2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා

පාර්ලිමේන්තුව

 2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 54

ජනතාවගේ පරමාධිපත්‍යය මේ දිනවල හොඳට තෙම්පරාදු වන වචනයකි. මේ කියන පරමාධිපත්‍යය මෙතෙක් තිබුණේ කොහේදැයි කියා සොයා බලන්නට කිසිම උනන්දුවක් නොදැක්වූ පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් මේ දවස්වල ඒ ගැන කතා කරන්නේ පුදුම උනන්දුවකිනි. ඒ උනන්දුව දෝරෙ ගලා යනු පසුගිය දින කිහිපය තුළදී පාර්ලිමේන්තුව තුළදීම දැකගත හැකි විය. ඒ දැකගැනීම හේතුවෙන් අපට ඇතිවුණේ පරමාධිපත්‍යය පිළිබඳ ආඩම්බරයක් නොවේ. අමු කනගාටුවකි.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය නොරුකෙන තැනක ජනතාවගේ අයිතිය රැකෙන්නේ ද නැත. ජනතාව සතු පරමාධිපත්‍යය සැලකිය යුත්තේ ද ඒ අනුව යමිනි. තමන් වෙනුවෙන් රට පාලනය කිරීම සඳහා ආණ්ඩුව සහ විපක්ෂය වශයෙන් පාර්ලිමේන්තුවට යවනු ලබන නියෝජිතයන් තෝරා පත් කරගනු ලබන්නේ තමන්ගේ ඡන්දයෙන් බව දන්නා ජනතාව ඔවුන්ගෙන් අපේක්ෂා කරන්නේ යුක්තිගරැක, යහපත්, ශීලාචාර, ශිෂ්ඨ සම්පන්න හැසිරීමකි. අඩුම වශයෙන් තමන්ගේ ගෞරවය හෝ රැක දෙන ක්‍රියාකාරීත්වයකි. එසේ නොවන විට ඔවුන්ට තම නියෝජිතයන් ගැන ඇතිවන්නේ කලකිරීමකි.

ජනතාව තමන්ගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරනු ලබන්නේ ඡන්දය ලබාදීම හරහාය. ඒ අර්ථයෙන් ගත් කළ ජනතා පරමාධිපත්‍යයේ රන් දෙවොල වන්නේ පාර්ලිමේන්තුවයි. පසුගිය දින දෙක තුළදී පාර්ලිමේන්තුවේ සභා ගර්භය මැද සිදු වූ කලබලකාරී, නොසන්සුන් මෙන්ම අශීලාචාර හැසිරීම් දකින ජනතාවට නම් සිතෙන්න ඇත්තේ තමන් වඳින්න ගිය දේවාලය තමන්ගේම හිස මත කඩා වැටෙනවාක් වැනි හැඟීමකි. එකී හැසිරීම් සම්බන්ධයෙන් ජනතාවගේ අදහස් විමසා බලන ඕනෑම කෙනකුට එය වටහා ගැනීම අසීරැ නොවනු ඇත.

පසුගිය 14 වැනිදා පාර්ලිමේන්තුව කැඳවා තිබුණේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පසුව යළි ආරම්භ කරන දිනය සඳහන් ගැසට් පත්‍රයට අනුව බව කථානායකවරයා ප්‍රකාශ කර තිබිණි. ඒ අනුව එදින යළිත් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව කල් තබමින් නිවේදනයක් නිකුත් කර නොතිබුණා නම් එදින පාර්ලිමේන්තුව කැඳවීමේ වරදක් නැත. එහෙත් ගැටලුව වූයේ එහිදී මන්ත්‍රීවරුන්ගේ ක්‍රියා කලාපයයි. කථානායකවරයාට ද සභාව මෙහෙයවා ගැනීමට අවස්ථාවක් හෝ නොලැබීමත් ඒ අල්ලපනල්ල අස්සේ මහා ඝෝෂාවක් මැද නව අගමැති ප්‍රමුඛ රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් භාර ගැනීමත් එය හඬ මඟින් ඡන්දය ප්‍රකාශ කිරීමක් හරහා සම්මත කිරීමත් ඒ සමඟ ඇති වූ මහා ගාලගෝට්ටියක් මැව්වේ ඉතා නරක චිත්‍රයකි. දෙපක්ෂයෙන්ම ප්‍රකට වූයේ ලජ්ජා සහගත හැසිරීමකි. එතරම් ආවේගශීලී නොවී කලබලකාරී නොවී මේ ගැටලුව විසඳා ගැනීමේ ක්‍රියාමාර්ගයකට එළඹීමට තරම් කිසිදු සංයමයක් මැති ඇමැතිවරැන්ට නොතිබීම මහත් අවාසනාවකි. 

