2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා

අපට ගහන්නේ ආණ්ඩුව ෆේල් නිසා

 2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 92

සමගි ජනබලවේගයේ මන්ත්‍රී - පාඨලී චම්පික රණවක

  • පළිගන්න කතාව අපිව හිරේ දාන්න පතුරන කතාවක්
  • පවුල්වාදී දේශපාලනයේ ඉතුරු ටිකත් වල දානවා
  • පොලිස් නිලධාරීන්ට සිදුවෙන හානිය කැරකෙන්නේ ආණ්ඩුවටමයි
  • අපි එක්ක වැඩ කළ රාජ්‍ය නිලධාරීන් පසුපස සී.අයි.ඩී.ය පන්නනවා
  • විපක්ෂය හොඳින් ක්‍රියාත්මකයි
  • ආණ්ඩුවේ මිතුරු හවුලට කොවිඩ් වසංගතය සල්ලි උල්පතක් වෙලා

ආණ්ඩුවකට වඩා විපක්ෂයේ කාර්යභාරය ඉතාමත් සුවිශේෂියි. මොකද විපක්ෂය තමයි ජනතාවගේ සැබෑ හඬ බවට පත්වෙන්නේ. හැබැයි වර්තමාන විපක්ෂය ඉතාම දියාරු මට්ටමේ වගේනේ පේන්නේ. මොකද ඒ?

මෙහෙමයි. විපක්ෂය නම් දියාරු මට්ටමක නෑ. විපක්ෂයේ මන්ත්‍රීවරු සාමූහික වශයෙනුත් තනි වශයෙනුත් විපක්ෂයේ කාර්යභාරය ඉටුකරමින් ඉන්නේ. විශේෂයෙන් සංවිධානාත්මකව ප්‍රශ්නවලට මැදිහත් වෙමින් ඉන්නේ. උදාහරණයක් හැටියට පසුගියදා වෙච්ච මහර ගැටුමෙදී කණ්ඩායමක් මහර බන්ධනාගාරය වෙත ගියා බලන්න. ඒ නිසා විපක්ෂය ක්‍රියාත්මක වෙමින් ඉන්නේ. විශේෂයෙන්ම කියන්න ඕන මහර සිද්ධියේ ප්‍රශ්නකාරී ඝාතනවල මළසිරුරුවලට කෝවිඩ් හැදිලා කියලා සඳහනක් තියෙනවා. ඒක හරහා ආණ්ඩුව මේ මළසිරුරු විනාශ කිරීමේ කුමන්ත්‍රණයක හිටියේ. මෙන්න මේ කාරණාව අපට හෙළිදරව් කරගන්න පුළුවන් වුණේ විපක්ෂය එතනට ගිය නිසා.

හැබැයි ඒක දැනෙන මට්ටමේ නෑනේ?

පාර්ලිමේන්තුව ඇතුළේ විපක්ෂ නායකතුමා වගේම කණ්ඩායම විපක්ෂයේ කාර්යභාරය ඉටුකරනවා. හැබැයි ආණ්ඩුවේ ප්‍රමාණය එක්ක බලද්දි පාර්ලිමේන්තුව තුළ තියෙන්නේ කුඩා විපක්ෂයක්. මොකද ආණ්ඩුවට මේ වෙනකොට ආසන 157ක් තියෙනවා. ඉදිරි කාලයේදී සමගි ජනබලවේගය ඉතාම සමගි සම්පන්නව එකතු වෙලා විපක්ෂයේ අය වගේම විපක්ෂයේ නොවන අය සමඟත් එකතු වෙලා ඉක්මණින්ම ශක්තිමත්ව උඩට එනවා.

ඒ කියන්නේ ආණ්ඩුවේ බහුතරයට විපක්ෂය යට වෙලාද ඉන්නේ?

නෑ. එහෙම යටවීමක් නෑ. නමුත් ඔබට පේනවා ඇති පාර්ලිමේන්තුව ඇතුළේ ඉස්සරහින්, පස්සෙන්, පැත්තෙන් ඉඳගෙන විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මඩ ගහනවා. හැබැයි කියන්න ඕනේ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු නිහඬව ඉන්නේ. ඒත් ඔය ආණ්ඩුවේ කෑගහන්නේ බාගෙට ඇමැතිකම් අරගෙන වැඩක් කරගන්න බැරුව ඉන්න සහ බැසිල් රාජපක්ෂ මහත්මයගේ හිත දිනාගන්න උත්සාහ කරන අය.

