2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

පොරොන්දු දේශපාලනයට තිත තබමු

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 16

පොරොන්දු දේශපාලනයට තිත තබමු
අනුර කුමාර දිසානායක - ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක

අලුත් වෙනසකට ජනතාව කැමතියි
ගොඩක් මැතිවරණ ව්‍යාපාර දුවන්නේ කළු සල්ලිවලින්
17 වැනිදායින් පස්සේ පනින කට්ටිය බලාගන්න පුළුවන්
දෙවැනි මනාපය කැමැති කෙනෙකුට දෙන්න‍්
නඩු - චෝදනා ඇති වියතුන්ගේ සංවිධාන අපට නෑ
එළියේ අවි අමෝරනවා තිරෙන් පිටුපස බදාගන්නවට
කඳවුරු දෙකම එකිනෙකාගේ පිට කසාගන්නවා

ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයෙක් අවුරුදු 20කට පස්සෙයි ජනාධිපති සටනකට එන්නේ. ඒ අභියෝගය ඇයි ඔබ භාරගන්න තීන්දු කළේ?

පසුගිය ජනාධිපතිවරණවලදී රටේ යම් යම් ප්‍රශ්නවලදී ඇතැම් අපේක්ෂකයන්ට ජනතා විමුක්ති පෙරමුණේ සහය තිබුණා. නමුත් දැන් පැහැදිලි වෙලා තියෙනවා ඒ කඳවුරු දෙකම ප්‍රජාතන්ත්‍රවාදය හෝ දූෂණ වංචා මඩින්න හෝ අවුලකින් තොර ආර්ථික වැඩපිළිවෙළක් අරගෙන යෑමට නොහැකි වෙලා තියෙනවා කියලා. ඒ නිසා අනිවාර්යයෙන්ම නව කඳවුරක් ගොඩනගලා ඒ ගැන බලාපොරොත්තු ගොඩනගාගත යුතුයි. ඒ හේතුවෙන් තමයි මම මේ මැතිවරණයට තරග වදින්න තීරණය කළේ.

හැම මැතිවරණයකම වගේ අපි දැකලා තියෙනවා ප්‍රධාන අපේක්ෂකයෝ දෙදෙනෙක් අතර තමයි තරගය තිබෙන්නේ. ඒත් මෙවර තුන්වැනි අපේක්ෂකයෙක් හැටියට ඔබේ නමත් තිබෙනවා. ඔබ කොහොමද අනිත් දෙදෙනාට තරගයක් දෙන්නේ?

අපි හිතනවා මෙම කඳවුරු දෙකේම දේශපාලන වේදිකාව ගත්තොත් වංචනිකයන්ගෙන් පිරිච්ච දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම එම වේදිකාවල උසුළු විසුළු දෙපැත්ත කැපෙන වචන ප්‍රකාශ කරන වේදිකා බවට පත්වෙලා තියෙනවා. ඒ නිසා ඒ අය තමන්ට අභියෝගයක් වන අපේක්ෂකයන්ට අපහාස කරන්න අසත්‍ය චෝදනා එල්ල කරන්න සිදුවෙලා තිබෙනවා. ඒ නිසා එවැනි මැතිවරණ ක්‍රමයක් ජනතාව මේ වෙනකොටත් ප්‍රතික්ෂේප කොට අවසන්. ජනතාව ඉන්නෙ දැන් විනයක් සහිත අලුත් වෙනසක් සහිත මැතිවරණ ජයග්‍රහණයක් ගැන අවධානයෙන්. ඒ බව අපිටත් දැන් පෙනී යනවා.

සාමාන්‍යයෙන් රටේ ජනාධිපති වෙන්නනම් තමන්ගේ පාක්ෂිකයන්ගේ ඡන්ද නෙවෙයි ඊට එහා ගිය ඡන්ද ප්‍රමාණෙකුත් අවශ්‍යයි. ඔබට ඊට එහා ගිය ඡන්ද ලබාගන්න හැකියාවක් තිබෙනවද?

විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ප්‍රමාණයට එහා ගිය බලවේගයක් ජාතික ජන බලවේගය මගින් අපි ගොඩනගලා තියෙනවා. ඒ වගේම එයට වෘත්තීයවේදීන්, බුද්ධිමතුන්, ජනමාධ්‍යවේදීන්, කලාකරුවන් විශාල ප්‍රමාණයක් එකතු වෙලා තිබෙනවා. ඒ වගේම නව දේශපාලන දැක්මක් අරමුණින් විශාල තරුණ ප්‍රජාවක් මේකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම තමන්ගේ ආරක්ෂාව ගැන පවා නොහිතා ක්‍රියාත්මක වන පාක්ෂිකයන් පිරිසක් අපිට නිර්මාණය වෙලා ඉන්නවා. ඒ නිසා මම හිතනවා පක්ෂෙට එහා ගිය විශාල කණ්ඩායමක් අපිත් සමඟ ඉන්නවා කියලා. අපි ඒ අය ආමන්ත්‍රණය කරලා තියෙනවා. අපි තවත් ඉදිරි සතිය තුළත් ඒ සඳහා අලුත් පිරිස් එකතු කරගෙන යනවා.

අනෙකුත් අපේක්ෂකයන් ඉතාම ආකර්ෂණීය පොරොන්දු දෙනවා. හැබැයි අනුර කුමාරගේ එවැනි ආකර්ෂණීය පොරොන්දු අපි දැකලා නැහැ. මොකද්ද මේකට හේතුව?

අවුරුදු 70ක් තිස්සේ පොරොන්දු දේශපාලනේ තිබ්බා. මීට වැඩිය ජනතාවගේ දුප්පත්කම විකුණලා බලයට ආපු අවස්ථා අනන්තවත් තියෙනවා. විවිධ ප්‍රතිපත්ති ගෙනල්ලා මේ දුප්පත්කම නැති කරන බවට, රට ගොඩනගන බවට ප්‍රකාශ කරලා තියෙනවා. හැබැයි ඒ කිසිම දෙයක් අද වෙනකල් සාර්ථක කරලා නෑ. අපි ඉන්නේ ගැඹුරු ආර්ථික ගැටලුවක පැටලිලා. ප්‍රධාන වශයෙන් ඒකෙන් ගොඩ එන්න ඕනේ. ඒ නිසා දෙයක් දෙනවට වඩා ආර්ථිකේ ගොඩනගන්න පුළුවන් වැඩපිළිවෙලක් සකසන එකයි වැදගත්කම. වර්තමාන ජනතාවත් බලාපොරොත්තු වෙන්නේ එවැනි වෙනසක්. අපේ රටේ ආර්ථිකය විධිමත් ලෙස ඉහළට අරගෙන ගිහිල්ලා එම ආර්ථික ප්‍රතිලාභ ජනතාව අතර බෙදිලා යන ක්‍රමවේදයක් තමයි අවශ්‍ය.

අනෙක් අපේක්ෂකයන් කියනවා දැනුම පදනම් කරගත්ත ආර්ථික ක්‍රමවේදයක් ගොඩනගනවා කියලා. තව අය කියනවා දුප්පතා පෝසතා බවට පත්කරන ආර්ථික ක්‍රමවේදයක් හදනවා කියලා. ඔබ ඇතුළු ඔබේ කණ්ඩායම හදන ආර්ථික ක්‍රමවේදය මොකද්ද?

