2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

ඒ වර්ජනත් මේ වර්ජනත් හැර තවත් වර්ජන තිබේද?

 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 37

මුළු රටම නොවැම්බර් ජනාධිපතිවරණයෙන් උණුසුම් වෙමින් තිබේ. සියලු ප්‍රධාන දේශපාලන පක්ෂ පමණක් නොව අලුතින් බිහිවුණු විවිධ සන්ධාන හරහා ද අපේක්ෂකයෝ ඇපබඳිමින් සිටිති. මැතිවරණ කොමිසම උපරිම සූදානමක පසුවන බවට සියලු ලකුණු පහළ වෙයි. මෙසේ සිදුවන අතරවාරයේ දිනපතා දුම්රියෙන් ගමන් ගන්නා ලක්ෂ ගණනාවක් ජනතාව මහමඟ දුක් විඳිති. ඒ සති දෙකකට ආසන්න කාලයක් තිස්සේ පවතින දුම්රිය වර්ජනය හේතුවෙනි. තමන්ට බලපාන සේවා ගැටලුවලට විසඳුමක් නොලැබුණොත් 05 වැනිදා සිට සියලු රාජකාරිවලින් ඉවත් වන බව ආගමනවිගමන නිලධාරීහු කියති. එම වර්ජනය ක්‍රියාත්මක වූවොත් මෙරට සියලු වරාය සහ ගුවන් තොටුපළවල කිසිදු වැඩක් නොකෙරෙනු ඇත. ඒ සමඟ එය පැයකට කෝටි ගාණක ආදායමක් රටට අහිමි කරවනු ඇත.

ඒ වර්ජනත් මේ වර්ජනත් හැර තවත් වර්ජන තිබේද යනුවෙන් ප්‍රශ්න කළ යුතු තැනකට රටම තල්ලුවෙමින් සිටී. සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයක් හෝ මහාමැතිවරණයක් හෝ ආසන්න කලාසීමාවේ මෙවැනි වර්ජන තර්ජන ඇතිවීම වෙනත් රටවලට කෙසේ වෙතත් අපේ රටට නම් අමුත්තක් නොවේ. එහෙත් මෙවර පෙනීයන්නේ වැඩවර්ජකයන් සමඟ රජය කඹ ඇඳිල්ලක යෙදී සිටින බවකි. දුම්රිය වැඩවර්ජනයට නම් මොන ඉන්ජක්ෂන් එකක් දුන්නත් හරි නොයන බව පෙනෙන්නට තිබෙන්නේ ඒ හේතුවෙනි.

ආණ්ඩුවේ විධායක පාර්ශ්වය මගින් දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් බවට ප්‍රකාශ කරමින් අතිවිශේෂ ගැසට්ටුවක් ප්‍රකාශයට පත්කරන විට ආණ්ඩුවේ ව්‍යවස්ථාදායක පාර්ශ්වය නියෝජනය කරමින් මුදල් ඇමැති මංගල සමරවීර ප්‍රකාශ කර ඇත්තේ වර්ජනය පොහොට්ටුවේ වැඩක් බවත් දුම්රිය සේවක ඉල්ලීම් ඉතා අසාධාරණ හා දේශපාලනික ඒවා හෙයින් ඒවාට විසඳුම් දිය නොහැකි බවත්ය. දුම්රිය වර්ජකයන් නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයකු ප්‍රකාශ කර තිබුණේ රජය තමන්ට සාකච්ඡාවක් නුදුන් බැවින් වර්ජනය තවදුරටත් කරගෙන යන බවය. හොඳ වෙලාවට දුම්රිය මගීන් නියෝජනය කරන පොදු සමිතියක් නැත. තිබුණා නම් ඉහත කී පාර්ශ්ව තුනම ගැන හොඳට ලුණු ඇඹුල් ඇතුව අසාගන්නට හැකියාව තිබිණි. ඒවා පුවත්පතක පළකිරීමට පවා නොහැකිවනු ඇති බව නම් සහතිකය. ඒ බව මේ දවස්වල කෝච්චි ස්ටේෂන් පැත්තේ යන ඕනෑම කෙනකුට වටහා ගැනීම අසීරු නැත.

මේවා විහිළුවට කරැණු නොවේ. රටේම සිටින දුම්රිය මගීන්ට යාමට ඒමට දුම්රිය නැතිවිට ඔවුන්ගෙන් බොහෝ දෙනකුට සිදුවන්නේ එක්කෝ වැඩට නෑවිත් සිටීමටය. නැතහොත් කෝච්චි සීසන් එක සාක්කුවේ දමාගෙන අතින් සල්ලි දී බස් එකෙන් වැඩට පැමිණීමටය. මෙය කොළඹ හා අවට මගීන්ට ලොකු ප්‍රශ්නයක් නොවුණත් ඈත පළාතක සිටින මගියකුට වැඩට පැමිණීමට බස් ඇතුළු ගමන් ගාස්තුව එකදිනකට රැපියල් සියගණනක් වීම වැළැක්විය නොහැක. දුම්රිය නිලධාරීන්ට සහ සේවකයන්ට වඩා සංසන්දනාත්මකව අඩු පඩියක් ලබන බහුතරයක් සේවකයන්ට එලෙස වැය කිරීමට මුදල් නැත. ඔවුන්ට සිදුවන්නේ ආණ්ඩුවේත් දුම්රිය සේවයේත් සියලු දෙනාටම පට්ට කතාවෙන් බැණවැදෙමින් නිවෙස්වලට සිටීම පමණි. මේ බව ආණ්ඩුවේ බලධාරීන්ට කවදාවත් තේරෙන්නේ නැත. එහි අමාරැව තේරැම් ගන්නට නම් කෝච්චි 10ක සෙනඟ එක කෝච්චියක පටවා ගෙන යන ගමනට ඔවුන්ද එකතු වියයුතුය. කෝච්චියෙන් බසින විට ඔවුන්ගේ ඇඟේ රෙද්දවත් ඉතිරි වී තිබුණොත් පුදුමය.

