2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

අර්බුදයේ අළු යට ගිනි

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 06:43 167

ආණ්ඩුවක් ඇතුළේ කැරැල්ලක් ගහන එක පහසු නැත. ආණ්ඩුව තනි පක්ෂයක හෝ තනි සන්ධානයක හෝ එකක් නම් එහෙම කැරැල්ලක් ගැහැව්වොත් ඒකෙ අවසාන ප්‍රතිඵලය ආණ්ඩුව හාන්සි වීමය. හාන්සි වුවත් සමහරවිට කැරැල්ලට සම්බන්ධයක් නැති පිරිසක් එකතු කරගෙන ආණ්ඩුව කරගෙන යාමටත් හැකිය. ඒකට හොඳම උදාහරණය යූ.එන්.පී. ආණ්ඩුව ඇතුළේ ප්‍රේමදාස ජනාධිපතිට විරුද්ධව ලලිත් - ගාමිණීලා ගහපු කැරුල්ලය. ඒකෙන් මුලින්ම සිද්ධවුණේ ලලිත් - ගාමිණීලා විසිවීම වුවත් ඒ කැරැල්ල යූ.එන්.පියට කළ හානිය කොයිතරම්ද කියනවා නම් ප්‍රේමදාසට පස්සේ මේ වනතුරැත් තමන්ගේ පක්ෂයේ ජනාධිපතිවරයකු පත්කර ගැනීමට යූ.එන්.පියට බැරි විය.

ජනාධිපතිවරයකු තමන්ගේ පක්ෂයෙන් පත්කර ගැනීමට යූ.එන්.පියට බැරිවුණත් යූ.එන්.පී. ඡන්දවලින් ජනාධිපතිවරයකු පත්කර ගැනීමට 2015දී පුළුවන් විය. හැබැයි ඒකෙන් වුණේ යූ.එන්.පියට තවත් දේශපාලන කැරුල්ලකට මුහුණදීමට සිදුවීමය. ඒ කැරුල්ල ඇතිවුණේ යූ.එන්.පී. ඡන්දවලින් පත්වූ ජනාධිපතිවරයාත් ඔහුගේ පාලනය යටතේ පැවැති යූ.එන්.පී. ආණ්ඩුවත් අතරය. කවුරු කාට විරුද්ධව කැරැල්ල ගැහුවාදැයි එකවරම කිව නොහැකි වුණත් ඒ කැරුල්ල හේතුවෙන් හටගත් අර්බුදය රටේ ඉදිරි ගමන දවස් 52කට නතර කර දැමුවේය. දැන් ඒ අර්බුදය ඉවර වුවද තවමත් එහි පසුකම්පන රටට දැනෙමින් තිබේ.

කැරැල්ලක් සහ අර්බුදයක් අතරේ දෝලනය වූ රටේ පාලනය අන්තිමට හරි පාරට වැටුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රනිල්ට අගමැති ධුරය ලබාදීමට තීන්දු කිරීමත් සමඟය. කිසිසේත් රනිල්ට නම් අගමැති තනතුර ලබානොදෙන බවට මුළු රටටම කියූ ජනාධිපතිවරයා ඉන් පසුව ඒ අදහස වෙනස් කළේ ඇයි කියන්න කවුරැත් දන්නේ නැත. හැබැයි ආණ්ඩුවක් ඇතුළේ කැරුල්ලක් ඇතිවූ විට එහි වඩාත්ම බලපෑම් කළ හැකි කණ්ඩායමට ජය අත්වීම වැළැක්විය නොහැක. ආණ්ඩුවේ තමන් නියෝජනය කරමින් සිටි පාර්ශ්වය වූ ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමට අස්වෙන්නැයි කියා දේශපාලන ගැටුම ඇරුඹූ ජනාධිපතිවරයා ආණ්ඩුවේ ඉතිරිවූ යූ.එන්.පී. ප්‍රමුඛ එජාපෙ පක්ෂ නායකයන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායමේ ශක්තිය ගැන පැහැදිලි තක්සේරැවක නොසිටි බව පෙනෙන්නට තිබේ. කරන්න ගිය දේ වැළැක්වුණේ ඒ හේතුවෙනි. ඒ බව ජනාධිපතිවරයා විසින්ම අවස්ථා කිහිපයකදීම කියා තිබිණි. පක්ෂ දෙකක් එකතුවී ආණ්ඩුවක් කිරීම ඇතුළේ දේශපාලන කැරලි ගැසීමට පාර කපා දීමකි. මේ රටේ දේශපාලන ඉතිහාසය තුළ ආණ්ඩු ඇතුළේ කැරලි ගැසීම් පමණක් නොව පක්ෂ ඇතුළේ කැරලි ගැසීම්ද ආණ්ඩුවක් ඇතුළේම විපක්ෂයක් හැදීම්ද සිදුවී තිබේ. මේ හැම සිදුවීමකටම වඩා මෙවර අවස්ථාව වෙනස්ය. මේකෙන් ආණ්ඩුව වැටුණේ නැත. තිබුණු ආණ්ඩුවටම රට බාරදීමට ජනාධිපතිවරයාට සිදුවිය.

