2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

ණයයි සොරකමයි රටේ ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක්

 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 77

► ජවිපෙ දුප්පතුන්ගේ පක්ෂයක් නොවෙයි

► අයියලා මල්ලිලාගේ යාළුවන්ගේ පාලනය දැන් ඇතිවෙලා

► බජිරි වපුරලා සම්බා හාල් බලාපොරොත්තු වෙන්න එපා

► මේ පාර එන්නේ තුනට බෙදුණු ප්‍රතිඵලයක්

► ශ්‍රීලනිප පාක්ෂිකයා දැන් බාඳුරා මල ඇතුළට වැටිලා

► බදු ගෙවලා පෝෂණය කරන්නෙ හොරු

► පක්ෂ හෝදලා වතුර බොන්න අපට ඕනෑ නෑ

- සුනිල් හඳුන්නෙත්ති (ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී)

 

ජනතා විමුක්ති පෙරමුණේ නායකයෙක් වසර ගණනාවකට පස්සේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙනවා. ඇයි මේ වගේ තීන්දුවක් ගන්න හිතුවේ?

මුලින්ම කියන්න ඕනෙ ජනාධිපතිවරණ ඉතිහාසය තුළ අපි කොයි වෙලාවකවත් නිකම් ඉඳලා නැහැ. අපි හැම ජනාධිපතිවරණයකදීම මේ රටේ තීරණාත්මක බලවේගය බවට පත් වුණා. අපි 1999 තමයි වමේ බලවේගයක් හැටියට අපේ අපේක්ෂකයකු ඉදිරිපත් කළේ. ඊටපස්සෙ 2015 දී ඒ මොහොතෙ ඇතිවෙලා තිබ්බ තත්ත්වයත් සාමකාමීත්වය ඇති කිරීමටත් අපි ජනාධිපති කෙනෙක් බිහි කළා. ඊටපස්සෙ 2010 දී අපි උත්සාහ කළා රාජපක්ෂ පවුල් පාලනය බිඳ දමන්න පුළුවන් අපේක්ෂකයෙක් ගේන්න. අපි 2015 දීත් එහෙමයි. අපේක්ෂකයෙක් එදා ඉදිරිපත් නොකිරීම අපේ දේශපාලන ක්‍රියාමාර්ගයක්. ඒ හැම මොහොතකදීම අපි නිකම් හිටියෙ නැහැ.

මම අහන්නෙ ඇයි මේ පාර ඉදිරිපත් වෙන්න තීරණය කළේ?

මේ ජනතාවට දැන් කැඳයි රැවුලයි දෙකම ඇතිවෙලයි තියෙන්නෙ. මේ අයියලා මල්ලිලා යාළුවෝ අවුරුදු 70ක් තිස්සෙ කරපු පාලනය දැන් ජනතාවට ඇතිවෙලා. ඒකට ජනතාව දැන් විකල්පයක් හොයන්න ඕනෙ. මේ විකල්ප බලවේගය ගොඩනගන්න තමයි ජනතාවගේ බලාපොරොත්තුවෙන් අපි ඉදිරිපත් වුණේ.

ඔබලා කියනවා මේ රට සිස්ටම් එකකට හදන්න ඕනෙ කියලා. මොකක්ද අනෙක් පක්ෂවලට නැති ඔබලට තියෙන සිස්ටම් එක?

