2020 ජනවාරි 18 වන සෙනසුරාදා

සජිත් පිල තනි ගමනකට සැරසෙයි!

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 304

  • හඬපට විනිසුරුවරුන් ගැන විමසුමට අගවිනිසුරු අධිකරණ කොමිසම රැස් කරයි.
  • සජිත් සම්පන්දන්ලා සමඟ තෛපොංගල් සැමරුමක
  • ලෝකයේ ප්‍රබල නායකයන් සිව් දෙනෙක් සතියක් තුළ ගෝඨාභය මහින්ද හමුවෙති.
  • ආණ්ඩුවට ආදායම සොයාගන්න ජ.වි.පෙන් අලුත් යෝජනාවක්.
  • හොට පටලවාගත් රන්ජන්ට එජාපයත් නැතිවෙයි: වැලිකඩ තනිවෙයි.
  • හඬපට හුටපටේ නිසා නිළියක් නිදිපෙති බීලලු.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් ඇති කරන ලද හඬපට සිද්ධිය පිළිබඳ ආන්දෝලනය තවමත් හමාර නැත. මේ ගැන දැන් ආණ්ඩුව සහ විපක්ෂය ද වාදයක පැටලී සිටී. විපක්ෂය කියන්නේ ආණ්ඩුව හඬපට සිද්ධියේ එල්ලී තමන්ගේ ප්‍රශ්න වසාගන්නට හදන බවයි. එ.ජා.ප. මහලේකම් අකිල විරාජ් කාරියවසම්, අජිත් පී. පෙරේරා, ආශු මාරසිංහ, විජේපාල හෙට්ටිආරච්චි ආදී මන්ත්‍රීවරු මාධ්‍ය සාකච්ඡා තබමින් මේ ගැන ප්‍රකාශ නිකුත් කළහ. එහෙත් ආණ්ඩුව මේ කතාව මායිම් කරන්නේ හෝ පිළිගන්නේ නැත. ඔවුන් කියන්නේ පසුගිය කාලයේ එ.ජා.ප. ආණ්ඩුවේ ප්‍රබලයන් රාජපක්ෂවරුන්ගෙන් සහ එදා විපක්ෂයේ සිටි ප්‍රබලයන්ගෙන් පළිගන්නට ක්‍රියා කළ ආකාරය, නඩු ගෙතූ අන්දම, නීතිය නැවූ ආකාරය මේ හඬපටවලින් හෙළිදරව් වන නිසා මේවා තව තවත් සමාජගත කොට ජනතාව දැනුවත් කළ යුතු වගය. යහපාලන ආණ්ඩුව යටතේ ලබාදුන් ඇතැම් නඩු තීන්දු නැවත සමාලෝචනයට ලක් කළ යුතු යැයි පොහොට්ටුවේ මන්ත්‍රීන් දැනටමත් ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ලිඛිතවම ඉල්ලා තිබේ.

මෙම සිද්ධිය ගැන නීතිමය අංශයෙන් පරීක්ෂණ දැන් පොලීසිය විසින් ආරම්භ කර ඇත. රජයේ රස පරීක්ෂකවරයා වෙත පොලීසිය විසින් යොමුකළ හඬපටවල ඇතුළත් කටහඬවල් කාගේ ද යන්න ගැන පරීක්ෂාවට කටහඬ පරීක්ෂණ ගණනාවක් පැවැත්වීමට සිදුව ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. ඒ අනුව රන්ජන් රාමනායක ඇතුළු කිහිප දෙනකු ළඟදීම රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට කැඳවනු ඇතැයි දැනගන්නට තිබේ. එම වාර්තා පොලීසිය මගින් නීතිපතිට යොමුකර ඉදිරියේදී අවශ්‍ය නීතිමය පියවර සම්බන්ධ නිර්දේශ ලබාදෙනු ඇතැයි අපේක්ෂිතය.

මෙම හඬපට සිද්ධියට අදාළව අධිකරණ විනිසුරුවරුන් ගණනාවකගේ නම් ඈඳී තිබේ. පද්මිණී රණවක, ගිහාන් පිලපිටිය හා ධම්මික හේමපාල එම විනිසුරු තිදෙනාය. ඔවුන්ගෙන් පද්මිණී රණවක මහත්මිය විශ්‍රාම ගොසිනි. ඉතිරි විනිසුරුවරුන් දෙදෙනාට අධිකරණ සේවා කොමිසම විසින් නියම කරන ලද්දේ ගිය සඳුදා (13දා) සවස 3.30ට පෙර නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙසයි. මෙහිදී විනිසුරු ගිහාන් පිලපිටිය තමන්ගේ පාර්ශ්වයෙන් කරුණු දක්වමින් තමන් පසුගිය රජය කාලයේ සංවේදී දේශපාලන නඩු ගණනාවක් විභාග කරද්දී එල්ල වූ තර්ජන ගැනත් ඒ ගැන පොලීසියට සහ අධිකරණ සේවා කොමිසමට කල් තබාම දන්වා තිබූ බවත් වාර්තා කර තිබිණි. ඊට අදාළ ලිපි ලේඛන පැමිණිලි පිටපත් ද ඉදිරිපත් කර තිබූ බව දැනගන්නට තිබේ. කෙසේ හෝ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා මේ ගැන අධිකරණ සේවා කොමිසමේදී මූලික සාකච්ඡාවක් සිදුකර පසුව ගිය සඳුදා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් කැඳවා මේ ගැන ඔවුන්ගේ අදහස් හා නිර්දේශ ලබාගත්තේය. අනතුරුව ගිය අඟහරුවාදා අධිකරණ සේවා කොමිසම රැස්වී සිද්ධියට අදාළව ගිහාන් පිලපිටිය හා ධම්මික හේමපාල විනිසුරුවරුන් ලබාදුන් නිදහසට කරුණු සලකා බැලීය. ඒවා පුළුල් ලෙස විමර්ශනය කොට තීන්දුවක් ගැනීම පසුවට කල් තබා ඇතැයි අලුත්කඩෙන් වාර්තා වෙයි.

