2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

මම ලබාදුන්නේ ක්‍රියාත්මක කළ හැකි පොරොන්දු පමණයි

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 27

සුරක්ෂිත රටක් තුළයි පොහොසත් ආර්ථිකයක් හැදෙන්නේ
ආර්ථිකය කඩාවැටිලා කියලා මහබැංකුව කියනවා
දැන් මේ රටට සියඹලාත් පිටරටින් ගේනවා
පළමු අවුරුදු තුනේ මැති ඇමැති වියදම් පාලනය කරන්න ඕනෑ
හඳුනාගත් භාණ්ඩ වර්ග 10ක් සහන මිලට දෙනවා
රට රැකගත් රණවිරුවන්ට තෑග්ගට ලැබුණේ චෝදනා පත්තරයි
වතුකරයේ දුකින් ඉන්න ජනතාවගේ වැටුප රු.1000කින් ඉහළ දමනවා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ

 

ස්වකීය ප්‍රතිපත්ති හා අනාගත වැඩපිළිවෙළ විස්තර කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදුන් මෙම සාකච්ඡාව මගින් තත්කාලීන දේශපාලනය විවරණය කෙරේ.

ප්‍රශ්නය:- මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අවසන් අදියරට ළඟාවෙලා. කොහොමද ඔබට තිබෙන ප්‍රතිචාර?
පිළිතුර:-  ඉතා හොඳයි.... අපේ ජයග්‍රහණය ස්ථීරයි....

ප්‍රශ්නය:- ඔබ මැතිවරණ වේදිකාවේදී වැඩිපුරම කතා කළේ ප්‍රතිපත්ති ගැන. ඔබගේ ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් ජනතාවට කියන්න හැදුවේ කුමක්ද?
පිළිතුර:- අපේ අරමුණ විස්තර කරන්නයි හැදුවෙ. දුප්පත්කම තුරන් කිරීම, නිරෝගී සමාජයක් ඇති කිරීම, වස විසෙන් තොර කෘෂිකර්මයක් හඳුන්වාදීම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ නැවුම් වෙනසක් වගේම පරිසර හිතකාමී කර්මාන්ත සංවර්ධනයක් තුළින් රුකියා උත්පාදනය, දුප්පත් පොහොසත් ස්ත්‍රී පුරැෂ කාටත් සුරක්ෂිත සමාජයක් ඇති කිරීම වගේ කාරණා ගැන මම ජනතාවට කරුණු ඉදිරිපත් කළා... මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම හා සමාජයේ යහගුණධර්ම වගා කිරීම ගැනත් අපි සාකච්ඡා කළා.

ප්‍රශ්නය:- ඔබලා මේ කියන්නෙ ලොකු ලොකු පොරොන්දු ගැනයි. මේවා ඇත්තටම කරන්න තරම් ජාතික ආර්ථිකය ශක්තිමත්ද?
පිළිතුර:- ජාතික ආර්ථිකය භයානක ලෙස කඩාවැටිලා. ජාතික ආරක්ෂාව පවා අභියෝගයට ලක්වෙලා තිබෙනවා. අපි රට භාරදෙනකොට සීයට හයක්ව තිබුණ ආර්ථික වර්ධනය දැන් 2.5%යි. ඔන්න පසුගිය අවුරුදු පහක අස්වැන්න.

ප්‍රශ්නය:- මේ ආර්ථික අර්බුදය මැද ඔබ කියනවා නොයෙක් බදු සහන දෙනවලු. කොහොමද මේක කරන්නෙ?
පිළිතුර:- ආණ්ඩුවකට බදු ඕන. බදු පනවන්නෙ ආදායම ගන්නයි. නමුත් මේ රජයට බදු ආදායම එකතු කරගන්න බැරිවුණා. දාපු බදුවලින් වුණේ සමාජය පීඩාවට පත්වීම පමණයි. 2015 දී සියයට 12.4ක් වූ බදු ආදායම 2018 දී 11.9ට අඩුවෙලා. ඒ වගේම ණය බරත් නහය ළඟටම නැග්ගා. අපි යනකොට ජාතික ආදායමෙන් සියයට හැත්තෑ එකක්ව තිබුණ ණය බර දැන් සියයට අනූවයි.... ඒකෙ ප්‍රතිඵලය වුණේ දිවිනැගුම වගේ සංවර්ධන වැඩසටහන් අඩාල වී දුප්පත්කම ඉහළ යාම පමණයි.

ප්‍රශ්නය:- යහපාලන ආණ්ඩුව ඔබ කියන ආකාරයේ ඉරණමකට තල්ලු වුණේ ඇයි?
පිළිතුර:- එයාලා වැඩ කළේ විදේශ උපදේශකයන්ගේ උපදෙස් අනුවයි. බදු පැනෙව්වෙත් එහෙමයි. මහ බැංකුවේ නිලධාරීන් පවා නොදන්නා බදු පනත් සම්මත කළා. අපේ කාලේ සියයට එකොළහක් වූ වැට් බද්ද පවා මෙයාලා සියයට පහළොවක් කළා. ඒ අස්සේ ජාතිය ගොඩනැගීමේ බද්දත් අය කළා. වෙන කතා මොනවටද මෑතක ඉඳලා රුපියල් පනස් දාහකට වැඩි ගෙවීමකටත් බද්දක් ගැහුවා...

ප්‍රශ්නය:- සාමාන්‍යයෙන් යූ.ඇන්.පී. ආණ්ඩුවක් ව්‍යාපාරිකයන්ට හිතකරයි කියල මතයක් තිබුණා. ඔබ කියන විදියට පැවති යහපාලන රජයෙන් එවන් තත්ත්වයක් දක්නට ලැබුණෙ නැද්ද?
පිළිතුර:- ඉස්සර එහෙම කතා තිබුණා. මහින්ද ජනාධිපතිතුමාගෙ කාලෙ ලොකු ව්‍යාපාර ඒ කියන්නෙ අපනයන සංචාරක ඉදිකිරීම් වගේ අංශවලින් අය කළේ සියයට දොළහක දාහතරක ආදායම් බද්දක්. මෙයාලා ඒක සීයට විසිඅටක් කළා. ඉතින් බිස්නස් නගීවිද? ව්‍යාපාරිකයොන්ට මේක දරාගන්න පුළුවන්ද?

ප්‍රශ්නය:- මේ විදියට සමාජය මත බර පටවන්න මහ බැංකු බැඳුම්කර වංචාවෙන් යම් බලපෑමක් සිදුවුණාද?
පිළිතුර:- අනිවාර්යයෙන්ම... බැඳුම්කර වංචාව නිසා බැංකු පොලී අනුපාත ඉහළ ගිය බව ආර්ථික විශේෂඥයො කියනවා. බලන්න රුපියලේ කඩාවැටීම. අපි ආණ්ඩුවෙන් යනකොට ඩොලරයට ගෙව්වෙ රුපියල් 132යි. දැන් රුපියල් 183 ගෙවන්න ඕන ඩොලරයට. කොහොමද පරිහානිය. ඉතින් එයාලා ආර්ථිකය දියුණු කළා කියන්න පුළුවන්ද?

ප්‍රශ්නය:- මේ හැරෙන්නට ඔබ හඳුනාගත් තවත් ආර්ථික ප්‍රශ්න තිබෙනවාද?
පිළිතුර:- ඔබ විශ්වාස කරනවාද මේ රටට දැන් සියඹලාත් පිටරටින් ගේනවය කිව්වම. මම කළ සොයාබැලීමකදී හෙළිදරව් වුණා හඳුන්කූරු, ලුණු, සියඹලා, කුරක්කන්, කුරුඳු වගේ හැමදේම රටින් ගේනවා. ඊට අමතරව තේ ගම්මිරිස් පුවක් ගේනවා ප්‍රති අපනයනයට කියලා. ඒක සමහරු ජාවාරමක් කරගෙන. මේවා නිසා කුඩා ගොවියා ව්‍යාපාරිකයා අසරණ වෙලා. ඔවුන්ට දුන්න රුපියල් බිලියන 500  විතර ණය මුදල් අයකර ගන්නත් බැහැ.

ප්‍රශ්නය:- පොහොට්ටුව වේදිකාවෙන් ආර්ථිකය සම්බන්ධව වත්මන් රජයට කොපමණ චෝදනා නැගුවත් ආණ්ඩුව පැත්තෙන් කියන්නෙ තමන් විදේශ රටවල ආධාර උපකාරත් ලබාගෙන බොහෝ දේ ගොඩනැගූ බවයි?
පිළිතුර:- හොඳයි ඔබ කියන්න මට මේ රජය ගතවූ අවුරැදු පහට එක ව්‍යාපාරයක් හෝ ව්‍යාපාරිකයෙක් අලුතෙන් හැදුවද? 2005-2015 කාලෙ අපි කොයිතරම් අලුත් ව්‍යාපාරිකයො ගොඩනැගුවද? ඉදිකිරීම් කර්මාන්තකරුවන්, සංචාරක හෝටල්කරුවන්, වී මෝල්කරුවන්, තේ කම්හල් හිමියන්, තොරතුරු තාක්ෂණ ව්‍යාපාර හිමිකරුවන් රැසක් අපි බිහිකළා. ගතවූ අවුරුදු පහේ එයාලට ගහපු අධික බදු නිසාම එයාලා කඩාවැටුණා.

ප්‍රශ්නය:- මේ කියන ආකාරයට දැන් තිබෙන්නෙ අන්තෝ ජටා බහි ජටා තත්ත්වයක්. ඉතින් ඔබට පුළුවන්ද මේ පැටලුන නූල් බෝලය ලිහන්න?
පිළිතුර:- ඔව් මට පුළුවනි. මා සමඟ මේ රටේ විශිෂ්ටම ආර්ථික විශේෂඥයෝ කිහිපදෙනා ඉන්නවා. මගේ පාලනයේ අරමුණ ආර්ථිකය දියුණු කරලා බදු ආදායම ලබාගැනීම මිසක් බදු ආදායම ලබාගෙන ආර්ථිකය දියුණු කිරීම නොවෙයි... එහෙම කළොත් ආර්ථිකයත් විනාශයි. රටේ ව්‍යාපාරික ප්‍රජාවත් විනාශයි.

ප්‍රශ්නය: ඔබ මේ රටේ ජයගත නොහැකි යයි කියූ යුද්ධයක් ජයගන්න නායකත්වය දුන් කෙනෙක්. නමුත් දැන් ඔබ කරන්න යන්නෙ දේශපාලන යුද්ධයක්, ආර්ථිකය යුද්ධයක්, ඒ සඳහා ඔබට ශක්තිය තිබේ යැයි හිතනවද?
පිළිතුර:- කැපවීම ධෛර්යය අභ්‍යාසය තියෙනවා නම් ඕන දෙයක් කරන්න පුළුවනි. අපි යුද්ධ කළ කාලෙත් රටේ ආර්ථිකය සියයට පහකින් වර්ධනය වුණා. මේ අවුරුද්දෙ රජය අපේක්ෂා කරන ආදායම රුපියල් බිලියන 500කින් අඩුවෙලා. රටේ රැකියා හිඟය සියයට පහයි. අද ගොවියා අසරණයි. ව්‍යාපාරිකයා අසරණයි. තරුණයා අසරණයි. කවුද සතුටින් ඉන්නෙ. විශේෂයෙන් කිවයුතුයි ආර්ථිකයේ ප්‍රධාන අංශයක් වන සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත නිෂ්පාදනත් අවුලෙන් අවුලට ගිහිල්ලා.

ප්‍රශ්නය:- හොඳයි ඔබ සූදානම් නැද්ද නවෝත්පාදන ආර්ථිකයක් බිහිකරන්න?
පිළිතුර:- ඒක තමයි මේ කියන්නෙ. අධිවේගී මාර්ග පද්ධතිය පුළුල් කිරීම, තොරතුරැ තාක්ෂණ ව්‍යාපාර, නාගරික සංවර්ධනය, ආහාර සුරක්ෂිතතාව වර්ධනය කළ යුතුයි. දැනුම පදනම් කරගත් ආර්ථිකයකටයි අපේ මුල්තැන.

ප්‍රශ්නය:- ඔබේ ප්‍රධාන විෂයයක් වන ජාතික ආරක්ෂාව බිඳවැටී ඇති බවට චෝදනා නැගෙනව?
පිළිතුර:- ජාතික ආරක්ෂාව තහවුරු කිරීමයි රජයක මූලික වගකීම. අපි ඒක කළා. එහෙම කළ අපට රණවිරුවන්ට ලැබුණෙ චෝදනා පත්තර පමණයි. දැන් ජාතික ආරක්ෂාව දුර්වල වෙලා. ආර්ථිකයක් නැහැ. ආර්ථිකය කඩාවැටිලා කියලා මහ බැංකුවම කියනවා. ආර්ථිකය කඩාවැටිලා කියලා පුංචි දරුවෙක් වුණත් දන්නවා ඒක.

ප්‍රශ්නය:- ඔබ සඳහන් කරන මෙම කාරණා ඇතුළත් කිසියම් සංවර්ධන සැලසුමක් ඔබ සතුව තිබෙනවද?
පිළිතුර:- පසුගිය අවුරුදු ගණනක් තිස්සේ අපි හදපු සැලසුමක් තිබෙනවා... ඒක හදන්න අපි ගම සමඟ පිළිසඳර තුළින් ජනතාව එක්ක සංවාදයක් කළා. උගතුන් හා අත්දැකීම් බහුල අය සමඟ සාකච්ඡා කළා. මම පුංචි දරැවෙකුගෙන් වුණත් නොදන්නදේ දැනගන්න සූදානම් කෙනෙක්.

ප්‍රශ්නය:- ඔබ මෙතෙක් දේශපාලන තනතුරු දරා නැහැ. නමුත් ඔබට කටයුතු කරන්නට සිදු වන්නේ පළපුරුදු දේශපාලනඥයන් පිරිසක් සමඟයි... ඒ අයත් සමඟ මේ දේශපාලන ගනුදෙනුව බේරගන්න පුළුවන් වෙයි කියල හිතනවද?
පිළිතුර:- ඔව්.... සැලසුම හා ප්‍රතිපත්ති මම අනුගමනය කරනව නම් ඇයි අනෙක් අයට බැරි. දැන් මම කියලා තිබෙනවා පළමු අවුරුදු තුනක කාලය තුළ මැති ඇමැතිවරුන්ට වාහන හා අලුත් කාර්යාල ගැන ඉල්ලීම් කරන්න එපා කියලා. අපි ඉන්නෙ දුර්වල තැනක. ඒ නිසා එතුමන්ලා මට සහාය දෙන්න ඕන මේ රට ගොඩගන්න. රජයේ වියදමින් සෑහෙන කොටසක් වාහන හා කාර්යාල කුලී ගෙවන්න වැයවෙනවා....

ප්‍රශ්නය:- ඔබලාගේ රජයේ ඇතමුන්ටත් ඒ වගේම මේ රජයටත් චෝදනා එල්ල වූ කරුණක් තමයි මිලදී ගැනීම් හා ටෙන්ඩර් ආදියේදී නොයෙක් දූෂණ වංචා සිදුවූ බවට. ඒවා වළක්වාගන්න වැඩපිළිවෙළක් තිබෙනවද?
පිළිතුර:- ඔව්. අපි හඳුනාගත්ත ක්ෂේත්‍ර ගණනාවක් තිබෙනවා. ඖෂධ මිලට ගැනීම ඉන්ධන මිලට ගැනීම. විදුලිය මිලට ගැනීම වගේ මිලදී ගැනීම් මාර්ග සංවර්ධනය, ජල සම්පාදන ව්‍යාපාති වගේ දේවලට ඉදිරිපත් වන ටෙන්ඩර යනාදිය ජාත්‍යන්තර ප්‍රමිතියට යටත් කරනවා. ප්‍රසම්පාදන නැත්නම් මිලදී ගැනීමේ ක්‍රියාවලිය පූර්ණ ස්වාධීන තත්ත්වයට ගේනවා. ඒව හරියට පාලනය කළොත් වංචා දූෂණ රටින් තුරන් කිරීමටත් විනයගරුක සමාජයක් බිහිකරන්නටත් හැකියාව ලැබෙනවා.

ප්‍රශ්නය:- ආර්ථිකයේ තිබෙන සසල බව හා අවිනිශ්චිත බව තුරන් කරන්නට කළ යුතු දේ කුමක්ද?
පිළිතුර:- පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ රටේ ජාතික ආරක්ෂාව බරපතල ප්‍රශ්නයක් බවට පත්වුණා. ඒ ආරක්ෂක හිදැස නිසා ආර්ථිකයේ අවිනිශ්චිතතාවයක් හටගත්තා.... සංචාරක ආදායම් එහෙම අඩුවුණා. ආයෝජකයො බයවුණා. ඒ නිසා මම හොඳින් දන්නා විෂය ජාතික ආරක්ෂාව තහවුරැ කරන්නට ඉතාම ප්‍රායෝගික සැලසුමක් සදා තිබෙන බව කියන්න ඕන.

ප්‍රශ්නය:- ඔබත් කිසිදු අවස්ථාවක ඔබේ ප්‍රතිවාදී ජනාධිපති ධුර අපේක්ෂකතුමා ගැන කතා කරනවා මම දැකලා නැහැ. ඔහුගේ ප්‍රතිපත්ති ගැන ඔබට කිවහැක්කේ කුමක්ද?
පිළිතුර:- මා මේ අපේක්ෂකත්වය ගත්තේ කවුරුවත් විවේචනයට නොවෙයි. මට කියන්නට තිබෙන්නේ මගේ වැඩපිළිවෙළයි. ඉතාම සරලව ලුහුඩින් කිව්වොත් රජයේ වේදිකාවෙන් කියැවෙන දේ කෙසේ වෙතත් මා ඉදිරිපත් කර තිබෙන සහන බදු යෝජනා හා සෙසු වැඩසටහන් ඉතාම පහසුවෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් බව කියන්න ඕනෑ.... මම ලබාදී තිෙබන්නේ ක්‍රියාත්මක කළ හැකි පොරාන්දු පමණයි.

ප්‍රශ්නය:- අපි කොපමණ ප්‍රතිපත්ති ගැන කතා කළත් රටේ දිළිඳු දුගී දුප්පත් ජනතාව ජීවන වියදම් බරින් මිරිකිලා... ඒ අයට ඇඟට දැනෙන දෙයක් කරන්න සැලසුම් කරලා තිබෙනවද?
පිළිතුර:- ඔව්. ඔබ හරි. දුගී දුප්පත් ජනතාව එදාවේල හරි හම්බ කරගන්නෙ ඉතාම අමාරුවෙන්. අපි ඒ අයට නිතිපතා අත්‍යවශ්‍ය වන භාණ්ඩ වර්ග 10ක් හඳුනාගෙන තිබෙනවා.... හාල්, කිරිපිටි, සීනි, පරිප්පු, අල, ලූනු, මිරිස්, කරවල, තේ කොළ වගේ අන්න ඒ භාණ්ඩ ටික දැනට වඩා අඩු දරාගත හැකි මිලකට සපයන්න ක්‍රමවේදයක් හරිගස්සලා තියෙනවා. ඒවා ගැන අපේ ආණ්ඩුවේ ආර්ථික වගකීම් දරන්න ඉන්න නිලධාරී පිරිස් සමඟත් සාකච්ඡා කරලා හමාරයි.

ප්‍රශ්නය:- ඔබ දුගී දුප්පත් ජනතාවට සහන සලසන්නේ ආහාර සඳහා පමණද?
පිළිතුර:- අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවන්න.... ජනතාවට අත්‍යවශ්‍ය තවත් නොයෙක් දේට අපි සහන සලසනවා. ඉන්ධන මිල සූත්‍රය අහෝසි කරලා දාන්න තීන්දුවක් ගත්තා. දුරකතන බිලට සීයට පනහක සහනයක් දෙනවා. විදුලිය හා ප්‍රමිතියක් ඇති ඖෂධ දැනට වඩා සාධාරණ මිලකට දෙන්න සූදානම්. සියයට පහළොවක වැට් බද්ද සියයට අටට ගෙනත් ජාතිය ගොඩනැගීමේ බද්ද අහෝසි කරනවා. රටේ සෑම භාණ්ඩ හා සේවාවකම මිල ගණන් අඩුවෙන්න ඒවා බලපානවා.... දේශීය වෙළෙඳපොළ ඉලක්ක කරගත් ඇඟලුම් නිෂ්පාදනය වැඩි කරනවා. එතකොට ඇඳුම් පැළඳුම්වල මිල අඩුවේවි...

ප්‍රශ්නය:- වතුකර වැඩකරන ජනතාවට ඔබ දෛනික වැටුප ලෙස රුපියල් 1000/-ක් දෙන්න යෝජනා කරද්දී ඔබේ ප්‍රතිවාදී අපේක්ෂකතුමා රු.1500/- දෙන්න යෝජනා කළා. මොකද්ද ඔබ සැබැවින්ම කරන්නෙ?
පිළිතුර:- රටේ තිබෙන ආර්ථික තත්ත්වයේ හැටියට අපට දෙන්න පුළුවන් රු.1000/- පමණයි. ඒක මම දෙනවා. ඒ අය ඉතාම දුකෙන් ඉන්න ජනතාවක්. ඔවුන්ගේ සෙසු සමාජ හා අධ්‍යාපන සෞඛ්‍ය ප්‍රශ්නවලට මැදිහත් වෙනවා.

ප්‍රශ්නය:- මේ සහන සමඟ ජාතික සංවර්ධනය තුලනය කරලා සමබර කරන්න පවත්නා දේශපාලන ආර්ථික වාතාවරණය ඔබට උදව් කරාවිද?
පිළිතුර:- ඇයි නැත්තෙ.... අපි කරන්නෙ හොඳ යහපත් දේ. ඒකට කාටවත් උදව් නොකර ඉන්න බැහැ....

ප්‍රශ්නය:- ඔබ මේ ඉදිරිපත් කරන ප්‍රතිපත්තිවල වගකීම දරන්නේ කවුද?
පිළිතුර:- මමයි වගකීම දරන්නේ. ඒකයි මා කියන්නෙ මා කෙරේ විශ්වාසය තබන්න කියලා... මේ ප්‍රතිපත්ති මාලාව එහෙන් මෙහෙන් කරුණු අහුලගෙන සකස් කළ එකක් නෙවෙයි. විශේෂඥ උපදෙස් මත සකස් කළ වෘත්තීය මට්ටමේ එකක්... දේශපාලනඥයන්ගෙන් මහින්ද ජනාධිපතිතුමා ඇතුළු පිරිස අපට උදව් දෙනවා. ජනාධිපතිවරයා වශයෙන් මේ කියන සියලු දේ ගැනම වගකීම මම දරන බව නැවතත් කියනවා...

ප්‍රශ්නය:- ඔබ ජන්ද වේදිකාවේදී කිසිවෙක් විවේචනය නොකළාට සෙසු වේදිකාවලින් ඔබට එල්ල වන්නේ දරුණු විවේචන... ඇයි ඒවාට උත්තර දෙන්න යන්නෙ නැත්තෙ?
පිළිතුර:- මම මෙතෙන්දි මතක් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයයි. උන්වහන්සේගේ දේශනාව අනුව යමෙක් මා ගැන කොතරම් සැරපරුෂ ලෙස විවේචනය කළත් ඒ විවේචන මා භාරගන්නේ නැත්නම් නැවත විවේචනය කරන පුද්ගලයාටම ඒවා භාරගන්නට සිදුවෙනවා... ඒකයි මගේ ප්‍රතිපත්තිය. මා මෙරට දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් කාර්යබහුල වී සිටියදී ඔවැනි දේට මිඩංගු කරන්න මට කාලයකුත් නැහැ. ඊට වඩා මට බොහෝ ප්‍රයෝජනවත් වැඩ තිබෙනවා කරන්න.

► සටහන - සංජීවිකා සමරතුංග

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30