2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 77

ඉහළ මට්ටමේ රහස් සාකච්ඡාවක්

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වයත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත් රජයත් අතර පවතින මත ගැටුම් ආණ්ඩුවේ ගමන්මඟට විශාල බාධකයක් වී තිබේ. කාලයක සිට පැවති එම ගැටුම පසුගිය ඔක්තෝබර් 26 වැනිදා උච්ච ස්ථානයට පත්ව දවස් 52කට ආණ්ඩුවද මාරු විය. එයින් අනතුරැව ජනාධිපතිවරයා යළිත් රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරය යළි ලබාදෙනු ලැබුවේ හිත හොඳකින් නොවන බව රටේ සියලුදෙනාම දැකගත්හ. එතැනින් පසුව ආණ්ඩුව ගෙනයාමට සිදුවනු ඇත්තේ පහසු මාර්ගයක නොවන බවට බොහෝ පෙරනිමිති පෙනෙන්නට තිබිණි.

එම පෙරනිමිති සත්‍ය බව පෙන්වමින් දිගින් දිගටම සිදුවෙමින් පවතින්නේ ආණ්ඩුවේ විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර කඹ ඇදීම්ය. අමාත්‍යවරුන් විසින් රාජ්‍ය ආයතනවලට පත් කළ යුතු ප්‍රධානීන්ගේ නම් ගම් සහිත විස්තර තමන් පත්කර ඇති කමිටුවට යොමුකළ යුතු බවට ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද නිවේදනයට යූ.එන්.පී. නායකත්වයෙන් ලැබුණේ යහපත් ප්‍රතිචාරයක් නොවන බව පෙනිණි. කෙසේ වුවද එහි ප්‍රතිඵලය වී ඇත්තේ රාජ්‍ය ආයතන බොහොමයක් තවමත් පාලක මණ්ඩලවලින් තොරවීමය. එය තමන්ගේ ප්‍රමාදයකින් සිදු නොවන බවද අගමැති කාර්යාලයේ ප්‍රමාදය ඊට හේතුව බවටද සඳහන් සැර නිවේදනයක්ද ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිකුත් කෙරිණි. අළු යට ගිනි මෙන් තිබූ මතභේද මෙසේ ජනාධිපති සහ අගමැති කාර්යාල අතර ගිනිපුපුරු බවට පත්වන විට එය සමථයකට පත්කර ගැනීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක වූයේ යූ.එන්.පී. ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකුගේ මැදිහත් වීමෙනි.

ඒ අනුව ජනාධිපතිවරයාගේ සමීපතම තරුණ ඥාතියකුට යූ.එන්.පී. තරැණ මන්ත්‍රීවරයකු අතේ රහසේම පණිවුඩයක් යැවිණි. ඇවිත් හමුවී කතා කරන්නැයි යන ඇරියුම පිළිගත් එම ඥාතියා ඉහළින් අවසරයක්ද ගෙන කොළඹ කොල්ලුපිටියේ එක්තරා නිවෙසකට ගියේ යූ.එන්.පී. තරැණ මන්ත්‍රීවරයාද කැටුවය. සාකච්ඡාව පැය එකහමාරක් පමණ ඉතාම සුහද මට්ටමින් පැවැති බව සඳහන්ය. අනතුරැව සිදුකෙරුණු සංග්‍රහවලින් පසුව ඒ දෙදෙනා පිටත්ව ගියහ.

සාකච්ඡාවේදී සඳහන් වූ කරැණු අතර 2015 වසරේ ජනාධිපති පදවියට තරග කිරීමේදී මෛත්‍රීපාල මහතාට යූ.එන්.පී. මැති ඇමැතින් ඇතුළු සමස්ත පාක්ෂිකයන් විසින් ලබාදෙන ලද සහාය මතක් කරදී අමනාපකම් දුරැකරගෙන ආණ්ඩුව කරගෙන යමුයැයි යූ.එන්.පී. ජ්‍යෙෂ්ඨයන් විසින් යෝජනා කළ බව දැනගන්නට තිබේ. ඒ ආකාරයට කටයුතු කළොත් තව මාස කිහිපයකින් එළඹෙන මීළඟ ජනාධිපතිවරණයේදී යළිත් 2015දී ලබාදුන් සහාය ලබාදීමට හැකියාවක් තිබෙන බවට කොළ එළියක් දැල් වූ බවද ඒ පණිවුඩය තමන්ගේ නායකයාට දැනුම් දෙන බව එකී ඥාතියා පැවැසූ බවද සඳහන්ය.

