2019 ජුලි 06 වන සෙනසුරාදා

කඩු-පොලු හරස් කර ගැනීම

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 162

වත්මන් ආණ්ඩුව 2015 ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරණය ජයගන්නේ යහපාලනය රට තුළ ස්ථාපිත කරන බවටත් රටේ ලොකුම හොරැන් අල්ලා නීතිය ඉදිරියට පමුණුවන බවටත් දුන් පොරොන්දුවලට අනුවය. මෙහෙම කිව්වත් එය ඒ හැටියටම ඉටුවන බවට විශ්වාසයක් මේ රටේ ජනතාවට නොතිබෙන්නට ඇත. මේ රටේ දේශපාලන නායකයන් මීට කලින් ලබාදුන් ඇතැම් විශාල පොරොන්දුවලට අත් වූ ඉරණම ඔවුන් දැක තිබූ බැවිනි. එහෙත් මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට දායකත්වය සැපයූ, පාර කපාදුන් පිරිස කෙරෙහි ජනතාව යම් පමණකට විශ්වාසය තබන්නට ඇත. එවැනි යම්කිසි විශ්වාසයක් හෝ තිබුණා නම් එය ද මේ වනවිට අහෝසි වී ඇති බවට සැකයක් නැත.

ආණ්ඩුවට වසර හතරහමාරක් ගතවීමෙන් පසුව ජනතාව දකින්නේ වේදිකාවල එදා පට්ට ගැසූ නමින් සඳහන් කළ එකම හොරකු හෝ නීතිය හමුවට පමුණුවා නැති බවය. එහෙන් මෙහෙන් ගැල්වනයිස් බටයක්, කැරම් බෝඩ් එකක්, ආණ්ඩුවේ කාර් එකක් වැනි සිල්ලර කරැණු සඳහන් කර කිහිපදෙනකුට එරෙහිව නඩු පවරා ඒවා සංදර්ශන බවට පත් කළත් ඒ සියල්ල තමන් රැවටීමට සිදු කළ උප්පරවැට්ටි හැටියට මිස සැබෑ උත්සාහයක් නොවන බව දැන් ජනතාව තේරැම් ගෙන සිටී. එම තේරුම්ගැනීමේ තරම පසුගිය වසරේ පෙබරවාරි 10 වැනිදා පුංචි ඡන්දයෙන් හොඳටම පැහැදිලි විය. බලයට ඒමට පෙර ආණ්ඩුව කියූ බරපතළ වංචාවලට වගකිව යුතු එකම පුද්ගලයකු හෝ අල්ලා නඩු පවරා දඬුවම් ලබාදීමක් සිදු වූයේ නැත.
හොරු හිරේ දමනවා වෙනුවට ජනතාව දැකගත්තේ අසාගත්තේ විවිධ ආයතන මගින් විවිධ පුද්ගලයන්ට එරෙහිව චෝදනා ගොනු කරන බවත් විමර්ශන සිදු කරන බවත් සාක්ෂි සටහන් කරගන්නා බවත් පමණි. ඒ නඩු වෙනුවෙන්ම විශේෂ ත්‍රි’පුද්ගල මහාධිකරණ පිහිටුවන බවද කියා තිබූ අතර ඒ එකක් පිහිටුවීම මාස කිහිපයකට උඩදී, එනම් ආණ්ඩුව බලයට පත් වී අවුරුදු හතරහමාරක් පමණ ගතවීමෙන් පසුව පියවර ගත් බව පෙනුණි. එහෙම පිහිට වූ විශේෂ අධිකරණවලට ද ඒ හා සම්බන්ධ නඩු කටයුතු ඉදිරියට ගෙනයාමට සංකීර්ණ නීතිමය බාධා තිබෙන බවද පසුව දැනගන්නට ලැබුණි. දැන් මෙය නොකෙරෙන දීගයක් බවට පත්ව තිබෙන බව තේරැම් ගැනීමට ජනතාවට අපහසු නැත.

හිටපු හොරැන් ඇල්ලීම කෙසේ වෙතත් අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ දේශපාලන වශයෙන් ප්‍රබල මතගැටුමට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවතින යහපාලන ආණ්ඩුව යටතේ සිදුවූ හොරකම් ගැන සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කළේය. එය මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ආණ්ඩුව ඇතුළේම කෙරැවාව සෙවීමට පත් කරන ලද දෙවැනි ජනාධිපති කොමිසමයි. පළමු එක වූයේ සුප්‍රකට මහබැංකු බැඳුම්කර වංචාව සොයාබැලීම සඳහා පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවයි. එහි වාර්තාව ජනාධිපතිවරයා අතට ගත් අතර එහි ප්‍රතිඵල පිටවෙද්දී ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකුව සිටි රවි කරැණානායකගේ ඇමැති පට්ටමද ගැලවී ගියේය. අලුත් කොමිසම මගින්ද සොයා බැලුවේ වත්මන් ආණ්ඩුවේ ඇමැතිවරැන්ගේ, මන්ත්‍රීවරැන්ගේ හා ආණ්ඩුවේ ඉහළ නිලධාරීන්ගේ වංචා, දූෂණ සම්බන්ධයෙන් ලැබී ඇති චෝදනා ගැනය.

