2021 ජනවාරි 16 වන සෙනසුරාදා

අලුත් සතුරාට ඉඩක් නොදෙමු

 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 43

කොවිඩ් වෛරසය පිළිබඳ ඇත්ත කතා, බොරු කතා සහ තිත්ත කතා බොහොමයකි. ඇත්ත කතා සැමවිටම වාගේ අමිහිරිය. එහෙත් බොරු කතා සහ තිත්ත කතා ඊට වෙනස්ය. කොවිඩ් වෛරසය වටා ගොතනු ලබන බොරු සහ තිත්ත කතා බොහෝ විට “පැණි” රසය. ධම්මික පැණිය සහ ගඟට දැමූ මුට්ටි ඒ වර්ගයට අයත් වෙයි. එහෙත් කොවිඩ් පිළිබඳ මෑතකදී ඇසුණු ඇත්ත කතාව නම් වැටෙන්නේ ඉතාම අමිහිරි ගණයටය. ලොව පුරාවටම භීතියක් දැනවූ එංගලන්තයේ පැතිරී යන කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය ශ්‍රී ලංකාවටද ඇතුළු වීමේ පුවතයි.

එංගලන්තය ඉතාම අපහසුවෙන් රට ලොක්ඩවුන් තත්ත්වයෙන් මුදාගෙන යළිත් සාමාන්‍ය ජීවන රටාවකට පුරුදු පුහුණු වීමට ගණන් බලමින් සිටියදී නව වෛරස ප්‍රභේදය හඳුනාගැනීමත් සමඟ යළිත් සිදුවූයේ දනි පණි ගා යළිත් රට අගුලු දැමීමටය. කොවිඩ් වෛරසයේ ප්‍රභේද ගණනාවක් මේ වනවිට හඳුනාගැනීමට හැකිව තිබුණත් ඒ සියල්ලට වඩා 70%කට අධික වේගයකින් ව්‍යාප්ත වීමේ හැකියාවක් සහිත නව ප්‍රභේදය මුළු එංගලන්තයම බිය ගන්වා තිබිණි. එවැනි වෛරසයක් ශ්‍රී ලංකාවට ඇතුළු වීම ඉතා අමිහිරි පුවතක් වීම ගැන පුදුම විය යුතු නැත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මේ ප්‍රවෘත්තිය දැනුම් දෙමින් ප්‍රකාශ කළේ එංගලන්තයේ සිට මෙරටට පැමිණි පුද්ගලයකුට කටුනායක ගුවන්තොටුපළේදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහු ආසාදිතයකු බවට හඳුනාගත් බවය. ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ මහාචාර්ය නීලිකා මලවිගේ ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් විසින් ඒ පිළිබඳව සිදුකරන ලද වැඩිදුර පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ එංගලන්තයේ සිට පැමිණි එම ආසාදිතයාට වැළඳී ඇත්තේ කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය බවය. නව වෛරස ප්‍රභේදය ඉතා ඉක්මනින් පැතිර යන හෙයින් මේ සම්බන්ධයෙන් දැඩිව විමසිල්ලෙන් පසුවිය යුතු බවටද අනතුරු අඟවන විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඉදිරියේදී රෝගීන් විශාල සංඛ්‍යාවක් හමුවිය හැකි බවද ප්‍රකාශ කරයි.

නව වෛරස ප්‍රභේදය ශ්‍රී ලංකාව තුළ පැතිර නොයනු ඇතැයි යන්න අපගේ පළමු ප්‍රාර්ථනය වෙයි. එහෙත් ප්‍රාර්ථනාවකින් පමණක් වෛරසය මර්දනය වන්නේ නැත. ඒ සඳහා සියලු උපක්‍රම යොදාගත යුතු වෙයි. සෞඛ්‍යාරක්ෂිත නීති රීති පිළිපැදීම අමතක නොකර සිදුකළ යුතු වෙයි. වෛද්‍ය විශේෂඥයන්ගේ මතය අනුව 70%ක් අධික සංසරණයකින් යුතු අලුත් කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වුවහොත් එය මෙරට සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි වනු ඇත. එවැනි තත්ත්වයකට යා නොදී එය පාලනය කර ගැනීමට හැකි හැම ක්‍රියාමාර්ගයක්ම ගතයුතු බව සියලුදෙනා විසින්ම අවබෝධ කරගත යුතුය.

