2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා

පාස්කු ප්‍රහාරයේ වගකීම මෛත්‍රීට ගන්න බැරිලු

 2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 170

  • ජනපතිටත් ඇමැති ධූරයක්
  • බැසිල් ඉල්ලා තවත් අත්සන් ව්‍යාපාරයක්
  • ආණ්ඩුවෙන් මෙන්සස් බද්දක් විපක්ෂයෙන් චෝදනා
  • බදියුදීන් ගැන මහින්දානන්දගෙන් හෙළිදරව්වක්
  • ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ගැන එජාප මත දෙකක
  • මැතිසබයේදී සිංහලෙන් කථාකළ යාපනේ මන්ත්‍රී

තවත් වැදගත් දේශපාලන සතියක් ගෙවී ගියේය. ආණ්ඩුව පාර්ශ්වයෙන් දේශපාලනිකව සුවිශේෂී වූ තීන්දු තීරණ කිහිපයක් ප්‍රකාශයට පත්විය. අයවැය විවාදයේ පැටලී සිටින විපක්ෂය රටට දැනෙන විරෝධයක් ආණ්ඩුව කෙරෙහි ගොනුකරමින් සිටියේය. හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මෙන්ම හිටපු අගමැති රනිල් වික්‍රමසිංහද සතියේ කතා සාදයේ මාතෘකා විය. කොවිඩ් මතින් වළකාගත නොහැකි දේශපාලන උණුසුමක් ක්‍රමයෙන් නිර්මාණය වෙමින් පැවතුණි.

නොවැම්බර් 20 වැනි සිකුරාදා ආණ්ඩුව පාර්ශ්වයෙන් තීරණාත්මක තීන්දු ගනු ලැබුවේය. ගෙවුණු සතියේ දේශපාලන කෙරෙහි මෙම තීන්දුව සෘජු බලපෑවේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් පත‍්‍රයක් මෙදින නිකුත් කළේය. තාක්ෂණ අමාත්‍යංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යංශය නමින් නව අමාත්‍යංශ 02 ක් පිහිටුවීම සිදුවිය. මේ සමඟම කැබිනට් අමාත්‍යාංශ සංඛ්‍යාව 28ක් බවට පරිවර්තනය විය.

ඒ අනුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පැවති පොලිස් දෙපාර්තමේන්තුව සහ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නව ගැසට් නිවේදනය මගින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැවරීම සිදුවිය. එසේම එතෙක් ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පැවති විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ අනුබද්ධ ආයතන, ටෙලිකොම් සමාගම සහ එහි පාලිත සමාගම් සහ ආශ්‍රිත ආයතන තාක්ෂණ අමාත්‍යාංශය යටතට පැවරීම් මේ හරහා සිදුවිය. මීට අමතරව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විදුර වික්‍රමනායක මහතා අමාත්‍ය ධුරය දරන ජාතික උරුම ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ශීර්ෂය යටතට ගෙන ඒමද මේ හරහා සිදුවූයේය.