ආණ්ඩුවේ වැරදි සොයාගැනීමට මෙවැනි කොමිෂන් සභා පත් කිරීම නීතියට එකඟය. එහි වැරැද්දක් නැත. ජනාධිපතිවරයා සතු බලතල අනුව ඔහුට එවැනි කොමිෂන් සභා පත්කර වාර්තා කැඳවා සුදුසු පියවර ගැනීමට හැකියාව තිබේ. එහෙම වුණත් ශ්‍රීලනිප නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ යූ.එන්.පී. නායක රනිල් වික්‍රමසිංහ අතර බරපතළ දේශපාලන මත ගැටුම් හට නොගත්තා නම් මෙවැනි කොමිෂන් සභා කවදාවත් පිහිටුවන්නේ නැත. ආණ්ඩුවක් ඉදිරි ගමනක යද්දී එහි කොතෙක් අඩුපාඩු, වැරදි, වංචා, දූෂණ සිදුවුවත් ඒවා ගැන සොයාබැලීමට කොමිෂන් සභා පත් කිරීමක් අතීතයේදී නම් සිදුවූයේ නැත. සාමාන්‍යයෙන් වෙන්නේ පසුගිය රජයේ වැරදි සොයා පිහිටුවන විවිධ වර්ගයේ කොමිෂන් සභා මගින් හිටපු මැති ඇමැතිවරැන්ට එරෙහිව නඩු දමා හැකිනම් හිරේ දැමීමය. මෙතැනදී සිදුවූයේ පසුගිය රජයේ වැරදි, වංචා, දූෂණ, හොරකම් සෙවීම පැත්තකට දමා පවතින ආණ්ඩුවේ වැරදි සෙවීමට කටයුතු කිරීමය. හිටපු ජනපති වත්මන් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මේ සිදුවීම් පෙළගැස්සීම රියල් කොමඩියක් හැටියට නොදකිනවා නම් පුදුමය. ඔහු මේවාට සිනාසෙනවා ඇත්තේ අත්පුඩි තලමින් විය යුතුය.

ජනාධිපතිවරයා තමන්ට ආණ්ඩුව කරගෙන යාමට ඉඩ නොදෙන බව ආණ්ඩුව කියන්නේ කාලයක සිටය. එහි යම් පමණක ඇත්තක් තිබෙන බව පැහැදිලිය. ආණ්ඩුව ගත් ඇතැම් තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේදී ජනාධිපතිවරයාගේ මැදිහත්වීම ආණ්ඩුව දැක්කේ බාධා කිරීමක් හැටියටය. එහෙත් මෙහිදී යූ.එන්.පී. ආණ්ඩුව අතින් ආරම්භයේදීම බරපතළ වැරුද්දක් සිදුවූ බව අමතක කළ නොහැක. එය යහපාලන ආණ්ඩුව පිහිටුවා මාස දෙකක් යාමටත් පෙර මෙරටේ සිදුවූ විශාලතම දූෂණයක් වශයෙන් හංවඩු ගැසී ඇති මහබැංකු වංචාවය. එයින් රටේ ආර්ථිකයට කෙටිකාලීන සහ දීර්ඝකාලීන වශයෙන් අඩුම තරමින් රැපියල් බිලියන 11කට අධික පාඩුවක් සිදුවූ බවට චෝදනා එල්ල විය.

හරියට බැලුවොත් යහපාලනයේ දෙදරීම පටන් ගත්තේ එම චෝදනාවද සමඟිනි. එහෙත් එය නිවැරදි කර ගැනීමට කටයුතු කරනවා වෙනුවට යූ.එන්.පී.ය තෝරාගත්තේ ජනාධිපතිවරයා සමඟ ගැටුමට යාමය. ඔහුට දැඩි පීඩනයක් එල්ල කොට තමන්ට අවශ්‍ය පරිදි කටයුතු කර ගැනීමට සුදුසු වටපිටාවක් සකසා ගැනීම යූ.එන්.පී.යේ අරමුණ වූවා නම් එය මේ වනවිට ඉතාම අවාසනාවන්ත ලෙස ආපසු කැරකී ඇති බව පැහැදිලිය. ආණ්ඩුවේ වසර හතරහමාර ගෙවෙන්නේ මේ පසුබිමේය.