දැන් ඔබත් පාර්ලිමේන්තුව ඇතුළේ විශාල සංවාද කරපු පුද්ගලයෙක්. අද ආණ්ඩුවේ හමුවේ නිශ්ශබ්දයිනේ. මොකද විපක්ෂයෙන් ඉඩක් ලැබෙන්නෙ නැද්ද කතා කරන්න?

නෑ එහෙම එකක් නම් නෑ. ඔබට පුළුවන් මගේ ෆේස්බුක් එකට, වෙබ් එකට ගියාම මම කතා කරපුවා බලන්න. නමුත් ගැටලුව තියෙන්නේ ප්‍රධාන මාධ්‍ය බහුතරයක් මගේ ප්‍රකාශ දාන්න බයයි. මොකද ඒ අයට කියන්න මගේ දුර්වලකමක් නෑ. මම දුර්වලයෙක් කියන්න බෑ. මම මෝඩයෙක් කියන්න බෑ. මට වැඩ බෑ කියන්න බෑ. මට හරියට දූෂණ චෝදනා ගේන්න බෑ. ඒ නිසා ආණ්ඩුවේ ආධිපත්‍යයට යට වෙලා තියෙන මාධ්‍ය නිහඬ වෙලා ඉන්නේ. ඒ නිසා අපේ හඬ එළියට යන්නේ නෑ. නමුත් අපි කලබල නෑ.

ඔබ මුලදි සඳහන් කළ ඔය මහර සිද්ධිය සම්බන්ධයෙන් මේ වෙනකොට සමාජ මාධ්‍ය තුළ විශාල රුල්ලක් යනවා මේ සිද්ධිය පිටුපස ඉන්නේ ඔබ කියලා. ඒක ඇත්තද?

මේ ආණ්ඩුවේ අසමත්කම නිසා අපිට රටේ නැති අවලාද එල්ල වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයව ගෙනාවේ ලී ක්වාන් යූට අන්දලා. මහතීර් මොහොමඩ්ට ඇන්දුවා. පුටීන්ටත් ඇන්දුවා. නමුත්, ඒ සියල්ල බොරු කරමින් එතුමට පාලනයක් කරගැනීමට නොහැකි බව පෙන්නලා ඉවරයි. ඒ අඩුපාඩුව තුළ ජනතාවට පේනවා අපි කරපු වැඩ. විශේෂයෙන් කියන්න ඕනෙ රාජ්‍ය ආයතන ලාභ උපයන්න වැඩ කරපු ආකාරය ජනතාවට පේනවා. උදාහරණයක් හැටියට කිව්වොත් 2015 දින 100 ආණ්ඩුවේ මම ලං.වි.ම බිලියන විස්සක ලාභයක් ඉපයෙව්වා. හැබැයි 35%කින් දැන් විදුලි ඉල්ලුම අඩු වෙලා. ඒත් තවම ලාභ ලබන්න බැරි වෙලා තියෙනවා. අඩුම තරමේ මම ලාභ උපයපු නාගරික සංවර්ධන අධිකාරිය, ඉඩම් සංවර්ධන සංස්ථාව ආදී ආයතනවල අයවැය දාගන්න බැරුව මේ ආණ්ඩුව ඉන්නවා. ඒ හේතුව ලැජ්ජයි ඒක දාන්න ඒ අයට. කළේ මේ ආණ්ඩුව අර අපි කරපු මැනිං මාකට් එක වගේ තැන්වලට එයාලගේ නම් දාගත්ත එක විතරයි.

ඔබ කියන්නේ ඔබෙන් මේ ආණ්ඩුව පලි ගන්නවා කියලද?