කෝච්චි ප්‍රශ්නය පමණක් නොවේ. ඒ හේතුවෙන් රාජ්‍ය තන්ත්‍රයේම වැඩ අඩපණවී තිබෙන බව සැබෑවයි. ප්‍රමාදව පැමිණීමේත් වේලාසනින් පිටව යාමේත් වගකීම කෝච්චි වර්ජනය පිට පැටවෙන විට කාර්යාලවල වැඩ අඩපණ වීම බලාපොරොත්තු විය යුතුය. එය රටටම පාඩුවකි. ඒ දුම්රියෙන් දිනපතා ලැබෙන ආදායම අහිමි වීමට අමතරවය. ඒ හැර තවත් වර්ජන ගණනාවක්ම ක්‍රියාත්මකය. තවත් කිහිපයක් නවතා ඇත්තේ තාවකාලිකවය. ඉල්ලීම්වලට විසඳුම් නැත්නම් අපි ස්ට්‍රයික් ඔවුන්ගේ සටන් පාඨය බවට පත්ව තිබේ. සරසවිවල අනධ්‍යන සේවක වර්ජනයට දැන් සෑහෙන කලක් ගතවී තිබේ. පරිපාලන නිලධාරීහු තාවකාලිකව වැඩ කරමින් සිටිති. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රතු එළි පත්තු කරමින් සේවයේ යෙදී සිටී. සෞඛ්‍ය සේවකයෝ පැය 04ක සංකේත වර්ජනයක් කර ඉල්ලීම් 10ත් 08ක් දිනාගත් බව පවසා යළි සේවය කරති. මේ දැනට රටේ පවතින තත්ත්වයයි. 

සියලු වැඩවර්ජනවල මූලික ඉල්ලීම වැටුප් විෂමතා දුරැකිරීම බව පෙනේ. ඊටම ඈඳා තවත් ඉල්ලීම් බොහොමයක් තිබුණත් සුද්ධ සිංහලෙන් කියනවා නම් ඔවුන් කියන්නේ පඩි වැඩිකර දියයුතු බවය. පඩි හෝ වෙනත් වෘත්තීය ප්‍රශ්න මුල්කර ගනිමින් වැඩවර්ජනය කිරීම සියලුම වෘත්තීය සමිතිවල අයිතියකි. ඒ අයිතියට අපි හිස නමමු. එහෙත් මැතිවරණ ආසන්නයේ හතුපිපෙන්නාක් මෙන් පැනනගින වැඩවර්ජන සහ උද්ඝෝෂණ පිටුපස දේශපාලනය ඈඳී තිබෙන බව පොදු පිළිගැනීමය. රටටම සංවේදී වූ ආබාධිත රණවිරැවන් පිරිසකගේ උද්ඝෝෂණය හා උපවාසය නිම වූයේ දේශපාලන මැදිහත්කමකිනි. එසේම දුම්රිය සහ විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වැඩවර්ජන ඉල්ලීම් ඇතැම් ඒවා වසර 10කට 15කට පෙර සිදුකෙරුණු වැටුප් වැඩි කිරීම්වලට අදාළ ඒවාය. විශේෂයෙන් දුම්රිය සේවයේ ඇතැම් ඉල්ලීම් රටේ ලක්ෂ ගණනක් ජනතාවගේ ගෙල සිරකරන තරම් අත්‍යවශ්‍ය විසඳුම් ලැබිය යුතු ඒවාද යන්න විවාදාත්මකය. සාමාන්‍ය රජයේ සේවකයන්ට වඩා ඉහළ වැටුප් ලබන දුම්රිය නිලධාරීන්ට මේ තරමට දරදඬුවීමට සාධාරණ හේතුවක් ඇතැයි බැලූ බැල්මට පෙනෙන්නේ නැත.

තවත් අතකින් කිවයුත්තේ ආණ්ඩුව තෝරාගත් තමන්ට අවශ්‍ය රාජ්‍ය ආයතන කිහිපයකට අත දිගහැර සිදුකළ පඩි වැඩිකිරීම සෙසු සියලු රාජ්‍ය නිලධාරීන් අවුස්සාගැනීමක් වී ඇති බවය. එයින් ආණ්ඩුව කළේ බරපතළ අසාධාරණයකි. එහෙත් ඒ හේතුවෙන් මුළු රටම කඩා වට්ටන සේ වැඩවර්ජනය කිරීම ද සාධාරණ නැත. කවුරුන් හෝ දේශපාලනඥයකු පැමිණ තැඹිලි පොවනතුරු සිදුකරන වෘත්තීය සටන් යට ඇත්තේ ආත්මාර්ථකාමී දේශපාලනයක් මිස වෙනත් කිසිවක් නොවේ.  

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30