මීට කලින් චන්ද්‍රිකා ජනාධිපති වී සිටි කාලයේද විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර කැරැල්ලක් නිර්මාණය විය. චන්ද්‍රිකා කැබිනට් රැස්වීම්වලදී රුගෙන එන හෑන්ඩ් බෑග් එක ඇතුළේ සවිකර ඇති රහසිගත කැමරාවකින් එතැන සිදුවන සියල්ල පටිගත කරගන්නා බවට චෝදනා නැගූ යූ.එන්.පියේ ප්‍රබලයන් කිහිපදෙනෙක් එම කැරැල්ලට මග පාදා තිබුණි. එදා චන්ද්‍රිකා ශ්‍රීලනිප ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණේ ජනාධිපතිනිය වශයෙන් පත්වී සිටි අතර ආණ්ඩුව තිබුණේ රනිල්ගේ අගමැති තනතුර ප්‍රධාන එ.ජා.පෙ.ටය. හෑන්ඩ් බෑග් කේස් එකෙන් පස්සෙ වැඩි කාලයක් ආණ්ඩුව ගියේ නැත. රනිල් අමෙරිකාවට ගොස් සිටි අතරවාරයේ චන්ද්‍රිකා ආණ්ඩුව වැට්ටුවාය. හැබැයි ඒ වැටිල්ලෙන් නම් ආණ්ඩුවට ගොඩයාමට හැකියාවක් ලැබුණේ නැත. මුලින් අමාත්‍යාංශ දෙකක් පවරාගෙන ආණ්ඩුව වැට්ටූ චන්ද්‍රිකා ඊටපස්සෙ ජවිපෙත් එක්ක එකතුවී මහ ඡන්දයකට ගොස් ආණ්ඩුවක් පිහිටුවා ගත්තාය. ප්‍රේමදාස ජනපතිට එරෙහි දෝෂාභියෝග කැරැල්ලේදී නම් ප්‍රේමදාස ආණ්ඩුව රැකගත් නමුත් චන්ද්‍රිකාගේ කැරැල්ලේදී නම් රනිල්ට ආණ්ඩුව බේරාගන්නට බැරි විය. ඒකට හේතුව චන්ද්‍රිකා සහ රනිල් පක්ෂ දෙකකට අයත්ව සිටීමය. ඒ වෙලාවේ චන්ද්‍රිකා මුලින්ම පවරාගත් අමාත්‍යාංශ දෙක වූයේ ජනමාධ්‍ය සහ තැපැල් අමාත්‍යාංශයි. චන්ද්‍රිකා ජනමාධ්‍ය අමාත්‍යාංශයත් අතේ තියාගෙන විධායක බලතලත් අතට අරගෙන ඡන්දෙට යනකොට රනිල්ට සමීපව සිටි ඇමැතිවරුන් ගණනාවක්ම කිව්වේ ජනමාධ්‍ය නැතුව ඡන්දෙ කරන්න අමාරැ බවය. ඒක ඇත්ත බව ප්‍රතිඵලවලින් පෙනුණි.