දේශපාලන වශයෙන් ද එක්සත් ජාතික පක්ෂය බලවත් අපහසුතාවට සහ අර්බුදයකට තල්ලු කළ රන්ජන් බෞද්ධාගමට මෙන්ම ක්‍රිස්තියානි දහමටද නිගරු වන ලෙස කළ ප්‍රකාශ ගණනාවක් සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරන්නට විය. මෙයින් රන්ජන්ට තිබූ විරෝධය තවත් දැඩි වූ බව පෙනිණි. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මෙන්ම ඇල්ලේ ගුණවංශ හිමියෝ ද රන්ජන්ගේ කතා ගැන දැඩි විරෝධයක් දැක්වූහ. ශීලාචාර මිනිසුන් ලබන මැතිවරණයෙන්වත් පාර්ලිමේන්තු යවන්නැයි මුරුත්තෙට්ටුවේ හිමියෝ ඉල්ලා සිටියහ. කෙසේ හෝ පක්ෂය තුළ නැග ආ රන්ජන් විරෝධය හේතුවෙන් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කොට පරීක්ෂණයක් කරන බව එහි මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්‍යයට කීය.

එදිනම රන්ජන්ගේ සිද්ධිය ගැන ක්‍රියාත්මක වූ නීතිපතිවරයා අධිකරණ විනිසුරුවරුන්ට බලපෑම් කිරීමේ චෝදනාව මත රන්ජන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කළේය.

