2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා

උදය ගම්මන්පිල කල් ඉල්ලයි

 2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 281

20 ගැන සංවාදයෙන් කැබිනට් හමුව උණුසුම් වෙයි

මහින්දගෙන් අවවාදයක්

රවුෆ් හකීම් සජබ ඇතුළේ නායකත්ව සටනක

ජනපති මුහුණ දුන් මිලින්ද ප්‍රශ්නය

අනුර කුමාරට අලුත් චෝදනාවක්

රනිල් දේශපාලන පලිගැනීමේ කොමිසමට යයි

තීරණාත්මක දේශපාලන සතියක් ගෙවී ගියේය. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පෙරටු කරගනිමින් නිර්මාණය වූ සංවාදය කාගේත් ප්‍රමුඛ අවධානයට බඳුන්විය. පක්ෂ විපක්ෂ සියලුදෙනා තම ඉදිරි දේශපාලනය වෙනුවෙන් සැකසූ පිඹුරැපත් සක්‍රීය කිරීම ඇරඹූහ. තියුණු දේශපාලන සටනක ඇරඹුම සටන් කරන සීනුව නාදවූ බව සියල්ලට අවබෝධ වී තිබිණි.

විසිවැනි සංශෝධනය තුළ ඇත්තේ මොනවා යන්න සතිය මුලදී කා තුළත් කුතුහලයක් ඇති කළේය. නීති කෙටුම්පත් සම්පාදකට යැවූ ව්‍යවස්ථා සංශෝධනය සතිය මුලදී නීතිපති වෙත යවා තිබුණි. නීතිපති මතයද ප්‍රකාශයට පත්විය. ඒ අනුවම මෙම සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව නීතිපති මතය වී තිබුණි. තීරණාත්මක දිනය වූයේ බදාදා (2) දිනයි. එදින සවස හතරට කැබිනට් මණ්ඩලය ජනපති අගමැති ප්‍රධානත්වයෙන් රැස්විය. සියල්ලෝම පැමිණ සිටියහ. කැබිනට් න්‍යාය පත්‍රයට අනුව අටවැනි කැබිනට් පත්‍රිකාව ලෙස විසිවැනි සංශෝධනය පිළිබඳව සංවාදය යොදා තිබිණි. නමුත් ජනපති ආරම්භයේදීම කීවේ එදින කැබිනට් පත්‍රිකා 25ක් සාකච්ඡාවට නියමිත බැවින් ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සාකච්ඡාව අවසානයේ සිදුකිරීම සුදුසු බවයි. මෙම සංවාද දිගඇදිය හැකි බවද ජනපති කීය. සියල්ලන්ම ඊට එකඟ වූහ.

ඒ අනුව කැබිනට්ටුවේ කටයුතු අවසානයේ විස්ස පිළිබඳ තීරණාත්මක සංවාදය ඇරඹියේය. සියල්ලන්ටම සංශෝධනයේ පිටපත් ලැබී තිබුණි. සංවාදයට මුලපිරුවේ උදය ගම්මන්පිල අමාත්‍යවරයායි. ඔහු කීවේ ව්‍යවස්ථා සංශෝධනය ඉතා සීරුමාරුවට අධ්‍යයනය කළ යුත්තක් බවයි. එම නිසාවෙන් කැබිනට් අනුකමිටුවට විස්ස අධ්‍යනය කර නිරීක්ෂණය ලබාදීමට සතියක කාලයක් ඔහු ඉල්ලා සිටියේය. අනතුරුව විසිවැනි සංශෝධනය කැබිනට්ටුවේ සම්මත කරගත හැකි බවද මෙම යෝජනාවේදී කියැවුණි.

නමුත් ජනාධිපති අගමැති ඇතුළු කැබිනට් ඇමතිවරැ රුසක් කීවේ මේ කටයුත්ත ප්‍රමාද කිරීම නුසුදුසු බවයි. නීති කෙටුම්පත් සම්පාදක විසින් මෙය සකස්කර ඇති නිසා අදම මෙය සම්මත කර ගමු යැයි ඔවුහු කීහ. ඒ අතර නැගී සිටි රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා සිටියේ සර් මේක අද රෑම ගැසට් කරනවාද? යනුවෙන් ජනපතිගෙන් විමසා සිටියේය. ඔව් ගැසට් කරානම් හොඳයි කියා ජනාධිපති කීය. මේ අතර අමාත්‍ය අලි සබ්‍රි කීවේ මං නීති කෙටුම්පත් සම්පාදකට එන්න කිව්වා. එයා එළියේ ඉන්නවා. අද රූම ගැසට් කරනවා නම් අපි මේක දැන්ම කතාකරලා ඉවරකර ගමු යනුවෙනි.