දැන් රටේ තිබෙන තත්ත්වය අනුවද ප්‍රශ්නය තවම හරියටම ඉවරවී නැති බවට ලකුණු පෙනෙමින් තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙහි පිහිටුවීමෙන් පසුව ජනාධිපතිවරයා ආවේගශීලීව දැක්වූ අදහස් එහි එක් පෙරමග සලකුණක් විය. ඉන් පසුව ඇමැති මණ්ඩලය පිහිටුවීමේදීද ජනාධිපතිවරයා කොන්දේසි ගණනාවක් දැම්මේය. සරත් ෆොන්සේකාට ඇමැති ධුරයක් ලබා නොදෙන බවත් ශ්‍රීලනිපයෙන් එකතුවෙන මන්ත්‍රීවරැන් කිසිවකුට හෝ ඇමැති ධුර ලබා නොදෙන බවත් කිව්වේය. පොලීසිය අයිති වෙන නීතිය හා සාමය අමාත්‍යංශය තමන් සන්තකයේ තබා ගන්නා බවටද කියා තිබූ අතර රාජ්‍ය මාධ්‍ය ආයතන කිහිපයක් පවරාගන්නා බවටද ආරංචි පැතිරැණි. එහෙම නම් ජනාධිපතිවරයා මේ හදන්නේ ආණ්ඩුවට ඉදිරියට යන්න ඉඩ නොදී එදා චන්ද්‍රිකා කළා වගේ ආණ්ඩුව වට්ටවා ඡන්දෙකට යන්නද? ඡන්දෙකට යනවා නම් අවශ්‍යම වන පොලීසියත් රාජ්‍ය මාධ්‍යයත් ළඟ තබා ගන්න හදන්නේ ඒ නිසාද? ඒ ගැන හරියටම කිව හැක්කේ ඉදිරි සති කිහිපය තුළදී විධායකයක් ව්‍යවස්ථාදායකයත් හැසිරෙන විදියටය. යූ.එන්.පී.ය නම් ඇමැති ධුරවල දිව්රැම් දීමෙන් පසුව කියා තිබුණේ තමන්ට ජනාධිපතිවරයා සමඟ වැඩ කිරීමට කිසිදු බාධාවක් නැති බවය. අරලියගහ මන්දිරයේදී බ්‍රහස්පතින්දා (20) පැවැති මාධ්‍ය හමුවකදී වජිර අබේවර්ධන කියා තිබුණේ විදේශගත වී සිටින ජනාධිපතිවරයා පැමිණි පසුව තවත් අමාත්‍යවරැන් දිවුරැම් දිමට නියමිත බවය.

එසේම අගමැති ධුරයෙහි රනිල් වික්‍රමසිංහ මහතා දිවුරැම් දීමෙන් පසුව ජනාධිපතිවරයා කළ කතාවට පිළිතුරු කතාවක් කළ යූ.එන්.පී.යේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසද ප්‍රකාශ කළේ ජනාධිපති සමඟ සහයෝගයෙන් වැඩකිරීම ආණ්ඩුවේ අදහස බවය. පසුගිය කාලය තුළ සිදුවූ කතාබහ අමතක කොට රටේ දියුණුව සඳහා එක්ව වැඩ කරමු යන අදහස සජිත්ගේ කතාවේ සඳහන් විය. මේ කොහොම කිව්වත් අමාත්‍ය මණ්ඩලය දිව්රැම් දුන් අවස්ථාවේදී පවා දෙපාර්ශ්වයේ මත ගැටුම් කැපී පෙනුණේය. කෙසේ වුවද රනිල්ගේ නායකත්වයෙන් යුත් එජාපෙ ආණ්ඩුව මෙහිදී බොහෝ ඉවසීමකින් කටයුතු කරන බවත් පෙනෙන්නට තිබේ. එම ඉවසීමේ සීමාව නීතිය හා සාමය අමාත්‍යංශය පවරා ගැනීමට ගෙන තිබෙන තීන්දුව සමඟ ඉක්මවා යයිද කියා බලා සිටිය යුතුය.