නැතුව? මගේ මාධ්‍ය ලේකම්ව නිකරුණේ රහස් පොලීසියෙන් අරන් ගිහින් ප්‍රශ්න කළා. මගේ දේවල් ෂෙයා කරපු, කොමෙන්ට් කරපු අය පවා රහස් පොලීසියෙන් ගෙනිහින් දැන් ප්‍රශ්න කරනවා. ඒ විතරක් නෙවෙයි. මාත් එක්ක මගේ ආයතනවල වැඩ කරපු රාජ්‍ය නිලධාරීන්ව පවා ප්‍රශ්න කරන තැනක දැන් ඉන්නේ. දැන් රහස් පොලීසිය මහ බැංකු හොරුවත්, පාස්කු වැරදිකරුවන්වවත් අල්ලන්න නෙවෙයි මහන්සි වෙන්නේ. 2015 ඉඳන් සාර්ථකව අමාත්‍යංශය මෙහෙයවපු නිලධාරීන්ව අල්ලන්නයි මහන්සි වෙන්නේ. ඒ මේ ආණ්ඩුවට වැඩ බැරිකම නිසා. ඒ නිසා ඉස්සරහට මහර සිද්ධිය විතරක් නෙවෙයි තව තව ඒවා දායි.

විපක්ෂයේ සමාජ මාධ්‍ය කැම්පේන් එක මෙහෙයවන්නේ ඔබ විසින් කියලා ආණ්ඩුවේ පාර්ශ්ව විසින් බරපතළ චෝදනා එල්ල කරනවා. ඔබ සමාජ මාධ්‍ය ගෝඩ් ෆාදර් වගේ තමයි ඒ අය කියන්නේ. ඇත්තද ඔබද විපක්ෂයේ සමාජ මාධ්‍යයන් මෙහෙයවන්නේ?

ඇත්තටම එහෙම කියනවනම් ඒ ගැන මට ආඩම්බරයක් තියෙන්නේ. මතක තියාගන්න ඔය චෝදනා එල්ල කරන සමාජ මාධ්‍ය මෙහෙයවන්නේ වෙන කවුරුත් නෙවෙයි මේ කෝවිඩ් වසංගතයෙන් හම්බකරපු අය. ෆේස් මාස්ක් එකෙන්, සැනිටයිසර් එකෙන්, කෝටි ගණන් හම්බකරපු අය තමයි මේ චෝදනා එල්ල කරන්නේ. මම පැහැදිලිවම කියනවා අපිට ගහන්න කියලා ලක්ෂ දෙක තුන දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. විශේෂයෙන් මුද්‍රිත මාධ්‍යවල. අපි ඉදිරියේදී නම් ගම් සියල්ල එළි කරනවා. ඔය දේවල් වෙන්නේ කෝවිඩ් වසංගතයේ ගජමිතුරු හවුලෙන් ලබාගත්ත සල්ලිවලින්. අන්න ඒ උදවිය තමයි අපිට දැන් මඩ ගහන්න දැන් ලෑස්ති වෙලා ඉන්නේ. අපි ඒවට දැන් බය නෑ.
ඔබලා කැම්පේන් එකක් අරන් ගියා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ෆේල් කියලා. හැබැයි ඔබලට අමතක වුණා නේද ඔබලා ෆේල් වෙච්ච නිසා තමයි ඔබලව ගෙදර යවලා ගෝඨාභය මහත්මයව පත්කරගත්තේ කියලා? එතකොට කවුද ඇත්තටම ෆේල්?
ගෝඨාභය ෆේල් කියලා කැම්පේන් එකක් අරන් ගියේ අපි සල්ලි වියදම් කරලා නෙවෙයි. ඒක මේ සමාජ මාධ්‍ය ඇතුළේ ඉන්න තරුණ තරුණියන් ඇතුළේ ස්වභාවයෙන් පැතිරුණ දෙයක්. ඒ වගේම ගෝඨාභය මහත්මයා ඇතුළු ආණ්ඩුවේ දේවල් සමාජ මාධ්‍ය ඇතුළේ බූස්ට් කරලා පෙන්නුවත් වැඩක්වෙලා නැහැ.

ඔබ පිළිගන්නේ නැද්ද යහපාලන ආණ්ඩුව ෆේල් කියලා?