සංවාද ඇදීයන අතරේ නැවතත් උදය ගම්මන්පිල සංශෝධනයේ  කෙටුම්පත නිවැරදිවම සකස් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. විරුද්ධ පක්ෂ මේකට විරුද්ධ වෙන්න ඉඩ තියෙනවා. උසාවි ගියොත් තව සතියක් දෙකක් ඇදෙයි. ඒ නිසා කැබිනට් අනුකමිටුවට නිරීක්ෂණයට සතියක් ලබාදෙන්න යැයි ඔහු යළි ඉල්ලා සිටියේය. එවිට අලි සබ්‍රි නීතිපති සහතිකය මේ සඳහා ලැබුණු බව කීවේය. එවිට උදය ගම්මන්පිල ඔව් එතුමා කියන එක හරි. නමුත් නීතිපතිතුමා දුන්න උපදෙස් මීට කලින් අධිකරණයෙන් වෙනස් කරලාත් තියෙනවා යනුවෙන් කීය.

කැබිනට් සංවාදයේදී වාසුදේව නානායක්කාර අමාත්‍යවරයාගේ මැදිහත්වීම අලුත් සංවාදයක් ඇති කළේය. බැසිල් රාජපක්ෂ මහත්තයා එක්ක අපිට කිසි ප්‍රශ්නයක් නෑ. එතුමා හොඳ මනුස්සයෙක්. මේ ආණ්ඩුව ගේන්න ගොඩක් මහන්සි වුණා. නමුත් ද්විත්ව පුරවැසියන්ට දේශපාලනයට එන්න තිබෙන අවස්ථාව ගැන සමහරැන්ට ගැටලු තිබෙනවා යනුවෙන් කී වාසු ද්විත්ව පුරවැසි කතාව නොමැතිව සංශෝධනය ගෙන ආ හැකිනම් යහපත් බවද කීවේය. විමල් වීරවංශද මීට පක්ෂ විය. උදයත් මේ සම්බන්ධව බොහෝ අය ප්‍රශ්නය කරන බව කීවේය. මෙහිදී විටින්විට නැගී සිටි පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරු බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණ කැබිනට් අමාත්‍ය ධූරයක් ලබාගැනීමට අවශ්‍යතාවක් නැති බවත් ඒ පිළිබඳ පෞද්ගලිකව ඔහුගෙන් අසා දැනගත් බවත් කියන්නට වූහ.

මෙම සංවාදයට මැදිහත් වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශේෂ කරැණක් මතු කළේය. ඒ අනුව කැබිනට්ටුවේදී ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ඕනෑම දෙයක් සංවාදයට ගැනීම සුදුසු බවත් නමුත් විවිධ නම් සහ ඔවුන්ගේ අදහස් කියමින් කටයුතු කිරීම නුසුදුසු බවත් සිහිපත් කළේය. කැබිනට්ටුව ඇත්තේ ප්‍රතිපත්තිමය සංවාද පිණිස බවත් අග්‍රාමාත්‍යවරයා සිහිපත් කළේය. ජනපති ද කීවේ මේ ගැන ප්‍රශ්න තියෙනවා වෙන්න පුළුවන්. ඒවා පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කරගත හැකි බවයි. දැනට මෙය සම්මත කර ගමු යැයිද ජනාධිපති යෝජනා කළේය. අනතුරුව සියල්ලෝම එක්ව කැබිනට්ටුව තුළදී මෙම සංශෝධනය සම්මත කරගත්හ. මේ අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් නව දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමද සිදුවිය.