මෙම අමාත්‍යාංශ දෙකේ හිමිකාරීත්වය පිළිබඳ ආරම්භයේ සිටම විවිධ දේශපාලන ආරංචි පැතිර ගියේය. කෙසේ වෙතත් එම ආරංචි රුසක් සපථ කරමින් 26 වැනි බ්‍රහස්පතින්දා තාක්ෂණ අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතේම පවත්වා ගනු ඇතැයි ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. රාජ්‍ය ඇමැති සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂාව පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස ජනාධිපති ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මෙම පත්වීම පිළිබඳ විපක්ෂයේ කණ්ඩායමක් විවිධ ආරංචි පතුරුවා හරින්නට විය. ඉන් එකක් වූයේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ආණ්ඩුව අභ්‍යන්තරයේ ඇති කරගත් මත ගැටුමක් මීට හේතුව වී ඇති බවයි. එහෙත් කොළඹින් පළමුතැනට ආ සරත් වීරසේකර හට කැබිනට් ඇමතිකමක් ලබාදීමට කල් ඇතුවම සැලසුම් කරන ලද්දක් බව ආණ්ඩුව පාර්ශ්වයෙන් දැනගන්නට ලැබුණි. එසේම තාක්ෂණ අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතේම පවත්වා ගනු ඇතැයිද රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර නොවැම්බර් 23 වැනි සඳුදා පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ හට සුවිශේෂී දිනයක් විය. 2015 ජනාධිපතිවරණය සමයේ දිවි නැගුම සහනාධාරලාභීන්ට සෙවිලි තහඩු ඇතුළු නිවාස උපකරණ බෙදාදීමට එම දෙපාර්තමේන්තුවේ මුදල් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ ඇතුළු සිවු දෙනෙකුට පවරා ඇති නඩුව මෙදින කැඳවා තිබුණි. මේ නඩුවට අදාළව බැසිල් රාජපක්ෂ මහතාට විදේශ ගමන් තහනමක් පනවා තිබූ අතර එම තහනම ඉවත් කරන ලෙසම රාජපක්ෂ මහතාගේ නිතීඥවරු ඉල්ලා සිටියහ.

ජනාධිපතිවරයා විසින් පත්කර ඇති ආර්ථික කාර්යසාධන කමිටුවක ප්‍රධානත්වය දරමින් කටයුතු කරන නිසා ඔහුට රාජකාරීමය කටයුතු සඳහා විදෙස්ගත වීමට අවශ්‍යව ඇති බැවින් විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ. ඒ බව තහවුරු කිරීමට ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද ලිපියක්ද අධිකරණයට ඉදිරිපත් කරන ලදී. ඒ අනුව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හට පනවා තිබු විදේශ ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය අවසානයේ නියෝග කළේය.

මෙම නියෝගය සතියේ දේශපාලන විසංවාදයට හේතුවිය. සමගි ජන බලවේගයට හොඳ මාතෘකාවක් විය. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කිය සිටියේ ආණ්ඩුව ගෙන අවේම ඔක්කෝම සුද්ද කරන්නට බවයි. සියලු කුමන්ත්‍රණ කර යහපාලන ආණ්ඩුව පරාජය කිරීමටද හේතු මෙයම බව ඔහු කියා සිටියේය. එසේම තමන්ටද විදෙස් ගමන් තහනම් ඇති බවත් ඉදිරියට ඒ සම්බන්ධව සිදුවන්නේ කුමක්දැයි බලා සිටිය යුතු බවත් සේනාරත්න මහතා කියා සිටියේය. මේ අතර ආණ්ඩුවේ පොඩ්ඩන් විසින් බැසිල් වෙනුවෙන් තවත් ව්‍යාපෘතියක් අරඹා තිබුණි.

 ඒ බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්සන් එකතු කිරීමේ ව්‍යාපාරයකි. මෙය දෙවැනි වතාවට ක්‍රියාත්මක කරනු ලැබූවක් වූ අතර දේශපාලන ආරංචි අනුව මෙවර බැසිල්වාදියකු ලෙස සැලකෙන කොළඹ දිස්ත්‍රික් නවක පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර විසින් මෙය මෙහෙයවනු ලැබූ බව කියැවිණි. නොවැම්බර් 25 වැනි බදාදා මෙම කටයුත්ත පාර්ලිමේන්තු පරිශ්‍රයේ සිදුවූ අතර මැති ඇමතිවරු කිහිපදෙනෙක් මේ සම්බන්ධයෙන් නොසතුටින් සිටි බවද කියැවුණි.

