2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

සඟරුවනට අවලාද නැගීම

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 63

අපේ රටේ බොහොමයක් දේශපාලනඥයන්ගේ කටට බ්‍රේක් නැත. මේ බ්‍රේක් නැති කටවල් හේතුවෙන් හිරේ ගිය හිටපු ඇමැතිවරැද සිටිති. ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී දේශපාලන ඉතිහාසයේ කුණු බක්කියට වැටුණු හිටපු මැති ඇමැතිවරුද සිටිති. ඒ කොතරම් උදාහරණ තිබුණත් ඇට නැති දිව හැරෙන හැරෙන පැත්තට වනා කිච වෙන දේශපාලනඥයෝ එදාත් සිටියහ. අදත් සිටිති. ඔවුන් බොහෝ විට අමාරුවේ වැටෙන්නේ තනිවම නොවේ. තමන් නියෝජනය කරන පක්ෂයත් සමඟය.

ඇතැම් දේශපාලනඥයන් මෙවැනි බ්‍රේක් නැති කතා කියන්නේ ඡන්ද ගොඩ රැස්කර ගැනීමට අවශ්‍ය ජනප්‍රියකම රඳවා ගැනීමේ උපායක් හැටියටය. එසේ ගැලරියට කතා කරන විට විසිල් පාරවල්, අත්පුඩි ගැසීම්, චියර් කිරීම් අඩු නැත. එහෙත් සමහර දේශපාලනඥයන් පොට වරද්දා ගන්නේ රටේ සංස්කෘතිය, ඇවතුම්, පැවැතුම්, ඇගයිම් පිළිබඳව හැඟීමකින් තොරව කතා කරන්නට යාමේදීය. කෙසෙල් ගහට ඇන්න කොට්ටෝරැවාගේ තත්ත්වයට දේශපාලනඥයන් ඇදදමන එවැනි එක අවස්ථාවක් වන්නේ රටේ ආගමික නායකයන්ට එරෙහිව චණ්ඩි කතා දෙසා බාන්නට යාමයි. විශේෂයෙන්ම රටේ මහා සඟරැවනට එරෙහිව දේශපාලන අවලාද ඇදබාන දේශපාලනඥයන්ට ඒවාගේ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බවට අපේ රටේ ඉතිහාසයෙන්ම පාඩම් ඉගෙනගත හැකිය.

අප මේ පූර්විකාව සටහන් කළේ පසුගිය සති දෙක තුන තුළදී මහ සඟරැවනට එරෙහිව රටේ දේශපාලනඥයන් දෙදෙනකු කළ ප්‍රකාශ සැලකිල්ලට ගනිමිනි. මේ දෙදෙනාම දේශපාලනයට පැමිණ මහ ලොකු කාලයක් ගත නොවුණද පසුගිය දශක දෙක තුන තිස්සේම මෙරට ජනතාව හොඳින් දැන සිටි චරිත දෙකකි. එක් ඇමැතිවරයෙක් යුද්ධයේදී හොඳ මෙහෙයක් කළ යුද සෙනෙවියෙකි. අනෙක් ඇමැතිවරයා සිනමා නළුවෙකි. දෙදෙනාම රටේ ජනතාවගේ ගරු බුහුමන් ලැබු‍වෝ වෙති. එසේ වුවත් දෙදෙනාම විසින් පසුගිය සති දෙක තුළදී වරින් වර කරන ලද ප්‍රකාශ තමන් ලද ගරුබුහුමන් ආපසු හැරවීමකි. මෙරට බෞද්ධ ජනතාවගේ සිත් වේදනාවලට හේතුවකි. සිදු නොවිය යුතුව තිබුණකි.
රජයේ කැබිනට් අමාත්‍යවරයකු ද වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පසුගියදා මෙරට සුප්‍රකට හිමිනමක් වන ඇල්ලේ ගුණවංශ හිමියන් හැඳින්වූයේ චීවරධාරියා කියාය. ඊට අමතරව තවත් දැඩි මතභේදාත්මක විවේචනයක් ද සිදුකළේය. ඇල්ලේ ගුණවංස හිමියෝ මෙරට ජාතික, ආගමික, සංස්කෘතික ක්ෂේත්‍රවල මුල් පුටුවක වැඩ වෙසෙති. උන්වහන්සේගේ ධර්මාශ්‍රමය මෙරට දේශපාලන නායකයන් බොහෝ දෙනකු ආගිය ස්ථානයකි. රටේ දේශපාලන තීන්දු තීරණ ගැනීමේදී ඇතැම් නායකයන් ඇල්ලේ ගුණවංස හිමියන් බැහැදැක අදහස් විමසූ අවස්ථා ද තිබිණි. 

