2021 ජනවාරි 02 වන සෙනසුරාදා

අලි සබ්‍රිත් නොදන්නා ඔහුගේ රහසක් මාධ්‍යයේ

 2021 ජනවාරි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 386

  • ආණ්ඩු පක්ෂ නායක හමුව උණුසුම් කළ ඇමැතිවරු තිදෙනා
  • ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ තීරණාත්මක රුස්වීමක්
  • සජබ ඇතුළේ හරින් බාල්දි පෙරළයි
  • එකම වේදිකාවේ එකට ගී ගැයූ පක්ෂ විපක්ෂ මැති ඇමැතිලා
  • ඩෝසරය එක්ක ජවිපෙන් ආණ්ඩු විරෝධී රැස්වීම් මාලාවක්
  • නව ව්‍යවස්ථාවෙන් උතුර යළිත් ෆෙඩරල් ඉල්ලයි
  • නියෝජ්‍ය කථානායකට සුපිරි නිල නිවෙසක්
  • සජිත් කතරගම ජනතාව සමඟ ජංගම සේවයක

වසරක අවසානය සටහන් කළ මේ සතියේ දේශපාලන කරළියේ කතා එතරම්ම කැපී පෙනුණේ නැත. එහෙත් තිරය පිටුපස වූ සංවාද තුළ ආණ්ඩුව සිය අවුල් වියවුල් ලිහාගන්නටත් විපක්ෂ ආණ්ඩු විරෝධය උත්කර්ෂයට නංවන්නටත් පිඹුරුපත් සකසමින් සිටියේය. ඒ නිසාම 2021 යනු අප්‍රමාණය බලාපොරොත්තු මතින් උදාවූ වසරක් නොවූවද මෙරට දේශපාලනයේ තවත් තීරණාත්මක වසරක් වන බව පෙනී යයි.

වසරේ අවසන් සතියේ ජනාධිපති විශේෂ පක්ෂ නායක හමුවක් කැඳවීමට හේතු කිහිපයක්ම තිබිණි. ඉන් ආසන්න හේතු ලෙස දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ මුස්ලිම් මළසිරුරු ආදාහන අවුල සහ පළාත්සභා ඡන්දය පිළිබඳ තීන්දුවයි. පළාත් සභා පිළිබඳ විවිධ බලවේගය ජනාධිපති වෙත එකින් එකට වෙනස් අදහස් දක්වා තිබුණි. කැබිනට්ටුවේද මෙම ගැටලු මතුවූ අතර ප්‍රබල අමාත්‍යවරු තිදෙනෙක් සෘජුවම පළාත් සභා ඡන්දය පැවැත්වීමට විරෝධය පෑහ. ජනපති පක්ෂනායක රුස්වීමක් කැඳවා මේ පිළිබඳ සාකච්ඡා කරන බවට එහිදී පොරොන්දු විය.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් 28 වැනි සඳුදා සවස 6ට මෙම විශේෂ පක්ෂනායක රුස්වීම පැවැත්විණි. මීට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් මෙන්ම දිනේෂ්, උදය, විමල්, වාසු යන අමාත්‍යවරු ඇතුළු ආණ්ඩුවේ සෙසු පක්ෂ නායකයෝ සම්බන්ධ වූහ. පළාත් සභා ගැටලු මෙහිදී ප්‍රමුඛ සංවාද වී තිබුණි. භික්ෂූන් වහන්සේලා මතුකරන පළාත් සභා විරෝධයට පක්ෂපාතීව පක්ෂ නායකයන් කිහිප දෙනකු සිය අදහස් දක්වා තිබුණි. එහෙත් පළාත් සභා අහෝසි කිරීම නොහැකියාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ බව දැනගන්නට ලැබේ. පළාත් සභා සම්බන්ධව ඉන්දියාව සමඟ සාකච්ඡා කිරීම පිළිබඳවත් විවිධ මත පළවූ බව කියැවේ. කෙසේ නමුත් අවසානයේ පළාත් සභා අහෝසි කිරීම පිළිබඳ තීන්දුවක් නොගත් අතර පවතින කොවිඩ් වසංගත තත්ත්වය හා මහා සංඝරත්නයේ ඉල්ලීම මත පළාත් සභා මැතිවරණය කල්දැමීමට පක්ෂ නායකයෝ එකඟ වූහ.