පැහැදිලිවම මේ ආර්ථික ක්‍රමය වැරදියි. රටට ජනතාවට ගුණාත්මක ආර්ථික ක්‍රමයක් ඕනෙ ජීවත් වෙන්න. දැන් වෙලා තියෙන්නෙ ජනතාව බදු ගෙවල ගෙවල පෝෂණය කරන්නෙ මේ රටේ හොරු. මේක හොරු සංවර්ධනය කරන ආර්ථිකයක්. අපිට ඕනෙ ජනතාව සංවර්ධනය කරන ආර්ථිකයක්. අධ්‍යාපනයත් එහෙමයි. දරුවන්ගෙ දෙමව්පියො ණයකාරයො කරලා දරුවො නන්නත්තාර කරන අධ්‍යාපන ක්‍රමයක් තියෙන්නෙ. ඒ නිසා අපේ බලාපොරොත්තුව ජනතාවට ගුණාත්මක ජීවිතයක් ලබා දීමයි. ඒ නිසා ජනතාව දැන් දැනගන්න ඕනෙ පාලකයො හැදෙන රට හදන ක්‍රමවේදයක් ගොඩනගන්න. හැබැයි ජනතාවට ඕනෙ හොරු රජ කරවන්න නම් ඒ අවස්ථාවත් ජනතාවට තියෙනවා. තේරෙන සිංහලෙන් කිව්වොත් අපිට දෙන්න ඕනෙ ජනතාවට “කොලිටි ලයිෆ්” එකක්.

ඔය කොලිටි ලයිෆ් එකක් හදන්න තමයි රටේ ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයො දෙන්නා එන්නෙ. ඔවුනුත් පොරොන්දු දෙනවා. ජනතාව කොහොමද කාවද විශ්වාස කරන්නෙ?

මට කියන්න මීට කලින් මැතිවරණයකදී නොකියපු අලුත් දෙයක් මේ අය කියලා තියෙනවද? හැමදාම කියනවා අර සහනාධාර දෙනවා. මේ සහනාධාර දෙනවා කියලා. නිවාස, ලයිට්, වතුර හැමදේම දෙනවා කියනවා. ඔය ටිකනෙ හැමදාම කියන්නෙ. මට කියන්න මේ දේවල් කියලා කරපු දෙයක්. මේ දේවල් පිළිගන්න මිනිස්සුන්ට මොළේ අමාරුවක් නෑනෙ. ඒ නිසා ලිහලා බලපු මල්ල ආයෙ ඔබලා බලන්න දෙයක් නෑ ජනතාවට. ඔය කවුරු පත්කර ගත්තත් ඉන්නෙ ඔය දෙපැත්තෙම ඉන්න අය විතරයි. දෙගොල්ලො එහාට මෙහාට මාරුවෙවී ඉන්නවා.

ඉතින් මිනිස්සුන්ට මේක තේරෙනවා නම් ඇයි ඔබලට මිනිස්සු අඩු?

ඒක ඉතින් මාධ්‍යයේ පෙන්වන්නෙ නැතිකමනෙ. මාධ්‍යයට සාධාරණ ඡන්දයක් වෙනුවෙන් සාධාරණව වැඩ කරන්න කියන්නකො. මාධ්‍යයත් ඡන්දෙ නැති කාලවලදී ආණ්ඩුව පතුරු ගහනවා. පස්සෙ ඡන්දයක් ආවහම ඒ අයව පුම්බනවා. මේවා මේ විකුණගන්න කරන වැඩ.

මම අහන්නෙ අර පක්ෂ එච්චරම අවුල් නම් ඇයි මිනිස්සු තවමත් රොද බැඳගෙන ඉන්නෙ?

ඔයා අහන්නකො යන කෙනකුගෙන් මොකටද ආවෙ කියලා. අහන්න රැස්වීමෙ මොනවද අහන් හිටියෙ කියලා. ඒකටත් හේතුව ඔහොම සෙනග පිරෙන්නෙ මිනිස්සුන්ගෙ දුප්පත්කමයි අසරණකමයි. ඔය රැස්වීමක් තියෙද්දි බලන්නකො අරක්කු බෝතලුයි බත් පැකටුයි කොච්චරක් තියෙනවද කියලා. අපේ රැස්වීම්වල අරක්කු බෝතල් නෑ. කන්න බොන්න නැතුව අසරණ වුණත් එදා තියෙන රැස්වීම්වලට එනවා.