මේ සමඟ ආණ්ඩුව මුහුණ දෙන තවත් ගැටලුවක් වන්නේ ඔක්තෝබර් 26ට පෙර පැවැති තරම් ශක්තිමත් බවක් නැවත පත්වූ ආණ්ඩුවට නොමැති වීමය. 26ට පෙර පැවැති පක්ෂ දෙකේ ආණ්ඩුවට පැහැදිලි විශාල බහුතරයක් තිබුණි. එය තුනෙන් දෙකක තරමට ආසන්න තත්ත්වයක් විය. නමුත් දැන් ආණ්ඩුවේ බහුතරය රැඳී තිබෙන්නේ ටී.එන්.ඒ. සහාය මතය. ඔවුන් කිසියම් අවස්ථාවක රජයට දක්වන සහයෝගය ඉවත් කර ගැනීමට ක්‍රියාකළහොත් බරපතළ ගැටලු මතුවීමට ඉඩ තිබේ. ශ්‍රීලනිපයෙන් රජයට ඒකතුවීමට සිටි මන්ත්‍රීන් පිරිසට ඇමැති පදවි ලබා නොදෙන බවට පැවසීම හරහා ජනාධිපතිවරයා සිදුකළේ රජයට ටී.එන්.ඒ. සහාය නැතිව බහුතරයක් හදාගැනීමට තිබූ අවස්ථාව වැළැක්වීමය. කුමක් හෝ උප්පරවැට්ටියක් යොදා ජාතික ආණ්ඩුවක් හදා ගැනීමට ආණ්ඩුව උත්සාහ කළොත් එයත් බකල් කිරීමට මේ අනුව හොඳටම ඉඩ තිබේ. ඇමති පදවි නොලැබෙයි නම් ආණ්ඩුවකට සහාය දැක්වීමට ඉදිරිපත් වන මන්ත්‍රීවරුන් සොයාගැනීම අපහසු බව ජනාධිපතිවරයා හොඳින් දැන සිටියි.

එජනිස මන්ත්‍රීවරුන් අතරින් අඩුම වශයෙන් 10 දෙනෙකු හෝ රජයට සම්බන්ධ කරගත යුතු යැයි චම්පික රණවක කියන්නේ මේ හේතුවෙනි. යූ.එන්.පී.ය ශ්‍රීලනිපය සමඟ එක්වී ආණ්ඩු කරන විට අවශ්‍ය අවස්ථාවලදී ටී.එන්.ඒ. සහාය ලබාගැනිම ගැටලුවක් නොවුණත් තනි යූ.එන්.පී. ආණ්ඩුවක් ටී.එන්.ඒ. සහාය මත රැඳී සිටීම දකුණේ ජනතාවට දිරවන්නේ නැති බව චම්පික හොඳින්ම දැන සිටී. මේ නොදිරවීම විරෝධයක් දක්වා ව්‍යාප්ත වීමට ඒ තරම් කාලයක් යන්නේ නැත. දැන් විපක්ෂයේ සිටින්නේ මහින්ද රාජපක්ෂලාය. ඔවුන්ගේ මන්ත්‍රී සංඛ්‍යාවද පෙරට වඩා වැඩිය. විපක්ෂයක් වශයෙන් ඔවුන් සිටින්නේ ශක්තිමත් කඳවුරකය.