ඒ නියෝගය නිකුත් වන මොහොතේ ඔහු සිටියේ රූපවාහිනී රූගත කිරීමකය. පසුව නිවෙසට පැමිණි ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් පැමිණියද රන්ජන්ගේ සහායට පෙර මෙන් එ.ජා.පය නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයකු පැමිණ සිටියේ නැත. ඔහුගේ ලේකම්වරයකු මන්ත්‍රීන් ගණනාවක් අමතා එහි පැමිණෙන ලෙස ඉල්ලා සිටියද කිසිවකු හෝ නොපැමිණීම නිසා රන්ජන් තනිවම කොළඹ අපරාධ කොට්ඨාසයට රැගෙන යනු ලැබීය. එලෙස යන්නට පෙර ඔහු ඒ ගමනට සැරසෙන ආකාරය ෆේස්බුක් ඔස්සේ ප්‍රචාරය කර ජනතාවට සැලියට් ගසා හිරගෙදර බලා පිටත් විය. විශේෂයෙන්ම රන්ජන් නිළියක සමඟ කරන ලද දුරකතන සංවාදයකදී ආගමික ශාස්ත_න්ට අපහාස කිරීම නිසා ඔහු බලවත් සමාජ විරෝධයකට ලක්ව සිටී. පිවිතුරු හෙළ උරුමය මේ ගැන පැවැත්වූ මාධ්‍ය හමුවකදී උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා සහ මධුමාධව අරවින්ද මහත්වරුන් ප්‍රකාශ කර තිබුණේ මොහු සමඟ දුරකතන සංවාදයක යෙදුණු නිළියක් එම සංවාදයේදී සාකච්ඡා කළ කරැණ ගැන ලජ්ජාවට පත්ව නිදි බෙහෙත් පෙති බී සියදිවි හානිකර ගන්නට තැත් කළ බවකි. කෙසේ හෝ රටේ දේශපාලන ක්ෂේත්‍රයේ කුණාටුවකට මග පෑදූ රන්ජන් දැන් සිටින්නේ රිමාන්ඩ් සිරගෙදරය. ඔහු ලබන 29දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ දිනවල නිතිපතා වෙහෙසෙන්නේ තමන් ජනාධිපතිවරණයේදී ලබාදුන් පොරොන්දු ඉටු කිරීමටයි. රාජ්‍ය ආයතනවලට පත් කරන ලද ඇතැම් ප්‍රධානීන් ගැන චෝදනා එල්ල වූ වහාම ඒවා ගැන සොයා බලන ජනාධිපතිවරයා සිදු වූ වැරදි ගණනාවක්ම නිවැරදි කළේ අගමැති මහින්දගේද එකඟත්වය ඇතිවය. මේ සතියේ ජනාධිපතිවරයා තමන් වතුකර ජනතාවට වැටුප් වර්ධකය ගැන ලබාදුන් පොරොන්දුව ඉටු කළේය. ඒ සඳහා රජයේ අරමුදල්වලින් කොටසක් සපයා දුන්නේ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර සහ මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල විසිනි. මෙම වැටුප් වර්ධකය දෙමළ ජනතාවගේ උත්සව දිනයක් වන තෛපොංගල් දිනයේ ප්‍රකාශ කොට ඔවුනට ත්‍යාගයක් සේ ලබාදිය යුතු යැයි ජනාධිපතිවරයා තීන්දු කළේය. ඒ අනුව ලබන මාර්තු මස 01දා සිට වතුකරයේ වැඩ කරන ජනතාවට දෛනික වැටුප ලෙස රුපියල් දහසක මුදල ලබා දීමට නියමිතය. මේ සමඟ ප්‍රකාශයක් කළ වතුකර නායක අමාත්‍ය ආරැමුගම් තොණ්ඩමන් මහතා කීවේ තවමත් වතුකරයට රජුන් තනන්නේ තමන් බවය. වතුකර ජනතාවට මුවාවී රජුන් තනන්නට තැත් කළ ව්‍යාජ නායකයන් ජනාධිපතිවරණයේදී අවලංගු වී ගිය බවද තොණ්ඩමන් මහතා කීය. මෙරට සෙසු දිළිඳු ජනතාවටත් සහනයක් සලසමින් ජනාධිපති ගෝඨාභය තවත් ඡන්ද පොරොන්දුවක් ඉටු කළේය. ඒ අනුව දිළිඳු ජනතාවට සහන සැලසීම සඳහා සුදුස්සන් තෝරාගෙන ඔවුනට ඉලෙක්ට්‍රොනික කාඩ්පත් මගින් මුදල් ගෙවීමට තීන්දු කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය අඟහරුවාදා දෙමළ මාධ්‍ය ප්‍රධානීන් හමුවිය. මෙම හමුව අරලියගහ මැඳුරේදී ඉතා සුහදව සිදුකෙරිණි. මෙහිදී ප්‍රධාන ගැටලු ගණනාවක් ගැන දෙමළ මාධ්‍ය ප්‍රධානීහු ප්‍රශ්න කළහ. ජාතික දින උළෙලේදී ජාතික ගීය ගයන්නේ සිංහලෙන් පමණක්ද යන්න ඔවුන්ගේ මූලික ප්‍රශ්නය විය. එවිට අගමැති මහින්ද රාජපක්ෂ කීවේ තමන් සිංහලෙන් පමණක් ජාතික ගීය ගයන බවට තීන්දුවක් ගෙන නැති වගයි. තමන් මේ ප්‍රශ්නය දැනගත්තේ පත්තරවලින් යැයි පැවසූ රාජපක්ෂ මහතා ඉන්දියාව, සිංගප්පූරුව ඇතුළු රටවල් ගණනාවක් උදාහරණයට ගනිමින් පැහැදිලි කළේ ඒ සෑම රටකම ජාතික ගීය ගයන්නේ එක් භාෂාවකින් පමණක්ය කියායි. මෙවැනි ප්‍රශ්න මතු කිරීමෙන්ම ජාතීන් අතර භේද මතුවන්නේ යැයිද මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. උතුරේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීමට සාකච්ඡාවක් අරඹන බවද මහින්ද මෙහිදී කීය. ඒ සියල්ල මැතිවරණයෙන් පසුව සිදුවනු ඇතැයිද ඔහු පැහැදිලි කළේය. මෙවර ජිනීවා සමුළුවේදී පවා අප රටට එරෙහිව බරපතළ සිදුවීම් ඇතිවන්නට ඉඩක් නැතැයි මහින්ද පෙන්වා දුන්නේය. නව රජයේ මුස්ලිම් නායකයකු නොමැතිවීම ප්‍රශ්නයක් නොවේදැයි මාධ්‍යයෙන් ප්‍රශ්න කළ විට මහින්ද කීවේ පොහොට්ටුවේ මුස්ලිම් මන්ත්‍රීවරයකු නොමැතිකම නිසා එය සිදු වූ බවකි. ඉදිරි මහමැතිවරණයෙන් පසු පොහොට්ටුවෙන් ද හොඳ මුස්ලිම් නායකයකු බිහිවෙතැයි තමන් අපේක්ෂා කරන වග මහින්ද රාජපක්ෂ මහතා කීය.