ඔබ කියන්නෙ 225ගේ ආකල්පය නෙමේ වැදගත්, මේ රටේ කෝටි 2කට වැඩි ජනතාවගෙ ආකල්පය වැදගත් කියලද?

දැන් බලන්න 225 කියන්නෙ කෝටි 2 ජනතාවගේ තෝරාගැනීමයි. මම කියන්නෙ නෑ ජනතාව බුද්ධිමත් කියලා. මම ඒ මෝඩ කතාව කියන්නෙ නෑ. මම ඒකට බය නෑ. ජනතාවත් දන්නවා ජනතාව මෝඩයි කියලා. ජනතාව කඩේට ගිහින් හැමදාම හොඳම බඩු තෝරනවා. හැමදේම හොඳම දේ ගන්න ජනතාව තමන්ගෙ දේශපාලනඥයා තෝරගැනීමේදී මෝඩයි. ජනතාව සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ඕනෙ. ජනතාව වෙනස් නොවී මේ රට ගොඩගන්න බෑ. කොටින්ම මේ රට දුප්පත්කමින් ගලවාගන්න බෑ. ජනතාව වෙනස් වෙන්න ඕනෙ. එහෙම නොවී කොච්චර ඡන්දෙ දුන්නත් ප්‍රතිඵලය එකමයි.

ප්‍රධාන අපේක්ෂකයො දෙන්නට පස්සෙ විකල්ප අපේක්ෂකයෙක් හැටියටයි අනුර කුමාර සහෝදරයා ඉදිරිපත් වෙන්නෙ. හැබැයි ලැයිස්තුවෙ ඔහුට පහළින් තව 32ක් ඉන්නවා තරගෙට. මේක ඔහුට පාඩුවක් නෙමේද?

නෑ. කොහෙත්ම පාඩුවක් නෑ. සමහර අය දාලා තියෙන්නෙ ඩමිවලට. සමහර අපේක්ෂකයො දාලා තියෙනවා දෙවැනි මනාපෙට. හිස්බුල්ලා දාලා තියෙන්නෙ ඇයි? ජනාධිපති වෙන්න නෙමේනෙ. එයා බලනවා කාත්තන්කුඩිවල දෙවැනි මනාපය එයාට ගන්න. තව ඉන්නවා බූත්වලට නියෝජිතයො දාගන්න ආපු අපේක්ෂකයො. අනුර සහෝදරයාට මඩ ගහන්න දාපු අපේක්ෂකයොත් ඉන්නවා. ඔතන ජනාධිපති වෙන්න ආපු අපේක්ෂකයො නෑ. ඔය ඉන්න 35න් 90෴ක්ම ඩමි.

හිටපු හමුදාපති මහේෂ් සේනානායක ඉදිරිපත් වෙනවා මෙවර ඡන්දෙට. ගොඩක් අය අහනවා ඇයි ජවිපෙට මහේෂ් සේනානායකත් එක්ක එකතු වෙන්න බැරිවුණේ කියලා. ඇත්තටම ඇයි ඒ?

අපේ සමහර උගතුන් හිතනවා මේ 225ට බෑ. අපි ආවොත් හදන්න පුළුවන් කියලා. ඒ සිතුවිල්ල අවංකයි. ඔයා දන්නවා දොස්තර මහත්තයෙක්ගෙන් බෙහෙත් බීලා වැරදුණොත් පස්සෙ ගිහිල්ලා ගරාජ් එකකින් ඔයිල් බොන්නෙ නෑනෙ. ආයෙ යන්නෙම දොස්තර මහත්තයෙක් හම්බවෙන්න. ඒ හැමෝටම එකතු වෙන්න පුළුවන් තැනක් දේශපාලන නායකත්වයක් තියෙන්න ඕනෙ. ඒ නිසා අපි කියන්නෙ මහේෂ් සේනානායක මහත්තයා හරි රොහාන් පල්ලෙවත්ත හරි පිරිසුදු චේතනාවකින් මේ වැඩේට එනවා නම් එන්න අපිත් එක්ක එකතු වෙන්න. ඒ මොකද ඒ අය දරණ මතයට අනුව හොඳම දේශපාලන මධ්‍යස්ථානය තියෙන්නෙ අපේ ජන බලවේගය තුළ.