ශ්‍රීලනිප ආරෝවත් මෙම පක්ෂනායක රුස්වීම පිටුපස වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. ඒ අනුව මෙම පක්ෂනායක රුස්වීමට සහභාගී වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයෝ සිය ගැටලු ජනපති, අගමැති සහ බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසේ අවධානයට යොමු කළහ. ප්‍රධාන වශයෙන් සිය සංවිධායකයන් පළාත් පාලන ආයතන නියෝජිතයන් මුහුණපාන ගැටලු ඔවුන් මෙහිදී ඉස්මතු කර තිබේ. එම සංවාද යහපත් වූ බව පසුව අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළ ප්‍රකාශයක් හරහා පැහැදිලි විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ සිටිනා කිහිප දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දිගින් දිගටම තඩිබාන බවත් එම පිරිස විසින් ප්‍රාදේශීය සංවිධායකවරුන්ටද හිරිහැර කරන බවත් ඔහු කියා තිබුණි. එහෙත් පොදුජන පෙරමුණේ ඉහළ නායකයන් කිසිවිටෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිංසා නොකරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මීට අමතර නව ව්‍යවස්ථාව සම්පාදන සම්බන්ධව මෙන්ම මුස්ලිම් ආදාහනය ආදී දෑ පිළිබඳවත් මෙහිදී සාකච්ඡා වී ඇති බව කියැවේ. එසේම ආණ්ඩුවට එරෙහිව නැගෙන විපක්ෂ කළමනාකරණය පිළිබඳ පක්ෂ නායකයන් අතර කතාබහට ලක්ව තිබේ. එසේම 2021 වසරේ ආණ්ඩුවේ සැලසුම් පිළිබඳවද මෙහි එකඟතාවන්ට පැමිණ ඇත.

පළාත් සභා පිළිබඳ සංවාදය දකුණේ දේශපාලන උණුසුම් කරන විට උතුරේ දේශපාලනය මැදිහත්වීම මත සුවිශේෂී දෙයක් සිදුවිය. දෙමළ ජාතික සන්ධානය මගින් සකස් කළ පිටු 21කින් සමන්විත මෙම යෝජනාවලිය දෙසැම්බර් 29 වැනි අඟහරුවාදා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ විද්වත් කමිටුව වෙත භාරදෙනු ලැබීය. උතුර සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර පූර්ණ ලෙස බලතල විමධ්‍යගත කෙරෙන ෆෙඩරල් ව්‍යූහයේ විසඳුමක් සහිත ප්‍රාන්ත සභා ක්‍රමයක් ස්ථාපිත කළ යුතු බව ඔවුන්ගේ යෝජනාව විය. ප්‍රාන්ත සභා වෙත නීතිය හා සාමය, ඉඩම් ඇතුළු පූර්ණ බලතල විමධ්‍යගත කිරීමක් කළ යුතු බවත් පළාත් ආණ්ඩුවල පූර්ණ බලය ප්‍රධාන ඇමැතිවරයාට හිමිවිය යුතු බවත් ආණ්ඩුකාරවරයා පත්කළ යුත්තේද මහ ඇමැතිවරයාගේ උපදෙස් මත බවත් දෙමළ ජාතික සන්ධානයේ යෝජනා හරහා කියැවිණි.

දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන පක්ෂ ත්‍රිත්වයේම නායකයන්ගේ අනුමැතිය මෙම යෝජනාවලියට ලැබී තිබේ. මේ හරහා නව ව්‍යවස්ථාවෙන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයම රාජ්‍ය භාෂාවන් බවට නම් කළ යුතු යැයිද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු යැයිද යෝජනා කර ඇත. තවද ප්‍රධාන ඇමැතිවරයාට ප්‍රාන්ත සභාවේ අවසරය සහිතව හදිසි නීතිය පැනවීමට හැකි විය යුතු යැයිද පොලීසියද ප්‍රාන්ත ආණ්ඩු යටතේ පාලනය විය යුතු යැයිද ඔවුන් යෝජනා කර තිබේ. එසේම ප්‍රාන්ත කේන්ද්‍රගත වන ආකාරයේ ශක්තිමත් අධිකරණ යාන්ත්‍රණයක්ද නිර්මාණය කළයුතු බවද දෙමළ ජාතික සන්ධානය සිය යෝජනාවලිය හරහා තවදුරටත් යෝජනා කර තිබේ.

මේ සියල්ල අතරේ සතියේ දේශපාලනයේ රසබර සිදුවීමක්ද සමාජ මාධ්‍ය හරහා කරළියට ආවේය. එය දෙසැම්බර් 28 වැනිදා රජයේ ආයතන කිහිපයකම ප්‍රධාන තනතුරු ඉසිලූ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය සේවකයකු වන චූලානන්ද පෙරේරා මහතාගේ විශ්‍රාම සාදයේදී සිදුවූ සිදුවීමකි. මෙම සාදයට පක්ෂ විපක්ෂ ඉහළ පෙළේ බොහෝ දෙනෙක් සහභාගී වූහ. එමෙහි සිදුවූ අපූරු සිදුවීම වූයේ එකිනෙක එදිරිව සිටින දේශපාලකයන් ලෙස ප්‍රකට විමල් වීරවංශ, හරීන් ප්‍රනාන්දු, දයාසිරි ජයසේකර සහ මනූෂ නානායක්කාර මැති ඇමතිවරු එක්වී වේදිකාවේ එකට සිට එකම ගීයක් ගායනා කිරීමයි. මෙම ගැයුම පිරිස වීඩියෝ ගතකරන අතර යමෙක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණි. ඒ සමඟ තවත් පිරිසක් මෙම සිදුවීම මෙරට දේශපාලනයේ යථාර්ථය පෙන්වීමට භාවිත කළහ.

සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ගැටුමක් පිළිබඳ ගෙවුණු සතියේ සුවිශේෂී දේශපාලන කටකතාවක් පැතිර ගියේය. හරීන් ප්‍රනාන්දු මහතා පිළිබඳ වූ මෙම කතාව සත්‍යතාව තහවුරු කරගත නොහැකි වූ දේශපාලනයේ තිරය පිටුපස අහමුළුවල සංවාදයට ලක්විය. මීට අනුව කියැවුණේ බදුල්ල දිස්ත්‍රික්කයේ දේශපාලනයෙන් ඉවත්ව ගම්පහ දිස්ත්‍රික්කයෙන් දේශපාලනට පිවිසෙන බව ප්‍රකාශ කළද හරින් ප්‍රනාන්දු මහතා බදුල්ලේ සමගි ජන බලවේග කටයුතුවලට මැදිහත් වෙමින් ප්‍රශ්න ඇති කරමින් සිටින බවයි. මේ පිළිබඳ හිත නොරොක්වී සිටින චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමඟ මේ සම්බන්ධ කතා බර කර ඇති බව කියැවුණි.

මේ සමඟම බදුල්ලේදී පැවති අලුතින් බිහි කිරීමට නියමිත සමගි ජන සන්ධානයේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පැවැති සමුළුවට තමන්ට කැමති අයට පමණක් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ආරාධනා කොට තිබෙන බවටද චෝදනා එල්ල විය. ඒ සමඟ හරීන් වැඩකරන්නේ හිතුමනාපෙට. ඒ කරන වැඩ ගැන පක්ෂය දැනුවත් නෑ* යනුවෙන්ද සමගි ජන බලවේගයේ පිරිසක් කතා බහ කර ඇති බව කියැවේ.