සම්මතයෙන් පිට කතා කරන දේශපාලනඥයකු ලෙස ප්‍රකට රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා මේ සතියේ රජය සම්බන්ධව විවේචනාත්මක අදහස් පළ කර තිබිණි. පසුගිය දිනවල ඔහු නියෝජනය කරන නැගෙනහිර පළාතේ නව ආණ්ඩුකාරවරිය තමන්ලා වැඩිය ගණන් නොගන්නා බව ඔහු පක්ෂ ප්‍රධානීන් ගණනාවක් හමුවේ කියා තිබිණි. මෙම පසුබිමේ විමලවීර රාජ්‍ය ඇමැතිවරයා නව රජය බලයට පත්වූ පසු තමන් වැනි අය නොවැදගත් පුද්ගලයන් බවට පත්ව ඇතැයි චෝදනා කළේය. විපක්ෂයේ සිටියදී මචං කියාගෙන සිටි අයට දැන් පරණ මචංලා අමතක වී තිබෙන වග පැවසූ හෙතෙම තනතුරු නිසා සමහරුන් පාට වෙනස් කර ඇතැයි කීවේ අම්පාරේදී මාධ්‍යවේදීන් අමතමිනි.

එජාපයේ නව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා සිය පක්ෂයට සම්බන්ධ කරගෙන ඉදිරියේදී එ.ජා.පයේ ඉහළ තනතුරක් ලබාදෙන බව ප්‍රකාශ කළේය. ජනාධිපතිවරණ කාලයේදීද ඔහු කල් තබාම මෙලෙස තනතුරු කිහිපයක් ප්‍රදානය කළ අතර සරත් ෆොන්සේකා මහතා ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් කරන බවද නිවේදනය කළේය. කෙසේ හෝ චම්පික පක්ෂයේ ඉහළ තනතුරකට පත් කරන බව ප්‍රකාශ කිරීම ගැන පක්ෂයේ ඇතැම් තරුණ මන්ත්‍රීන් සතුට පළ කර තිබිණි. එහෙත් චම්පික එ.ජා.පයට සම්බන්ධ වන්නේද නැත්ද යන්න ගැන කිසිවක් කියා තිබුණේ නැත. මේ ගැන අදහස් දැක්වූ එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයකු වන රංගේබණ්ඩාර මහතා කියා තිබුණේ තනතුරැ දෙන්නට පෙර චම්පික එ.ජා.ප. සාමාජිකයකු විය යුතුය කියායි. වජිර අබේවර්ධන මහතා කීවේ පක්ෂයේ ඉහළ තනතුරුවලට කාටවත් හිතුමතේ කිසිවකු පත්කළ නොහැකි බවකි. ඒ ගැන කෘත්‍යාධිකාරියෙන් යෝජනාවක් සම්මත විය යුතු යැයිද වජිර කියා තිබිණි.

ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නළු රුජිනි කාන්ත්ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස උතුරේ හිටපු මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා ආරාධනා කර ඇත. පසුගියදා දකුණු ඉන්දියාවේ සංචාරයකට ගිය විග්නේෂ්වරන් මහතා එහිදී ලෝක දෙමළ ජනයාගේ සමුළුවට එක් විය. එයින් පසුව රැජිනි කාන්ත් මුණගැසුණු හිටපු මහ ඇමැතිවරයා ඔහුට යාපනයට පැමිණ උතුරේ දෙමළ ජනයා විඳින දුක දැකබලා ගන්නැයි කියා තිබිණි. රුජිනි කාන්ත් එම ආරාධනය පිළිගත් බවද කියැවිණි. කොටි නායක ප්‍රභාකරන්ගේ ද සමීප හිතවතකු වූ ඔහු ප්‍රභාකරන්ගේ මරණය ගැන කනගාටුව ද පළ කළේ පැවති රජයට විරෝධය දක්වමිනි. කෙසේවෙතත් රැජිනි කාන්ත් උතුරට පැමිණෙන්නේ නම් ඔහු උතුරේදී මහත් හරසරින් පිළිගන්නට සූදානම් යැයි උතුරේ ශිෂ්‍ය සංවිධාන ගණනාවක් ප්‍රකාශ කර තිබුණි.

පසුගිය 14දාට යෙදී තිබුණු තෛපොංගල් උත්සවය නිමිත්තෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා දෙමළ භාෂාවෙන් මාධ්‍ය ඔස්සේ කතා කරමින් සුභ පැතුමක් එක් කිරීම විශේෂත්වයකි. එසේම ඔහු තෛපොංගල් දින විශේෂ පූජාවකට සහභාගි වීමට මෝදර හින්දු කෝවිල වෙත ගොස් දෙමළ ජනතාව සමඟ තෛපොංගල් සැමරුවේය. එහි සිටි පිරිස් සමඟ සුහදව අදහස් හුවමාරු කර ගනිමින් ඔවුන්ගේ වුවමනාවන් හා ප්‍රශ්න ගැනද ටික වේලාවක් කතා කරමින් සිටි මහින්ද කාටත් සුභ පතා පිටත්ව ගියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද දැන් විපක්ෂ නායක කාර්යාලයේ ජාතික හා ආගමික උත්සව සමරන්නට පටන්ගෙන තිබේ. ගිය පොහොය දින එහි බණ දේශනයක් සංවිධානය කළ සජිත් තෛපොංගල් දා ඒ වෙනුවෙන් විශේෂ උත්සවයක් විපක්ෂ නායක කාර්යාලයේදී සංවිධානය කළේය. හිටපු විපක්ෂ නායක සම්පන්දන්, දිගම්බරම්, මනෝ ගනේෂන්, ඩී.එම්. ස්වාමිනාදන් සහ හිටපු ඇමැතිවරැද, එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයන් ගණනාවක්ද විපක්ෂ නායක සජිත් සංවිධානය කළ තෛපොංගල් දින සමරු උත්සවයට එක්ව සිටියහ.