ජනාධිපතිවරයාගේ ප්‍රබල විරෝධයට අද හේතු වී තිබෙන 19 වැනි ව්‍යවස්ථාවට අනුව සහ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදෙන ලද තීන්දුවට අනුකූලව මේ වසරේ දෙසැම්බර් 08 වැනිදා ජනාධිපතිගේ ධුර කාලය අවසන් වෙයි. ඊළඟට සිදුවිය යුතු වන්නේ ජනාධිපතිවරණය පැවැත්වීමට සඳහා වන නියෝගය ඔක්තෝබර් මාසයේ දවසක නිකුත් කිරීමය. වත්මන් ජනාධිපතිවරයා නැවත වතාවක් තරග නොකරන්නේ නම් ඔහුට ජනාධිපතිවරණය කලින් තැබීමට ව්‍යවස්ථාවට අනුව හැකියාවක් නැත. කෙසේ වුවද යහපාලනය සහ හොරු ඇල්ලීම පමණක් නොව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවටත් තමා ධුරය දරන්නේ එක් වතාවක් බවටත් පොරොන්දු වෙමින් 62 ලක්ෂයක ඡන්දයක් ලබාගත් සිරිසේන ජනාධිපතිවරයා මේ වනවිට කටයුතු කරමින් සිටින්නේ කිසිවකුටත් පූර්ව නිගමනයකට ඒමට ඉඩක් නොතබමිනි. රටේ පාලනය ජනාධිපතිවරණයට සූදානම් වීම පමණක් නොවන බව ජනාධිපතිවරයා තේරැම් ගෙන ඇති බවක් පෙනෙන්නට නැත. පොළොන්නරැවේ කටු ගෙවල් විවෘත කිරීම, එල්ලුම් ගහ පිළිබඳව විවිධ ප්‍රකාශ සිදුකරමින් එය මැතිවරණ ගුණ්ඩුවක තත්ත්වයට පත් කිරීම වැනි පියවර ගැනීමෙන් රටේ ඉදිරි ගමනට කිසිම ආකාරයකින් සහායක් නොලැබෙන බව ඕනෑ කෙනෙකුට අවබෝධ කර ගැනීම දුෂ්කර නැත.

මේ අතර ඊළඟ ජනාධිපතිවරණයේදී තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාම බව කියන ශ්‍රීලනිපය තමන් පොහොට්ටුව සමඟ එකඟතාවකට පැමිණි බව පසුගිය බ්‍රහස්පතින්දා (04) ප්‍රකාශ කළේය. මේ බව දැනුම් දෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ඉදිරි මැතිවරණවලදී එක්ව තරග කරන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ නමින් පොදු සන්ධානයක් යටතේ ඉදිරිපත් වීමට ශ්‍රීලනිපය හා පොහොට්ටුව අතර එකඟත්වයක් ඇතිකරගත් බවය. ජනාධිපති අපේක්ෂකයා ගැන මෙතෙක් පොදු සාකච්ඡාවලදී තීරණයක් නොගත් බව පැවසූ මහින්ද අමරවීර ශ්‍රීලනිපය දැනට තීරණය කර ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා තම අපේක්ෂකයා විය යුතු බවද කීය.
කෙසේ වුවද පොදු එකඟත්වයකට පැමිණීමට නොහැකි වී සාකච්ඡා අසාර්ථක වූවොත් ශ්‍රීලනිපය වෙනම තරග කරන බව ස්ථීර යැයිද එහි ප්‍රතිඵලය වනු ඇත්තේ වෙනත් අපේක්ෂකයකු ජයග්‍රහණය කිරීම යැයිද ඔහුගේ ප්‍රකාශයේ සඳහන් විය.

මේ සම්බන්ධයෙන් පොහොට්ටුව තවමත් කිසිදු මතයක් ප්‍රකාශ කර තිබුණේ නැත. පොදු සන්ධානයක කතාව හරිනම් පැමිණිය යුත්තේ දෙපක්ෂයේම ඒකාබද්ධ ප්‍රකාශයකිනි. එසේ නොවීමෙන් පෙනෙන්නේ මෙවැනි සන්ධානයකට පොහොට්ටුවේ ලොකු උනන්දුවක් නැති බවය. එහෙත් දිනෙන් දින නීතිපතිවරයා හරහා නිකුත් වන නියෝග වලින් පෙනෙන්නේ ජනාධිපතිවරයා පොහොට්ටුවේ නායකයන්ට දැඩි බලපෑමක් එල්ල කරමින් සිටින බවය. රාජපක්ෂ පාලනයට සම්බන්ධ ඇතැම් බලවතුන්ට එරෙහිව නීතිය දඩිබිඩියේ ක්‍රියාත්මක වන බවක් දැන් පෙනෙන්නට තිබේ. ඇතැම් විචාරකයන්ට අනුව මෙය තමන් සමඟ සන්ධානයට එන්නැයි පොහොට්ටුවට සිදුකෙරෙන බලපෑමක්ද විය හැකිය. එසේ දැඩි බලපෑමක් එල්ලකොට පොදු සන්ධානයකින් ජනාධිපතිවරණය තරග කර තනතුරැ බෙදා ගැනීමේ උවමනාවක් මේ ක්‍රියාදාමය තුළ තිබෙන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ මෛත්‍රීපාල සිරිසේන මහතා බොහෝ කාලයක් තිස්සේ සමීප දේශපාලන මිතුරන් වී සිටීම මෙහිදී උපකාරයක් වී ඇති බවද පෙනෙන්නට තිබේ.

