එහෙත් මී කුණක් විකුණා ධන කුවේරයින් වූ මිනිසුන් සිටි ලෝකයක කුණු විකුණා ඩොලර් හොයන්න එපා යැයි කීමටද පුළුවන්කමක් නැත. තමන් ගොඩනම් අනුන්ගේ “ගිනි”ත් සැපය. කුණුත් සැපය.

කඳා මැට්ටට මැණික් යැයි රැවටුණු මැට්ටෝ සිටියේ ද අතීතයෙහිය. අලගියවන්න මුකවෙටි කිවිඳු සුභාෂිතයෙහිදි මෙසේ කීවේ එහෙයිනි.

“රුවන් මිල නොදත් අනුවණ දන වෙළෙඳ
ලොබින් කඳා මැටි මිණි යැයි රැගත් ලෙද”

දැන් කාලේ නම් අනුවණ වෙළෙන්ඳෝ නැත. සංචාරකයින්ට වීදුරු කැබලිත්, මැණික් ලෙස විකුණන්නට ඔවුන් සමත්ය. රටින් ගෙනා කුණු කන්දල් ප්‍රතිනිෂ්පාදනයටත් හපන්ය. එහෙත් තමන්ගේ රටේ කුණුවලට කළ යුතු දෙයක් ගැන නොදනිති. තමන්ගේ සංවත්සර සැමරීමට මිලියන ගණන් නාස්ති කළ නගර පාලකයින්ට කුණු කඳු නායයන තුරු උඩ බලාසිටීම හැර වෙන කළ යුතුදෙයක් තිබුණේ නැත.

අනුන්ගේ කුණු තමන්ගේ කර මත පටවා ගන්නේ වැලේ වැල් නැති රටවල්ය. දැන් අපේ සිරිලංකාව ද එතැනට වැටෙන්නට යයි. කලින් කලට අත්සන් කළ කුණු ගිවිසුම් ගැන ද දැන් දැන් කුණු කුණු ගානු ඇසෙයි.

රෝහල් අසල ගැවසෙන මිනී කාක්කන් ගැන අප අසා ඇත. ලොකු ලොකු තැන්වල කුණු කාක්කන් ද සිටිනා බවක් දැන් සිතාගත හැක. කුණු කොතැනද උන් එතනය. අපේ රටේ කුණු ප්‍රශ්නය දිගින් දිගටම කුණු වන්නේ එහෙයිනි.

දියුණු යැයි කියන සමහර රටවල ද කුණු ප්‍රශ්න ඇත. සුන්දර පුරවරයකැයි කියන රෝමයට ද කුණු හිසරදයක්ව තිබුණි. රෝමයේ කුණු බාර ගැනීමට, ඕස්ට්‍රියාව ඉදිරිපත් විය. ඇල්ප්ස් කඳුවැටිය ඔස්සේ උතුරු දිග ඉතාලිය හරහා දුම්රිය මාර්ගයෙන් ප්‍රවාහනය කෙරෙන රෝම කුණු කසල නවතින්නේ ඕස්ට්‍රියාවේ ඊ.වී.එන්. ආයතනයට අයත් තාප බලාගාරය අසලය. අවසානයේදී රෝම කුණු ඕස්ට්‍රියාවේ විදුලිය බවට පත්වෙයි. දණක් නොව කරක් උසට කුණු තිබුණත් මොළේ කළඳක් තිබෙනවා නම් කුණු ප්‍රශ්නයට විසඳුම් සෙවිය හැකි බවට හොඳ නිදසුනකි ඒ.

ටොඩ් හෙන්රි කියූ පරිදි මොළයට එන නව අදහස්වලින් වැඩ ගත යුතුය. සිරි ලංකාවට ද එබඳු මොළකාරයන්ගෙන් අඩුවක් නැත. අවුරුද්දකට වතාවක් නව නිපැයුම්කරුවන් සඳහා සම්මාන ද පිරිනැමේ “අලුත් අලුත් දෑ නොතකන ජාතිය ලොව නොනගී” යැයි කුමරතුඟුවෝ ද පැවසූහ. එසේ නම් අප අපෙන්ම විමැසිය යුත්තේ නව නිපැයුම්කරුවන්, නව අදහස් මවන්නවුන් ඕනෑ තරම් සිටියදීත් ජාතිය ලොව නොනගින්නේ ඒවා නොසළකා සිටිනා නිසාවත් ද කියාය.

උපවාස ප්‍රිය පුද්ගලයන්ට විෂය නොවන දෙයක් මෙලොව නැත. රීසයිකල් (recycle) නොහොත් ප්‍රතිචක්‍රීයකරණය යන යෙදුම ජනප්‍රිය භාවිතයක් බවට පත්වූයේද කසළ ප්‍රශ්නය සමඟිනි. ඒ වචනය අල්ලා ගත් විහිළු කතා කාරයෙක් නිර්මාණය කළ කතාවකි මේ.

බිල් සහ හිලරිගේ මංගල රාත්‍රියේදී සපත්තු පෙට්ටියක් පෙන්වූ බිල් මෙසේ කීය.

“හිලරි.. අපි දෙන්නා එකිනෙකට සත්‍යගරුකව ජීවත් වෙන්න අද පල්ලියේදී පොරොන්දු වුණානේ. ඒ විදිහට ඉමු.. මෙන්න මේ සපත්තු පෙට්ටිය කිසිමදාක ඇරලා බලන්නේ නෑ කියලා ඔයා මට පොරොන්දු වෙනවාද..?”

හිලරි එසේ පොරොන්දු වූවාය..

ඔවුන්ගේ 30 වෙනි විවාහ සංවත්සරය දා හිලරිට අර සපත්තු පෙට්ටිය සිහිපත් වුණා. ඇය සැමියාට නොකියාම එය විවෘත කර බැලුවාය. එය තුළ හිස් බීර ටින් තුනක් සහ ඩොලර් දාහක මුදලක් විය. එදින රාත්‍රියේ හිලරි සැමියා අමතමින් මෙසේ කීවාය.

“බිල් අද මම අර පොරොන්දුව කැඩුවා. සපත්තු පෙට්ටිය ඇරලා බැලුවා. ඒකේ තිබුණේ හිස් බියර ටින් තුනකුයි, ඩොලර් දාහකුයි.” ඇයි ඔයා මට ඒක බලන්න නොදුන්නේ?”

“මම ඔයාට වංචාවක් කරපු හැම වෙලේකම හිස් බියර් ටින් එකක් ඔය පෙට්ටියට දැම්මා.” බිල් සිනාසුණේය.

“ආ එහෙමද? නරකම නෑ තිස් අවුරුද්දකටම බියර් ටින් තුනයි! එතකොට ඩොලර් දාහ?”

“සපත්තු පෙට්ටිය පිරෙන හැම වෙලාවකම මම බීර ටින් ටික රීසයිකල් කරන තැනකට විකිණුවා.”

හිලරි වහා පුටුවෙන් නැගිට දත්මිටි කමින් සිය නිදන කාමරයට දිවගොස් සපත්තු පෙට්ටියක් ගෙනැවිත් බිල් ඉදිරියෙහි තැබුවාය.

ඔහු එය විවෘත කළේය.

හිස් කොකා කෝලා ටින් හයක් සහ ඩොලර් දෙහසක් ඒ තුළ විය.

එය ඔවුන්ගේ අවසාන විවාහ සංවත්සරය ද වූයේ ප්‍රේමය “රීසයිකල්” කළ නොහැකි බැවිනි.!

කපිල කුමාර කාලිංග

 2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00