ඔබලා කතා කරලා නැද්ද ඒ අයත් එක්ක?

අපි දීර්ඝ ලෙස කතා කරලා තියෙනවා. අපි කියන්නෙ එන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා. ත්‍රස්තවාදීන්ට මුහුණ දුන්නා වගේ නෙමෙයි දේශපාලන විරුද්ධවාදී කඳවුරුවලට මුහුණදෙනකොට. අන්න ඒ බලවේගය අපි සතුයි. ඒ දේශපාලන ශක්තිය අපි ළඟ තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් මට බෑනෙ ගිහිල්ල යුද්ධ කරන්න. ඒ නිසා යුද්ධ කරපු කෙනෙක්ට එකපාර දේශපාලනය කරන්න බෑ.

ඔබ කියනවා බුද්ධිමත් අය වෘත්තීයවේදීන් ඔබලගෙ දේශපාලන කඳවුරේ ඉන්නවා කියලා. ඔය කියන අය ප්‍රධාන කඳවුරැවලත් ඉන්නවා. ජනතාව කොහොමද එතකොට හරි කඳවුර හොයාගන්නෙ?

අන්න හරි. ඉස්සෙල්ලම හොයන්න ඕනෙ එයාගෙ පැටිකිරිය මොකක්ද කියලා. ඔය ඉන්න කී දෙනෙක්ට නඩු කීයක් තියෙනවද? විශේෂයෙන් ඔය ගෝඨාභය මහත්තයත් එක්ක ඉන්න අය. ඔය කියන කලාකරුවො කලාවට කරපු දේ මොනවද? අපි කියනවා අපිත් එක්ක ඉන්න අය සත පහක්වත් හොරකම් කරපු අය නෙවෙයි. මේ අය පෞද්ගලික ප්‍රශ්න විසඳගන්න දේශපාලනය කරපු අය නෙවෙයි. කීයක් හරි හම්බ කරගන්න දේශපාලනය කරන අය නෙවෙයි. තනතුරැ බලාගෙන දේශපාලනය කරන අය නෙවෙයි. මතක තියාගන්න අනුර කුමාර සහෝදරයත් එක්ක දේශපාලනය කරන අයට බොහෝ දේවල් අහිමි වෙන්න තිබ්බා. අපිත් එක්ක ඉන්න අය ජාතිවාදය වපුරන්න, මිනිස්සු වඳ කරන්න, කුණුහරුප කියපු අය නෙවෙයි. දියුණු සමාජයක් හදන්න ඕනෙ දියුණු මිනිස්සු එකතුවෙලා. ඒ නිසා අපි ජනතාවට කියනවා බජිරි වපුරලා සම්බා හාල් බලාපොරොත්තු වෙන්න එපා කියලා. ජනතාව ඉතිහාසයෙ ඉඳන්ම බලාපොරොත්තු වුණේ ඔය දේ.

අපි දැක්කා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදී විදිහට අධිකරණය හමුවේ නඩුවක් ගොනු කරලා ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව ප්‍රශ්න කළා. හැබැයි ඒ නඩු දාපු අය පසුව ගෝඨාභයට විරුද්ධ දේශපාලන කඳවුරේ ඉන්නවා රටම දැක්කා. මේකට බොහෝ දෙනාගේ විවේචන තියෙනවා ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදී මිනිස්සු ඉන්නෙ සජිත් ප්‍රේමදාස ගාවද කියලා?

