2020 ජුලි 25 වන සෙනසුරාදා

ලොකුම සටන විපක්ෂයේ!

 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 78

අද (ජූලි 26) වැනිදා සිට මහමැතිවරණයට ඇත්තේ හරියටම දවස් 10කි. 11 වැනි දවසේ මැතිවරණය පැවැත්වෙයි. මැතිවරණ කොමිසම උත්සාහ දරන්නේ ඡන්දය පාවිච්චි කරන ප්‍රතිශතය අඩුම තරමින් 75%ක ප්‍රමාණයේ රඳවාගැනීමටය. ඡන්දදායකයන් උනන්දු කරවීම සඳහා කොමිසම ප්‍රචාරක ව්‍යාපාරයක්ද ගෙන යයි.

පසුගිය දිනක පුවත්පත් කතුවරුන් සමඟ පැවැති හමුවකදී ද කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලීමක් කළේ ඡන්දදායකයන් ඡන්දපොළට ගෙන්වා ගැනීම දිරිමත් කිරීම සඳහා හැකි සෑම සහයක්ම ලබා දෙන ලෙසය. පසුගිය බදාදා (22) ශ්‍රී ලංකාවේ ජර්මන් තානාපතිවරයා පැමිණ හමු වූ අවස්ථාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා තිබුණේ මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 70%ක පමණ පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බවය.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සූදානමින් සිටින ජනතාවට ඒ සඳහා ඇති විය හැකි එකම බාධාව වන්නේ කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් පවතින සැක සහ බිය පමණි. මීට පෙර කාලවලදී පැවැති මහ මැතිවරණ (2015 හැර) පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් ජනතාවගේ විවේචනයට ලක් වුවද ඒවායේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රවණතාව ඉහළ මට්ටමක තිබුණේය. මෙවර ඡන්ද නීති අකුරටම ක්‍රියාත්මක කිරීමට කොමිසම මගින් පියවර ගැනීම හේතුවෙන් එතරම් ගාලගෝට්ටි ප්‍රචණ්ඩ ක්‍රියා හටගත්තේ නැත. ඇතැම් දිස්ත්‍රික්කවලින් සුළු සුළු ගැටුම් වාර්තා වුවද ඒ බොහොමයක් මනාප තරගය නිසා ඇති වූ ඒවා විය.

එහෙත් ඇතැම් දිස්ත්‍රික්කවල සමහර අපේක්ෂකයන් ඡන්ද නීති ගණන් නොගෙන ක්‍රියා කිරීමත්, රාජ්‍ය දේපළ සහ නිලධාරීන් ඡන්ද ව්‍යාපාරවලට යොදවා ගැනීමක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබෙන බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් පක්ෂ නායකයන් පවා දැනුම්වත් කර ඇති බවද සඳහන්ය.

එවැනි සිදුවීම් කිහිපයක් හැර සමස්තයක් වශයෙන් මෙතෙක් රටේ ඡන්ද ව්‍යාපාරය සාමකාමීව සිදුවන බව පෙනෙන්නට තිබේ. එසේ වුවද කොරෝනා රෝග ව්‍යාප්තිය පිළිබඳ පවතින බිය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ජනතාව තරමක් දුරට අවිනිශ්චිතව සිටින බවත් පැහැදිලිය. මේ තත්ත්වය සම්බන්ධයෙන් වඩාත්ම විමසිල්ලෙන් සිටින්නේ පොහොට්ටුව බවට සැකයක් නැත. තමන් බලාපොරොත්තු වන තුනෙන් දෙකේ ජයග්‍රහණය හෝ ඊට ආසන්න ජයග්‍රහණයක් හෝ ලබා ගැනීමට ඡන්දදායකයන් 75% ඉක්මවා ඡන්දපොළවලට පැමිණීම අනිවාර්ය සාධකයකි. කොවිඩ් - 19 ආසාදිතයන් සම්බන්ධ සංඛ්‍යා ලේඛන ආණ්ඩුවේ දැඩි නිරීක්ෂණයට ලක්වන්නේ එබැවිනි. සමාජ මාධ්‍ය ඔස්සේ කොවිඩ් ආසාදිතයන් සම්බන්ධයෙන් පළවන වාර්තා බොහොමයක අසත්‍ය සංඛ්‍යා ලේඛන සඳහන් වන බවත් එවැනි අසත්‍ය පුවත් ප්‍රචාරය කරන මාධ්‍යවලට එරෙහිව පියවර ගන්නා බවත් ආණ්ඩුව දැඩිව කරන්නේ ඒ හේතුවෙනි.