යහපාලන ආණ්ඩුව අවස්ථා තුනකදී විතරයි ෆේල් වුණේ. නැත්නම් අනෙකුත් සියලු දේවල් ෆේල් වුණේ නෑ. පළවෙනි එක තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයත්, මෛත්‍රීපාල සිරිසේන මහත්මයත් දේශපාලන හේතු මතත්, මූල්‍යමය වාසි තකාත් බරපතළ දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළේ නෑ. අහිංසක රාජ්‍ය සේවකයන්ට විතරයි නීතිය ක්‍රියාත්මක කළේ. දෙවැනි කාරණය තමයි ආණ්ඩුවෙ සමහරුන්ගෙ නායකත්වයෙන් සිද්ධ වුණ මහ බැංකු මංකොල්ලය. ඒක ඉතාම බරපතළ විදිහට අපිට බලපෑවා. මුලදිම අර්ජුන මහේන්ද්‍රන්ට දඬුවම් කළානම් ඒ චෝදනා අපිට එල්ල වෙන්නේ නෑ. නමුත් ඔහුව ආරක්ෂා කළා රනිල් වික්‍රමසිංහ මහත්මයා. තුන්වැනි වරද තමයි මේ පාස්කු ප්‍රහාරය. ඒක ඉතාම පැහැදිලිව වළක්වන්න තිබ්බ දෙයක්. ඒකට නිලධාරීන් වගකියන්නත් ඕන. ඒ වගේම 2018 ඔක්තෝබර් 26 වැනිදා කරපු දේශපාලන කුමන්ත්‍රණයත් ඒකට වගකියන්න ඕනෙ. ඒකට මෛත්‍රීපාල සිරිසේන මහත්මයා නම් වගකියන්නම ඕනේ. ඒ වගේම ඒවට අඩු වැඩි වශයෙන් අපිත් වගකීම බාරගන්න ඕන.

හැබැයි ඊටවඩා චෝදනා එල්ල වුණා නේද?

නෑ. කූඨ මාධ්‍ය ව්‍යාපාරයක් ගෙනිච්චා අපිට විරුද්ධව. අද ඒ අය තමයි මේ ආණ්ඩුවේ ගජ මිතුරු වාසි ලබමින් ඉන්නේ. හැබැයි අපේ ආණ්ඩුවක් ආවොත් අපි හොයලා බලනවා මේ අය මුදල් කොහොමද හම්බකරගත්තේ කියලා. මෙයාල කළේ බොරු වපුරලා මිනිස්සුන්ගේ හදවත අවුස්සපු එක විතරයි.

ආණ්ඩුවෙන් ගේන චෝදනාව තමයි ඔබ තමයි රාජපක්ෂවරුන්ගෙන් පළිගන්න මෙහෙයුම දියත් කළේ කියලා. ඔබද පොලීසිය මෙහෙයෙවුවේ?

ඒක අපි අනාගතේ හිරේ දාන්න ඒ සඳහා අවශ්‍ය කොටු කරගැනීමට පතුරපු කතාවක්. ඉතින් ඕවා මෙහෙයවූවා නම් අද අපේ ආණ්ඩුවක් නෙවෙයි තියෙන්නේ. ඒ අයගේ ආණ්ඩුවක්. ඒ අයට පුළුවන්නේ හොයලා බලන්න. 2015 ජනවාරි 21 පවත්වපු පළමු කැබිනට් රුස්වීමට රනිල් වික්‍රමසිංහ මහත්මයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා දූෂණ විරෝධී කමිටුවක් පිහිටුවන්න. ඒ වගේම ඒ හරහා මූල්‍ය විමර්ශන කොට්ඨාසයක් ආරම්භ කළා. ඒ වගේම මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත්කරන්න කියලා. හැබැයි මගේ කැබිනට් පත්‍රිකාව විසික් වෙලා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ සභාපතීත්වයෙන් යුතු දූෂණ විරෝධී කමිටුව පිහිටෙවුවා. ඒකෙ හිටියා අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ, පොලීසිය භාර හිටිය ජෝන් අමරතුංග, තිලක් මාරපන, සාගල රත්නායක, සම්පන්දන්, අනුර කුමාර දිසානායක වගේ අය හිටියේ. මම විතරක් නෙවෙයි. නමුත් අද දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම උත්සාහ කරන්නේ අපිව වගඋත්තරකාරයන් කරන්න. දැන් මේකේ පැමිණිලිකාර පාර්ශ්වයේ සාක්ෂිකරු මේ කමිටුවේ සභාපති රනිල් වික්‍රමසිංහ මහත්මයා. මේක විහිළුවක් නෙවෙයිද?

කොයි ආණ්ඩුව ආවත් දේශපාලනඥයෝ ටික බේරිලා නිලධාරියෝ ටික තමයි ගස් යන්නේ? හොඳම උදාහරණය ශානි අබේසේකර.