ලොව ප්‍රධාන හා ධනවත්ම හා බලවත්ම රටවල් 4ක නායකයෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ සතියේ මුණගැසුණේ එම රටවල රාජ්‍ය නායකයන්ගේ සුභ පැතුම් ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට පිරිනමමිනි. මෙලෙස පැමිණි අමුත්තන් අතර අමෙරිකා එක්සත් ජනපදයේ සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය, චීන විදේශ අමාත්‍ය වැන්ග් සී මහතා, රුසියානු විදේශ අමාත්‍ය සර් හේ ලැව්රෝව් මහතා සහ ජපාන විදේශ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කොසෝ යමමොමෝ යන මහත්වරු මෙලෙස පැමිණි විදේශ අමුත්තෝ වූහ. මේ අය සමඟ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පැවැත්වූ සාකච්ඡාවලදී රටේ දැනට බිඳවැටී තිබෙන ආර්ථිකය යළි ගොඩනැගීමට ඔවුන්ගේ සහයෝගය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රකාශ කළෝය. එහිදී එම නායකයෝද නව රජය සමඟ ඉදිරි කාලයේදී සංවර්ධන සහයෝගීතාව පවත්වාගෙන යමින් ආධාර උපකාර ලබාදීමට පොරොන්දු වූහ. අගමැති මහින්ද හමුවූ රුසියාවේ ප්‍රබල දේශපාලන චරිතයක් ලෙස සැලකෙන විදේශ අමාත්‍යවරයා රටට අවශ්‍ය සංවර්ධන සහාය කවරේදැයි ප්‍රශ්න කළ විට මහින්ද රාජපක්ෂ මහතා රටේ තිබෙන ප්‍රධාන ප්‍රශ්න ගණනාවක් ගැන විස්තර කළේය. එවිට මහින්ද හමුවේ විස්මිත කරුණු දැක්වීමක් කළ රුසියානු විදේශ ඇමැති ලැව්රෝව් මහතා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට අදාළ ප්‍රශ්න එකිනෙක ගනිමින් විස්තර කළේ ඔහු මෙම නායකයන් මුණගැසීමට පෙර ඒ ගැන පූර්ණ අධ්‍යයනයක් කර තිබූ නිසාය.

ජනතා විමුක්ති පෙරමුණ මේ දිනවල කරන්නේ ඉදිරි මහමැතිවරණය සඳහා ඉදිරිපත් කිරීමට සූදානම් වන අපේක්ෂකයන් හඳුනා ගැනීමයි. ඒ අතරතුර රන්ජන් රාමනායකගේ හඬපට ගැන ජ.වි.පෙ. විසින් කිසිවක් නොකීම ගැන ආණ්ඩුවේ ඇතැම් දේශපාලන නායකයන් ප්‍රශ්න කර තිබුණේ ඔවුන් මේ ගැන නිහඬවීම ප්‍රශ්නයක් බව කියමිනි. කෙසේ හෝ දින ගණනාවකට පසු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු මෙන්ම හිටපු මන්ත්‍රීවරයකු ද වන වෘත්තීය සමිති නායක වසන්ත සමරසිංහ මහතා කියා තිබුණේ රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක හඬපට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ යූ.ටියුබ් චැනලයක් හරහා ප්‍රචාරය කළ යුතු බවය. එමගින් රජයට ආදායමක් උපයාගත හැකි යැයි කී සමරසිංහ මහතා එසේ නොකර මේවා ගැන සොයන්නට ජනාධිපති කොමිසමක් පත් කිරීමෙන් සිදුවන්නේ මුදල් නාස්තියක් පමණක් යැයිද කීය. දැන් මේ රන්ජන්ගේ හඬපට ජනතාවගේ දෛනික සංස්කෘතික ආහාරවේල බවට පත්ව ඇතැයිද කී සමරසිංහ මහතා මේවා රටට අසන්නට දී ජනතාවට බලපාන දැවෙන ප්‍රශ්න අමතක කරවීම ආණ්ඩුවේ උපාය මාර්ගය වී ඇතැයි චෝදනා නැගීය.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය විසඳීම සඳහා වන පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ගිය බ්‍රහස්පතින්දා සවස 3.00ට යොදාගෙන තිබිණි. එම රැස්වීම පැවැත්වීමට පෙර රනිල් හිතවාදී කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් ගණනාවක්ම ප්‍රකාශ කර තිබුණේ මෙම රැස්වීමේදී පක්ෂ නායකත්වය වෙනස් කිරීමට කිසිදු හැකියාවක් නැති බවය. මේ ගැන මුලින්ම ඉඟිකර තිබුණේ පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාය. අනතුරුව ඒ ගැන මාධ්‍ය හමුවක් තබමින් කීවේ පක්ෂ ජ්‍යෙෂ්ඨයකු වන හිටපු අමාත්‍ය වජිර අබේවර්ධනයි. ඔහු කීවේ පක්ෂ ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට පක්ෂ නායකයා වෙනස් කිරීම හෝ පත් කිරීම කළ නොහැකි බවය. ඒ නිසා බ්‍රහස්පතින්දා රැස්වීමේදී කිසිසේත්ම පක්ෂ නායකත්වය වෙනස් නොවේ යැයි ඔහු කල් තබාම අනාවැකියක් පළ කර තිබිණි. පක්ෂ නායකයා වෙනස් කිරීම කළ යුත්තේ පක්ෂයේ මහා සම්මේලනයක් කැඳවීමෙන් පසුව බවද වජිර අබේවර්ධන කීය.