එක්සත් ජාතික පක්ෂයද ගෙවුණු සතියේ විශේෂ අවධානයක් දිනාගත්තේය. නොවැම්බර් 23 වැනිදා සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති රුස්වීමේදී අකිල විරාජ් කාරියවසම් මහතා තමන් මෙතෙක් එක්සත් ජාතික පක්ෂය තුළ දැරෑ මහලේකම් තනතුරින් ඉවත්වන බව ප්‍රකාශ කළේය. පක්ෂයේ නව නිලධාරි මණ්ඩලය ලබන වසරේ පත් කිරීමට නියමිත බවත් ඒ අවස්ථාවේදී අලුත් කණ්ඩායම් සඳහා අවස්ථාව ලබාදීමට මෙලෙස ඉල්ලා අස්වන බවත් අකිල විරාජ් කාරියසම් මහතා පවසා තිබුණි. මෙම හමුව සුවිශේෂී වූ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වූ අතර පක්ෂ ජ්‍යෙෂ්ඨයෝද ඊට සහභාගී වූහ.

දැනට පුරප්පාඩු වී තිබෙන එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා පත්කළ යුතු බවට එජාප ජ්‍යෙෂ්ඨයන් සියලුදෙනාගෙන්ම ප්‍රබල ඉල්ලීම් ඉදිරිපත් විය. එහෙත් ඒ සම්බන්ධයෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අවසන් එකඟතාවයක් පළකළේ නැත. පසුව පැවති මාධ්‍ය හමු දෙකකදී වජිර අබේවර්ධන මහතා සහ රුවන් විජයවර්ධන මහතා වික්‍රමසිංහ මහතාගේ තීන්දුව සම්බන්ධයෙන් දෙකක් අදහස් ඉදිරිපත් කළහ. රුවන් විජයවර්ධන මහතා කීවේ රනිල් වික්‍රමසිංහ මහතා ලැයිස්තු මන්ත්‍රී ධූරය ජාතික ලැයිස්තුව නියෝජනය කරන අයකුට හෝ තරුණ මන්ත්‍රීවරයකුට ලබාදීමට කටයුතු කරනු ඇති බවයි. වජිර අබේගුණවර්ධන මහතා කීවේ රනිල් වික්‍රමසිංහ මහතා ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පත්වන අතර වික්‍රමසිංහ මහතා එය ප්‍රතික්ෂේප කර නොමැති බවයි.

මේ අතර අනපේක්ෂිත දේශපාලන චරිතයක් උතුරු දේශපාලනයෙන් මතුවී දකුණේ දේශපාලනයේ කතාබහට ලක්විය. ඒ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍ය රාසමාණික්කම්ය. පසුගිය මාසයේ පාර්ලිමේන්තුවේ සිංහල බසින් ඔහු කළ කතාවක් නිසා කාගේත් අවධානය ඔහු වෙත යොමුවී තිබුණි. චතුර ලෙස සිංහල බස හසුරවන මෙම දමිළ මන්ත්‍රී පිළිබඳ යම් සංවාදක් තිරය පිටුපස වූ බව ආරංචි පැතිර ගියේය.

ඒ අතර ප්‍රකට වෙබ් අඩවියක් වාර්තා කළේ ජනාධිපති නැගෙනහිර ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කළ රෝහිත බෝගොල්ලාගම මහතා හරහා රාසමාණික්කම් ජනාධිපති හමුවට කැඳවා ඇති බවයි. එහිදී ජනාධිපති ඔහුට ප්‍රශංසා කර ඇත. තවද ඔහු ආකාරයට වැඩකටයුතු කරන තරුණයන් දෙමළ ජාතික සන්ධානය හරහා පාර්ලිමේන්තුවට පැමිණ සිටීම ඉතා හොඳ ප්‍රවණතාවයක් යැයි ජනාධිපති සඳහන් කර ඇති බවද එම වෙබ් අඩවිය වාර්තා කර තිබුණි.

