2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

පොල්ගෙඩිය බැරිනම් බෑය හරි රටෙන් ගෙනත් දෙනවා

 2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 61

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යහරීන් ප්‍රනාන්දු

 මේ රට වෙනස් කළේ බදුල්ලේ ජනතාවයි 
 කලකිරීමක්ම නොවෙයි ඒ වගේ පොඩි එකක් තියෙනවා  
 විපක්ෂයේ ඉන්නකොට හිතෙන්නේ මේ දැන් පත්තුවෙයි කියලා තමයි   
• බඩු මිල වගේ ප්‍රශ්න සක්‍රයා හිටියත් එනවා   
 බැඳුම්කරේ ගැන ගාය තියෙන්නේ මාධ්‍යයටයි  
• සුදු වෑන් සංස්කෘතිය ආපහු ගේන්න කියලද කියන්නේ  
 පාර්ලිමේන්තුවෙදි  ඕනවෙලාවක රජයට තුනෙන් දෙකක් තියෙනවා  

• පංචායුදේ විසිවෙලා පොහොට්ටුවේ පෙති හැලිලා  

ඔබ මේ යහපාලන ආණ්ඩුව ගේන්න  මැරුණු කෙනෙක්. විශාල පරිත්‍යාග කළා. මොකද මේ පහුගිය දවසක කියලා තිබ්බේ මේ පාර අපි බදුල්ල පාරාද වෙයි කියලා?ඇත්තටම මම අවංක හදවතෙන් කතා කරන කෙනෙක්. මම ඒ වෙලාවේ කිව්වේ අපි දේශපාලනමය වශයෙන් මිනිස්සුන්ට බලාපොරොත්තු දෙද්දි ඒවා ඉෂ්ඨ කරන්න කැපවෙන්න ඕන කියලා. මම දිස්ත්‍රික්කයේ එකම එක්සත් ජාතික පක්ෂ කැබිනට් ඇමැතිවරයා. ආසන 9 ක් දිනලා තියෙනකොට මිනිස්සුන්ට බලාපොරොත්තු වැඩියි. මම කිව්වේ පහුගිය කාලයේ ජනතාව අතරට යාමේ අපහසුතාවයක් තියෙනවා. ඒ නිසා ඉදිරියේදී ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලයි මම කිව්වේ.

ඇත්තම කතාව ආණ්ඩුව ඇතුළේ හරීන්ට තැනක් නැද්ද?
මම හිතන්නේ එහෙම එකක් නෙවෙයි. ඩිජිටල් කියන්නේ ලෝකයේ තිබෙන නවතම වචනය. ඒත් ඒක තුළින් බදුල්ලේ ජනතාවට මොකද්ද කරන්නේ කියලා ගැටලුවක් තියෙනවා. විශේෂයෙන් යහපාලනය ගොඩනගද්දි අනෙකුත් පක්ෂවල ඇමැතිවරුන් ඉන්නකොට ජනතාවගේ විශ්වාසය දිනන්නේ කොහොමද කියලා ගැටලුවක් තියෙනවා. මෙතන හරීන් ප්‍රනාන්දුට වඩා එක්සත් ජාතික පක්ෂයට ජනතාව එක්කර තබාගැනීමේ ගැටලුවක් තියෙනවා. 

ඒ නිසා තමයි ඔබලා රැකියා දස ලක්ෂයේ වැඩපිළිවෙළ සැකසුවේ. ඒක ක්‍රියාත්මක වෙන්නේ නැද්ද?
ඒකයි මම කිව්වේ අඬන්න ඕන කිරි එරෙන්න කියලා. මගේ දිස්ත්‍රික්කය ගැන දක්වන සැලකිල්ල මදි කියලා හිතෙනවා. මේ රටේ වෙනස වුණේ බදුල්ල දිස්ත්‍රික්කයෙන්. ඒ නිසා බදුල්ල දිස්ත්‍රික්කයට ආණ්ඩුව මීට වඩා දෙයක් කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. මොකද මේ රටේ ආණ්ඩුවත් වෙනස් කරන්න කටයුතු කළ දිස්ත්‍රික්කය තමයි බදුල්ල දිස්ත්‍රික්කය. ඒ නිසා මීට වඩා සංවර්ධන වැඩපිළිවෙළක්, රැකියා ලබාදීමක් මේ දිස්ත්‍රික්කයට කළ යුතුයි කියලා මම හිතනවා.