පොහොට්ටුව තමන් අපේක්ෂා කරන ඉහළ ජයග්‍රහණයන් ලබාගැනීමේ අරමුණ ඉලක්ක කරගෙන තම ප්‍රචාරක ව්‍යාපාරය සැලසුම් කර තිබෙන බව පැහැදිලිය. මේ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රධාන චරිත තුනම රාජපක්ෂවරුන් වීම සුවිශේෂය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෑම දිස්ත්‍රික්කයකම සංචාරය කිරීමට සැලසුම් කර තිබේ. මේ වනවිට උතුරු මැද සහ මධ්‍යම පළාත් දිස්ත්‍රික්ක ගණනාවක සංචාරය කරමින් ජනතාව හමු වූ ගෝඨාභය මහතා ඉදිරි දිනවලදී සෙසු දිස්ත්‍රික්කවලද සංචාරය කිරීමට නියමිතය. කෙසේ වුවද ඔහු උතුරු පළාතේ සංචාරය කරන්නේද යන්න ගැන දැනගන්නට නැත.

පොහොට්ටුව තම ඡන්ද ව්‍යාපාරයේදී උතුරු පළාත කෙරෙහි කිසිම අවධානයක් යොමු නොකරන බවත් නැගෙනහිර පළාතටද අඩු මට්ටමක සැලකිල්ලක් දක්වනු ඇති බවත් පැහැදිලිය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අපගේ “දේශය” පුවත්පත සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබුණේ ඡන්ද ව්‍යාපාරයේදී උතුරු සහ නැගෙනහිර පළාත් කෙරෙහි තමන් එතරම් උනන්දුවක් නොදක්වන බවය. වව්නියා දිස්ත්‍රික්කයේ පමණක් පොහොට්ටුවට ඡන්ද ලබාගත හැකි වන බවටද ඔහු විශ්වාස පළ කළේය. (සම්මුඛ සාකච්ඡාව 9 වැනි පිටුවේ සම්පූර්ණයෙන් පළවෙයි.)

පොහොට්ටුවේ ඊළඟ ප්‍රධාන චරිතය බැසිල් රාජපක්ෂය. මෙවර මහ මැතිවරණයේදී පොහොට්ටුව ලබන ජයග්‍රහණය පිළිබඳව අපේක්ෂිත සංඛ්‍යාලේඛන සියල්ල ඔහු සමීක්ෂණ වාර්තා ඇසුරින් මේ වනවිට ද ලබාගෙන සිටින බවද ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ ඒ දිස්ත්‍රික්කවලින් අපේක්ෂිත ආසන සංඛ්‍යාව පමණක් නොව පොහොට්ටුවේ අපේක්ෂකයන් විසින් ලබාගනු ඇතැයි බලාපොරොත්තු වන ආසන්න ඡන්ද සංඛ්‍යාව පිළිබඳ සංඛ්‍යාලේඛන පවා ඔහු සකස් කර ඇති බවද ඒ පිළිබඳව නිරන්තර පරීක්ෂාවෙන් සිටින බැසිල් ඒ සංඛ්‍යාලේඛන සමාලෝචනය කරන බවද සඳහන්ය. 

මහ මැතිවරණය දේශපාලන පක්ෂ අතර මැරතන් ධාවන තරගයක් නම් බැසිල් ඒ සඳහා අවශ්‍ය කරන පූර්ව සූදානම් වීම අරඹා තිබුණේ සෙසු දේශපාලන පක්ෂ ඒ ගැන හිතන්නටත් පෙර බවට විවාදයක් නැත. දැන් ඉතිරිව ඇත්තේ අවසන් වටයේ ධාවන පථයේ දුවන ක්‍රීඩකයන්ගේ හැකියාව (ටෙස්ට්) කිරීම පමණි. අපේක්ෂිත ජයග්‍රහණයේ පරතරය එම (ක්‍රීඩකයන්) විසින් වැඩි කරගත යුතුය. ඒ වගකීම අපේක්ෂකයන්ට පවරා බැසිල් පිටියේ සෙසු සියලු සංවිධාන කටයුතු සැලසුම් කරමින් සිටී. 