ගෙවුණු සතියේ කතාබහට ලක්වූ තවත් දේශපාලන චරිතයක් වූයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. පාස්කු ප්‍රහාර පිළිබඳ විමර්ශන කරනු ලබන ජනාධිපති කොමිසමට පසුගිය සතියේ අවස්ථා දෙකකදී මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණියේය. ඔහු ලබාදුන් සාක්ෂි දීර්ඝ ලෙස මාධ්‍ය වාර්තා කළේය. ප්‍රහාර වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වශයෙන් තමන්ට වගකීමක් නොමැති බවද එම වගකීම ඇත්තේ ආරක්ෂක අංශ සහ බුද්ධි අංශවලට සියලුදෙනා සතුව බවද ඔහු කොමිසම හමුවේ කියා සිටියේය. මෙය ඔහු කළ එක් ප්‍රකාශයක් පමණක් වූ අතර අන්දෝලනාත්මක ප්‍රකාශ රුසක් හිටපු ජනාධිපතිවරයා සිදුකර තිබුණි.

නොවැම්බර් 25 වැනි බ්‍රහස්පතින්දා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කොමිසමට හමුවට කැඳවනු ලැබූ අවසන් දිනය විය. එදින ඔහු සාක්ෂි විමසීම අවසානයේ කියා තිබුණේ තමා ඉතා සතුටින් මේ කොමිසමට මුල් දවසේ සහභාගී වූ බවත් අවසාන දවසේ යන්නෙත් සතුටින් බවත්ය. මේ අතර නිතර කොමිසට එනවිට මුණගැසුණු මාධ්‍යවේදීන්ට පොරොන්දු වූ පරිදි හිටපු ජනාධිපතිවරයා කටයුතු අවසානයේ ඔවුන් හමුවේද අදහස් දැක්වීමක් කළේය.

අයවැය විවාදයේ සම්මත වූ ජනාධිපති වැයශීර්ෂයද පසුගිය සතියේ වැදගත් දේශපාලන තේරීමක් විය. ජනාධිපති කාර්යාලයේ මෙම වසරේ වියදම පසුගිය වසරට සාපේක්‍ෂව රුපියල් බිලියන 1 යි දශම 8 කින් අඩු වී ඇති බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී පෙන්වා දුන්නේය. මේ හා සම්බන්ධව සමාජ මාධ්‍යයේ ප්‍රශංසාත්මක ප්‍රකාශ රුසක් දක්නට ලැබුණි. ඒ අතර 23 වැනිදා පොලිස්පති ධූරයට ජනාධිපතිවරයා විසින් නම්කර එවූ වැඩබලන පොලිස්පති සී.ඩී. වික‍්‍රමරත්නට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිව තිබුණි. එසේම ජනාධිපතිවරයා විසින් නම්කර එවූ අභියාචනාධිකරණ විනිසුරුවරුන් 14 දෙදෙනාද පාර්ලිමේන්තු සභාව විසින් අනුමත කරන ලදී.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධව විශේෂ අධිකරණ නියෝගයක්ද පසුගිය 24 වැනිදා නිකුත් විය. ඒ අනුව 2011 වසරේ පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව කියන ලලිත් වීරරාජ් හා කූගන් මුරුගානන්දන් යන අයගේ නඩු විභාගයකට අදාළව සාක්ෂිදීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිකුත් කර තිබෙන සිතාසිය බලරහිත කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කෙරිණි. ආරක්ෂක හේතූන් මත තමාට යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට අපහසු බව දන්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය එම සිතාසිය මත යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීම වළක්වාලමින් තහනම් නියෝගය නිකුත් කරන ලදී.

සමගි ජන බලවේගය සිය දේශපාලන ක්‍රියාකාරීත්වය ඉහළ නංවා ගැනීම පිණිස ගෙවුණු සතිය පුරා විවිධ කටයුතු සිදුකරමින් සිටියේය. ඒ අතර නුවරඑළිය නගර සභාවේ මන්ත්‍රීවරු 4 දෙනෙක් විපක්ෂනායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජනබලවේගයට සම්බන්ධ වී ඉදිරි දේශපාලන කටයුතු කරන බවට පොරොන්දු වූහ. මේ අතර අයවැය විවාදය පාදක කරගනිමින් සමගි ජනබලවේග නිර්මාණය කළ අපූරු දේශපාලන මාතෘකා කිහිපයක් විය.