සමගි ජනබලවේගය පාර්ශ්වයේද විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සාකච්ඡාව සතිය මුල පටන්ම පැවතියේය. එහෙත් අනපේක්ෂිත ලෙස සමගි ජනබලවේගයේ පක්ෂ අතර අර්බුදය නිර්මාණය වන ලකුණු මතුවිය. මීට හේතුවූයේ ජාතික සමගි ජනබලවේගය පක්ෂයක් නොවන බවත් එය පක්ෂ ගණනාවකගෙන් සැදුම්ලත් සන්ධානයක් බවත් එහි සුළු පක්ෂ විසින් සජිත් ප්‍රේමදාස මහතාට පෙන්වා දීමයි. මෙම ආරෝවට මුල පිරැවේ මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම්ය. එක් නායකයකු කියන දේ රූකඩයක් මෙන් අසා කටයුතු කරනවා වෙනුවට සමානව කටයුතු කිරීම සඳහා අවස්ථාවක් අපේක්ෂා කරන බව මුස්ලිම් කොංග්‍රසය ප්‍රකාශ කර තිබුණි. ඒ අනුව සමගි ජන බලවේගය සඳහා නායකත්ව මණ්ඩලයක් පත් කරන්නැයි ඔවුන් ඉල්ලීමක් කර තිබේ. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර තේරීම ආදී කරුණු හේතු කොටගෙන ඇතිවූ සිත්රිදීම් මෙම ප්‍රකාශය පසුපස ඇති බව සමගි ජනබලවේගය තුළින්ම කියවුණි.

සමගි ජනබලවේගය සන්ධානයක් නිසාවෙන් නව පක්ෂයක්  පිහිටුවා එය ලියාපදිංචි කර දේශපාලන කටයුතු ආරම්භ කිරීම පිළිබඳවද සාකච්ඡා නිර්මාණය වී ඇති බව දැන ගන්නට ඇත. කෙසේ නමුත් ප්‍රධාන තනතුරු සම්බන්ධයෙන් මේ වනවිටත් සන්ධානය තුළ සීතල ගැටුමක් වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. මේ අතර තිස්ස අත්තනායක සාම නියෝජිතයාගේ භූමිකාව පිළිබඳවද විවිධ මත පළවන්නට පටන්ගෙන තිබේ. රනිල්-කරු යන දෙදෙනා සමඟම තිස්ස සාකච්ඡා පැවැත්වූ නමුත් ප්‍රතිඵල විරහිත බවට පැතිර ගිය ආරංචි ඊට හේතු විය.

එක්සත් ජාතික පක්ෂ නායකත්ව අර්බුදය දිගින් දිගටම දික්ඇදුණේ මේ අතරය. රුවන් විජයවර්ධන යනු වික්‍රමසිංහ මහතා නිතර කියන තරුණ නායකත්වය බව පක්ෂ විපක්ෂ බොහෝදෙනා කියන්නට වූහ. මේ අතර විජයවර්ධන මහතා සිදුකළ ප්‍රකාශයක්ද මේ සතියේ දේශපාලන උණුසුම වැඩි කළේය. මාධ්‍ය විමසීමකදී ඔහු කියා තිබුණේ සමගි ජනබලවේගය සමඟ අවශ්‍ය වුවහොත් සන්ධාන ගතවීම පිළිබඳ සිතා බැලිය හැකි බවයි. ඒ අතර එජාප නායකත්වය අපේක්ෂකයන් මහ නාහිමිවරුන් බැහැ දැකීමට යන ආකාරය පෙනෙන්නට තිබුණි. එක්සත් ජාතික පක්ෂයේ 74 වැනි සංවත්සරය යෙදී තිබෙන මෙම 6 වැනිදා ඒ වෙනුවෙන් සැමරුම් උත්සව කිසිවක් නොපැවැත්වෙන බවද කියැවුණි. ඒ අනුව ඔවුන් මෙවර ආගමික කටයුතුවලට මුල්තැන දෙමින් පක්ෂ සංවත්සරය සමරණු ඇත. සමගි ජනබලවේගයද මෙම සැමරුම දා කුමක් හෝ සිදු කිරීමට ඉඩ ඇතැයිද මේ අතර කියවුණි.

පසුගිය සතියේ විසිවැනි සංශෝධනය හැරැණුකොට ජනාධිපතිට විසඳා ගැනීමට සිදුවූ දැවැන්තම ප්‍රශ්නය මිලින්ද ප්‍රශ්නයයි. ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරය මාස 9ක් පුරවා හිස්ව පැවැතියේය. කිහිපවිටක් ලක් රජය නම් කිහිපයක් යෝජනා කළමුත් ඉන්දියාව ඒ නම් ප්‍රතික්ෂේප කර තිබුණි. මිලින්ද මොරගොඩ මහතාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉන්දියාවේ මහ කොමසාරිස් ධූරය බාරගන්නා ලෙස ආරාධනා කරන්නේ මේ අතරය. මෙම ආරාධනාව කිහිප විටක්ම ඔහු ප්‍රතික්ෂේප කළේය. මේ අතර ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා මාරු වූ අතර ගෝපාල් බග්ලේ මහතා ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස පත්වී ආවේය.