කලකට පසුව මර්වින් සිල්වා මහතා පිළිබඳවද දේශපාලන කරළියේ පුවත් වාර්තා විය. ඒ කියැවුණේ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ ඔහුගේ පුත් මාලක විසින්පවත්වන ලද සාදයක් පිළිබඳව සෞඛ්‍ය පරීක්ෂකවරුන් තොරතුරු රුස් කරමින් බවයි. එහෙත් මෙය නත්තල වෙනුවෙන් පවත්වන ලද කුඩා සාදයක් බවත් එහි සොයා බැලීමට තරම් දෙයක් නොමැති බවත් තතු දත් ඇතැම්හු කීහ. කෙසේ වෙතත් මෙම සාදය වෙනුවෙන් එජාපයේ මෙන්ම සමගි ජනබලවේගයේද ප්‍රධාන චරිත කිහිපයක් ප්‍රබලයන් සහභාගි වී ඇති බව මාලක සිල්වාගේ මුහුණු පොතේ ජයාරෑප අනුව පෙනී ගියේය. ඒ අනුව මෙම සාදයට එජාප නියෝජ්‍ය නායක රවී කරුණානායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අර්ජුන රණතුංග, නවීන් දිසානායක සහ සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක ආදී පිරිසක් මීට සහභාගී වී ඇත.

දෙසැම්බර් 30 වැනි බදාදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්විය.  එයත් සතියේ සුවිශේෂී සිදුවීමක් විය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ මධ්‍යම කාරක සභාවට ජ්‍යෙෂ්ඨයන් ඇතුළු පක්ෂයේ සැලකිය යුතු පිරිසක් සහභාගී වී සිටියහ. පක්ෂයේ අනාගතය පිළිබඳ ගතයුතු ක්‍රියාමාර්ග සහ පක්ෂ හමුවේ ඇති අභියෝග පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබේ. එසේම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට කමිටුවක් පත්කිරීමටද මෙහිදී තීරණය කර ඇත. එම කමිටුව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ඇති බව කියැවේ. එසේම එහි සාමාජිකයන් ලෙස ෆයිසර් මුස්තාපා, සාරතී දුශ්මන්ත, දයාසිරි ජයසේකර යන පිරිස පත්වනු ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රුස්වීමෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ මහින්ද අමරවීර සහ දයාසිරි ජයසේකර යන අමාත්‍යවරුන්ගෙන් පළාත් සභා සම්බන්ධව මත දෙකක් ප්‍රකාශ විය. ඇත්ත වශයෙන්ම පළාත් සභා දැන් තියෙනවා. පළාත් සභාව නැතුව නෙමෙයි. පළාත් සභාවේ ජනතා නියෝජනයක් නෑ. අද පළාත් සභාව ක්‍රියාත්මක වෙන්නේ නිලධාරීන් අතින්. ඒ නිසා අපි යෝජනාවක් විදියට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. රජයට පසුගිය පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් නැවත සක්‍රීය කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් මේ මැතිවරණය හැකිළීම තුළ වෙලා තියෙන්නේ අවුරුදු ගණනක් පළාත් සභාව තුළ ජනතා නියෝජනයක් නැති තත්ත්වයකට මේක පත්වෙලා. යනුවෙන් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

ඒ අතර අපි පළාත් සභා මැතිවරණය ගැන සාකච්ඡා කළේ නෑ. මොකද පක්ෂ නායකයන්ගේ රුස්වීමේ දී පළාත් සභා මැතිවරණය මේ මොහොතේ නොතියන්න තමයි තීන්දු කළේ. තියෙන කොවිඩ් තත්ත්වයත් ඒ වගේම පක්ෂය විදියට අපි දන්වලා තිබුණු මතයක් තිබුණා. ඒ තමයි නව ඡන්ද ක්‍රමයක්. මනාප නැති ඡන්ද ක්‍රමයක්. ඒ පිළිබඳවත් සාකච්ඡා කරලා තමයි කටයුතු කරන්න තීන්දු කළේ. මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර තිබුණි.

