2020 අගෝස්තු 01 වන සෙනසුරාදා

කවුද දිනන්නේ?

 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 148

මහ මැතිවරණයේ ජයග්‍රහණය අපේක්ෂාවෙන් තරග බිමට බැස සිටින ප්‍රධාන පක්ෂ නායකයන් මේ වන විට තමන් ලබාගන්නා ආසන සංඛ්‍යාව සම්බන්ධයෙන් කිසියම් මතයකට පැමිණ සිටින බව පැහැදිලිය. කොවිඩ්-19 හේතුවෙන් ඡන්ද ව්‍යාපාරයේ වෙනදා දකින්නට තිබෙන සජීවී බව මෙවර දකින්නට තිබුණේ නැත. ජනතාව තුළ ද ප්‍රධාන රැස්වීම් ඇතුළු ප්‍රචාරක ව්‍යාපාරවල හැරුණුවිට වැඩි උනන්දුවක් උද්‍යෝගයක් නොතිබිණි. එයට එක් හේතුවක් නිසැකව කොවිඩ්-19 බලපෑමය. තව හේතුවක් විය හැක්කේ ජනාධිපතිවරණයකට පසුව එළඹෙන මහ මැතිවරණයක් වුවද මේ මැතිවරණ දෙක අතර මාස 09ක පරතරයක් තිබීමය. ජනාධිපතිවරණ ජයග්‍රහණයේ උද්‍යෝගය මාස 09ක කාලයක් රඳවා ගැනීම පහසු නැත. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් නිවෙස්වලටම වී දැඩි දුෂ්කරතා මැද ජීවත් වූ රටේ මහජනතාවට මහ මැතිවරණය උණුසුම ඇඟට නොදැනීම ගැන පුදුම විය යුතු නැත.

මෙවර මැතිවරණ ව්‍යාපාරයේ කැපීපෙනෙන ලක්ෂණයක් වන්නේ ආණ්ඩු පක්ෂය වන පොහොට්ටුව 2/3ක ඉල්ලීම ඉදිරියට දමාගෙන කටයුතු කිරීමය. පවතින සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ එවැනි 2/3ක ජයක් ලබාගැනීමට ඇත්තේ ඉතාම සීමිත ඉඩකඩක් පමණි. එහෙත් ආසන විශාල සංඛ්‍යාවක් ලබාගැනීම 2/3ක බලයක් හිමිකර ගැනීමට ආණ්ඩුවට පාර කපන බව නිසැකය. පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් ලබාගැනීමට නම් මන්ත්‍රීවරුන් 150ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවකගේ සහාය තිබීම අවශ්‍යය. ආසන 150ක් ජයගැනීම තනි පක්ෂයකට අපහසු ඉලක්කයකි. පොහොට්ටුව ජනාධිපතිවරණයේ දී ලබාගත් ඡන්ද සංඛ්‍යාව සහ ප්‍රතිශතය එසේම තබාගෙන ඇතැයි ගණං බැලුවොත් (ලක්ෂ 69ක් සහ 52.3%ක්) ආසන මට්ටමින් ලබාගත හැකි ආසන්න මන්ත්‍රී සංඛ්‍යාව 118කි. ඊට සාපේක්ෂව හිමිවන ජාතික ලැයිස්තු මන්ත්‍රී සංඛ්‍යාව 15කි. මේ සංඛ්‍යා දෙක එකතු වූ විට හිමිවන මන්ත්‍රීධූර සංඛ්‍යාව 133කි.

කෙසේ වුවද මේ සංඛ්‍යාලේඛන මෙසේ පවතින්නේ යැයි කිසිවකුට එක එල්ලේ පැවසිය නොහැක. ආණ්ඩුවේ විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාර්යභාරය සම්බන්ධයෙන් ජනතාව තුළ මේ වනවිට පවතින තක්සේරුව මත මේ සංඛ්‍යාව ඉහළ යාම හෝ පහළ යාම සිදුවිය හැකිය. එසේම ජනාධිපතිවරණයේ දී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 85%ක් පමණ ඉහළ අගයක් ගැනීම ද එම ප්‍රතිඵලය ලැබීමට ඉවහල් විය. නමුත් මහ මැතිවරණයේ දී එතරම් ඉහළ ඡන්ද ප්‍රතිශතයක් පවතිනු ඇතැයි බලාපොරොත්තු විය නොහැක්කේ පවතින කොවිඩ් වයිරස තත්ත්වය හේතුවෙනි. මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග වලින් ප්‍රකාශ වූයේ තැපැල් ඡන්දය ප්‍රකාශ වීම 70%ක මට්ටමේ පැවැති බවය. මෙය මීට පෙර පැවැති ජනාධිපතිවරණයේ දී භාවිත වූ ප්‍රතිශතයට වඩා අඩු අගයකි. මේ අඩුවීමට එක් හේතුවක් වශයෙන් සැලකෙන්නේ පාසල්වල පවතින නිවාඩුව හේතුවෙන් බොහෝ ගුරුවරුන් ඡන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණි බවය. එසේ නොපැමිණි පිරිස් සඳහා කොමිසම මගින් වැඩිපුර දින ගණනාවක්ම ලබා දී ඒ පිළිබඳව සියලු මාධ්‍ය හරහා පුළුල් ප්‍රචාරයක් ද ලබා දී තිබිණි. එහෙත් ඇතැම් රාජ්‍ය සේවකයන් විසින් ඊට දක්වා තිබුණේ අඩු ප්‍රතිචාරයක් බව පැහැදිලිය.