මේ පසුබිම පිළිබඳව අවබෝධයකින් තොරව ඇල්ලේ ගුණවංස හිමියන් චීවරධාරියකු ලෙසින් හැඳින්වීම මහ ජනතාව අතිශය කම්පාවට පත්කරන සිදුවීමක් වනු ඇති බව දේශපාලනඥයන් නොදැන සිටීම ගැන අපට ඇත්තේ පුදුමයකි. එළියට දැමූ වචන ආපසු කැඳවා ගත නොහැකි වුවද සිදුවූ වැරැද්දට කනගාටුව ප්‍රකාශ කිරීම හෝ සමාව ගැනීමට කිසිදු තහනමක් නැත. ඒ වෙනුවට තවදුරටත් තමන් කළ ප්‍රකාශය නිවැරුදි බවට තහවුරු කෙරෙන කියුම් තුළින් හානි සිදුවන්නේ ඇල්ලේ ගුණවංස හිමියන්ගේ චරිතයට නොව තම තමන්ගේම චරිතවලට බව අවබෝධ කරගැනීම අවශ්‍යය. මෙරට ඉතිහාසයේ කිසිදු දේශපාලනඥයකු මහ සඟරුවනට අපහාස උපහාස කොට ලබාගත් ජයග්‍රහණයක් නැත. මීට හොඳම උදාහරණය සර් ජෝන් කොතලාවලගේ සුප්‍රසිද්ධ තාර ගෑමේ කතාවය. එම කතාව නිවැරුදි කරන්නට දැරෑ සෑම උත්සාහයක්ම වැරුදී ගිය අතර ඊළඟ මහමැතිවරණයේදී එහි ප්‍රතිවිපාක වින්දේ සර් ජෝන් පමණක් නොවේ ඔහු නායකත්වය ලබා දුන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවද දරුණු පරාජයකට මුහුණ දුන්නේය. මේ ඉතිහාසය නොදන්නා දේශපාලනඥයන් ඒ ගැන දන්නා කියන දේශපාලනඥයන්ගෙන් “ටියුෂන්” ගැනීම අනාගතයේදී සිදුවිය හැකි බොහෝ අපල උපද්‍රව වළක්වා ගැනීමේ ශාන්තිකර්මයක් වනු ඇත.

රන්ජන් රාමනායක රාජ්‍ය ඇමැතිවරයා කටට බ්‍රේක් නැති වීම නිසා මීට පෙරද දෝෂ දර්ශනයට ලක් වූ දේශපාලනඥයෙකි. වරක් ඔහු තම පක්ෂයේ නායකයාගේ උදහසට ද ලක්වූයේ කට පාවිච්චියේ වැරැද්ද හේතුවෙනි. ඔහු මීටපෙර මාධ්‍ය සමඟ ද රාජ්‍ය නිලධාරීන් සමඟ ද පැටළුණේය. නායකයන් සමඟ නම් ප්‍රශ්න නිරාකරණය කර ගත හැකිය. එහෙත් මහා සඟරුවනේ උදහසට ලක්වීම නම් ලෙහෙසියෙන් බේරාගත හැකි ප්‍රශ්නයක් නොවේ. ඇල්ලේ ගුණවංස හිමියන් සහ සෙසු සංඝයාවහන්සේ ඉලක්ක කරමින් නගන දේශපාලන අවලාද ආපසු තමන් කරා පැමිණෙන බව අවබෝධ කර ගැනීම යහපත්ය. කට තිබුණු පළියට මහ සඟරුවනට අපහාස උපහාස කිරීම විශාල වරදකි. එය රටම හෙළාදකින බව දැන සිටිය යුතුය.

අපේ රටේ මහ සඟරුවනේ ඇතැම් භික්ෂූන් වහන්සේලා දේශපාලනයට ඍජුවම සම්බන්ධවීම මෙවැනි තත්ත්වයකට මඟපෑදූ බවටද මතයක් පවතී. මෙරට දේශපාලනයට භික්ෂූන්වහන්සේලා සම්බන්ධ වූයේ ඊයේ පෙරේදා නොවේ. එයටද ඉතිහාසයක් ඇත. නමුත් පෙර කෙදිනකවත් නුවූ තරමින් ඇතැම් භික්ෂූන්වහන්සේලා වර්තමානයේ දේශපාලන භූමිකාවට පණපොවා සිටිති. දේශපාලනඥයන්ගේ බ්‍රේක් නැති කතාවලට එයද හේතුවක් වූ බව ඇතැම් පිරිස් ප්‍රකාශ කරන බව සඳහන් කරනු වටී.