ඒක තමයි. විශාල ආර්ථික සැලැස්මක් අපි ගොඩනගනවා. විශේෂයෙන් ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය ගොඩනගන ක්‍රමවේදයක් තියෙනවා. නිෂ්පාදන ආර්ථිකයක් ගැන තමයි අපේ වැඩිම අවධානය තියෙන්නේ. එහෙම නැතුව පොරොන්දුවත්, දෙයක් දෙන්නවත් කියන ව්‍යාජ දේශපාලන ක්‍රමවේදයක් අප සතුව නෑ. අපට තියෙන්නේ කෘෂිකර්මාන්තය සහ අපේ රටේ ජාතික සම්පත්වලින් උපරිම ප්‍රයෝජනය ගෙන ඒ හරහා ස්වයංපෝෂිත නිෂ්පාදිත ආර්ථිකයක් ගොඩනගන එක. ඒ තුළින් දුප්පත්කම නැති කරන්න පුළුවන් වෙනවා. විශේෂයෙන් මෙහිදී ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා.

මේ වෙනකොට මැතිවරණ වේදිකාවේ ප්‍රධාන මාතෘකාව තමයි ජාතික ආරක්ෂාව. ඒ අය සතු ජයග්‍රහණ සහ පුද්ගලයන් පෙන්වමින් ජාතික ආරක්ෂාව ගැන සහතික වෙනවා. ඔබ කොහොමද ජාතික ආරක්ෂාව ගැන තහවුරු වෙන්නේ?

ජාතික ආරක්ෂාව ගැන ගැටලුවක් ඇතිවෙලා තියෙන්නේ යම් ජාතියක් කෙරෙහි ජාතිවාදී හැඟීම් අවුලුවාලීම තුළ. 21 වැනිදා ප්‍රහාරයත් මුස්ලිම් අන්තවාදීන් විසින් ක්‍රිස්තියානි කතෝලික ජනතාව කේන්ද්‍ර කරගෙන සිදු වූ ප්‍රහාරයක්. පැහැදිලිවම පේනවා ඒ තුළත් යම් ජාතිවාදී හැඟීමක් ඇති කරන්නයි හදන්නෙ කියලා. ඒ තුළින් මුස්ලිම් ජනතාවට එරෙහිව වෙනම ජාතිවාදී මතයක් රට තුළ ගොඩනැගුවා. හැබැයි එතන ආරක්ෂාවේ අඩුලුහුඬුකමුත් තිබුණා. ඒ නිසා අපි පිළිගන්නේ යම්කිසි ජන කොට්ඨාශයකට එරෙහිව ජාතිවාදී හැඟීම් වැපිරීම තුළයි ජාතික ආරක්ෂාව තර්ජනයට ලක්වෙන්නේ. ඒ නිසා පූර්ණ ආරක්ෂාවක් සහිත ජනතාවගේ ආරක්ෂාව ඇති කිරීමයි අපේ අරමුණ. එය සිදුවන්නේ ජාතීන් අතර සමඟිය ඇතිකිරීම තුළින්.

අනෙකුත් අපේක්ෂකයන් වගේ නෙවෙයි ඔබේ පක්ෂයේ ලාල් කාන්ත සහෝදරයා කිව්වා අනුරට එක ලකුණු කරලා දෙවැනි මනාපය වෙන කෙනෙක්ට දෙන්න කියලා. ඇයි එහෙම දෙයක් කරන්න තීන්දු කළේ?

විශේෂයෙන් අපිට පක්ෂ අපේ ජයග්‍රහණය අපේක්ෂා කරන අයට කතිරයක් හරහා කැමැත්ත පළකරන්න පුළුවන්. ඊට අමතරව තව පිරිසක් ඉන්නවා අපට ඡන්දෙ දීම තුළින් ප්‍රතිපක්ෂ අවදානමකට මුහුණ දෙන්න සිදුවෙයි කියලා ඉන්න පිරිසක්. අපි ඒ අයට යෝජනා කරන්නේ ඔබේ පළමු මනාපය අපට ලබාදෙන්න. එසේම ඔබේ දෙවැනි යම්කිසි අපේක්ෂාවක්, අරමුණක් තියෙනවනම් දෙවැනි මනාපය ඔබ කැමති කෙනෙක්ට ලබාදෙන්න. මොකද මේ මැතිවරණ ක්‍රමය තුළ ඉන්න ජනතාවට වගේම මේ මැතිවරණය තුළත් ඊට හැකියාව හදලා දීලා තියෙන්නේ.