ඇත්තටම ඒ සිද්ධියනම් ඇත්තටම කනගාටුදායක සිද්ධියක්. අද ඔහු හිරේ ඉන්නේ බරපතළ අපරාධ රුසක් විසඳපු නිසා. මම ඔහුව හම්බවෙලත් නෑ කතා කරලත් නෑ. මට පළවෙනි වතාවට හමුවුණේ කොමිසමේදි. අද ඔහුව අල්ලලා තියෙන්නේ මොකද්ද හේතුව? සියාම් ඝාතනයේ බොරු සාක්ෂි හැදුවා කියලා. සියාම් මැරුවේ කොයි කාලෙද? ගෝඨාභය මහත්මයා ආරක්ෂක ලේකම් වෙලා ඉන්නකොට. එතකොට ඒ කාලේ වුණ දේකට තමයි අද අල්ලලා තියෙන්නේ.

හැබැයි ඔහුගේ දුරකථන සංවාදයේදී තහවුරු වෙනවා කියලා කියනවා ආණ්ඩුවෙන් ඔබලා අධිකරණයට බලපෑම් කළා කියලා?

ඔය රන්ජන් රාමනායකගේ හඬපටයේ කතා කරන්නේ එක්තරා විනිසුරුවරියක් ඇයගේ උසස්වීම සම්බන්ධව. එතුමිය එතැනදි කියනවා &චම්පික රණවකටනම් කියලා වැඩක් නෑ. එයා දකින්නේ ස්වාධීනව* කියලා. ඒක මට මං ගැන දුන්නු හොඳ සහතිකයක්. ඒකම ඇති අපි ව්‍යවස්ථා සභාවේ කොහොමද වැඩ කළේ කියලා තේරුම්ගන්න. හැබැයි එක දෙයක් කියන්න ඕන. පොලිස් නිලධාරීන්ට වෙන හානිය හරහා ජාත්‍යන්තර වශයෙන් වෙන හානිය හදාගන්නේ මේ ආණ්ඩුවමයි

අපිට ආරංචියක් ආවා ඔබලාගේ පක්ෂ ව්‍යවස්ථාව ඒකාධිපති විදිහට හදලා යම් ගැටලුවක් පක්ෂෙ සාමාජිකයන් අතරේ වුණා කියලා. ඒක ඇත්තද?

කිසි විදිහකට එවැනි දෙයක් වෙන්නේ නෑ. මොකද එජාපයේ හිටිය විශාල පිරිසක් අද අපිත් එක්ක ඉන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වටිනා පිරිසක් අද අපිත් එක්ක ඉන්නේ ඒකාධිපති ක්‍රමවේදයකට විරුද්ධව. අපි ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් හදන්නේ. විවිධ කෙටුම්පත් යෝජනා ඉදිරිපත් කරලා තිබුණා. ඒ ගැන පොඩි සංවාදයක් ඇති වුණා. ඒක සජිත් ප්‍රේමදාස මහත්මයත්, රන්ජිත් මද්දුමබණ්ඩාර මහත්මයත් තේරුම්ගත්තා. ඉදිරි කාලයේදී ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් අනිවාර්යයෙන්ම ගොඩනැගෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදය කෙසේ වෙතත් රාජපක්ෂ ආණ්ඩුව පෙරළමු කියලා ආව මිනිස්සු, ජාතික ලැයිස්තුවෙන් ආපු මිනිස්සු අද ඉන්නේ ආණ්ඩුවේ. මේක මේ පක්ෂයේ අභ්‍යන්තරයේ අවුලක් නේද?

ඒකනම් ඇත්තටම අපරාධයක්. අපේ ජාතික ලැයිස්තු ධූර හම්බුණේ හතයි. එක මන්ත්‍රී ධූරයක් සඳහා ලක්ෂ 4ක මිනිස්සු ඡන්දෙ වැය කරලා තිබුණා. ඉතින් එවැනි තත්ත්වයකදී එහෙම යන එක කොහෙත්ම අනුමත කරන්නේ නෑ. ඒ වගේම ඡන්දෙන් ආපු අය පවා ගියා. ඡන්ද 50000ක් අවම වශයෙන් ඕන පාර්ලිමේන්තු යන්න. විපක්ෂයේ මිනිස්සුන්ගේ ඒ ඡන්ද ටික අරගෙන තමයි ඒ පැත්තට ගියේ. ඒගොල්ලො මේ කරන අශීලාචාර වැඩේ ගැනනම් ඉදිරියේදී ක්‍රියාත්මක වෙනවා. මේක මේ නායකත්වයේ අවුලක් නෙවෙයි. සජිත් ප්‍රේමදාස මහත්මයා එක්ක කළේ එක මැතිවරණයයි. මහමැතිවරණය විතරයි. එතුමගේ නායකත්වය සම්බන්ධ ගැටලුවක් තියෙනවනම් ඒක අනාගතයේදී තීරණය වෙයි. මෙතන වුණේ පුද්ගලයන්ගේ ලාභ ප්‍රයෝජන සඳහා කරපු පීලි පැනීමක්.