කෙසේ වුවද මේ රහසිගත සාකච්ඡාව සිදුවී දැන් දින 10ක් පමණ ගතවී ඇතත් ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය ගැන දැනගන්නට නැත.

මොළේ අවුල්වෙන කතා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදු සන්ධානයක් බිහිකිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුව) දැඩි ලෙස බලපෑම් කරන බවක් පෙනෙන්නට තිබේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මීළඟ ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා කිරීමේ මූලික පියවරක් වශයෙන් එම උත්සාහය දැරෙමින් පවතී.

ශ්‍රීලනිපයේ තරුණ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර ඉකුත් සතියේ ඩාර්ලි පාරේ පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය සාකච්ඡාවක් තබා එම අරමුණු පැහැදිලි කළේය.

ඔහු ප්‍රකාශ කළේ ගමේ ජනතාවට සහ ශ්‍රීලනිප සාමාජිකයන්ට අවශ්‍යව ඇත්තේ ප්‍රගතිශීලී වාමාංශික පෙරමුණක්* බිහිකර ගැනීමට බවය. අප එකිනෙකාට බැණගත් බවත් වෙන වෙනම මාර්ගවල ගිය බවත් තේරුම් ගැනීම අවශ්‍යයි. අපි අපේ පක්ෂයට සැබෑවටම ආදරෙයි. අපි එකට එකතු වී ඉදිරියට යා යුතුයි ඔහු වැඩිදුරටත් කීය.

එසේ වුවද ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය තුළ වෙනත් අදහසක්ද ගැබ් වී තිබිණි. එනම් පොහොට්ටුවට එක්වී සිටින ශ්‍රීලනිප සාමාජිකයන් ශ්‍රීලනිපයට එකතු විය යුතු බවට ඉඟි කෙරෙන යෝජනාවකි. ශ්‍රීලනිපය දැන් ශක්තිමත් පක්ෂයක් බවට ඇති අදහස එම යෝජනාවේ පදනම වූ බවද පෙනිණි.

එම කතාව පෙනෙන්නේ වැරදි කකුලට දමාගත් සපත්තුවක් හැටියටය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) අවශ්‍යතාව වී ඇත්තේ සන්ධානයක් බිහිකළ යුතු නම් ශ්‍රීලනිපය තමන් සමඟ එකතු විය යුතු බවය. මෙවැනි කතාවලින් ජනතාව අවුලට පත්වීම ගැන පුදුම විය යුතු නැත.

- සන්ඩේ ටයිම්ස්

ජනපතිගේ විදෙස් සංචාර

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන 19 වැනිදා තායිලන්තයේ සංචාරයක යෙදීමට නියමිතය. තායිලන්ත රජයට පරිත්‍යාග කිරීම සඳහා බෝ පැළයක්ද ජනාධිපතිවරයා විසින් රැගෙන යනු ඇත.

පිලිපීනයේ නිල චාරිකාව අවසන් වී ශ්‍රී ලංකාවට පැමිණි ජනාධිපතිවරයා ඉන් දින 04කට පසුව සිංගප්පූරුවේ සංචාරයකට ගියේය. දින 04කට පසුව ඔහු ආපසු පැමිණියේ පසුගිය 26 වැනි සෙනසුරාදාය. 

ජනාධිපතිවරයා සිංගප්පූරු සංචාරයේදී 2015 ජනවාරි සිට 2016 ජූනි දක්වා ශ්‍රී ලංකාවේ මහ බැංකු අධිපතිව සිටි ලක්ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන්ට සම්බන්ධ විශාල ලිපිගොනුවක්ද රැගෙන ගියේය. සිංගප්පූරු අගමැති ලී සියෙන් ලූන් සමඟ පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී අර්ජුන් මහේන්ද්‍රන් සහ මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධව කරුණු පවසා ඔහු ශ්‍රී ලංකාවට පිටුවහල් කරන්නැයි ඉල්ලීමක් කිරීමට ජනපතිවරයා සූදානමින් සිටියේය.

- සන්ඩේ ටයිම්ස්