පක්ෂයේ අනාගත අභිවෘද්ධිය පතන කිසිවකු මේ වේලාවේ පක්ෂ නායකත්වය වෙනස් නොකළ යුතු යැයි කී හෙතෙම පක්ෂ ව්‍යවස්ථාවට පිටින් කටයුතු කරන පිරිස් නියත වශයෙන්ම පරාජය කරන්නේ යැයිද සඳහන් කර තිබිණි.

ඒ අතර සජිත් හිතවාදීන්ගේ ප්‍රබලයන් වන අජිත් පී. පෙරේරා, අශෝක අබේසිංහ, නලින් බණ්ඩාර ආදී මන්ත්‍රීන් ගණනාවක්ම තරයේ ප්‍රකාශ කළේ අනිවාර්යයෙන්ම සජිත්ට පක්ෂ නායකත්වය හිමිවිය යුතු බවකි. නැතිනම් තමන්ලා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමේ 70%කට වැඩි පිරිසක් විකල්පයකට යොමුවන්නේ යැයිද ඔවුහු ප්‍රකාශ කළහ. බ්‍රහස්පතින්දා පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වූයේ මෙම බරපතළ වාද විවාද මධ්‍යයේය.

ජනතා විමුක්ති පෙරමුණ මේ දිනවල කරන්නේ ඉදිරි මහමැතිවරණය සඳහා ඉදිරිපත් කිරීමට සූදානම් වන අපේක්ෂකයන් හඳුනා ගැනීමයි. ඒ අතරතුර රන්ජන් රාමනායකගේ හඬපට ගැන ජ.වි.පෙ. විසින් කිසිවක් නොකීම ගැන ආණ්ඩුවේ ඇතැම් දේශපාලන නායකයන් ප්‍රශ්න කර තිබුණේ ඔවුන් මේ ගැන නිහඬවීම ප්‍රශ්නයක් බව කියමිනි. කෙසේ හෝ දින ගණනාවකට පසු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු මෙන්ම හිටපු මන්ත්‍රීවරයකු ද වන වෘත්තීය සමිති නායක වසන්ත සමරසිංහ මහතා කියා තිබුණේ රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක හඬපට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ යූ.ටියුබ් චැනලයක් හරහා ප්‍රචාරය කළ යුතු බවය. එමගින් රජයට ආදායමක් උපයාගත හැකි යැයි කී සමරසිංහ මහතා එසේ නොකර මේවා ගැන සොයන්නට ජනාධිපති කොමිසමක් පත් කිරීමෙන් සිදුවන්නේ මුදල් නාස්තියක් පමණක් යැයිද කීය. දැන් මේ රන්ජන්ගේ හඬපට ජනතාවගේ දෛනික සංස්කෘතික ආහාරවේල බවට පත්ව ඇතැයිද කී සමරසිංහ මහතා මේවා රටට අසන්නට දී ජනතාවට බලපාන දැවෙන ප්‍රශ්න අමතක කරවීම ආණ්ඩුවේ උපාය මාර්ගය වී ඇතැයි චෝදනා නැගීය.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය විසඳීම සඳහා වන පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ගිය බ්‍රහස්පතින්දා සවස 5.00ට යොදාගෙන තිබිණි. එම රුස්වීම පැවැත්වීමට පෙර රනිල් හිතවාදී කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් ගණනාවක්ම ප්‍රකාශ කර තිබුණේ මෙම රැස්වීමේදී පක්ෂ නායකත්වය වෙනස් කිරීමට කිසිදු හැකියාවක් නැති බවය. මේ ගැන මුලින්ම ඉඟිකර තිබුණේ පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාය. අනතුරුව ඒ ගැන මාධ්‍ය හමුවක් තබමින් කීවේ පක්ෂ ජ්‍යෙෂ්ඨයකු වන හිටපු අමාත්‍ය වජිර අබේවර්ධනයි. ඔහු කීවේ පක්ෂ ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට පක්ෂ නායකයා වෙනස් කිරීම හෝ පත් කිරීම කළ නොහැකි බවය. ඒ නිසා බ්‍රහස්පතින්දා රැස්වීමේදී කිසිසේත්ම පක්ෂ නායකත්වය වෙනස් නොවේ යැයි ඔහු කල් තබාම අනාවැකියක් පළ කර තිබිණි. පක්ෂ නායකයා වෙනස් කිරීම කළ යුත්තේ පක්ෂයේ මහා සම්මේලනයක් කැඳවීමෙන් පසුව බවද වජිර අබේවර්ධන කීය.

