2020 ජුනි 27 වන සෙනසුරාදා

“කටට වෙඩි තබාගත්” කරුණාගේ පැටිකිරිය

 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 64

කරුණා අම්මාන් වශයෙන් එල්.ටී.ටී.ඊ. විසින් නම් කෙරුණු විනයාගමූර්ති මුරලිදරන් යළිත් රටේ පුවත් මවන්නෙක් බවට පත්ව සිටියි. (කර්නල්) කරුණා කොටි සංවිධානයේ නැගෙනහිර හිටපු කොටි ප්‍රාදේශීය නායකයාය. 2004 වසරේදී කොටි සංවිධානයෙන් ගැලවී ගිය කරුණා ප්‍රභාකරන්ගේ කොටින්ට එරෙහිව යුද වැදී සිටි ශ්‍රී ලංකා හමුදාව සමඟ එකතු විය.

කරුණා සමඟ නැගෙනහිර කොටි සාමාජිකයන් දහස් ගණනක්ද ගැලවී යාම හේතුවෙන් කොටින්ගේ බලය සැලකිය යුතු මට්ටමින් පිරිහුණි. එසේම කරුණා විසින් සපයන ලද තොරතුරු සහ ලබාදුන් සහාය ශ්‍රී ලංකා හමුදාවට මිල කළ නොහැකි වටිනාකමක් එක් කළේය. කෙසේ වුවද මෙවර මැතිවරණ ප්‍රචාරක රැලියකදී “කටට වෙඩි තබා ගැනීමේ” කතාවක් හේතුවෙන් කරුණා දැන් අමාරුවේ වැටී සිටී. කරුණා විසින් කොටි පරාජය කිරීමට ලබාදුන් සියලු උදව් අද අමතක වී ගොසිනි. එළිෆන්ට් පාස්හිදී එක රැයකදී තමා විසින් හමුදාවේ 2000ක් - 3000ක් මරා දැමූ බවට කළ එකී ප්‍රකාශය මගින් මේ වෙනස ඇතිකර තිබේ.

සියලු දේශපාලන පක්ෂ විසින් දැඩිව කරුණාගේ ප්‍රකාශය හෙළා දකිමින් ප්‍රකාශ නිකුත් කරද්දී පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ද කරුණාගෙන් ඈත් වන්නට සිදුවිය. එහෙත් ඒ වනතුරු සියලු දෙනාගේ විශ්වාසය වී තිබුණේ කරුණා නැගෙනහිරින් ඔහු නියෝජනය කරන පක්ෂය හරහා පාර්ලිමේන්තුවට තේරී පත්වුවහොත් රාජපක්ෂවරුන් විසින් පිහිටුවන රජයට එකතු වනු ඇති බවය. “රණවිරු” හෝ “යුදවිරු” වචනයේ ගෞරවය ඉහළින්ම රකින බවට නිරතුරුවම ප්‍රකාශ කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ට හමුදා සෙබළුන් දහස් ගණන් ඝාතනය කළ බවට උදම් අනන කරුණා සමඟ තවදුරටත් එකතු වී දේශපාලනය කළ නොහැක. කරුණා සිදු කළායි කියන ප්‍රකාශයට විරෝධය පළකිරීමත් ඔහු සමඟ කිසියම් හෝ දේශපාලන සම්මුතියක් තිබීනම් එයින් ඉවත් වීමත් හැර කළයුතු වෙනත් දෙයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉතිරි නොවූයේ මේ පසුබිමේය.

සිදුවූයේ කුමක්ද? කරුණා අම්මාන් ඇත්තටම කිව්වේ කුමක්ද? ඇයි ඔහු එවැනි ප්‍රකාශයක් සිදුකළේ? එය හරිහැටි තේරුම් ගැනීමට නම් කරුණා අම්මාන් වශයෙන් හැඳින්වෙන මුරලිදරන්ගේ දේශපාලන සන්දර්භය පිළිබඳ අවබෝධයක් තිබීම අත්‍යවශ්‍යය.