ඔය කියන කට්ටිය කලින් කා ගාවද හිටියෙ. සජිත් ප්‍රේමදාස කියන්නෙ අලුත් මූණක්ද? එයා ගාව ඉන්න අය හැමෝම කලින් රනිල් වික්‍රමසිංහ මහත්තයා ගාව හිටිය අය. එතකොට රනිල් වික්‍රමසිංහ තමයි මේ රටේ අවුරුදු හතරක් ආණ්ඩු කරන්නෙ. එතකොට ඔය ප්‍රජාතන්ත්‍රවාදය මතක් වුණේ නැද්ද? ඒගොල්ලො ප්‍රජාතන්ත්‍රවාදය සැමරුවෙ කොහොමද? මහ බැංකුව හොරා කාලා. මම කියන්නෙ ගෝඨාභය රාජපක්ෂගෙ පුරවැසිභාවය සම්බන්ධ ප්‍රශ්නය ප්‍රශ්න කළ යුතුමයි. හැබැයි ඒ වගේම ඒ අය ඊට කලින් ප්‍රශ්න කරන්න එපැයිනෙ අර්ජුන මහේන්ද්‍රන් නීතිය හමුවට නොගෙනාව එක ගැන. ඒගොල්ලන්ට ඒක මතක් වුණේ නැද්ද? ඔය දේශපාලන පත්වීම් දෙන හැටි, නීතිය නවන හැටි, හොරු බේරගත්ත හැටි, ඒ ගැන ප්‍රශ්න කරන්න තිබ්බනෙ. මොකද මේ අලුත් ඇවිල්ල ඉන්නෙ අලුත් පාලකයො නෙමෙයිනෙ. ඒ හිටිය අයමයි. හෙට සජිත් ප්‍රේමදාස ජනාධිපති වුණොත් අගමැතියි ඇමැති මණ්ඩලයයි ඔය ඉන්න කට්ටිය. මතක තියාගන්න මේ රටේ ආණ්ඩු හදන්නෙ නඩුවලින් බේරෙන කට්ටිය.

21 වැනිදා පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ රටේ මිනිස්සුන්ට ආපු ප්‍රශ්නයක් තමයි අපේ හොඳම ආරක්ෂකයා කවුද කියන එක. ඒකට එක එක චරිත පෙන්නනවා. හැබැයි ඔබලට පෙන්නන්න චරිතයක් නෑනෙ?

ජාතික ආරක්ෂාව ප්‍රශ්නයක් නම් මතක තියාගන්න රටේ ණයවලිනුත් ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක්. හොරකමිනුත් එහෙමයි. රටට එරෙහිව ගහන ආරක්ෂක ගිවිසුම්වලත් තියෙනවා ඒ තත්ත්වෙ. ලංකාවට ගේන කුඩු. හැබැයි දෙමළ මිනිහගෙන් සිංහල මිනිහට තර්ජනයක් නෑ. මුස්ලිම් මිනිහට සිංහල මිනිහට තර්ජනයක් නෑ. ඒක ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් නෙමේ. හැබැයි මේ ජාතික ආරක්ෂාව කියල අර්ථකථනය කරල තියෙන්නෙ මේ ජාතීන් අතර තියෙන ප්‍රශ්නය. මුස්ලිම් මනුස්සයා ව්‍යාපාර කරන හැටි, ළමයි හදන හැටි, ඒවා තමයි ජාතික ආරක්ෂාවට ප්‍රශ්න වෙලා තියෙන්නෙ. ජාතික ආරක්ෂාවට ලොකුම තර්ජනය තියෙන්නෙ කැබිනට් මණ්ඩලයෙ ඉන්න අයගෙන්. ඒ අය අල්ලලා හිරේ දාන්න ඕනෙ.

සජිත් ප්‍රේමදාස මහත්මයා වේදිකාවෙ කිව්වා මගේ ආරක්ෂක ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියලා. ඒක හැමෝටම යම් ආකාරයක අභියෝගයක් නේද?