පක්ෂයේ අනාගත අභිවෘද්ධිය පතන කිසිවකු මේ වේලාවේ පක්ෂ නායකත්වය වෙනස් නොකළ යුතු යැයි කී හෙතෙම පක්ෂ ව්‍යවස්ථාවට පිටින් කටයුතු කරන පිරිස් නියත වශයෙන්ම පරාජය කරන්නේ යැයිද සඳහන් කර තිබිණි. ඒ අතර සජිත් හිතවාදීන්ගේ ප්‍රබලයන් වන අජිත් පී. පෙරේරා, අශෝක අබේසිංහ, නලින් බණ්ඩාර ආදී මන්ත්‍රීන් ගණනාවක්ම තරයේ ප්‍රකාශ කළේ අනිවාර්යයෙන්ම සජිත්ට පක්ෂ නායකත්වය හිමිවිය යුතු බවකි. නැතිනම් තමන්ලා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමේ 70%කට වැඩි පිරිසක් විකල්පයකට යොමුවන්නේ යැයිද ඔවුහු ප්‍රකාශ කළහ. බ්‍රහස්පතින්දා පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වූයේ මෙම බරපතළ වාද විවාද මධ්‍යයේය.

රන්ජන් රාමනායකගේ ආන්දෝලනාත්මක හඬපට සිද්ධියට අදාළව කරුණු විමර්ශනයට අධිකරණ සේවා කොමිසම ගිය බ්‍රහස්පතින්දා රැස්විය. එහිදී මෙම සිද්ධියට නම ගෑවුණු විනිසුරුවරුන් වන ගිහාන් පිලපිටිය හා ධම්මික හේමපාල මහත්වරුන් විසින් ලබාදී තිබූ නිදහසට කරුණු සලකා බැලිණි. අවසානයේ තීරණය වූයේ අධිකරණ සේවා කොමිසමේ විනය පාලනයට යටත් වන මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගේ වැඩ වහාම තහනම් කරන්නටයි. සෙසු විනිසුරුවරයා වන ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධ විනය බලධරයා වන්නේ ජනාධිපතිවරයා බැවින් ඔහුට ඒ ගැන සුදුසු නිර්දේශයක් ඉදිරිපත් කිරීමට තීන්දු විය. ඒ අනුව එදිනම සවස අධිකරණ සේවා කොමිසම විසින් ජනාධිපතිවරයාට අදාළ නිර්දේශය යවන ලදී. දැනට විශ්‍රාම ලබා සිටින විනිසුරු පද්මිනී රණවක මහත්මිය ගැන තීන්දුවක් ගත්තේ නැත. ඒ අතර සෙසු විනිසුරු දෙදෙනාගෙන් පොලිසියට ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා නියෝග කළේය.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධව තීන්දුවක් ගැනීමට පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ගිය බ්‍රහස්පතින්දා රැස්වූයේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. රැස්වීමට පක්ෂ මන්ත්‍රින් 65 දෙනෙක්  පැමිණ සිටියහ. මෙහි ආරම්භයේ සිටම පැවතියේ උණුසුම් වාතාවරණයකි. රනිල් හිතවාදීහු පක්ෂයේ නායකත්වය වෙනස් කිරීමට ඉඩ නැතැයි කරුණු දැක්වූහ. වජිර අබේවර්ධන, අකිල විරාජ් ඇතුළු පිරිසක් ඊට අයත් වූහ. ඔවුන්ගේ යෝජනාව වූයේ මහ මැතිවරණය මෙහෙයුමට රනිල් සජිත් කරු ජයසූරිය යන අයගෙන් සමන්විත නායකත්ව මණ්ඩලයක් ස්ථාපිත කළ යුතුය යන යෝජනාවය.