එල්.ටී.ටී.ඊයෙන් වෙන් වී යන කරුණා 2004දී “තමීෂ් මක්කල් විදුකලයිප් පුලිගල්” (TMVP) නමින් දේශපාලන පක්ෂයක් පිහිටුවා හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සංධානය සමඟ සංධාන ගතවිය. එයින් පසුව ඔහුගේ ප්‍රධාන නියෝජ්‍ය නායකයා වූ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් විසින් කරුණා පක්ෂයෙන් නෙරපා හරිනු ලැබීය. පසු කලෙක පිල්ලෙයාන් නැගෙනහිර පළාතේ මහ ඇමැති විය.

ඉන්පසු බ්‍රිතාන්‍යයට ගිය කරුණා තම බිරිඳ සහ දරුවන් තිදෙනා සමඟ එක්විය. එහෙත් වෙනත් නමකින් හදාගත් රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් බ්‍රිතාන්‍යයට ගිය කරුණා පසුව එරටේදී අත්අඩංගුවට ගෙන, රඳවා තබාගෙන වැරදිකරුවකු වශයෙන් ප්‍රකාශ කොට ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ලැබීය. ඉන්පසුව එවකට බලයේ සිටි රාජපක්ෂ රෙජිමය විසින් කරුණා උණුසුම් ලෙස වැළඳගෙන ඔහු විවිධ මට්ටමේ තනතුරු සහ වරදානවලින් පුදනු ලැබීය.

2008 ඔක්තෝබර් මාසයේදී කරුණා එජනිස ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකින් පුදනු ලැබීම එහි ප්‍රථම අංකය විය. ඉන්පසුව 2009දී ඔහු මහින්ද රාජපක්ෂ රජයේ ජාතික ඒකාබද්ධතා ඇමැති වශයෙන් දිව්රුම් දුන්නේය. 2009 අප්‍රේල් මාසයේදී තම අනුගාමිකයන් 1750ක්ද සමඟ කරුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු විය. එහිදී එවකට ශ්‍රීලනිප නායකයා වූ මහින්ද රාජපක්ෂ මහතා විසින් කරුණා ශ්‍රීලනිප උප සභාපතිවරයෙක් වශයෙන් පත්කරනු ලැබීය.

2010 මැතිවරණයෙන් පසුව කරුණා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්කරනු ලැබ පුනරුත්ථාපන නියෝජ්‍ය ඇමැති ලෙස දිව්රුම් දුන්නේය.

2015 වසරේදී කරුණා මහ මැතිවරණයට තරග කළේ නැත. එහෙත් මඩකලපුවට එජනිස ලැයිස්තුවෙන් තරග කළ ඔහුගේ සොහොයුරිය පරාජය වූවාය. මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රීලනිප නායකත්වය පැවරීමෙන් පසුව කරුණා ශ්‍රීලනිපයෙන් ඉවත් වී ද්‍රවිඩ එක්සත් නිදහස් පෙරමුණ (TUFF) පිහිටුවා 2017දී රාජපක්ෂවරුන්ට එක්විය. 2019 වසරේදී පැවැති ජනාධිපතිවරණයේදී කරුණාගේ TUFF සහාය දැක්වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතාටය.

කෙටි දිනක් තිබූ මෛත්‍රීපාල - මහින්ද රජයට සහාය දක්වමින් එයට එක් වූ ටී.එන්.ඒ. මඩකලපු දිස්ත්‍රික් මන්ත්‍රී වියාලේන්ද්‍රන් 2020 මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව මඩකලපුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැයිස්තුවේ ප්‍රධාන අපේක්ෂකයා වශයෙන් නම් කරනු ලැබීම කරුණාගේ විරසකයට හේතුවිය. වියාලේන්ද්‍රන්ගේ දෙවැනි තැනට වැටෙන්න අකැමැති වූ කරුණා තම බිරිඳ “පොහොට්ටු” ලැයිස්තුවට ඇතුළු කිරීමට උත්සාහ ගත්තේය. එයට පළමුව එකඟත්වය පළවුවද පසුව ඇයගේ නම ප්‍රතික්ෂේප විය.