ඊළඟ දින දෙකෙත් සිදුවූයේ එම වාතාවරණයම යළි ප්‍රතිරාව වීමකි. එහිදී ගුටිබැට හුවමාරුවකට ආසන්නයටම තත්ත්වය බැරූරැම් විය. කථානායකවරයාට කසළ බඳුනකින් දමා ගැසීමට තරම් අසික්කිත හැසිරීමක් ද ප්‍රදර්ශනය විය. මන්ත්‍රීන් දෙදෙනකු අතේ පිහි තිබූ බවට ද සාක්ෂි සහිතව බරපතල චෝදනාවක් නැගිනි. වෙනත් රටවල ද පාර්ලිමේන්තු තුළ මෙවැනි අවස්ථා ඇති වෙයි. එහෙත් දින කිහිපයක් තිස්සේ මේ ආකාරයට අපේ රටේ මහජන නියෝජිතයන් තමන්ගේ ප්‍රතිරූපවලට පවා හානි සිදුකරගනිමින් පාර්ලිමේන්තු සභා ගර්භය එකම කෝලම් මඩුවක් බවට පත්කර ගැනීම සම්බන්ධයෙන් අපට ඇතිවන්නේ බලවත් කනගාටුවකි. එය රට ජාත්‍යන්තරය හමුවේ හෑල්ලු කිරීමකි.

පාර්ලිමේන්තුව මේ ආකාරයට මූලික අරමුණුවලින් බැහැරව කටයුතු කරමින් නාට්‍ය රඟදක්වන විට ජනතාව ඒ කෙරෙන් ඈත් වීමට හොඳටම ඉඩ තිබේ. මේ කෙහෙම්මල් ප්‍රජාතන්ත්‍රවාදයෙන් අපිට ඇති වැඩේ මොකක්දැයි ඔවුන් සිතන්නටත් බැරි නැත. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ පාර්ලිමේන්තුවට ඇති වැදගත්කම ද ඔවුන් විසින් ප්‍රශ්න කරනු ඇත. මහජන නියෝජිතයන් වශයෙන් ඔවුන්ගේ හැසිරීම පාර්ලිමේන්තුව තුළදී වඩාත්ම වැදගත් වන්නේ එය ප්‍රජාතන්ත්‍රවාදයේ අගය ජනතාවට පෙන්වා දීමක් වන බැවිනි. එහෙත් මෙවැනි සංවිධානාත්මක මට්ටමේ කලබැගෑනි ඇති කරන විට එවැනි වටිනාකම් හිරැ දුටු පිණි මෙන් ජනතාවගේ සිත් තුළින් පළා යාම වැළැක්විය නොහැක.

මහජන නියෝජිතයන් එකිනෙකාගේ ආත්ම ගෞරවයට පවා හානි කරගනිමින් හැසිරීම රටේ පැවැත්මට ගෙන දෙන්නේ විශාල හානියකි. මෙහිදී ජවිපෙ මන්ත්‍රීවරැන් සම්බන්ධයෙන් විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ ඔවුන් පාර්ලිමේන්තුවේ සෑම කල්හිම හික්මීමකින් යුතුව හැසිරෙමින් සැබෑ මහජන නියෝජිතයන්ගේ භූමිකාව ඉටු කරන බැවිනි. සෙසු සියලු දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට ද ඒ හැසිරීම අනුගමනය කළ හැකි නම් තමන්ගේ පරමාධිපත්‍යය නිසි ආකාරයට බලාත්මක වන බවට රටේ ජනතාවට හැඟී යනු ඇත.

ආසියානු කලාපයේ පැරැණිම ප්‍රජාතන්ත්‍රවාදී රට වශයෙන් සැලකෙන්නේ ශ්‍රී ලංකාවය. එසේ වුවද අද පෙනෙන්නට තිබෙන්නේ පාර්ලිමේන්තුව තුළ ප්‍රජාතන්ත්‍රවාදය සෑහෙන අභියෝගයකට ලක්වෙමින් තිබෙන බවය. එය යළිත් නිසි මගට ගෙන ආ හැක්කේ මහජන නියෝජිතයන්ටම පමණි. පරමාධිපත්‍යය මොන බම්බුවක්දැයි හිතන තැනකට මහජනතාව තල්ලු කළ යුතු නැත.