හැබැයි මේ සියල්ල සැලසුම් කර ඇති පරිදි සිදුවීමට නම් ජනතාවගේ සහභාගීත්වය ඉහළම මට්ටමක පැවතීම අවශ්‍යය. රටේ ජනගහණයෙන් අඩු ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවක් උදා වුවහොත් ලබන ජයග්‍රහණයේ බර අඩු වීම වැළැක්විය නොහැකිය.

මැතිවරණ සටන් බිමේ ඊළඟ නායකයන් වන්නේ යූ.එන්.පී. නායක රනිල් වික්‍රමසිංහ සහ සජබ නායක සජිත් ප්‍රේමදාසය. මේ පක්ෂ දෙකේම සිටින්නේ යූ.එන්.පී. කාරයෝය. පොහොට්ටුවේ සිටින්නේද ශ්‍රී ලංකා කාරයන් වුණත් ඔවුන් මෙවර ඡන්දය ප්‍රකාශ කරන්නේ පොහොට්ටුවට පමණි. එම පක්ෂ දෙක අතර පවතින ගැටුම තේ කෝප්පයේ කුණාටුවකි. නමුත් යූ.එන්.පීය සහ සජබ පක්ෂ දෙකට ඡන්ද බෙදී යන්නේ මෙතෙක් කාලයක් යූ.එන්.පීයට පමණක් වැටුණු ඡන්දය. එහි අහිතකර බලපෑම් මේ පක්ෂම දෙකම විසින් උරුම කරගත යුතුව තිබේ.

එහෙත් මේ මැතිවරණයේදී පැහැදිලිවම සජබ සිටින්නේ සෙසු එජාපයට වඩා ඉදිරියෙනි. එසේ වුවද යූ.එන්.පී. ප්‍රචාරක ව්‍යාපාරය නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරියෙන් සිටිමින් මෙහෙයවන බව පෙනේ. තමන් වඩාත්ම අවධානය දක්වන්නේ රටේ ආර්ථිකය යළි ගොඩනැගීමට බව ඔහු අප (දේශය) සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. (එම සාකච්ඡාව 11 වැනි පිටුවේ සම්පූර්ණයෙන් පළවෙයි.) සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා තවම පුවත්පත් සඳහා මාධ්‍ය සාකච්ඡාවක් ලබා දී නැත. ඔහු වඩාත් විශ්වාසය තබා ඇත්තේ මහජනතාව සහභාගී වන රැස්වීම්වලදී තම අදහස් ප්‍රකාශ කිරීමටය. සජබ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමද සජිත් ඒ සඳහා ප්‍රබල අවස්ථාවක් කරගත්තේය.

යූ.එන්.පී. දෙකට කැඩී පාර්ශ්ව දෙකක් බවට පත් වී මහ මැතිවරණයේදී එකිනෙකාට චෝදනා කර ගැනීම පාක්ෂිකයන්ගේ මහත් කනස්සල්ලට හේතු වී තිබේ. මේ තත්ත්වය ඇතිවීමට හේතු පක්ෂයේ මෑතකාලීන ඉතිහාසය දෙස හැරී බැලීමෙන් වටහා ගැනීම අමාරු නැත.