ඉන් එකක් වූයේ ඔරලෝසු කණු ගැලවීම පිළිබඳ කුමන්ත්‍රණයි. අයවැය විවාදයේදී මේ කතාව කීවේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාය. &කඩුගන්නාව නගර මධ්‍යයේ තිබ්බ ‍ප්‍රේමදාස ජනාධිපතිතුමා විසින් ඉදිකළ ඔරලෝසු කණුව නගර සභාව විසින් එක රුයකින් ගලවලා ඉවත් කරලා. රටපුරා ඔරලෝසු කණු ගැලවීමේ කුමන්ත‍්‍රණයක් තියෙනවා. අපි ඒක හෙළාදකිනවා.* යනුවෙන් ඔහු පවසා තිබුණි. ඒ අතර රංජන් රාමනායක පාර්ලිමේන්තු සභා ගර්භයේදී කතානායකවරයා ලොක්කා යනුවෙන් ආමන්ත්‍රණය කිරීම සම්බන්ධවද තවත් හබයක් නිර්මාණය විය.

මේ අතර පසුගිය සතියේ කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා බදු පැනවීම සම්බන්ධවද පාර්ලිමේන්තුවේදී විවාදයක් ඇති විය. මෙම කථිකාව සමාජ සංවාදයක් පවා නිර්මාණය කළේය. විපක්ෂයේ මන්ත්‍රීවරියන් විසින් මේ සම්බන්ධව දැවැන්ත විරෝධයක් ගොනු කෙරිණි. බ්‍රිතාන්‍ය ජාතිකයන් ඇඟ බද්ද ගැහුවා වගේ මේ ආණ්ඩුව දැන් 15%ක ‘මෙන්සස් බද්දක්^ ගහලා, කාන්තාවන්ගෙන් මාස් ශුද්ධියෙනුත් ආදායම් උපයන්න හදනවා* යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය පවසා තිබුණි. එහෙත් ආණ්ඩුවේ ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය පවසා තිබුණේ කාන්තාවන්ට වඩා වැදගත් ආරක්ෂාව බවයි. ඒ අනුව කියා සිටියේ වත්මන් රජය යටතේ කාන්තාව සුරක්ෂිත බවයි.

සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති පිහිටුවීම බ්‍රහස්පතින්දා (26) දිනයේ දී සිදුවිය. මෙය ඔවුන්ගේ දේශපාලන ගමනේ සන්ධිස්ථානයක් වූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුත්ත සිදුවිය. ඒ අනුව සමගි ජන බලවේගයේ සමගි සේවක සංගමයේ සභාපති ලෙස අශෝක් අබේසිංහ මහතා පත්විය. සමගි රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ලෙස මුජිබර් රහුමාන් මහතා පත්වූ අතර සමගි අධ්‍යාපන සේවක සංගමයේ සභාපති ලෙස තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා පත්වීම් ලැබුවේය. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අතින් මෙම පත්වීම් ලිපි ප්‍රදානය සිදුවිය. මෙම අවස්ථාවට සරත් ෆොන්සේකා මහතා ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතට ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිල වශයෙන්ම නිවේදයක් නිකුත් කරමින් බ්‍රහස්පතින්දා දින කියා සිටියේය. මේ අතර කලක් තිස්සේ කවුරුත් බලා සිටි ස්වාධීන කොමිෂන් සභාවල පත් කිරීම්වලට අදාළ පුද්ගලයන් ජනාධිපතිවරයා විසින් සිකුරාදා වන විට නම් කර තිබුණි. මේ සමඟම කොමිෂන් සභා 5ක සභාපතිවරුන් මෙන්ම සාමාජිකයන් පිළිබඳ ද අපට දැනගන්නට ලැබුණි.