ඉදිරි දින කිහිපය තුළදී තමන් ඡන්දය පාවිච්චි කරන්නේ කාටද යන්න තීරණය කරන ඡන්දදායකයන් සංඛ්‍යාව මත ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය රඳා පවතිනු ඇත. එය ජනාධිපතිවරණයේ දී මෙන් 85%ක මට්ටමක් නොවිය හැකි වුවද අඩුම තරමින් 75%කගේ මට්ටමක පවතී නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් එය යහපත් ලක්ෂණයක් වනු ඇත.

කෙසේ වුවත් ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්දදායකයන් අධෛර්යට පත් කරන සිදුවීම් ගණනාවක් පසුගිය කාලය තුළදී පෙනෙන්නට තිබිණි. යූ.එන්.පිය දෙකට කැඩී සමගි ජනබලවේගය වෙනම තරග කිරීමත් එම පාර්ශ්ව දෙක අතර පවතින මතභේදකාරී තත්ත්වයත් යූ.එන්.පී. පාක්ෂිකයන්ගේ උනන්දුව පිරිහීමට හේතු වී තිබේ. ඇවිලෙමින් තිබූ මතභේදකාරී ගින්නට තවත් පිදුරු එක් කරමින් පසුගියදා යූ.එන්.පී. නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් සමගි ජනබලවේගයේ ප්‍රබල පිරිසක් පක්ෂයෙන් නෙරපා දමනු ලැබූහ. ඒ සම්බන්ධයෙන් පක්ෂයේ මහලේකම් අකිල විරාජ් සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප නායක රවි කරුණානායක මහත්වරුන් විසින් දැඩි ප්‍රකාශ ද නිකුත් කර තිබිණි. නෙරපා දමනු ලැබූ කිසිවකුත් යළිත් පක්ෂයට බඳවා නොගන්නා බවත් යළි පක්ෂයට එකතු වීමට ලබා දී තිබූ කාලය අවසන් බවත් එම ප්‍රකාශවලින් කියැවිණි.

එහෙත් සමගි ජනබලවේගය ප්‍රකාශ කරන්නේ අස්කර දමනු ලැබූ සාමාජිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීති මාර්ගයෙන් කටයුතු කරන බවත්ය.

සමගි ජනබලවේග සාමාජිකයන් 115 දෙනකු පක්ෂයෙන් නෙරපීම සඳහා එජාප කෘත්‍යාධිකාරී කමිටුව ඒකමතික තීන්දුවක් ගෙන තිබුණි. එම තීන්දුව සම්බන්ධයෙන් යූ.එන්.පී. මහලේකම් අකිල විරාජ් අදහස් දක්වා තිබුණේ මෙසේය. “අප මේ තීරණය ගනු ලැබුවේ විධිමත් විනය පරීක්ෂණයකින් අනතුරුවයි. අප මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 100 දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවූ විට මුහුකුරා නොගිය අය විවිධ පුරසාරම් කතා කළා. නමුත් අප කිසිවිටෙක කලබල වුණේ නෑ. අධිකරණය ද දෙවරක්ම අපේ තීන්දුව නිවැරදි බව තීරණය කර තිබෙනවා. වැදගත්ම දේ පක්ෂ විනයයි.”

මේ ගැන නිවේදනයක් නිකුත් කරමින් සමගි ජනබලවේගය ප්‍රකාශ කර තිබුණේ එජාපයේ කුමන්ත්‍රණවලට නිසි පිළිතුරු ජනතා අධිකරණයේ දී ලැබෙනු ඇති බවය. එම නිවේදනයේ මෙසේ ද සඳහන් වී තිබිණි.

මේ තීරණය පක්ෂ දෙකේම ඡන්දය හැසිරීමට කෙසේ බලපානු ඇතිදැයි හරියටම දැනගත හැකි වන්නේ ලබන 6 වැනිදා ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුවය. ඒ වනතුරු නෙරපා හරිනු ලැබූ මන්ත්‍රීවරැන්ගේත් නගරාධිපතින්ගේත් සහාය තමන් වෙත රඳවා ගැනීම සමගි ජනබලවේගයට අමතර හිසරදයක් වීම වැළැක්විය නොහැක. එසේම මේ නෙරපීම හරහා යූ.එන්.පීයට ද ලබාගත හැකි වාසියක් ඇත්නම් ඒ එම මන්ත්‍රීවරුන්ගේ කැළඹීම හරහා මතුවන අර්බුදය පමණි. ඡන්දදායකයන්ට නම් එහි එතරම් බලපෑමක් සිදුවනු ඇතැයි කීම නම් අමාරුය.