කොහොම වුණත් ඇමැති පදවි නැතුව හෝ ශ්‍රීලනිපයෙන් පියසේන ගමගේ, ෆවුසි, විජිත් විජයමුණි, ලක්ෂ්මන් සෙනෙවිරත්න රජයට එකතු වීම යූ.එන්.පී.යට තරමක හෝ අස්වැසිල්ලක් වී ඇත්තේ එබැවිනි. මෙය යූ.එන්.පී.ය තුළ පමණක් නොව ශ්‍රීලනිපය තුළද ගැටුම් ඇතිකිරීමට සමත් වී තිබේ. පසුගිය අඟහරැවාදා (18) ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමද මේ නිසා උණුසුම් විය. යූ.එන්.පී.ය සමඟ එකතු වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගතයුතු බවට දයාසිරි යෝජනා කළවිට ඊට එරෙහිව කරුණු දැක්වීමට ඉදිරිපත් වූයේ දුමින්ද දිසානායක, මහින්ද අමරවීර සහ මහින්ද සමරසිංහය. අපි ඒ අයට විරුද්ධව ඇක්ෂන් ගන්නවා නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) සාමාජිකත්වය ගත් අයට විරුද්ධවත් ඇක්ෂන් ගන්න ඕනෑ යැයි ඔවුන් කියා තිබිණි. මේ දෙපිරිස අතර ඒ සම්බන්ධයෙන් මත ගැටුම් ඇතිවෙද්දී ශ්‍රීලනිපය තවදුරටත් ශක්තිමත් කොට ඉදිරි වැඩපිළිවෙළක් සකස් කිරීමට තීරණයක් ගනු ලැබීය. පැවැති දේශපාලන අර්බුදය හැම දේශපාලන පක්ෂයක් තුළම බරපතළ මත ගැටුම් ඇතිකර තිබෙන බව පැහැදිලිය.

මේ අනුව පෙනෙන්නේ ජාතික ආණ්ඩුවක් ඇති කිරීමකින් තොරව ශක්තිමත් ආණ්ඩුවක් ඇති කිරීම ඉතා අපහසු වනු ඇති බවය. ඇමැති පදවි නැතුව වුවද ආණ්ඩුවට පිරිසක් එකතු කර ගැනීම ආණ්ඩුවේ වෑයම වුවද එයද වැළැක්වීමට සියලු උත්සාහයන් ගනු ඇති බවට මධ්‍යම කාරක සභා රැස්වීමේ මත ගැටුමෙන් පෙනෙයි. පෙහොට්ටුවෙන් එල්ලවෙන දැඩි බලපෑම් ඉදිරියේ ශ්‍රීලනිපයේ අනන්‍යතාවද රැකගෙන පක්ෂය ඉදිරියට ගෙනයාමේ අභියෝගයද ජනාධිපතිවරයා ඉදිරියේ තිබේ. ආණ්ඩුව සමඟ මතගැටුම් දිගටම ඇතිවිය හැකි තත්ත්වයක් තුළ මේ සියලු කාර්යයන් සමතුලිතව පවත්වාගෙන යාමට ජනාධිපතිවරයාට සිදුවනු ඇත.

පසුගිය සති කිහිපය තුළදී සිදුවූ අර්බුදය යූ.එන්.පී.ය තුළද ප්‍රබල මත ගැටුම් ඇතිකර තිබේ. හැබැයි මේ අර්බුදයෙන් පක්ෂයක් හැටියට වැඩියෙන්ම වාසියක් ලැබුවේ යූ.එන්.පී.ය බවද පැහැදිලිය. එම පක්ෂය තුළ තිබූ මතබේද බොහෝදුරට තුරන් විය. කැඩී බිඳී විසිරී ගොස් සිටි පක්ෂ සාමාජිකයෝ යළි එකතුවූහ. මැති ඇමැතිවරුන් අතර තිබූ පරස්පර අදහස් යටපත් වී ගියේය. රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් පාක්ෂිකයන් තුළ තිබූ මතවාදී ආකල්පද වෙනස් විය. ඒ වගේම පක්ෂය තුළ සිටි තරුණ නායකයන් රුසක්ම මේ අවස්ථාවේදී එළියට බැස රනිල් වික්‍රමසිංහ මහතාට යළි අගමැති ධුරය ලබාදීමේ සටනට සහාය දැක්වූහ. කොටින්ම යූ.එන්.පී.ය පසුගිය කාලය පුරාම අත් නොදුටු ජනතා සහයෝගයක් මේ ටික කාලය තුළදී දැකගත හැකි විය. මේ ගත්ත ගැම්ම වට්ට ගන්නේ නැතුව ඉස්සරහටම ගෙන යමුයි කියා සජිත් වරක් පැවැසුවේ ඇතිවූ තත්ත්වය ගැන හොඳ අවබෝධයකින් යුතුවය.