ඒ අනුව කවුරුත් බලා සිටි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස නිමල් ජී. පුංචිහේවා මහතා නම් කළ අතර සෙසු සාමාජිකයන් ලෙස එම්.එම්. මොහොමඩ්, ගුණපාල වික‍්‍රමගේ, ජීවන් ත්‍යාගරාජා සහ කේ.පී.පී. පතිරණ යන මහත්වරුන් නම් කර තිබුණි. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නව සභාපති ලෙස විනිසුරු ජගත් බාලපටබැඳි මහතා ද ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලෙස හිටපු පොලිස්පතිවරයකු වන චන්‍ද්‍රා ප‍්‍රනාන්දු මහතා ද නම් වූ අතර ජාතික සහ ජාත්‍යන්තර අවධානය දිනාගත් මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති ලෙස ජගත් බාලසූරිය මහතා ද නම් කරනු ලැබීය. ඊට අමතරව පසුගිය සමයේ අන්දෝලනයට තුඩු දුන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව සභාපතිත්වයට හිටපු විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය නම් වූ  අතර හිටපු විනිසුරු දීපාලි විජේසුන්දර හා චන්‍ද්‍රා නිමල් වාකිෂ්ට යන අය එහි සෙසු සාමාජිකයෝ වූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් පදම් කර ගනිමින් ද සුළු දේශපාලන කුණාටුවක් හමා ගියේය. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව රක්ෂිත බන්ධනාගාරගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඇප මත නිදහස් විය. මේ සමඟම බදියුදින් මාතෘකාව ආණ්ඩු පක්ෂය නැවත දේශපාලන කරළියට ගෙන ආවේය. ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අයවැය කාරක අවස්ථාවේ විවාදයට එක්වෙමින්, සමගි ජන බලවේග පක්ෂය පවත්වාගෙන යන්නේ රිෂාඩ් බදියුදීන්ගේ කළු සල්ලිවලින් බව පවසා සිටියේය. සමගි ජන බලවේගය පක්‍ෂයේ මැතිවරණ වියදම් ඇතුළු සියලුම වියදම් සිදු කරන්නේ රිෂාඩ් බදියුදීන් බවත් ඒ බව ඔප්පු කිරීමට තමන් සතුව පැහැදිලි සාක්ෂි ඇති බවත් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ සමඟම පාර්ලිමේන්තුව උණුසුම් වූ අතර  විපක්ෂයේ දැඩි බාධා කිරීම් මධ්‍යයේ අමාත්‍යවරයා දැඩිව අවධාරණය කළේ පසුගිය මහ මැතිවරණයේ දී සහ ජනාධිපතිවරණයේදී ලබා දුන් මුදල් පිළිබඳ විස්තර සහ සියලු බැංකු ගිණුම් පිළිබඳව සාක්ෂි ද තමන් සතුව ඇති බවය. මේ අතර රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා කියපු කරපු දේවල් ඉදිරියේදී තවත් හෙළිවීමට නියමිතව ඇති බවත්, ඒ නිසා අධිකරණය හෑල්ලුවට ලක්කොට ජනතාව මුලා නොකොට විල්පත්තුවේ නැවත වන වගා කිරීමට රුපියල් කෝටි 50ක මුදල ගෙවන ලෙස ඉල්ලා සිටින බවත් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසා තිබුණි.

මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ගේ පන්සලට රහස් පොලීසියෙන් පැමිණීම සතියේ දේශපාලනය කැළඹූ සිදුවීමක් විය. තමන්වහන්සේ මාධ්‍ය සාකච්ඡාවක් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශ ලබාගැනීමට බලහත්කාරයෙන් මෙන් රහස් පොලීසිය උත්සාහ කළ බව මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ චෝදනා කළහ. යහපාලන ආණ්ඩුව සමයේවත් මෙවැන්නක් සිදු නොවූ බව උන්වහන්සේ කියා සිටියහ. වර්තමාන ආණ්ඩුව ගෙන ඒමට දායක වූ ප්‍රධාන ධාරාවේ හිමිනමක් වූ මැඩිල්ලේ හිමියන්ට සිදුවූ අකරතැබ්බය පිළිබඳ ආණ්ඩු අභ්‍යන්තරයේම කසුකුසුවක් නිර්මාණය විය. විවිධාකාරයේ ආරංචි පැතිර යාමට හේතුව එය විය.