සිත් වේදනාවට පත් කරුණා තම බිරිඳ විතියාවතී මුරලිදරන්ගේ නායකත්වයෙන් ස්වාධීන කණ්ඩායමක් තරග බිමට දැම්මේය. මඩකලපු දිස්ත්‍රික්කයේ ජයග්‍රහණයෙන් 72%ක් ද්‍රවිඩ ජාතිකයෝ වෙති. ද්‍රවිඩ ජාතික ඡන්ද 19%ක් තිබෙන අම්පාර දිස්ත්‍රික්කයට කරුණා ඉදිරිපත් විය. “සමස්ත ලංකා මහා දෙමළ සභාව” (ACGTC) කණ්ඩායමේ අම්පාර ප්‍රධාන අපේක්ෂකයා කරුණාය. මේ දිස්ත්‍රික්කයේ ජනගහන ව්‍යාප්තිය අනුව දෙමළ අපේක්ෂකයන් අතරින් තේරී පත්වීමට ඉඩ ඇත්තේ එක් අපේක්ෂකයකුට පමණි. එසේ විය හැක්කේද දෙමළ ඡන්ද විසිරී නොයන තත්ත්වයක් තුළ පමණි.

අම්පාර දිස්ත්‍රික්කයට තරග වැදුණු ටී.එන්.ඒ. මන්ත්‍රීවරු මීට පෙර ඡන්දවලදී තේරී පත්වී සිටිති. 2015 සිට 2020 දක්වා අම්පාර ටී.එන්.ඒ. මන්ත්‍රීවරයා වූ කවීන්ද්‍රන් කෝතීස්වරන් මෙවර එම දිස්ත්‍රික්කයේ ටී.එන්.ඒ. ප්‍රධාන අපේක්ෂකයා වෙයි. අම්පාර දිස්ත්‍රික්කයෙන් ලබාගත හැකි එකම ද්‍රවිඩ මන්ත්‍රී ධූරයට ටී.එන්.ඒ. සහ කරුණාගේ මහා දෙමළ සභා අපේක්ෂකයන් අතර ප්‍රබල සටනක් ඇතිවන බව ඉතා ඉක්මනින්ම දැකගත හැකිවිය. කරුණා මෑතකදී කළ ප්‍රකාශය සලකා බැලිය යුත්තේ මේ පසුබිමේ සිටිමිනි.

එම ප්‍රකාශය සිදුකිරීමට කරුණා පොළඹවා තිබුණේ කාරතිව් ප්‍රාදේශීය සභාවේ ටී.එන්.ඒ. නියෝජනය කරන සභාපතිවරයා විසින් සිදුකළ ප්‍රකාශයකි. ඔහු දෙමළ භාෂාවෙන් කියා තිබුණේ “කරුණා කොරෝනාවටත් වඩා දරුණු සහ මාරාන්තික” බවය. එයට දේශපාලන රැස්වීමකදී පිළිතුරුදුන් කරුණාගේ ප්‍රකාශයේ සඳහන් වූයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා තමන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබාදීමට සූදානම් වුවත් තමා එය ස්තූතිපූර්වකව ප්‍රතික්ෂේප කළ බවය. රාජපක්ෂ මහතා තමාට මීට පෙර දෙවතාවක්ම ජාතික ලැයිස්තුවට නම් කිරීම ගැන ස්තූති කරමින් එය ප්‍රතික්ෂේප කළ බවත් ඔහු පැවසීය. කෙසේ වුවද මහජන ඡන්දයේ තේරීපත්වී පාර්ලිමේන්තුවට පැමිණ රාජපක්ෂ රජයට එක්වීම තමාගේ සැලැස්ම බවද එහිදී ඔහු ප්‍රකාශ කර තිබිණි. තවදුරටත් කතා කළ ඔහු කාරතිව් සභාපතිගේ ප්‍රකාශයට පිළිතුරු දෙමින් කියා තිබුණේ සැබැවින්ම කරුණා කොරෝනාවටත් වඩා භයානක බවය. “ශ්‍රී ලංකාව තුළ කොරෝනාවෙන් මැරුණේ 09යි. හැබැයි අපි එලිෆන්ට් පාස්වලදී හමුදාවේ 2000ක්, 3000ක් එක රැයකදී මරා දැම්මා. ඉතින් ඔහු (කාරතිව් සභාපති) කළ ප්‍රකාශය හරි” යනුවෙනි.