දේශපාලන විචාරකයන් ප්‍රශ්න කරන දෙයක් තමයි ඇයි ඔබ ඇතුළු විකල්ප මතධාරී අපේක්ෂකයන්ට එකම වේදිකාවකට එන්න බැරි වුණේ කියලා. ඇත්තටම ඇයි එහෙම බැරි වුණේ?

ඇත්තටම සමහර විකල්ප අපේක්ෂකයන් අර්බුධයේම ප්‍රතිඵල මිසක් අර්බුදයට විසඳුම් නෙවෙයි. ඇතැම් අය මේ අර්බුදයට විරුද්ධව වැඩ කරන්න එළියට ආවත් ඔවුන් ඇත්තටම අර්බුදයට විසඳුම් නෙවෙයි. අපේ අරමුණ ඒ අර්බුදයට විකල්පයක් වෙලා ඒ අර්බුදය විසඳන්න. අපි ඇතැම් අවස්ථාවල සාර්ථක වෙලා තියෙනවා. අපි ඇතැම් දේවල්වලට සාර්ථක වෙමින් ඉන්නවා.

පසුගිය 2015 ජනාධිපතිවරණයේදී ලොකුම සතුරු වුණේ රාජපක්ෂවරු. අද ඒ රාජපක්ෂවරුම වෙනත් කඳවුරකින් තරග බිමට ඇවිත් ඉන්නවා. ඔවුන්ට විරුද්ධව ගත්ත ක්‍රියාමාර්ගෙකුත් නෑ. ඔප්පු කරගත්ත දේකුත් නෑ. දැන් මිනිසුන්ට හිතෙන්න පුළුවන් නේද මේවා මේ දේශපාලන ගේම් කියලා?

අනිවාර්යයෙන්ම. මේ කඳවුරු දෙකම ඔවුන් දෙගොල්ලොම ඔවුන්නොවුන්ව ආරක්ෂා කරගන්න තැනට පත්වෙලා ඉවරයි. ඒ නිසා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ කිසිම කඳවුරක් දෙපැත්තට අවි අමෝරාගෙන කරන්නේ රඟපෑමක් පමණයි. තිරයෙන් පිටුපස ඒ නාටකයේ අය ඉතාම සමීපව කටයුතු කරනවා. ඒ අය ඉතාම සමීපව එකට ජීවත් වෙනවා. ඕක තමයි අපේ රටේ දේශපාලනයේ යථාර්ථය.

පසුගිය දවසක ප්‍රධාන පක්ෂ මැතිවරණ ප්‍රචාරය සඳහා කළ වියදම් සම්බන්ධයෙන් අනාවරණයක් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම්වලින් සිදුකරලා තිබුණා. ඇතැම් පක්ෂ විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරලා තිබුණා. ඔබ හිටියේ තුන්වැනියට. තවමත් මේ රටේ ඡන්ද කරන්න සල්ලි අවශ්‍යයි කියලා නේද ඒකෙන් කියන්නේ?

ගොඩක් මැතිවරණ ව්‍යාපාර දුවන්නේ කළු සල්ලිවලින්. මම දැක්කා ඒ සමීක්ෂණ වාර්තාව. පුළුවන්නම් මම ඔය අපේක්ෂකයන්ට කියනවා ඔය වියදම් කරන මුදල් තමන්ගේ බැංකු ගිණුම හරහා සිදුකර ඇති බවට ඔප්පු කරන්න කියලා. ඒ කිසිම මුදලක් නීත්‍යානුකූල ආයතන හරහා සිදුකරන ලද ගනුදෙනු නෙවෙයි. සම්පූර්ණයෙන්ම කළු ව්‍යාපාරිකයන් විසින් රහසිගතව සිදුකරන ලද ගනුදෙනු තමයි ඔය තියෙන්නේ. ඒ හරහා ඔවුන්ගේ බලය ආපසු එම ව්‍යාපාරිකයන්ට යම් කිසි ප්‍රමුඛත්වයක් ලබාදීමේ අරමුණු ඇතිවයි මේ දේවල් සිද්ධ වෙන්නේ. හැබැයි ඔවුන් අපි ගැන දන්නවා. ඒකයි අපේ මැතිවරණ ව්‍යාපාරවල කළු සල්ලිවත් කිසි දෙයක් නැත්තේ. අපි අපේ සාමාජිකයන්ගේ මුදල්වලිනුයි මැතිවරණ ව්‍යාපාර කරන්නේ.