ජනතා විමුක්ති පෙරමුණේ “ඩෝසරයට එරෙහි පරිසරය වෙත යළි හැරෙන කතාබහක්” සම්මන්ත්‍රණය දෙසැම්බර් 28 වැනිදා මාතලේ දිස්ත්‍රික්කයෙන් ආරම්භ විය. ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මන්ත්‍රණ මාලාව දිවයින පුරා පැවැත්වීමටද කටයුතු සූදානම් කර තිබේ. ජනවාරි මාසය පුරා කොළඹ, හම්බන්තොට, මහනුවර, බණ්ඩාරවෙල, අම්පාර, ත්‍රිකුණාමලය ආදී ප්‍රදේශවල කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩසටහන දියත් වෙනු ඇත. මේ අතර ජවිපෙ මාධ්‍ය සාකච්ඡා තුළින් ආණ්ඩු විරෝධය තවත් තර කරන්නට උත්සුක වෙමින් සිටී. අනුරාධපුරයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා විපක්ෂයේ මෙතෙක් නෑසුණු විශේෂ අනාවැකියක් කීවේය. වත්මන් ආණ්ඩුව හැම පැත්තෙන්ම ෆේල් වී ඇති කොට උඩ තිබෙන බවත් එනිසා මෙම ආණ්ඩුව පවතිනු හැක්කේ තවත් උපරිම මාස හතක් අටක් බවත් එම කාලයෙන් පසු ආණ්ඩුව වැටෙන බවත් වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කර තිබුණි.

කොවිඩ් ආසාදිත මුස්ලිම් මළසිරුරු ආදාහනය පිළිබඳ විරෝධතා පසුගිය සතිය පුරා දක්නට ලැබුණි. මුස්ලිම්වරු භූමදාන අයිතිය ඉල්ලා අරගල කරන්නට වූ අතර භූමදානයට අවසර නොදෙන ලෙස ජාතික සංවිධානය සහ ඇතැම් සංඝයාවහන්සේලා හඬ නැගූහ. මේ අතර අමාත්‍ය අලි සබ්‍රි පිළිබඳ අසත්‍ය කටකතාවක් පැතිර ගියේය. සබ්‍රි මහතා සිය ඇමති ධුරයෙන් ඉවත් වීමේ ලිපිය ජනාධිපතිවරයාට බාරදුන් නමුත් එය බාරගෙන නැති බව එම කටකතාවට අනුව කියැවිණි. කොරෝනා ආසාදිතව මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහයන් ආදාහනයට මුස්ලිම් සමාජයෙන් එල්ල වන පීඩනය මත ඔහු ධුරයෙන් අස්වීමේ තීරණය ගෙන ඇති බවද ඇතැම් වෙබ් අඩවි වාර්තා කළේය. අවසානයේ තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ බවට පැතිර යන මාධ්‍ය වාර්තා අසත්‍ය බව අධිකරණ ඇමති අලි සබ්‍රි මහතා සිය මුහුණ පොතේ මෙසේ සටහනක් තැබුවේය. මම නොදන්න මගේ ඉල්ලා අස්වීම.. ! අනේ අපේ මාධ්‍ය සදාචාරය.. !

කෙසේ නමුත් සබ්‍රි විරෝධයද සුළුපටු නොවූ බව පෙනී ගියේය. ජාතික සංවිධාන භික්ෂූන් මෙහි පෙරටුගාමීන් වූ අතර විරෝධය සමාජ මාධ්‍ය හරහා එය පැතිර ගියේය. එක් අවස්ථාවකදී අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා එම ධුරයෙන් නෙරපා වහාම අත් අඩංගුවට ගතයුතු යැයි උලපනේ සුමංගල හිමියෝ කීහ. ඒ අතර කොවිඩ් මරණවල අවසන් කටයුතු සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් අනවශ්‍ය ලෙස මැදිහත් වන බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා වෝහාරික වෛද්‍යවරුන්ගේ සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය. කෙසේ වෙතත් බලධාරීන් කියා සිටියේ සිරුරු භූමදානයට තවමත් කිසිදු අවසරක් ලබා දී නොමැති බවයි.