සජිත් පිල එම අදහස තරයේ ප්‍රතික්ෂේපකොට කෘත්‍යාධිකාරියක් කැඳවා නව නායකත්වයට සජිත්  පත්කළ යුතුයැයි කීය. රන්ජන් මද්දුම බණ්ඩාර මෙහිදී තරයේම සජිත් පත්කළ යුතු යැයි අවධාරණය කළේය. හරීන් ප්‍රනාන්දු, සුජීව සේනසිංහ, අජිත් පී. පෙරේරා ආදීහු මේ ගැන ආවේගශීලීව අදහස් දැක්වූහ. වැඩේ දෙකින් එකක් වන්නේ නැතිනම් තමන් පිටව යන බව කියා හරින් ප්‍රනාන්දු පිටව ගියේය. සුජීව සේනසිංහලා නැවත ඔහු කැඳවා ගෙන ආවේ අසීරුවෙනි. සජිත් පිලේ යෝජනාව වූයේ රනිල්ගේ සහ කරුගේ උපදේශකත්වය ඇතිව සජිත්ගේ නායකත්වයෙන් පක්ෂය මහ මැතිවරණයට තරග කළ යුතු වගයි. ඊට රනිල් පිල කිසිසේත්ම එකඟ නොවීය. ජනවාරියේ පත්කළ යුතු පක්ෂ කෘත්‍යාධිකාරිය තවමත් පත්කර නැති නිසා නීතියේ හැටියට පක්ෂ නායකත්වය වෙනස් කළ නොහැකිව තිබේ. සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රශ්න කරමින් විමසුවේ පසුගිය වසර 26 පක්ෂය ලබාගත් ජයග්‍රහණ කවරේද කියයි. මෙම පක්ෂය කාගේවත් බූදලයක් ලෙස නොසැලකිය යුතුයැයිද ඔහු කීය.

කෙසේ හෝ ආවේගශීලී වාද විවාද මාධ්‍යයේ පැය 4 කට ආසන්න කාලයක් මන්ත්‍රී හමුව තිබියදී ලබන සතියේ රනිල් සජිත් හා කරු පමණක් සාකච්ඡාකොට මේ ගැන තීන්දුවක් ගත යුතු යැයි කියැවිණි. එහෙත් සජිත් පිල එයට එකඟ නොවීය. ඒ සමඟ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ඔහුගේ හිතවාදීන් 13 දෙනෙක් රැස්වීම අවසන් යැයි කියා පිටව ගියෝය. රන්ජන් මද්දුමබණ්ඩාර හා හරීන්ලා ඇතුළු පිරිස එතන රැස් වී සිටිමින් ඔවුන් අතර ඡන්දයක් පවත්වා සජිත් පක්ෂ නායකත්වයට තෝරා ගත් බව පැවසීය. එම යෝජනාව රන්ජිත් මද්දුමබණ්ඩාර ඉදිරිපත් කළේය. සුජීව සේනසිංහ ස්ථිර කළේය. ඡන්ද විමසීමේදී සජිත්ට පක්ෂව ඡන්ද 52ක් ලැබිණි. රනිල් පිල සභාවේ සිටියේ නැත.

මේ කණ්ඩායම රනිල්ගෙන් තමනට සාධාරණ පිළිතුරක් ලැබෙන තුරු සිරිකොතෙන් පිටව නොයන බව කියා රැඳීසිටින්නට උත්සාහ කළ ද පසුව පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ මැදිහත්ව එය වැළැක් වූහ. අනතුරුව ඔවුන් තීන්දු කළේ තවදුරටත් සාකච්ඡා පැවැත්වීම බල රහිත බැවින් සජිත්ගේ නායකත්වයෙන් පුළුල් සන්ධානයක් පිහිටුවා මහ මැතිවරණයට තරග කිරීමටයි. රන්ජිත් මද්දුමබණ්ඩාර හා හරීන් ප්‍රනාන්දු කීවේ එම සංධානය සෙසු හවුල්කාර පක්ෂ සමඟ එක්වී ගොඩනගන්නට සැරසෙන බවය. මේ නිසා එ.ජා.ප. නායකත්ව අර්බුදය දුරදිග ගොස් පක්ෂය දෙකඩ වන තීරණාත්මක තැනකට පැමිණ තිබේ.

බ්‍රහස්පතින්දා රාත්‍රියේ ශ්‍රී.ල.නි.ප. මධ්‍යමකාරක සභාව ද රැස්විය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි නායකත්වය දැරීය. ඉදිරි මහ මැතිවරණයේදී පොහොට්ටුව සමඟ සන්ධාන ගතවන්නටත් ජනාධිපති ගෝඨාභයට මැති සබයේ 2/3 බලය ලබාදීමට සහය වීමටත් මෙහිදී ශ්‍රී.ල.නි.පය තීන්දු කළේය. එහිදී ගත් තවත් විශේෂ තීන්දුවක් වූයේ හිටපු ජනාධිපතිනිය ශ්‍රී.ල.නි.ප. නායිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අත්තනගල්ල ශ්‍රී.ල.නි.ප. සංවිධායක ධූරයෙන් ඉවත් කිරීමයි. එම තනතුරට ලසන්ත අලගියවන්න පත් කැරිනි.  

► ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර