2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 103

සුළු ජාතික ඡන්දයේ බලපෑම

යූ.එන්.පී. ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් සජිත් නම් කරනු ලැබිමෙන් පසුව ගෝඨාභය සහ සජිත් අතර ජනාධිපතිවරණ සටනින් ජයග්‍රහණය හිමිකර ගන්නා අපේක්ෂකයා පිළිබඳව සුප්‍රකට දේශපාලන විචාරකයකු වූ කුසල් පෙරේරා පසුගියදා විග්‍රහයක් කර තිබිණි. ගෝඨාභයට එරෙහි පුරවැසිභාවය පිළිබඳ නඩු විභාගය ආරම්භ කිරීමට පෙර මේ විග්‍රහය පළ වූයේ ඩේලි මිරර් පුවත්පතේය.

2015 ජනාධිපතිවරණයේ දී ඡන්දය පාවිච්චි කිරීමේ ප්‍රතිශතය 81.5%ක් විය. එය මිලියන 12.3කි. දකුණේ සිංහල නායකයන් කෙරෙහි මේ වන විට උතුරැ සහ නැගෙනහිර ජනතාව තුළ කලකිරීමක්, එපාවීමක් සහ කෝපවීමක් පුළුල් ලෙස පැතිරී තිබේ. රාජපක්ෂට එරෙහිව එක පොකුරට ඡන්දය භාවිත කළ ද වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් යහපාලන ආණ්ඩුව තමන් මුළුමනින්ම රැවටීමකට ලක් කළ බව ඔවුන්ගේ මතයයි. රාජපක්ෂ බලයෙන් පහකිරීමෙන් පසුව පශ්චාත් යුද සමයට අදාළව තමන්ට යම් තරමකට හෝ සෑහීමකට පත්විය හැකි විසඳුම් ලැබෙනු ඇති බවට ඔවුහු බලාපොරොත්තු වූහ. ජනවාර්ගික - ආගමික සාමය පතා ඡන්දය භාවිත කළ මුස්ලිම් ප්‍රජාවගේ බලාපොරොත්තු දරුණු ලෙස බිඳ වැටිණි. ටී.එන්.ඒ. සහ මුස්ලිම් දේශපාලන නායකයන් යූ.එන්.පී. නායකත්වය සමඟ කුමන එකඟතාවකට එළඹුණත් මෙවර ඡන්දපොළට යාමට තරම් හේතුවක් සුළු ජාතික ඡන්දදායකයන්ට නැත.

නාගරික සහ අර්ධ නාගරික ජීවත්වන්නන් අතර ද කලකිරීමේ හැඟීම් පවතී. 2015 දී යහපාලන වෙනස සඳහා තදින්ම කෑකෝ ගැසූ කොළඹ සමාජයේ විද්වත් පිරිසක් ජවිපෙ වේදිකාවට ගොඩවී සිටිති. ඔවුන් 2015 කැම්පේන් එකට එකතු වී සිටියේ පුරවැසි නියෝජිතයන් වශයෙනි.

මේ නිසා එළඹෙන නොවැම්බර් ජනාධිපතිවරණයේ දී ඡන්ද දායකයන්ගේ අඩුවීමක් බලාපොරොත්තු විය යුතුය. මෙවර ද්විත්ව පුරවැසියන් ද සමඟ මිලියන 15.5ක් ලියාපදිංචි ඡන්ද දායකයෝ වෙති. මේ අතරින් උතුරැ සහ නැගෙනහිර සැලකිය යුතු පිරිසක් ඡන්දය දීමෙන් වැළකෙනු ඇත. මුස්ලිම් ප්‍රජාව ද 2015 ජනවාරියේ දී මෙන් පෝලිම් ගැසී ඡන්දය දැමීමට යාමට තරම් කරදර නොවනු ඇත. ඒ සමඟම නාගරිකව ද අඩුවනු ඇතැයි සැලකිය හැකි ඡන්ද ප්‍රමාණය ද සමඟ භාවිත වන ඡන්ද ප්‍රතිශතය 75%කට වඩා අඩුවනු ඇත. එය ආසන්නව මිලියන 11.6කි. ඒ අතුරින් 74%ක ප්‍රතිශතයක් එනම් මිලියන 8.6ක් සිංහල ඡන්දයි. එයින් 70%ක් එනම් මිලියන 6.02ක් සිංහල බෞද්ධ වෙයි. මේ සිංහල බෞද්ධ ඡන්ද ප්‍රමාණය ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර බෙදී යනු ඇත. අඩු ප්‍රමාණයක් ජවිපෙ අනුර කුමාරට ද ලැබෙනු ඇත. ඉතිරි මිලියන 2.58න් සිංහල කතෝලික සහ සිංහල ක්‍රිස්තියානි ඡන්ද බහුතරය යූ.එන්.පී. අපේක්ෂකයාට ලැබීමට ඉඩ ඇත. ජයග්‍රාහී අපේක්ෂකයා භාවිත වන සම්පූර්ණ ඡන්ද සංඛ්‍යාව විය හැකි මිලියන 11.6න් මිලියන 5.8 ක් ලබාගත යුතු වෙයි. කුමන අපේක්ෂකයකුට වුවද සිංහල බෞද්ධ ඡන්ද දායක මිලියන 6.02න් පමණක් මිලියන 5.8ක් ලබාගැනීම අසීරැය. එසේම සිංහල බෞද්ධ නොවන මිලියන 2.58 ද එක් අපේක්ෂකයකුට පමණක් ලැබෙන්නේ නැත.

මේ අනුව යළිත් වරක් පෙනෙන්නට තිබෙන්නේ රටේ සිංහල - බෞද්ධ ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීමේ තීරණාත්මක ඡන්දය වනු ඇත්තේ සුළු ජාතික ඡන්ද බවයි.

ඩේලි මිරර්