පාර්ලිමේන්තුවේදී දෙසැම්බර් 30 වැනිදා තවත් පක්ෂ නායක රුස්වීමක් පැවැත්විණි. ජනවාරි 5 වැනිදා ආරම්භ කිරීමට නියමිත නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම පිළිබඳව සාකච්ජා කිරීම මෙහි අරමුණවිය. එහෙත් විශේෂිත වූයේ මෙම හමුවට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හෝ නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා සහභාගී නොවීමයි. ඒ අනුව පක්ෂ නායක රුස්වීම පවත්වා ඇත්තේ නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙම සාකච්ඡාව සඳහා දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩලස් අලහප්පෙරුම, අලි සබ්‍රි, ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම්, මනෝ ගනේෂන් අතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

කෙසේ වෙතත් කතානායකවරයා හෝ නියෝජ්‍ය කතානායකවරයා පක්ෂනායක හමුවට සහභාගී නොවීම පිළිබඳ වූ පැතිරුණු ආරංචිය නම් සුභදායක නොවීය. කථානායකවරයාගේ පෙරගමන් රථයේ පොලිස් රියැදුරුට සහ උපපොලිස් පරීක්ෂකවරයාට කොවිඩ් වැළඳී තිබීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ පිහිටි කථානායක කාර්යාලයද වසා ඇති බව දැනගන්නට ලැබුණි. පාර්ලිමේන්තු පුරා කොවිඩ් අවදානම පැතිර තිබූ අතර කතානායකවරයා නිරෝධායනය කර ඇති බවද ඇතැම්හු කීහ. එහෙත් අවසානයේ හෙළිවූයේ කථානායකවරයා නිරෝධායනයට ලක්කර නොමැති බවයි. කථානායක මාධ්‍ය අංශය අවසානයේ නිවේදනයක්ද නිකුත් කරමින් කරුණු පැහැදිලි කළේය. ජනවාරි පළමුවැනිදා සිට කතානයකවරයා සුපුරුදු පරිදි රාජකාරියට වාර්තා කරන බව ඒ අනුව කියැවිණි.

මේ අතර පාර්ලිමේන්තුව දෙසින් තවත් පුවතක් ගලා ආවේය. එම පුවතට අනුව පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල උපදේශක කමිටුව මගින් ගනු ලැබූ තීරණයකට අනුව නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා හට බම්බලපිටියේ සුපිරි නිල නිවෙසක් ලබාදී තිබේ. එය බම්බලපිටියේ ‘ලොරිස්’ පෞද්ගලික නිවාස සංකීර්ණයට අයත් නිවසක් බව කියැවුණි. කෙසේ නමුත් මෙය නියෝජ්‍ය කථානායකවරයකුට මෙසේ පෞද්ගලික නිවාස සංකීර්ණයක නිල නිවෙසක් ලබාදුන් ප්‍රථම අවස්ථාවයි. ඉහතදී නියෝජ්‍ය කථානායකවරුන්ටද ලබාදී තිබුණේ මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ පිහිටි නිවෙසක් බව කියැවේ. මෙම තීරණය පිළිබඳ රංජිත් සියඹලාපිටිය මහතා හෝ පාර්ලිමේන්තු පාර්ශ්වයෙන් මේතාක් පැහැදිලි කිරීමක් සිදුකර නොමැත.
“විපක්ෂ නායක ජංගම සේවය” ගෙවුණු සතියේ සිදුවූ තවත් විශේෂ වැඩසටහනක් විය. මෙවර සජිත් ප්‍රේමදාස මහතා කතරගම වල්ලිමාතාගම ජනතා ගැටලු සාකච්ඡා කිරීමට ගියේය. දෙසැම්බර් 29 වැනිදා පැවති මෙම සාකච්ඡාවේදී කතරගම මූලික රෝහලේ අඩුපාඩු සම්බන්ධයෙන් ජනතාව විපක්ෂ නායකවරයාගේ අවධානය යොමු කළේය. කැපී පෙනෙන සිදුවීම වූයේ ඒ මොහොතේම ප්‍රේමදාස මහතා කතරගම රෝහලේ වෛද්‍යවරුන්ට දුරකතන ඇමතුමක් ලබාදී අඩුපාඩු විමසා සිටීමයි. එහිදී වෛද්‍යවරයා අදාළ කරුණු පිළිබඳව පවසා සිටියේ රෝහලේ මල්ටි පැරා මොනිටර් උපකරණවල හිඟයක් පවතින බවයි. එවිට ජනතාව ඉදිරියේම එම උපකරණ 5ක් රෝහලට ලබාදෙන බවට විපක්ෂ නායකවරයා පොරොන්දුවක් දුන්නේය. ජංගම සේවයේදී මතුවූ ගැටලු පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමුකරන බවත්, පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටතත් මේ පිළිබඳව හඬනගන බවත් සජිත් ප්‍රේමදාස මහතා ජනතාවට පැවසීය.