ජනාධිපති සහ භාරතීය ජනතා පක්ෂයේ ලේකම්වරයකු වන රාම් මධව් හමුවූ අවස්ථාවේ මහ කොමසාරිස් පත්කිරීම සම්බන්ධව කතිකාවක් නිර්මාණ විය. දෙරට අතර විශාල රාජ්‍ය තාන්ත්‍රික කටයුතු රුසක් ඉදිරියේදී ඇති බැවින් කඩිනමින් මහ කොමසාරිස්වරයකු පත් කිරීමේ අවශ්‍යතාව මෙහිදී මතුවිය. ජනාධිපති කීවේ තමන් හිටපු අමාත්‍යවරයකු වන මිලින්ද මොරගොඩට මෙම ධූරය පිරිනැමීට සූදනමින් සිටින නමුත් ඔහුගේ අකමැත්ත ප්‍රමාදයට හේතුව වී ඇති බවයි. එසේම මිලින්ද මොරගොඩ යෝජනා වුවහොත් ඉන්දියාවේ කැමැත්ත අකැමැත්ත පිළිබඳවද මෙහිදී ජනපති විමසුවේය. සිය පාර්ශ්වයට එම නම පිළිබඳ ගැටලුවක් නොමැති බවත් ඔහු අමාත්‍යවරයකුව සිටි නිසා මහ කොමසාරිස්වරයා ලෙස පත්වුවහොත් කැබිනට් අමාත්‍යවරයකුගේ තත්ත්වයෙන් ඔහුට සැලකිය හැකි බවත් කොමසාරිස්වරයා කීවේය.

මේ අනුව ජනපති විසින් නැවතත් මිලින්දට මෙම ධූරය භාරගන්නා ලෙස ඇරයුම් කළේය. මෙම ඇරයුම ඉහත සතියේ සිකුරාදා සිදුකළ අතර වසර දෙකකට මෙය භාරගන්නා ලෙස ජනපති කියා සිටියේය. සිය නිදහස අහිමිවන බව කියා මුලදී අකමැති වූ නමුත් මොරගොඩ මහතා අවසානයේ මහ කොමසාරිස් ධූරය භාර ගැනීමට එකඟ විය. ඒ අනුව ඔහුගේ නම ජනපතිවරයා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට යැවීය. නමුත් මෙම පත්වීම සම්බන්ධව විරෝධතා රැසක් ජනපති හමුවට පැමිණියේය. විදේශගත ශ්‍රී ලාංකිකයන් සහ සංවිධාන කිහිපයක් මීට පෙරමුණ ගත්තේය. නමුත් ජනපති සිය තීරණය වෙනස් නොකළ අතර තමන් මේ පුද්ගලයා සම්බන්ධව සොයාබලා මෙම තීරණය ගත් බව කීවේය. 
මේ අතර ජාතික ජනබලවේගයද නැවත දේශපාලන කරළියට ඒමට මෙම සතිය භාවිත කළේය. යෝජිත 20 වැනි සංශෝධනය ප්‍රජාතන්ත්‍ර විරෝධී විනාශකාරී එකක් බව කියමින් ඔවුහු සිය හඬ අවදි කරන්නට වූහ. මෙම සංශෝධනය හරහා අධිකරණ පද්ධතියට හානිවන බව ඔවුන් සිය ප්‍රධාන තර්කය බවට පත්කරගෙන තිබුණි. ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක මහතාට එහිදී අලුත් චෝදනාවක් විරුද්ධවාදීන් විසින් ගොනු කර තිබිණි. එයට අනුව කියැවුණේ අනුර කුමාර දිසානායක මහතා තවමත් අවිවාහක බව සහ ඔහුට ආගමක්ද නැති බවකි. මෙය පාර්ලිමේන්තු වෙබ් අඩවිය උපුටා දක්වමින් නිර්මාණය වූ ප්‍රචාරයක් විය.

රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති කොමිසම හමුවට යාමද ගෙවුණු සතියේ කැපී පෙනෙන සිදුවීමක් වූයේය. කෙසේ වෙතත් මෙහිදී මාධ්‍යවේදීන් ඔහුගෙන් අදහස් විමසීමට දැරෑ උත්සාහය ව්‍යර්ථ විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත නොකළ නීති විරෝධී යැයි කියන ජාතික විධායක සභාවේ තීරණයක් මත කැබිනට් සන්දේශයක් යොමුකර දූෂණ විරෝධී කමිටුව පිහිටුවා සහ ඒ හරහා දේශපාලන පළිගැනීම් කළ බවට සඳහන් කරමින් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් රූපවාහිනී සංස්ථාවේ වත්මන් සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක මහතා පැවරූ පැමිණිල්ලක වගඋත්තරකරැ ලෙස මෙම කැඳවීම සිදුවිය.

විග්නේෂ්වරන්ගේ පාර්ලිමේන්තු ප්‍රකාශ හරහා නිර්මාණය වූ දේශපාලන ප්‍රකාශ  රැල්ලක් උතුරු දේශපාලයන් තුළින් පිළිබිඹුවන්නට පටන් ගත්තේය. කෙසේ වෙතත් විග්නේෂ්වරන්ගේ උත්සාහයන් උතුරේ අසාර්ථක විය. අගෝස්තු මස 31 වැනිදාට යෙදී තිබූ අතුරුදහන් වූවන් පිළිබඳව ජාත්‍යන්තර දිනය සැමරීම සඳහා පක්ෂ භේදයකින් තොරව යාපනයේ සැමට එක්වන ලෙස විග්නේෂ්වරන් ප්‍රකාශයක් කර තිබුණි. නමුත් වෙනත් කිසිදු දෙමළ දේශපාලන පක්ෂයක් හෝ සංවිධානයක් විග්නේශ්වරන්ගේ සහායට පැමිණියේ නැත. අවසානයේ ඔහුගේ තමිල් මක්කල් දේශීය කූට්ටනි පක්ෂයට පමණක් එම විරෝධතාවය පැවැත්වීමට සිදුවිය.

නෙළුව- ලංකාගම මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට ජනපති ගිය ගමනද පසුගිය සතියේ දැඩි ආන්දෝලනයකට හේතුවිය. නිරීක්ෂණ චාරිකාවේදී එම මාර්ග කඩිනමින් සකස් කිරීමට ජනපති උපදෙස් ලබාදුනි. පවුල් 700ක් වෙසෙන ලංකාගම ප්‍රදේශයේ සෑම පවුලකටම පැළ 03 බැගින් නොමිලේදී පැළ 2100ක් වගාකර ඔවුන් විසින්ම රැකගෙන වන රක්ෂිතයට දායාද කිරීමට ජනාධිපතිවරයා මෙහීදී උපදෙස් දුන්නේය. කෙසේ නමුත් මෙම තීරණය සම්බන්ධව විශාල සමාජ සංවාදයක් පසුගිය සතිය තුළ නිර්මාණය විය. සමාජ මාධ්‍ය එහි ප්‍රධාන හවුල්කරුවන් විය. සමගි ජනබලවේගය පරිසර ආරක්ෂා කිරීම සම්බන්ධව කටයුතු කිරීමට වෙනම කමිටුවක් පත්කරන්නට යන බවද කියැවුණි. 

මීට අමතර උත්සව සඳහා සහභාගි නොවීමට ජනපති ගත් තීරණයද කාගේත් කතාබහට ලක්විය. මුහුණු පොතේ සටහනක් තබමින් ජනපති මෙම තීරණය පිළිබඳව දැනුම් දුන්නේය. ඔබගේ ජනපති ලෙස අපගේ මවුරට සෞභාග්‍යය කරා ඔසවා තැබීමේ වැඩපිළිවෙළ සාක්ෂාත් කර ගැනීමේ ප්‍රයත්නයේදී කාලය කැප කිරීමට මා බලාපොරොත්තු වන්නේ නිල කටයුතු සහ ඉලක්ක ළඟා කර ගැනීම වෙනුවෙනි. යනුවෙන් ජනපති එම සටහන තබා තිබූ අතර පෞද්ගලික සහ ආයතනික උත්සව සඳහා ආරාධනා නොකරන මෙන් කාරුණිකව ඉල්ලා තිබුණි.


 චමිඳු නිසල් ද සිල්වා

 

 2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00