අලුත් ඇමැති මණ්ඩලය දිව්රුම් දීමෙන් පසුව අලුත් ජවයකින් වැඩ ආරම්භ කළ බවක්ද පෙනෙන්නට තිබුණේය. එහෙත් මේ යන විදියට නම් වැඩි කලක් යාමට පෙර මහ මැතිවරණයකට යායුතු තැනකට රට තල්ලුවෙන බවක් පෙනෙන්නට තිබේ. එකවරම නැතිවුවවත් ලබන මාසයේදී අයවැය ඉදිරිපත් කොට සම්මත කර ගැනීමෙන් පසුවද ආණ්ඩුවේ ඉදිරි ගමනට දිගින් දිගටම බාධා පැමිණියහොත් සහ ටී.එන්.ඒ. නැතුව බහුතරය සාදා ගැනීමේ ගැටලුව විසඳා ගැනීමට නොහැකි වුවහොත් තීරණාත්මක අවස්ථාවකදී යළිත් ආණ්ඩුව අමාරුවේ වැටීමට ඉඩ තිබේ. එසේ නොවන තැනට වැඩකර ගැනීමට යූ.එන්.පී.ය සතුව ශක්තිමත් වැඩපිළිවෙළක් පැවැතීම අවශ්‍යය.

ඒ සඳහා යූ.එන්.පී.ය වෙනස් විය යුතු බවට සංඥා පසුගිය සති කිහිපය තුළදීම ලැබුණේය. එය යූ.එන්.පී.යේ ජ්‍යෙෂ්ඨයන්ට නොපෙනුණා නම් පුදුමය. රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකදීම සඳහා එක මිටට එකතු වූ යූ.එන්.පී. පාක්ෂිකයන් ඒ සමඟ කියා සිටියේ පක්ෂය තුළද වෙනස්කම් සිදුවිය යුතු බවය. අලුත් නායකයන් ඉදිරියට ගෙන ඔවුන්ට පක්ෂයේ බලතල පවරාදීම අවශ්‍ය බවටත් අලුත් අදහස්වලට තැනක් ලැබිය යුතු බවටත් අදහස් පළ විය. යූ.එන්.පී.යේ ඉදිරිපෙළට පැමිණීමට සූදානමින් සිටින කිහිප දෙනකුම දැකගන්නටද පාක්ෂිකයන්ට  හැකිවිය. ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් අතර පවතින විරසක බව දුරු කරගෙන ආණ්ඩුවත් රටත් ඉදිරියට මෙහෙයවීමට ඔවුන්ට හැකියාවක් තිබෙන බවද පෙනෙන්නට තිබිණි.

මේ වසර අවසාන වන්නේ ආරම්භයක් සමඟ බව පැහැදිලිය. ආරම්භය ආණ්ඩුවට අලුතෙන් වැඩ පටන්ගැනීමට සිදුවීමය. මෙහෙම ඉතිහාසයේ කවදාවත් නොවූ විදියට යළිත් ආණඩුවක් ගන්නට සිදුවූයේ ඇයිදැයි ආපසු හැරී බැලීමට යූ.එන්.පී. නායකයන්ටද දැන් අවස්ථාවක් ලැබී තිබේ. පාක්ෂිකයන්ගෙන් ඈත් වූ, දේශපාලන හිතමිතුරන් පමණක් කිට්ටු කරගෙන තීන්දු ගන්නා ක්‍රමයකට රටේ ජනතාවත් පාක්ෂිකයනුත් දැඩිව විරෝධය පළකරන බව එහිදී සොයා ගැනීමට හැකිවනු ඇත. එසේම ජනාධිපතිවරයාද තමන් 2015 ජනවාරි 08 වැනිදා යූ.එන්.පී. පාක්ෂික ඡන්ද බහුතරයකින් බලයට පත්වෙද්දී ලබාදුන් පොරොන්දුවලට නිසි ගෞරවය දැක්වීමද අවශ්‍යය. නායකයෝ තීන්දු නොගත්තොත් ජනතාව ඒ ගැන තීන්දු ගන්නවා ඇත. එහෙම පෙළගැස්මක්ද අර්බුදය මැදින් තිබුණ බව නායකයෝ නොදැක්කා නම් පුදුමය.

- ශශීන්ද්‍ර

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30