මේ අතර මැතිවරණ සටනේ පහසු ජයග්‍රහණයකට ඉව අල්ලන පොහොට්ටුව ඇතුළේ ද මතගැටුම් ඉවරයක් නැත. මේ තත්ත්වය මත ශ්‍රීලනිපය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා ඇත්තේ මනාප ඡන්ද වංචා කිරීම් සිදුවිය හැකි බැවින් ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට සී.සී.ටී.වී. කැමරා සවිකරන ලෙසටය. ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට හැකි තරම් අඩුවෙන් ඡන්දය භාවිත කරන්නැයි පොහොට්ටුවේ ඇතැම් සාමාජිකයෝ ප්‍රසිද්ධියේම කැම්පේන් කරති. ජගත් පුෂ්පකුමාරට දයාසිරිට වේදිකාව මත හඬන්නට සිදු වූයේ ද මේ තත්ත්වය හේතුවෙනි. බැසිල් ගාල්ලේ දී ප්‍රකාශ කර තිබුණේ තමන් මහපාරේ ඇවිද්දවනවා යැයි කියූ සමහරුන් පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන බවය. මේ සියලු කතා පොහොට්ටුව ඇතුළේ පවතින මතභේද එළියට ඒමකි.

පොහොට්ටුව මුල සිටම ඉදිරියෙන් සිටිය ද අතරමග දී සිදු වූ කුරැණෑගල රාජසභා මණ්ඩපය සිද්ධියත් එයට වගකිව යුතු දේශපාලනඥයන් ආරක්ෂා කිරීමට පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් කටයුතු කිරීමත් ඔවුන්ගේ ඡන්ද ව්‍යාපාරයට බලපෑමක් ඇති ක‍ර තිබේ. මේ සමඟම තවත් අපේක්ෂකයන් පිරිසක් ඡන්ද නීති කැඩීමට ගන්නා උත්සාහය ද ඡන්දදායකයන්ගේ කැමැත්තට හේතු වන්නේ නැත. එසේම “පෙර වැරදි” වාර්තා සහිත පොහොට්ටුවේ අපේක්ෂකයන්ට ද ජනතාවගේ විරෝධය එල්ල වනු දැකිය හැකි විය. පසුගියදා කළුතර දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සමඟ ජනහමුවකට ගිය අපේක්ෂකයකුට එවැනි විරෝධයක් එල්ල විය. කොතරම් විරෝධයක් එල්ල වුවත් මේ කිසිම අපේක්ෂකයකු හෝ බලය ලබාගැනීමෙන් පසුව “පෙර වැරදි” හදාගැනීමට කටයුතු නොකිරීම මහත් අවාසනාවන්ත තත්ත්වයකි. මේ කාරණය ද ජනතාව ඡන්දය දැමීම අධෛර්යමත් කරන සාධකයක් බව පැහැදිලිය.

වැරදි හදාගැනීම සම්බන්ධයෙන් පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් ඩේලි එෆ්.ටී. පුවත්පතට ලබා දී තිබූ සම්මුඛ සාකච්ඡාවේ දී කතා කර තිබිණි. “2015 දී ජනතාව අපේ ආණ්ඩුව වැරදි බවට තීන්දුවක් දුන්නා. ඉතින් අපට යන්න වුණා. අප එය අධ්‍යයනය කරලා අපේ වැරදි හදාගත්තා. තවදුරටත් මර්වින් සිල්වලා හෝ සජින් වාස්ලා අපේ පක්ෂයේ නෑ. නිසැකවම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නායකත්වය යටතේ දූෂණවලට ඉඩක් නෑ.” බැසිල් එහිදී නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු වශයෙන් එම අදහස් පළ කර තිබිණි.

මෙය පොහොට්ටුවේ ඇතැම් නායකයන් නිතරම කරන ප්‍රකාශයක් වන “2015 දී ජනතාවට වැරදුණා” යන ප්‍රකාශයට වඩා සහමුලින්ම වෙනස්ය. වැරදි හදාගැනීමට සූදානම් අලුත් දැක්මක් සහිත ආණ්ඩුවකට බලය ලබා දීමට රටේ ජනතාව ද අකැමැති නොවනු ඇත. එහෙත් අතීතයේ අපට ඇති අත්දැකීම වන්නේ බලය ලබාගැනීමෙන් පසුව බොහොමයක් දේශපාලනඥයන්ට වැරදි දේ හරි හැටියටත් හරි දේ වැරදි හැටියටත් පෙනෙන බවය. වැරදුණේ ජනතාවට නොව තමන්ට බව පිළිගැනීමට තරම් නිහතමානී නායකයන් රටට වඩාත් අවශ්‍යය. මහ ඡන්දයකදී ජනතාවට නම් වරදින්නේ නැති බැවිනි.

- ශශීන්ද්‍ර

 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00