සුද්දන්ගේ රටවලින් අප රටට ලැබෙන බොහොමයක් දේ ටොප් කොලිටි බඩු බවට අදහසක් රටේ පවතී. ඒ අර්ථයෙන් ගත්කළ එංගලන්තයේ නව කොවිඩ් ප්‍රභේදයද රට තුළට එනවා නම් එන්නේ ටොප් කොලිටියෙන් බවට සැකයක් තබාගත යුතු නැත. මේ නිසා වෙනදාටත් වඩා සුපරීක්ෂාව පිළිබඳ හැඟීමක් අපි සියලුදෙනා තුළම තිබිය යුතුය. චීනෙන් ආවත් එංගලන්තෙන් ආවත් කොවිඩ් කොවිඩ්මය. එය පැතිරයාමට ඉඩක් නොදීමේ වගකීම ඇත්තේ අප අතේමය.

අලුත් වෛරසයක ආක්‍රමණයේ අවදානම පිළිබඳ අනතුරු ඇඟවීම රටට ලැබුණේ හොඳ වෙලාවක නම් නොවේ. රටේ තැනින් තැන හඳුනාගත නොහැකි ආකාරයට පවා කොවිඩ් පොකුරු මතුවෙමින් තිබියදීය. අඩුම තරමින් පාර්ලිමේන්තු සංකීර්ණයට පවා එයින් මිදීමට හැකි වී නැත. මේ වනවට පාර්ලිමේන්තුවේ ඇතිවී තිබෙන තත්ත්වය අනුව ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීම පවා කල් දැමීමට සිදුවිය හැකි බවද සඳහන් වෙයි. ඒ ගැන අවසන් තීන්දුවක් සඳුදා (18) පැවැත්වෙන පක්ෂනායක රැස්වීමේදී ගනු ලැබීමට නියමිතය. පාර්ලිමේන්තුවේ පැවැති සභාවාරවලට සහභාගී වූ රවුෆ් හකීම්, දයාසිරි ජයසේකර, වාසුදේව නානායක්කාර වැනි මැති ඇමැතිවරුන්ටද වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු පළවෙද්දී පාර්ලිමේන්තුවේ කටයුතු කිසිදු වෙනසකින් තොරව පැවැත්වෙනු ඇති බව ප්‍රකාශ විය. එවැනි ප්‍රකාශයක් කිරීමට පෙර පවතින යථා තත්ත්වය පිළිබඳව නිවැරදි තක්සේරුවක් තිබීම අවශ්‍යය. සියල්ල යහපත් අයුරින් සිදුවන බව ඇඟවෙන සේ කටයුතු කිරීම දැන දැනම අමාරුවේ වැටීමකි.
මේ වනවිට බස්නාහිර පළාත සහ අගුලු දමා ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල් පවා විවෘත කර තිබේ. විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතනද පවතින තාක්ෂණික පහසුකම් උපයෝගී කර ගනිමින් ක්‍රියාත්මක වෙයි. ඇතැම් ව්‍යාපාරික කටයුතුද ඇරඹෙමින් තිබේ. එංගලන්ත වෛරසය අපේ රටට ඇතුළු වන්නේ මේ පසුබිමේය. එහි අනෙක් අර්ථය මේ නව වෛරසයට හිස එසවීමට ඉඩ දුන්නොත් මේ සියල්ල යළි වසා දැමීමට සිදුවන බවය. විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීරගේ අනතුරැ ඇඟවීමට නිසි වටිනාකමක් ලබාදීමෙන් තොරව මෙයින් අපට ගැලවුමක් නැත.

දැනට තිබෙන තොරතුරු අනුව නව වෛරසය භයානක ස්වරූපයක් ගෙන ඇත්තේ එය බෝ වීමේ පැතිරීම ඉතාම වේගවත්ව සිදුවීම හේතුවෙනි. එම වෛරසයේ ජානමය ස්වභාවය හඳුනාගැනීමට පවා මෙරට විද්‍යාඥයන් සමත්ව සිටින බවද සඳහන්ය. එසේම දැනට කොවිඩ් මර්දනයට යොදාගනු ලබන එන්නතද අලුත් ප්‍රභේදයට ගැලපෙන සේ සකස් කරගැනීම පහසුවෙන් කළ හැකි බවද කියති. ඒ කරුණු ගැන අපට සතුටු විය හැක. එහෙත් නව වෛරසය රට තුළ පැතිරුණහොත් එය අප කාටත් දැඩි දුකක් විය හැකි බව දැන සිටීමද වැදගත්ය.

 2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00