ඇතැම් අය කියනවා ඔබ ඇතුළු කණ්ඩායම මේ ජනාධිපතිවරණය නෙවෙයි මහ මැතිවරණය ඉලක්ක කරගෙන කරන දේශපාලන වැඩක් කියලා.

එහෙම කිසිම අරමුණක් තියාගෙන නෙවෙයි අපි ඡන්දවලට ඉදිරිපත් වුණේ. එක් එක් මැතිවරණ ව්‍යාපාරවලට අනුව එක් එක් අරමුණු තියෙනවා. හැබැයි අපි මෙවර ඉදිරිපත් වෙලා ඉන්නේ නිශ්චිත ජයග්‍රහණයක් අරමුණු කරගෙන.

ඔබ කියනවා උගත් බුද්ධිමත් පිරිස ඔබ සමඟ ඉන්නෙ කියලා. අනෙකුත් වේදිකාවලත් ඒ අය ඉන්නවා. ඇත්තටම උගත්තු ඉන්නේ කොයි වේදිකාවෙද?

පැහැදිලිවම අපි සමීපයේ ඉන්න උගත් බුද්ධිමතුන්ට පෞද්ගලික යටි අරමුණු නෑ. ඔවුන් ස්වෙච්ඡාවෙන් අවංක කැපවීමෙන් අපි වෙනුවෙන් වැඩ කරනවා. අනෙකුත් වේදිකාවල ඉන්නේ විවිධ පෞද්ගලික අරමුණු තියෙන අය. ඒ අයට විරුද්ධව නඩු තියෙනවා. චෝදනා තියෙනවා. ඒ නිසා අප සතුව විනාශකාරී වියත් සංවිධාන නෑ.

බිමල් රත්නායක සහෝදරයා කිව්වා ආණ්ඩුවෙම කණ්ඩායමක් ගෝඨාභය සමීපයට යන්න ඉන්නේ. නමුත් ඒ අය සල්ලි දීලා තියාගෙන ඉන්නවා කියලා ඇමැතිවරයෙක් ඉන්නවා කියලා. ඔබත් ඒ සම්බන්ධ තොරතුරු දන්නවද?

ඕක අරුමපුදුම දෙයක් නෙවෙයි. ඕක දැනටමත් දෙපැත්තෙම වෙලා තියෙන්නේ. කවුරු මේ මැතිවරණයෙන් ජයග්‍රහණය කළත්, ජයග්‍රහණය කරන කඳවුරට අනිත් කඳවුරුවල අය පනිනවම තමයි. ඒ සංදර්ශනය නොවැම්බර් 17න් පස්සේ බලාගන්න පුළුවන්.

අවසාන වශයෙන් ඔබ ජනාධිපති වුණාම ඔබ සිදුකරන පළවෙනි කාර්යය කුමක්ද?

මම හිතනවා එක වැඩක් නෙවෙයි කරුණු 3ක් තියෙනවා සිදු කරන්න. එකක් ඒකීය විධාන ආර්ථිකය තහවුරු කිරීම. දෙක වංචාවෙන්, දූෂණයෙන් තොර පාලනයක් සහ මහජන ආරක්ෂාව සහ නිවැරදි ආරක්ෂක වැඩපිළිවෙළක් දියත් කිරීම. එම අත්තිවාරම ගොඩනැගීම තමයි මගේ පළමු කාර්යය.

► ගයාන් ගාල්ලගේ

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30