ප්‍රබල මැදිහත් වීමක් හේතුවෙන් මෙම කඩිනම් ප්‍රශ්න කිරීම සඳහා රහස් පොලීසිය යොමු වී ඇති බව උන්වහන්සේ සඳහන් කර තිබුණි. විපක්ෂය මෙය දඩමීමා කරගත් අතර ක්ෂණික ප්‍රහාරයක් ආණ්ඩුවට එරෙහිව දියත් කළේය. රාජිත සේනාරත්න, හේෂා විතානගේ, තුෂාර ඉඳුනිල් යන මන්ත්‍රීවරු මෙහිදී පෙරට ආහ. ආණ්ඩුව සංඝරත්නය මැඩලීම මැඩිල්ලේ නායක හාමුදුරුවන්ගෙන්ම පටන්ගෙන ඇති බවද ඔවුහු කීහ. එසේම මේ සියල්ලට හේතුව ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකුගේ දූෂණ සම්බන්ධව මැඩිල්ලේ හිමියන් හෙළිදරව් කිරීම යැයි ඉඳුනිල් මන්ත්‍රීවරයා කියා සිටියේය. මේ අතර මැඩිල්ලේ හිමියන්ගේ ප්‍රකාශයකට අනුව අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු සහ අමාත්‍ය චමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ නම් මෙම සිදුවීමට ඇදී තිබුණි.
අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු හට දැඩිව මේ හා සම්බන්ධව චෝදනා නැගුණෙන් ඔහු පාර්ලිමේන්තුවේදී මීට පිළිතුරු දීමට ද ඉදිරිපත් විය. මැඩිල්ලේ පඤ්ඤාලෝක හාමුදුරුවන්ට විරුද්ධව සී.අයි.ඩීයට පැමිණිල්ලක් දමා තමා උන්වහන්සේට විරුද්ධව කටයුතු කළ බවට විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු කළ ප‍්‍රකාශය අසත්‍ය බව ඔහු කියා සිටියේය. 

“මම අද වනතුරු කිසිසේත්ම මහා සංඝරත්නයට විරුද්ධව කටයුතු කරලා නැහැ. මහා සංඝරත්නයට විරුද්ධව පැමිණිලි දාලා නැහැ. සී.අයි.ඩී. එකට අඩු තරමින් දුරකථන ඇමැතුමක් දීලා උන්වහන්සේට විරුද්ධව කටයුතු කරන්න කියලා නැහැ. චමල් රාජපක්ෂ ඇමැතිතුමාගේ නම සඳහන් කරමින් ෆේස්බුක් එකේ කැස්බෑවේ ප‍්‍රශ්නයක් කිව්වා. ඒ සම්බන්ධයෙන් චමල් ඇමැතිතුමා ඉතාමත්ම දුකින් හිටියේ එතුමා නොකරපු එකක් ගැන නිසා. ඒ නිසා චමල් ඇමැතිතුමා ඒ ගැන පරීක්ෂණයක් කරන්න දීලා තියෙනවා කවුද මේ මුසාව අපේ හාමුදුරුවන්ට ලබා දුන්නේ කියලා හොයන්න. එහෙම නැතුව මහා සංඝරත්නයට නොවේ. පඤ්ඤාලෝක හාමුදුරුවෝ අපිට විශාල වශයෙන් උදව් කරපු ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක්."  යනුවෙන් ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා දීර්ඝ වශයෙන් කරුණු දැක්වීමක් සිදු කළේය.

 

 චමිඳු නිසල්

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00