පාඨලීගේ නව දේශපාලන තීන්දුව සහ පාඨලී හිතවාදීන්ගේ සමාජ ජාල හැසිරීම  සමඟ ඉදිරි සමගි ජනබලවේගයේ ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා සම්බන්ධව විවිධ කතාද පැතිර යන්නට විය. මේ සමඟම තිස්ස අත්තනායක මහතා 30 වැනිදා මාධ්‍ය සාකච්ඡාවකදී ඉදිරි ජනාධිපතිවරණයට සමගි ජනබලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානයක පොදු අපේක්ෂකයා ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වන බව කීවේය. එය තරමක් සුවිශේෂී ප්‍රකාශයක් වූ අතර බොහෝදෙනාගේ අවධානයද ඊට යොමුවී තිබුණි.

රටට තියෙන එකම විකල්පය සජිත් ප්‍රේමදාස මහතා සහ සමඟි ජනබලවේගයයි කියන එක අපි ඔප්පු කරමින් තිබෙනවා. සමගි ජන බලවේගයේ නව ව්‍යවස්ථාව අනුවම අපි තීරණය කර තිබෙන්නේ දුරකථනය අපේ ලාංඡනයයි. ඒකේ වෙනසක් නෑ. සමගි ජන සන්ධානයත් ගොඩනගනවා. සමගි ජන සන්ධානය අපි ගොඩනගන්නේ අපිත් එක්ක එකට වැඩකරන මිත්‍ර පක්ෂවල ඒකාබද්ධ ව්‍යාපාරයකට ඉඩකඩක් ලබාදෙන්න. එකට වැඩකරන්න. ඒ අතර පාඨලී චම්පික රණවක මහතා විතරක් ඔහු නියෝජනය කරපු හෙළ උරුමයෙන් ඉවත්වෙලා සමගි ජන බලවේගයට එකතුවෙන්න කැමැත්ත පළකරලා තිබුණා මහලේකම්තුමා හා නායකතුමා මුණගැහිලා. ඒ හැර අනෙක් සියලුම පක්ෂ එකට වැඩ කරනවා.

