2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා

බැනර්, පෝස්ටර් නැති ඡන්ද

 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 70

මේ දවස්වල රටේ ජනතාව ඉන්නේ මාර ආතල් එකේය. ජනාධිපතිවරණ වේදිකාවල දිගහැරෙන ඇඟකිලිපොලායන පොරොන්දු හේතුවෙන් මේ තත්ත්වය උදාවී තිබේ. මේ ආතල් පොරොන්දු අතරේ හැබෑවටම රටේ ජනතාවගේ අවධානයට ලක්විය යුතු ඒවා ද තිබෙන බවත් සඳහන් කළ යුතුය. නැතහොත් එය අඩුපාඩුවකි. එහෙත් බොහොමයක් පොරොන්දු සුරංගනා කතාවලට දෙවැනි නැත. ජනාධිපතිවරණ වේදිකා දෙදරවමින් ලබාදෙන පොරොන්දුවලින් මන්මත්ව සිටින ජනතාවට හැම අවුරැද්දකම මේ වගේ ඡන්දය තිබෙනවා නම් කොතරම් හොඳදැයි සිතෙන්නට ද ඉඩ තිබේ. ලබාදෙන පොරොන්දු එතරම් ආකර්ශනීය බවක් පෙන්වයි.

කෙසේවුවද ජනාධිපතිවරණයේ පොරොන්දු පැත්ත එසේ වනවිට රටේ සියලු දෙනාටම හැබෑවටම සතුටු වියහැකි යහපත් වර්ධනයක් ද තිබෙන බව ඒ සමඟ පෙන්වා දිය යුතුය. පෝස්ටර්, බැනර්, කටවුට්වලින් බොහෝදුරට තොරවූ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් අප හමුවේ ප්‍රදර්ශනය වීමය. ඒවා නැතුවාම නොවේ. එහෙත් ඡන්ද රුස්වීම් පැවැත්වෙන ප්‍රදේශයක සහ ඡන්ද කාර්යාල තිබෙන ස්ථානවල හැර පෝස්ටර්, බැනර්, කටවුට් දකින්න ඇත්තේ මඳ වශයෙනි. ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයෙන් සිදුකෙරෙන මහා ගෝරනාඩු ද අඩුය. මෙය ඉතා යහපත් ප්‍රවණතාවකි. ජනතාවට ද විශාල අස්වැසිල්ලකි.

ඡන්දයකදී ප්‍රචාරක ව්‍යාපාර සඳහා අතදිගහැර වියදම් කරන අපේක්ෂකයෝ වෙති. අපේක්ෂකයන් සිය පෞද්ගලික මුදල් මේ සඳහා වැය නොකළ ද ඔවුන් වෙනුවෙන් සල්ලි විසිකිරීමට සූදානම් ආධාරකරැවන් සිටින විට පෝස්ටර්, බැනර්, කටවුට් වැසි වසින්න පටන් නගී. මහමැතිවරණයකදී නම් මනාප සටන හේතුවෙන්ද ජනාධිපතිවරණයක් නම් ප්‍රතිරෑපය පුම්බාගැනීම සඳහා ද ඒවා භාවිතයට ගැනෙයි. මෙය පැහැදිලිවම ඡන්ද නීති උල්ලංඝනය කිරීමකි. මේ පිළිබඳව මීට පෙර මැතිවරණ කොමසාරිස්වරුන් විසින් ප්‍රධාන පක්ෂවලත් අපේක්ෂකයන්ගේත් අවධානය යොමු කළද පලක් වූයේ නැත. පසුගිය වසර 20ක පමණ කාලයක් තුළ පැවැති මැතිවරණ ව්‍යාපාරවල ස්වභාවය සැලකිල්ලට ගත්තොත් මෙහි යථා තත්ත්වය පිළිබඳව පැහැදිලි හැඟීමක් ඇතිකරගත හැකිවනු ඇත. එහෙත් මැතිවරණ කොමසාරිස් ධුරය ස්වාධීන කොමිෂන් සභාවක් හරහා මැතිවරණ කොමිසමේ සභාපති බවට වෙනස් කරනු ලැබීමෙන් පසුව පැවැත්වෙන ප්‍රථම ජනාධිපතිවරණයේ ඒ සම්බන්ධයෙන් පැහැදිලිවම යහපත් වෙනසක් පෙන්වා තිබෙන බව කිව යුතුය.

එම වෙනසට අනුව මෙවර මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළින් පොස්ටර්, බැනර්, කටවුට් සම්ප්‍රදාය ගිලිහී ගොස් තිබේ. එහි නීතිමය තත්ත්වය කෙසේ වුවත් රටේ මහජනතාවට නම් විශාල සහනයකි. එසේම මැතිවරණය පැවැත්වෙන්නේ කිසියම් නීති පද්ධතියකට යටත්ව නම් එකී නීතිවලට පටහැණිව යමින් පෝස්ටර්, බැනර්, කටවුට් ප්‍රදර්ශනය කිරීම නොකළ යුතුය. එය විපක්ෂයට පමණක් නොව ආණ්ඩුව පක්ෂයට ද එකසේ ක්‍රියාත්මක විය යුතුය. මෙවර සිදුවී ඇත්තේ එයයි.

පෝස්ටර්, බැනර්, කටවුට් නැති මැතිවරණ ව්‍යාපාරයක් පිළිබඳව මේ රටේ පුරෝගාමී කාර්යභාරයක් ඉටුකළේ වත්මන් කථානායක කරු ජයසූරිය මහතාය. ඔහු මේ සටන මීට වසර 22කට පෙර අරඹා තිබුණේ 1997දී කොළඹ මහනගර සභා ඡන්දයට ඉදිරිපත් වූ අවස්ථාවේ සිටය. ඉන්පසුව මිලින්ද මොරගොඩ මහතාද එම වෑයමට උරදී තිබිණි. එහෙත් බොහෝ දෙනෙක් එය පිළිපැදීමට ක්‍රියානොකළහ. මෙවර ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම එම ක්‍රමය පිළිගෙන ඒ අනුව කටයුතු කිරීම පිළිබඳව තමා සතුටු වන බව සඳහන් කරමින් කථානායකවරයා පසුගියදා ප්‍රකාශයක් නිකුත් කර තිබිණි. දැන් අවශ්‍යව ඇත්තේ ඉදිරියට ද මේ තත්ත්වයම පවත්වාගෙන යාමට සියලුම දේශපාලන පක්ෂ නායකයන් විසින් සහාය ලබාදීමය. ජනාධිපතිවරණයට පසුව මාස කිහිපයක් ඇතුළත එළඹෙන මහා මැතිවරණය මෙය පරීක්ෂා කර බැලීම සඳහා හොඳ අවස්ථාවකි. ඒ කඩඉම පැනගත්තොත් ඉදිරි කාලය තුළදී බැනර්, පෝස්ටර්, කටවුට්වලින් තොර මැතිවරණ පවත්වා ගැනීම අසීරු නොවනු ඇත.

බැනර්, කටවුට් ප්‍රශ්නය හැර මෙහිදී මතුවන තවත් ගැටලුවක් ද තිබේ. එනම් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයන්ගේ සංඛ්‍යාව ඉහළ යාමයි. එයද ප්‍රශ්නයක් පමණක් නොව විහිළුවක් වන තරමට දුරදිග යමින් පවතී. මෙවර 35 දෙනෙකි. එනම් පසුගිය වතාවට වඩා (19) දෙගුණයකින් ඉහළ යාමකි. ඊළඟ ජනාධිපතිවරණයේදී මෙවර සංඛ්‍යාව දෙගුණයක් වුවහොත් ඡන්ද පත්‍රිකාව ලෝකවාර්තාවක් වන තරමට දිගු වීම වැළැක්විය නොහැකිවනු ඇත. මැතිවරණ වියදම් පවා දෙගුණයකින් ඉහළ යාම්ද එවැනි තත්ත්වයකදී බලාපොරොත්තු විය යුතුය. එය අප වැනි කුඩා රටකට ඔරොත්තු නොදෙන තත්ත්වයකි.

බැනර්, පෝස්ටර්, කටවුට් නැති ඡන්ද ව්‍යාපාරයකින් ද අපේක්ෂකයන් අවශ්‍යම සංඛ්‍යාවක් පමණක් ඉදිරිපත් වන ජනාධිපතිවරණයකින් ද රටට ලැබෙන්නේ යහපත් ආදර්ශයකි. මේ සියලු කටයුතු කෙරෙන්නේ තමන්ගේ පෞද්ගලික සුඛවිහරණයට නොව රටේ යහපතට බව වටහා ගෙන ක්‍රියාකළ හැකිනම් එම ආදර්ශය දිගටම පවත්වාගෙන යා හැකිවනු ඇත. වඩාත් වැදගත් වන්නේ මෙවර ඉදිරියට තැබූ බැනර්, පෝස්ටර්, කටවුට් නැති ජනාධිපතිවරණයේ ආදර්ශය යළි ආපස්සට හැරවීමට අනාගතයේදී ඉඩක් ලබානොදීමය.