වසර 30ක කාලයක් තිස්සේ මහජන ඡන්දයෙන් රටේ නායකයකු තෝරා ගැනීමට යූ.එන්.පී.ය අසමත් වීම එහි ප්‍රධානම අර්බුදය බවට පත්විය. මේ හේතුවෙන් පක්ෂයේ අභ්‍යන්තරයේ පැන නැගී ආ පීඩනය මර්දනය කිරීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් යොදා ගනු ලැබුවේ පක්ෂයේ ව්‍යවස්ථාවය. එම ව්‍යවස්ථාව අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලය සියලු තීරණ ගන්නා (කෙවිට) බවට පත්විය. එම කමිටුවට නිලබලයෙන් පත්වන සාමාජිකයන් හැර සෙසු සාමාජිකයන් වශයෙන් හිතවතුන් පත් කරගැනීම හරහා රනිල් පක්ෂ ව්‍යවස්ථාවට අනුව තමන්ට එරෙහිව වරින් වර පැන නැගුණු අර්බුද ජයගැනීමට සමත් විය. එහෙත් එහි අවසන් ප්‍රතිඵලය වූයේ පක්ෂය කැඩී යාමය. ඒ වනවිට පාක්ෂිකයන්ගේ ජනප්‍රිය නායකයා වී සිටි සජිත් ප්‍රේමදාස ඊට නායකත්වය දීම බලාපොරොත්තු විය යුතුය. තමන්ගේ නායකත්වයට ලෙඩ දාන පිරිසක් පක්ෂයෙන් ඉවත් වීමත් සජිත් එයට නායකත්වය දීමත් රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණයක් වශයෙන් සලකන්නට ඇත. එහෙත් සජිත් සමඟ කැඩී ගිය පිරිස එතෙක් යූ.එන්.පී.යෙන් මැතිසබය නියෝජනය කළ මන්ත්‍රී කණ්ඩායමෙන් අති බහුතරය වීමත් තමන්ට සමීපව සිටි පිරිස් පවා සජිත් සමඟ යාමත් රනිල් වික්‍රමසිංහ මහතාගේ බලාපොරොත්තු කඩකරන්නට ඇත. 

දැන් රනිල් වික්‍රමසිංහ මහතා නීතියෙන් තම පක්ෂය ආරක්ෂා වීම සම්බන්ධයෙන් තෘප්තිමත්ව සිටී. එහෙත් පාක්ෂිකයන්ගේ විශාල බහුතරයක් සිටින්නේ සජිත්ලා සමඟ වීම මේ අර්බුදයේ තීරණාත්මක සාධකයකයයි. එහි ප්‍රතිඵල ඉදිරි මහ මැතිවරණයෙන් පසුව දැනගත හැකිවනු ඇත. කලක් රටේ දැවැන්තම තනි පක්ෂය වශයෙන් සිටි යූ.එන්.පීය මෙවර මැතිවරණයේදී සිටින්නේ දෙකට කැඩීම නිසා අවාසිදායක පැත්තේ බවට විවාදයක් නැත. යූ.එන්.පිය කැඩී යාම මගින් වඩාත් ශක්තිමත් වී ඇත්තේ පොහොට්ටුවය. යූ.එන්.පීයේ ස්ථිර දේශපාලන සතුරන් වන්නේ රාජපක්ෂලාය. ඔවුන් බලවත් ආණ්ඩුවක් පිහිටුවන අවස්ථාවක ප්‍රබල විපක්ෂයක් නොවන තැනකට මැති සබයේ බලය තල්ලු වී ගියොත් බලවත්ම පාඩුව වන්නේ රටටය. ආණ්ඩුවක බලය අසීමිත වීමේ ප්‍රතිවිපාක මේ රටේ ජනතාව ඕනෑතරම් අත්විඳ තිබේ. එය යළිත් අත්විඳිය යුතු නැත.

කෙසේ වුවද අගෝස්තු 05 මහ මැතිවරණය අලුතින් බිහි වූ පක්ෂ දෙකක් අතර සටනක් බවට පත්කර තිබෙන්නේද මේ පවතින දේශපාලන පසුබිමයි. ඒ අනුව නිසැකවම රටේ මීළඟ ආණ්ඩුව පිහිටුවන්නේ අලුත් පක්ෂයකි. විපක්ෂය වනු ඇත්තේ ද අලුත් පක්ෂයකි. මෙය රටේ ජනතාවට ද අලුත් අත්දැකීමක් වනු ඇත.