ජනාධිපතිවරයා සමඟ රැඳී සිටින ශ්‍රීලනිප මන්ත්‍රී පිරිසද මේ නිසා දැඩි බලපෑම්වලට හසුවී සිටිති. ඔවුන්ට එකවර ජනාධිපතිවරයා හැරදමා යා නොහැකිය. එසේ හැර ගියත් ඔවුන් පිළිගැනීමට පොහොට්ටුව සූදානම් නැත. තමන් ජනාධිපතිවරණයට සූදානම් යැයි සිංගප්පූරැවේ ප්‍රතිකාර ලබා විවේක සුවයෙන් පසුවන ගෝඨාභය ප්‍රකාශ කිරීම පොහොට්ටුවේ බහුතරයකට විශාල සැනසුමක් ගෙනදී ඇති බවද පෙනේ. එහෙත් එය රාජපක්ෂ පවුලට සමීප සියලු දෙනාටම සැනසීමක්ද යන්න තවම පැහැදිලි නැත. මහින්දට ඉතාම හිතවත් ජ්‍යෙෂ්ඨයකු වන කුමාර වෙල්ගමට නම් ගෝඨාභයගේ ප්‍රකාශය කිසිම සැනසීමක් ගෙන නොදුන් බව නම් හොඳටම පැහැදිලිය. සමහරුන්ගේ මතය වී ඇත්තේ ශ්‍රීලනිපයේ පොදු අපේක්ෂකයා වෙල්ගම විය හැකි බවය.

යූ.එන්.පී.යද මේ වෙලාවේ ඉන්නේ පෙරමුණු දෙකකින් පීඩනයට හසුවෙමිනි. එක් පැත්තකින් ජනාධිපතිවරයාගෙන් එල්ල වෙන දැඩි පීඩනයයි. අතට හසුවෙන හැම වචනයකින්ම ගහන ගැහිල්ල පමණක් නොව යූ.එන්.පී.ය අත්සන් කළ හෝ අත්සන් කිරීමට සූදානම් වන සෝෆා ගිවිසුමට තමන් ඉඩ නොදෙන බවට කරන ප්‍රකාශද එහි අලුත්ම තත්ත්වයයි. එහෙත් යූ.එන්.පී.ය ජනාධිපතිවරයා කොතරම් විරුද්ධ වුවද තමන්ට අවශ්‍ය කළ ගිවිසුම් මීට කලින් නම් සද්ද නැතුවම අත්සන් කර තිබේ. එසේම ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් රනිල්ගේ නමට කෙළින් සජිත්ගේ සහ කරූගේ නම් ප්‍රකාශ වීම අනෙක් පීඩනයයි. මේ තත්ත්වය පක්ෂය ඇතුළේ බරපතළ ගැටුමකට යන ලකුණු පහළ වෙමින් තිබේ. එසේ තිබුණත් යූ.එන්.පී. ආණ්ඩුව විශ්‍රාම වැටුප් වැඩිකිරීම ඇතුළු ආර්ථික ප්‍රතිලාභ විශාල සංඛ්‍යාවක් ජනාතවට ලබාදෙමින් ජනාධිපති සටනට මුලපුරා තිබේ. ජනාධිපතිවරයා පොහොට්ටුව සමඟ පැටලී සිටියදී හීන්සීරැවේ ඡන්ද ප්‍රචාරක වැඩේ කරගෙන යාම ඔවුන්ගේ චේතනාව විය හැකිය.

මේ සියලු දේ හේතුවෙන් දේශපාලන කරළිය රත් වී ගියත් රටේ ජනතාවගේ ප්‍රශ්න නම් අද හෙට විසඳෙන පාටක් නැත. මේ නිසා ඡන්දෙට සූදානම් වෙන සියලු පක්ෂ තම තමන් ගැන අධි තක්සේරැවක සිටීම වැරදි වැටහිමක් වීමටද ඉඩ තිබේ.

 ශශීන්ද්‍ර

 2019 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30