සමගි ජනබලවේගය ඇතුළේ ෙවනම සූක්ෂම ගමනක් ඔබ යනවා කියලා වටින් පිටින් ආරංචි එනවා. ඒවා සමාජ මාධ්‍ය ඇතුළෙත් සංසරණය වෙනවා. ඔබගේ අවසානය පක්ෂ නායකත්වය ඇල්ලීම කියලයි ආරංචිය. ඒක ඇත්තක්ද?

මම මෙතනට ඇවිල්ලා ඉන්නේ මගේ කුසලතාවයෙන්. මම රජ කරවන්න කියන්නෙත් මගේ කුසලතාවයෙන් පිරිපුන් පරපුරක්. මම මෙතනට ඇවිල්ලා තියෙන්නේ අම්මා, තාත්තගේ හයියෙන්, දේශපාලන හයියකින්, ධනයේ හයියෙන් නෙවෙයි. අද ව්‍යාපාරික පන්තියේ ඉන්නවා මේ නිදහස් අධ්‍යාපනයෙන් ආපු අය. අද ලංකාවේ ඉහළම තැන ඉන්නේ අම්මා තාත්තගේ සල්ලිවලින් මේ තැනට ආපු අය නෙවෙයි. ඒ අය ගොඩදෙනෙක් තමන්ගේ කුසලතාවයෙන් ගොඩ ආපු අය. ක්‍රීඩාවල පවා ක්‍රීඩකයෝ උඩට ආවේ කුසලතාවයෙන්. හැබැයි අවාසනාවකට ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ මේක වෙනස් වුණා. හිතූ හිතූ අය තමයි එන්න ගත්තේ. ඒක මේ කුසලතාවයෙන් ආපු ගමනක් නෙවෙයි. මම කියන්නෙ නෑ ගොඩක් අම්මලා තාත්තලා හරහා ආපු අය කුසලතාවයක් නැති අය කියලා. කුසලතාවය තියෙනවා. හැබැයි දේශපාලන දූෂිත පන්තිය පරාජය කරලා කුසලතාවය තියෙන අයට ඉඩ දෙන්න ඕනේ. අන්න එතනදි ඒ අයට පේනවා චම්පික රණවක කියන පුද්ගලයා ඒ අයගේ කුලකයේ අයට ආස්වාදයක් මෙන්ම අවස්ථාවක් ලබාදෙන අයෙක් කියලා. අන්න එතකොට තමයි කුමන්ත්‍රණ කතාව එන්නේ. අපේ කුමන්ත්‍රණ නෑ. විවෘතවයි වැඩ කරන්නේ. මේක මේ තනි පුද්ගලයෙක් රජ කරන්න ආපු ගමනක් නෙවෙයි. මගේ අරමුණ නම් පරම්පරා ගණනක් රජ කරවන එක.

මේ ගමනේ අවසානය ඊළඟ වසරේ ඊළඟ වාරෙදි ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වෙන්නද?

ඒ ඔක්කොම බය වෙලානේ ඔය කියවන්නේ. ඇයි මේ දැන් ඕවා කියන්නේ? තව ඡන්දයක් ළඟකවත් නෑනේ. අපේ පැත්තේ පක්ෂ නායකයෙක් ඉන්නවනේ. එතුමත් තියාගෙන මේ කතා හදන්නේ නැති ප්‍රශ්න ඇති කරන්නනේ. මම එක දෙයක් කියනවා. ඉතුරුවෙලා තියෙන මේ රටේ පවුල්වාදී දේශපාලනයේ ඉතුරුම ඉතුරු ටිකත් නැවත ගොඩ නොඑන්නට වල දානවා. ඊටපස්සේ නිදහස් අධ්‍යාපනයෙන් හා කුසලතාවයෙන් ආපු අයට අපි බලය ලබාදෙනවා.

 ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00