ඒ කිව්වෙ ජාතික ආරක්ෂාව බේරගන්නද? නෑ ඒ කිව්වෙ සරත් ෆොන්සේකා මහත්තයා අයින්වෙලා යයි කියන බයට. ඔහු යයි කියලා ඔහු යන එක නවත්තන්න ඒක මිනිස්සු ඉස්සරහ කිව්වා. මේ ජාතික ආරක්ෂාවයි මහජන ආරක්ෂාවයි පටලගෙන තියෙන්නෙ. ඔය ෆොන්සේකා මහත්තයගෙ කතාව නම් හොඳට හොයල බලන්න. මොකද ඔහුට ජාතික ආරක්ෂාව බාරදෙන්න අද හෙටම යුද්ධයක් තියෙනව නෙමෙයිනෙ.

ශ්‍රීලනිපය ගෝඨාභය රාජපක්ෂ මහත්තයට උදව් කරන්න යනකොට සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පක්ෂයේ තනතුරුවලින් අයින්වෙලා ස්වාධීනව ඉන්න කටයුතු කරලා තියෙනවා. මේක ජනාධිපති කෙනෙක් නොකරපු දෙයක්?

මම කියන්නෙ ලංකා ඉතිහාසයේ පළවැනි වතාවට තමයි ජනාධිපති කෙනෙක් නැවත ජනාධිපති කරමු කියලා පෝස්ටර් නොගහන අවස්ථාව. මොනව වුණත් ඒ දේ නම් ලොකු දෙයක්. 82 ඉඳන්ම ජනාධිපති ජනාධිපති කරමු කියලනෙ දැක්කෙ. හැබැයි ශ්‍රීලනිපයට කරපු අසාධාරණයට නම් කවදාවත් එයාලට හොඳක් වෙන්නෙ නෑ. මොකද ශ්‍රීලනිප පාක්ෂිකයා අනාථ කළා. බාඳුරා මල කියලා මලක් තියෙනවා. ඒකට වැටුණු සතෙක් ගොඩ එන්නෙ නෑ. ඒවගේ තමයි පොහොට්ටුවට ගිය මිනිස්සුන්ට ඒ දේමයි වෙන්නෙ. අපි ශ්‍රීලනිපයේ වාමාංශික පාක්ෂිකයන්ට ආරාධනා කරනවා ඇත්තටම ඔබේ කඳවුර අපේ තැන කියලා.

අනුර කුමාර සහෝදරයා ඇයි මේ සීනුවෙන් නැතුව මාලිමාවකින් එන්නෙ කියලා හැමෝටම ප්‍රශ්නයක් තියෙනවා. නැති සලකුණක් ගෙනල්ලා හම්බවෙන ඡන්දවලටත් ප්‍රශ්නයක් වෙන්න බැරි නෑ නේද?

සීනුව ජවිපෙ ලාංඡනය. අපිට අවශ්‍ය නෑ අපිට එකතු වුණු සංවිධාන 28 මහින්ද මහත්තයා වගේ බලහත්කාරයෙන් සීනුව ඇතුළට දාගන්න. මොකද අපි ඒ හැම පක්ෂයකම අනන්‍යතාවය ආරක්ෂා කරන්න ඕනෙ. අපේ මැතිවරණ ප්‍රචාරණය තුළ මේ මාලිමාව ලාංඡනය ජනප්‍රිය කරන්න අමාරුවක් නෑ. අපි කොයි වෙලාවකවක් රාජපක්ෂල වගේ පක්ෂ හෝදලා වතුර බොන්නෙ නෑ. අපිට ඕනෙ ලාංඡනය ජයග්‍රහණය කරන්න නෙමේ. මේ රට ජයග්‍රහණය කරන්න.