හිටිහැටියේම වසර අවසානයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළේය. ලංකාවේ මාධ්‍ය හමුවේ නිතර මුනිවත රකිමින් ඔහු ඉන්දියාවේ හින්දු පුවත්පත සමඟ පැවති සංවාදයකදී මෙම ප්‍රකාශ සිදුකර තිබිණි. ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නිසි අපේක්ෂක සංඛ්‍යාව නොලැබුණහොත් ආණ්ඩුවෙන් ඉවත්ව තනිව තරග වැදීමට සූදානම් බව එහිදී ඔහු කියා තිබුණි. 2020 අගෝස්තු මාසයේ පැවැති මහ මැතිවරණය සඳහා අපේක්ෂකයන් තේරීමේදී තම පක්ෂයට අසාධාරණ ලෙස සැලකූ බවද ශ්‍රීලනිප සභාපතිවරයා සඳහන් කර තිබේ. “අපේ පක්ෂයට කළුතර සහ නුවර එළිය සඳහා අපේක්‍ෂකත්ව ලැබුණේ නැහැ. ගම්පහට ලැබුණේ එකයි. කුරුණෑගලට ලැබුණේ දෙකයි. අපට සාධාරණ අපේක්ෂක ගණනක් ලැබුනේ නැහැ. අපි ඉල්ලුවා අපේක්ෂකයින් 30ක්. නමුත් ලැබුණේ නැහැ. නැත්නම් අපේ 25ක් විතර පාර්ලිමේන්තු යනවා.” යනුවෙන් හිටපු ජනාධිපතිවරයා කී බව මාධ්‍ය වාර්තා මගින් උපුටා දක්වා තිබිණි.

2021 නව වසර උදාවන විට ජනාධිපති අගමැති සිය සුභපැතුම් පණිවිඩය එක්කර තිබුණි.නව වසරේ උදාව, ගතවන සෑම මොහොතකම එළැඹෙන අභියෝග නිවැරදිව අවබෝධ කරගනිමින් ජීවිත සකසා ගැනීමටත්, අදිටනින් පෙරට යාමටත් අප දිරිගන්වයි. එබැවින්, අප 2021 පිළිගන්නේ සුබවාදී ආකල්පයෙන්, අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන් ද පරිපූර්ණවය. යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව අවුරුදු පණිවිඩයේ සඳහන් විය. එසේම එළඹෙන නව වසරේදී රටේ සෑම පුරවැසියකුම තම මව්බිම වෙනුවෙන් කැපවී කටයුතු කිරීම තමන් බලාපොරොත්තු වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබුණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය අවුරුදු පණිඩය හරහා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබුණි. ඉතා ලඝු කරුණු අරභයා තවදුරටත් අප බෙදී වෙන් වී සිටිය යුතු නැත. අපේ මාතෘභූමිය වෙනුවෙන් අද අප වෙහෙසෙන්නේත් කැපවන්නේත් අපේ මතු පරපුරේ යහපත වෙනුවෙනි. එහෙයින් එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස සමාජ සංස්කෘතික හා ආගමික සහජීවනය පෙරදැරිව රට ගොඩනැඟීමට එළැඹෙන නව වසර අවස්ථාවක් කරගන්නැයි සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිමි. යනුවෙන් සඳහන් කරමින් අග්‍රාමාත්‍යවරයා සිය අවුරුදු සුභපැතුම් මහජනතාව වෙත එක් කළේය.

ඒ අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කියා තිබුණේ රටක් ලෙස අපේ මාතෘභූමිය බරපතල අර්බුද රුසකට මුහුණදී සිටින බවයි. එක් අතකින් කොරෝනා ව්‍යසනය මෙන්ම තවත් අතකින් පටු දේශපාලන අරමුණු හේතුකොටගෙන ජනතාව දැඩි ව්‍යාකූලත්වයකට පත්ව ඇති බව ඔහු සිය අවුරුදු පණිවිඩය හරහා පසක් කර තිබුණි. ඔහු සිය පණිවිඩය අවසන් කර තිබුණේ &ලබන්නාවූ නව වසර අධිෂ්ඨානය, මානව දයාව, කැපවීම සහ උදාර අපේක්ෂාවන් පෙරදැරිව ජයගත යුතුව තිබේ. ඒ වෙනුවෙන් සකල ශ්‍රී ලාංකේය ආදරණීය ඔබට ශක්තිය සහ ධෛර්යය ප්‍රාර්ථනා කරමි. යනුවෙනි.

 චමිඳු නිසල්

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00