හැබැයි  ඔබට වඩා ඔබේ දිස්ත්‍රික්කයේ ඉන්න ශ්‍රී.ල.නි.ප කැබිනට් ඇමතිවරු දෙන්නකුටයි රාජ්‍ය ඇමති කෙනකුටයි හොඳ අමාත්‍යංශ ලැබිලා තියෙනවා. ඒත් හරීන්ට ඒ තැන නැත්තේ ඇයි?
මට දුන්නේ ලංකාවේ අලුත්ම ඩිජිටල් අමාත්‍යංශයක්. ලෝකයේ නම් ප්‍රසිද්ධම අමාත්‍යංශය. ඒක හදන්නයි මට දුන්නේ. රටක් වෙනස් කළා කියන පෝස්ටරය නිසා වෙන්න ඇති ඕකත් මට දෙන්න ඇත්තේ පුළුවන් නම් මේකත් වෙනස් කරලා දෙන්න කියලා. මම කියන්නේ ඒකත් එක්ක ජනතාවට මානව සංවර්ධනයක් කරන්න පුළුවන් නම්, භෞතික සංවර්ධනයක් කරන්න පුළුවන් නම් හරීන් ප්‍රනාන්දු එකම එක්සත් ජාතික පක්ෂ ඇමතිවරයා බවට පත්වෙනවා. මම කිව්වේ ඒ දේවල් හිතලා ජනතාව වෙනුවෙන්.

ඒ කියන්නේ හරීන්ටත් බයක් තියෙනවා නේද ඊළඟ පාර බදුල්ලෙන් ඡන්දය ඉල්ලන්න?
මම කවදාවත් දිස්ත්‍රික්කය දාල යන්නේ නම් නෑ. ගොඩක් අය මට චෝදනා කරනවා. හැබැයි පල ඇති තැනට තමයි ගල් ගහන්නේ. මට සමාජ ජාලාවලින් අභූත චෝදනා නගනවා කොහේ හරි කොනක් අල්ලගෙන. ඒ ගැන කලබල වෙන්නේ නෑ මම ඉවසනවා. තව අවුරුදු තුනක් තියෙනවා. ඒ තුළදී ජනතාව වෙනුවෙන් දෙයක් කරනවා.

හරීන් ඉන්නේ කලකිරීමෙන් නේද?
කලකිරීමක්ම නෙමෙයි. පොඩි එකක් තියෙනවා. ඒක අවධානයක්  වගේ.
ඔච්චර දෙයක් කළ හරීන්ට බැරිද අගමැති එක්ක කතා කරලා මේ ප්‍රශ්නය කියන්න.
මම ඉවසන් ඉඳලා මේ ළඟදි දවස් කීපයකට කලින් දැනුවත් කළා. 

අගමැතිවරයාගේ ප්‍රතිචාරය කොහොමද?
එතුමාට කරුණු කාරණා පැහැදිලි කරලා දුන්නයින් පස්සේ එතුමාට ඒක තේරුම් ගියා.

හරින් හිතන්නේ නැද්ද බදුල්ල ජනතාව විතරක් නෙමෙයි, රටේම ඉන්න ඔක්කොම මිනිස්සුන්ට කලකිරීමක් තියෙනවා කියලා?
සමහර දිස්ත්‍රික්කවල නම් ගොඩක් දේවල් වෙලා තියෙනවා. විශේෂයෙන් සංවර්ධන කටයුතු වගේ දේවල්. ඒත් සමහර දිස්ත්‍රික්කවල අඩුපාඩු තියෙනවා. අපි දැනගන්න ඕන දේශපාලනඥයන් හැටියට තමන්ගේ නායකයෙක් එක්ක කතා කරලා අන්තිම කාලයට කලින් විසඳුමක් දෙන්න.

ඔබට හිතෙන්නේ නැද්ද ආණ්ඩුව ගැන ජනතාව කලකිරීමෙන් ඉන්නේ කියලා?
ඇත්ත වශයෙන්ම කලකිරීමට හේතුව තමයි මේ ආණ්ඩුව ගොඩාක් කරලා තියෙන්නේ මානව සංවර්ධන කටයුතු. භෞතික සංවර්ධනය පේන්න නෑ. එතකොට ජනතාව බලාපොරොත්තු වෙලා හිටියේ මහා දේවල් දකින්න කරන්න. විශේෂයෙන් වරායවල්, ගුවන් තොටුපොළවල් වගේ විශාල ණය බරක් එක්ක ගත්ත ආණ්ඩුවට තිබ්බේ මේ ගත්ත ණය ගෙවන්න. ඒවා කරන්නේ නැතුව අලුතෙන් වරායවල්, ගුවන් තොටුපොළවල් හදනවාට වඩා මේ ණය ගෙවන්න ඕන. ඒ නිසා මිනිස්සු ඉන්නේ කලකිරීමෙන්. ඒක සාධාරණයි. 77 ආණ්ඩුව ආපු ගමනුත් ඉක්මනට සංවර්ධන වැඩ සිදුකළේ නෑ. කාලයක් ගියා. ඉස්සර වගේ නෙමෙයි, කටකතා පැමිණෙන්නේ සමාජ ජාලා වලින්. ඉස්සර කඩේ පිළෙන් ඇහෙන්නේ. දැන් ඕන කෙනකුට ඕන දෙයක් දාන්න පුළුවන්.

ඔය කියන සමාජ ජාලාම නේද රාජපක්ෂ පාලනය බිඳ දමලා ඔබලාව බලයට ගේන්න ක්‍රියා කළේ?
නෑ. නෑ.. මම කියන්නේ නෑ, ඒක වැරදි දෙයක් කියලා. මම කියන්නේ මේ ජනතාවගේ හැඟීම් පිළිඹිබු වෙන්නේ ඒ හරහා. ඒ මොකද, ජනතාව ඒවා එළිපිට කතා කරන නිසා. ඒ නිසා තවත් වතාවක් බලය ඉල්ලනකොට ජනතාව කිරලා මැනලා තීරණය කරයි.

දැන් හාල් කිලෝවක් රුපියල් සීය පන්නලා. පොල් ගෙඩියක් සීය පන්නලා. මිනිසුන්ට තරහ යන එක සාධාරණ නැද්ද?
සමහර ආණ්ඩුවලට එක එක කාලයන් එක්ක, නරක කාලයන් එක්ක, ලෝකයේ කාලගුණික විපර්යාසයන් එක්ක අමාරු තැන්වල හිරවෙන්න පුළුවන්. ඒ නිසා කළමනාකරණය කරන්න අමාරු වෙන්න පුළුවන්. මම හිතන්නේ පොල් ප්‍රශ්නයත් එහෙමයි. පොල් ත්‍රිකෝණය හැදුවේ අපි. ඩී.එස්. සේනානායක මහත්තයලා ගොවි ජනපද හදලා මේවා සශ්‍රීක කළා. හැබැයි මේ ආණ්ඩුව නොහිතපු විදිහට මෙතනදී හිරවුණා. සිරිමාවෝ මැතිනිය කිව්වනේ හඳෙන් හරි හාල් ගෙනත් දෙන්නම් කියලා. හැබැයි අපි හඳෙන් ගෙනත් දෙන්නේ නෑ. අපිට පොල් ගෙඩිය පිටරටින් ගේන්න බැරිවුණොත් පොල් බෑය හරි ගෙනල්ලා මිනිස්සුන්ට සහන සලසනවා. මේවා කෙටිකාලීන ප්‍රශ්න. සක්‍රයා හිටියත් එනවා.

මෙවැනි තත්ත්වයක් තුළ එළඹෙන මැතිවරණයේදි ගම් මට්ටමට යනකොට එජාපයට තැනක් තියේද?
මම කියන්නේ මේ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට කිසිම දෙයක් සිදුවෙන්නේ නෑ. ජාතික මැතිවරණයේ දී ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා මිනිස්සුන්ට හිතෙන්න පුළුවන්. නමුත් ආණ්ඩු බලයේ ඉන්න පක්ෂයකට ඡන්දය දෙනවා මිසක් ආණ්ඩු බලය නැති පක්ෂයකට ඡන්දය දෙන්නේ නෑ කවුරුත්. විශේෂයෙන් මේ පළාත් පාලන මැතිවරණයේදි මිනිස්සු බලන්නේ ගමේ ඉන්න මැම්බර් මහත්තයාට කියලා වැඩේ කරගන්න පුළුවන් මතයේ ඉන්න. ඒ නිසා මේ අවුරුදු තුන හතර දුවන්න නම් මේ ආණ්ඩුව තිබුණොත් හොඳයි කියන මතයේ මිනිස්සු ඉන්නවා.

ඒ වුණාට ඒකාබද්ධ විපක්ෂය කියන්නේ නම් වැඩේ හරි කියලා?
අපි දන්නවනේ. අපිත් හිටියනේ. අපි කොච්චර කිව්වද දැන් පත්තු වෙයි, මේ පත්තු වුණා කියලා. අන්තිමට අතේ පත්තු වෙනකල් දන්නේ නෑ. ඒ නිසා ඕවා ලේසියෙන් පත්තු වෙන්නේ නෑ.

ඔබට හිතෙන්නේ නැද්ද ආණ්ඩුව සමහර ප්‍රශ්න අනාගන්න නිසයි මේ ප්‍රශ්න කියලා?
මම හිතන්නේ නෑ, ආණ්ඩුව ලොකු ප්‍රශ්න අනාගත්තා කියලා. ලොකුම අනාගැනීම තමයි මේ ආණ්ඩුව කරන දේවල් සන්නිවේදනය කරන්න බැරිවීම. ගොඩක් අයට වුවමනායි මේ ආණ්ඩුව අනාගත්තා කියලා පෙන්නන්න. මේක සැලසුම් සහගතව සිදුකරන දෙයක්. එහෙම නැතුව මහ ලොකුවට ආණ්ඩුව ඇතුළෙ අනාගැනීමක් නෑ.

මේ ආණ්ඩුව ආපු ගමන් එකතු වුණු ලොකුම ප්‍රශ්නය තමයි බැඳුම්කර සිද්ධිය. මේක ආණ්ඩුවට හානියක් නේද?
මේ බැඳුම්කරේ ගැන ලොකු වුවමනාවක් තියෙන්නේ මාධ්‍යයට. ඒ වගේම ඒකාබද්ධ විපක්ෂයට ලොකු අවියක් වුණා දේශපාලන වශයෙන් ඒ අයගේ හොරකම් වහගන්න. හැබැයි මේ බැඳුම්කර සිද්ධි මීට ඉස්සරත් සිදුවුණා, දරුණු විදිහට. නමුත් මේක එළියට ආවේ මාමයි බෑනයි කියන සිද්ධියක් නිසා. එතනයි සැක සංකාවක් මතුවුණේ. මීට කලින් ලොකුවට වුණා. හැබැයි මම කියන්නේ නෑ, එදා කරපු එක හරිද අද කරපු එක හරිද කියලා. හැබැයි අපි මේකට පරීක්ෂණ පැවැත්තුවා. හිටපු මුදල් ඇමැතිවරයා ඉවත් කළා. අගමැතිවරයාත් ගියා සාක්ෂි දෙන්න. කවද්ද මේවා ලංකාවේ වුණේ. කවදත් තිබිච්ච නැති විනිවිදභාවයක්. කොහෙද මේක අනාගැනීමක් වෙන්නේ. මේවා මේ ජනමාධ්‍යයට ජනතාව කතා කිරීමට දුන් නිදහස නිසයි එළියට එන්නේ. ඒකයි වැදගත්.

ඔබ කියනවා ජනමාධ්‍යයටයි ඒකාබද්ධ විපක්ෂයටයි බැඳුම්කර සිද්ධිය ඕන වුණේ කියලා. නමුත් ජනාධිපතිවරයා සහ කැබිනට් එකේ ඇමැතිවරුත් මේක විවේචනය කළා?
ඉතින් මමත් විවේචනය කළේ. මේ ආණ්ඩුව ඇතුළෙ කතා කරන්න නිදහස දීලා තියෙනවා. ඉස්සර කැබිනට් එකේ හිටිය විපක්ෂයේ හිටිය අය කතා කළෙත් බයෙන්. කොහොම වුණත් මේ කතා වංචාවක් ද නැද්ද කියලා පරීක්ෂණයෙන් ඔප්පු වෙයිනේ. 31 වැනිදාට මේ වාර්තාව බලලා තීරණය කරමු.

ආණ්ඩුව පහුගිය කාලේ ආපු ප්‍රශ්නවලින් සයිටම් ප්‍රශ්න, මේ දුම්රිය වර්ජන වගේ දේවල් වලින් ෆේල් වුණා නේද?
ආණ්ඩුව ෆේල් වෙනවා කෙසේ වෙතත්. මේ සෑම සිද්ධියක් පස්සෙම දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වෙනවා. දොස්තරවරුන්ගේ ප්‍රශ්නයේ දී දේශපාලන හස්තයක් තිබ්බද නැද්ද කියන එක පුංචි ළමයකුට වුණත් පැහැදිලියි. හැබැයි ආණ්ඩුව මේ දේවල්වලට විසඳුම් කල් ගිහින් හරි ලබාදුන්නා. දුම්රිය වර්ජනය ගන්න, එතුමාලා වර්ජනය කළා. ඒත් සාධාරණ අසාධාරණ තීන්දු තීරණවලට ආණ්ඩුවට එකඟවෙන්න බෑ. ඔබතුමා කියන හැටියට පහුගිය කාලයේ වගේ සුදු වෑන් සංස්කෘතිය ක්‍රියාත්මක කරලා ඔය කියන අය උස්සන්නද කියන්නේ. ඒක අපිට ක්‍රියාත්මක කරන්නද කියන්නේ? මේ රටේ මිනිස්සුන්ට නිදහස දීම හොඳ නැද්ද? මේ මිනිස්සුන්ට කරදරයක් වෙන්න පුළුවන්. ඒත් නිදහස අයිතිය රකින්න ඕන.

හැබැයි මේ දේවල් නිසා ආණ්ඩුවේ ගමන හිරවෙනවා නේද?
රටක ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණය තමයි මිනිස්සුන්ට නිදහස දීම. ආණ්ඩුව මොන බලපෑම ආවත් ඒවා ඉවසන්න ඕන. ඒ නිදහස දැන් තියෙනවා.

හැබැයි සයිටම් ප්‍රශ්නයේදි ජනාධිපතිවරයා තීන්දු දෙනකොට සෞඛ්‍ය ඇමැති එක කතාවක් කියනවා. උසස් අධ්‍යාපන ඇමැති තව කතාවක් කියනවා. මේවා නිසා නේද ප්‍රශ්න. ඉක්මන් විසඳුමක් දෙන්න බැරිද?
ආණ්ඩුවක් හැටියට බලන්න ඕන හොඳම දේ. මොනවාද කරන්න පුළුවන් කියලා. අනික ඔය ප්‍රශ්නය ගෙනාවේ අපේ කාලයේ දි නෙවෙයි. ඔය උද්ඝෝෂණය කරපු කට්ටිය එදා හිටියේ නෑ. එකපාරට මේක කළේ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න. ඒක හිතාමතා කරපු දෙයක්. ගෙනාපු කාලේ මුඛවාඩම් බැන්ඳ අය දැන් කෑගහනකොට සැකයක් තියෙනවා.

සුජීව සේනසිංහ රාජ්‍ය ඇමැතිවරයා ජනාධිපතිවරයාව ප්‍රසිද්ධියේ විවේචනය කළා. මෙහෙම වෙන්න පුළුවන්ද?
මම නැවත වතාවක් කියන්නම්. ඉස්සර හිටියේ එහෙයියෝ පිරිසක්. ජනාධිපතිතුමාට කියනවා ඉස්සර ඉන්න අය කතා කරන්නේ නෑ කියලා. දැන් ඕන කෙනෙක්ව විවේචනය කරන්න පුළුවන්. අපි මේක ප්‍රජාතන්ත්‍රවාදය හැටියට දකින්නේ.

මේක ආණ්ඩුවේ සාමූහිකත්වයට බාධාවක් නේද?
සාමූහිකත්වය නැත්තේ කොහොමද? හැම ඡන්දයකදීම පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක් තියෙන්නේ. අවශ්‍ය වෙලාවට තුනෙන් දෙකක් තියෙයි.

මේ ආණ්ඩුව කැබිනට් එකේදි ගන්න තීරණ එළියේ දි අකුල ගන්නවනේ?
ඒක තමයි හොඳම දේ. ගන්න තීරණය වෙනස් කරන්න පුළුවන් නම් හොඳයිනේ. සමාජයට ගැලපෙන්නේ නැත්තම් වෙනස් කරන එක නරකද?

ජෝන් අමරතුංග ඇමැතිතුමා කිව්වා පොලීසියත් අපේ අතේ කියලා. අර තිබ්බ ප්‍රජාතන්ත්‍රවාදය නිසාද?

ජෝන් අමරතුංග ඇමැතිතුමා වේදිකාවට නැග්ගාම ජනතාව හිනා ගස්සනවා. චිත්ත ධෛර්යය නංවන්න මේ දේවල් කියනවා ඇති. ඉස්සර අපි දේශපාලනය කරද්දි පොලීසියෙන් ගුටිකාලා පරිප්පු කෑවා. අපි මේ කියන්නේ පොලීසිය අපේ අතේ කියලා නෙමෙයි. එතුමා කියන්නේ අපේ ආණ්ඩුවෙන් පොලීසියට දීලා තියෙන නිදහස නිසා ඔය කටේ බ්‍රේක් නැතුව කිව්ව වචනය.

මේ සියලු දේවල් අස්සේ නෙළුම් පොහොට්ටුව ලකුණු දාගෙන ඉස්සරහට යනවා?
පොහොට්ටුව පිපෙන්න කලින් රටෙන්ම ගැලවෙනවා. පංචායුධය ගැලවිලා විසිවුණේ. පොහොට්ටුව පිපෙන්නත් කලින් පෙති හැලිලා. අපිට බලන්න පුළුවන් පෙබරවාරි මාසය වෙනකොට පොහොට්ටුවට මොකද වෙන්නේ කියලා.

දැන් යූ.ඇන්.පී. එකට කවුරුත් එන්නේ නැද්ද?
මම නම් එහෙමට දන්නේ නෑ. හැබැයි වෙන්න බැරිත් නෑ.

►ගයාන් ගාල්ලගේ