මහමැතිවරණයේ ඊළඟ වින්දිතයා බවට පත්වනු ඇත්තේ ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය බවද පෙනී යයි. පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ තම පක්ෂයේ අනන්‍යතාව ගිලිහී යාමේ අවාසිය ඔවුන්ට මෙවර තදින්ම බලපානු ඇත. ජවිපෙට රටේ ඡන්ද ප්‍රතිශතයෙන් ඇත්තේ 3%ක් බව සැලකුණත් ප්‍රබල ආණ්ඩු විරෝධයකදී එය ඉහළ නංවා ගැනීමට හැකි බව අතීතයේදී ඔවුන් පෙන්වා දී තිබේ. එහෙත් එවැනි තත්ත්වයකට අවශ්‍ය කරන ආණ්ඩු විරෝධය මෙවර ඉස්මතු කර පෙන්වීමට ජවිපෙ ප්‍රමුඛ ජාතික  ජනබලවේගයට හැකි වී දැයි තීරණය කළ හැකිකේ ඡන්ද ප්‍රතිඵලවලින් පසුවය.

කෙසේ වුවද මධ්‍යස්ථ මතධාරී බොහෝ පිරිසක් පවසන්නේ ජවිපෙ මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු නියෝජනය වැඩිවීම රටට හිතකර බවය. කුමන පක්ෂයක් බලයේ සිටියත් එම ආණ්ඩුවල දූෂණවලට වංචාවලට එරෙහිව රටේ මහජනතාව වෙනුවෙන් තදින්ම හඬනගන්නේ ජවිපේ මන්ත්‍රීවරුන් බව ඔවුන්ගේ ස්ථාවරයයි. පාර්ලිමේන්තු රැස්වීම්වලට නොවරදවා සහභාගී වීම තුළින්ද ඔවුන් මහජන නියෝජනය පිළිබඳ තබා ඇත්තේ යහපත් වාර්තාවකි. හරි මාර්ගය තෝරා ගැනීමේ ගැටලුවට ඔවුන් මුහුණ දී සිටියත් ආණ්ඩුව සහ විපක්ෂයේ කෙරුවාව ගැන කලකිරීමට පත්ව සිටින ජනතාවගේ සහාය ලබාගැනීමට හැකිනම් ජවිපෙට යම් පමණක් හෝ සාර්ථකත්වයක් ලබා ගත හැකි වනු ඇත.

ටී.එන්.ඒ. ද සුපුරුදු පරිදි උතුරු - නැගෙනහිර එකතු කිරීම සහ ස්වයං නිර්ණක අයිතියක් ඇති ෆෙඩරල් ක්‍රමයක් තම පොරොන්දු වශයෙන් ඉදිරිපත් කර තිබේ. විශේෂයෙන් උතුරේ ජනතාවගේ ඡන්දය ආකර්ශනය කර ගැනීමට නම් එල්.ටී.ටී.ඊ. න්‍යායන් ඇතුළත් පොරොන්දු ජනතාවට ඉදිරිපත් කළ යුතු බව ඔවුන්ගේ ස්ථාවරය වී ඇති බව පෙනේ. 

එහෙත් ඔවුන් හිරවෙනු ඇත්තේ ජාතික සහ ආගමික වශයෙන් දැඩි මතයක පිහිටා කටයුතු කරන පොහොට්ටු ආණ්ඩුවක් තුනෙන් දෙකක බලයක් පාර්ලිමේන්තුවේදී ලබාගැනීමට සමත් වුවොත්වය. එහිදී ඔවුන් සමඟ ගනුදෙනු කළ යුත්තේ කෙසේද යන්න තෝරා බේරා ගැනීම ඔවුන්ට පහසු නොවනු ඇත. රටේ සුළු ජාතික පක්ෂවල ප්‍රාණ ඇපකරුවන් බවට පත් නොවන ආණ්ඩුවක් තමන් පිහිටුවන බවට පොහොට්ටු නායකයන් විසින් සිදු කරන ප්‍රකාශ ද මෙහිදී සැලකිල්ලට ගත යුතුය. එවැනි තත්ත්වයක් මතුවුවොත් රටේ බරපතළ අර්බුදයක් නිර්මාණය වීමටද ඉඩ තිබේ. මේ මොනදේ කළත් කවදත් අඩුවෙන්ම තක්සේරැවට ලක්වෙන රටේ පොදු මහජනතාවගේ අවශ්‍යතා කෙරෙහි නම් මේ කිසිදු නායකයකු අවධානය යොමු කරන බවට සහතිකයක් නම් නැත.

 ශශීන්ද්‍ර