කරැණා එහිදී සිදුකළේ ප්‍රකාශයකට පිළිතුරු දීමක් පමණක් වුවද ඔහුගේ ප්‍රකාශයේ සඳහන් කරුණු වැරදි බවද පෙන්වා දෙනු කැමැත්තෙමි. ඔහු “අපි” වශයෙන් අදහස් කළේ එල්.ටී.ටී.ඊ බව නිසැකය. ඒ අවස්ථාවේ මඩකලපු සහ අම්පාර දිස්ත්‍රික් එල්.ටී.ටී.ඊ. මිලිටරි නායකයා වූයේ කරුණාය. නමුත් උතුරේ එලිෆන්ට්පාස් කඳවුරට එරෙහිව කළ සටනට කරුණා සම්බන්ධ වූ බවට තහවුරු කෙරෙන තොරතුරු කිසිවක් නැති බව කිවයුතුය.

භානු විසින් මෙහෙයවන ලද එලිෆන්ට්පාස් සටනේදී කොටි සාමාජිකයන් 1000කට වඩා මරා දැමුණු බව එවකට ආරක්ෂ අමාත්‍යංශ ප්‍රකාශයක සඳහන් විය. (1999 දෙසැම්බර් 11 සිට එල්.ටී.ටී.ඊ.ය පෙරමුණු තුනකින් සිදුකළ මෙම “නොනවතින රැල්ල” සටන අවසන් වී තිබුණේ 2000 අප්‍රේල් 23 වැනිදාය.) එල්.ටී.ටී.ඊ. කියා තිබුණේ තම සාමාජිකයන්ගෙන් 303 දෙනකු පමණක් මියගිය බවය. එයින් 35ක් මියගියේ එලිෆන්ට්පාස් අවසන් සටනේදී බවද කියා තිබිණි. එසේම එල්.ටී.ටී.ඊ කියා තිබුණේ හමුදාවේ 1000කට වඩා මරා දැමුණු බවය. එහෙත් හමුදාව කියා සිටියේ තමන්ගේ සෙබළුන් 80ක් මියගිය බවත් 100කට වැඩි පිරිසක් අතුරුදන්ව සිටින බවත්ය. පසුව එල්.ටී.ටී.ඊය රතු කුරුසය හරහා හමුදා මළසිරුරු 126ක් බාරදෙනු ලැබීය. එයින් 28ක් හඳුනාගන්නා ලදී. ඉන්පසුව ආරක්ෂක අමාත්‍යංශය සෙබළ මරණ සංඛ්‍යාව වරින්වර වෙනස් කළත් එම සංඛ්‍යාව කිසිදු අවස්ථාවක 1000 ඉක්මවා ගියේ නැත.

මේ තොරතුරු සඳහන් කළේ කරුණා එලිෆන්ට්පාස් සටන සම්බන්ධයෙන් පළකළ තොරතුරු සත්‍ය නොවන බව පෙන්වා දීමටය. මුලින්ම කිව යුත්තේ එලිෆන්ට්පාස් සටන එක රැයක සටනක් නොවූ බවය. එය සටන් පෙරමුණු 03කින් සිදුකළ මාස 05ක සටනකි. දෙවනුව අවසන් එලිෆන්ට්පාස් සටනේදී හමුදාවේ මරණ සංඛ්‍යාව ඉහළ වුවත් එය කිසිසේත් 1000ක් නොඉක්මවූ බවය. වඩාත්ම වැදගත් කාරණය වන්නේ කරැණා එලිෆන්ට්පාස් අවසන් සටනේ කිසිදු සටන් පෙරමුණක රැඳී සිටි බවට කිසිදු වාර්තාවක සඳහන් නොවීමය.

තම මැතිවරණ ප්‍රචාරය සඳහා කරුණා මේ ප්‍රකාශය කරන්නට ඇති වුවත් එය අසත්‍ය කරුණු මත පදනම් වෙමින් සිදුකළ ප්‍රකාශයක් බව කිව යුතුය.

- ඩේලි එෆ්.ටී. පුවත්පතට ඩී.බී.එස්. ජෙයරාජ් සැපයූ ලිපියේ සංක්ෂිප්ත සටහනකි.

 2020 ජුලි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුනි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුනි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00