එජාපයේ ප්‍රධාන තර්කය තමයි ඔවුන් සතුව තරුණ නායකයෙක් ඉන්නවා කියන එක. ඇත්තටම රටට අවශ්‍ය තරුණ නායකයෙක්ද?

ඒ කියන්නෙ අනුර සහෝදරය හඳුන්නෙත්තිල බිමල් රත්නායකල නාකි මිනිස්සුද? මෙතන තියෙන්නෙ තරුණකම නෙමෙයි. ඔහු කියනවා රෑ එළිවෙනකම් නිදි මරනවලු. පඩි ගන්නෙ නැහැලු. ඕවා විහිළු කතා. ජනාධිපති වෙන්න ඕනද මේවා කරන්න. අපි දැනටමත් ඒ දේවල් කරනවා. අපිට ඇත්තටම ඕනෙ සාමූහික නායකත්වයක්. හැමෝගෙම දේවල්වලට කන්දීලා ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්න නායකත්වයක්.

හැමෝටම බයක් තියෙනවා ජවිපෙ එක්ක වැඩ කරන්න බැහැ කියලා. කන්න බොන්න බෑ, අඳින්න පළඳින්න බෑ, නැති බැරිකමින් තමයි ජවිපෙ එක්ක ඉන්න ඕනෙ කියලා. මොකක්ද මේ මතය මිනිස්සුන්ගෙ?

අපි කියන්නෙ අපි කට්ට කෑවට ජනතාව කට්ට කන්න ඕනෙ නෑ කියලා. දුප්පත්කමට විරුද්ධ පක්ෂයක් මිසක මේක දුප්පතුන්ගෙ පක්ෂයක් නෙමෙයි. අපි කියන්නෙ මීට වඩා ජනතාව පෝසත් වෙන්න ඕනෙ. කන්න බොන්න ඕනෙ. විනෝද වෙන්න ඕනෙ. විවේකීව ඉන්න ඕනෙ. මේ හැම දෙයක්ම මීට වඩා. ඔය දේවල් ජවිපෙන් පිට මිනිස්සු කියපු දේවල්. ඒකෙන් අපිට මිනිස්සු එකතුවෙන එක වළක්වන්න බෑ. අපි වනගත වෙච්ච මිනිස්සු නෙමෙයිනෙ. හොරකම් කරන ඇමැතිවරුත් එක්ක සංසන්දනය කරද්දී මිනිස්සුන්ට පේනවා ඔව් මුන් මාර කට්ටක්නෙ කන්නෙ කියලා. ඔව් ඉතින් අපි හොරකම් කරන්නෙ නෑනෙ.

ගොඩක් දෙනෙක් කියනවා මේ පාර ජයග්‍රාහී අපේක්ෂකයාට 50කුත් තව ඡන්ද එකකුත් ගන්න බැරිවෙයි කියලා?

මෙවර ඡන්ද ප්‍රතිඵලය දෙකොන බෙදුණු ඡන්ද ප්‍රතිඵලයක් නෙමෙයි. තුනට බෙදුණු ඡන්ද ප්‍රතිඵලයක් වෙයි. මේ ප්‍රතිඵලයෙදී අපි විශ්වාස කරනවා ලක්ෂ 15ක් ඉන්නවා අලුත් ඡන්ද දායකයො. ඒ වගේම ලක්ෂ 45ක් ඉන්නවා මේ දෙගොල්ලොම එපාවෙච්ච අය. ඒ ජනතාව එකතු වුණොත් අනිවාර්යෙන්ම ප්‍රතිඵලය තුනට බෙදන්න වෙනවා. අන්න එදාට ජනතාවගෙ ජයග්‍රහණය බලාගන්න පුළුවන් වේවි. ඒ නිසා අපි කියනවා අනුර කුමාර සහෝදරයා දිනවන්න කියලා. මොකද ප්‍රතිඵලය තුනට බෙදිලා තියෙන්නෙ.

► ගයාන් ගාල්ලගේ

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00