2020 අගෝස්තු 29 වන සෙනසුරාදා

මන්ත්‍රීවරුන් ඇවිස්සූ මැතිසබයේ කෑමබිල

 2020 අගෝස්තු 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 285

  • මෛත්‍රීට ලැබෙන තනතුර
  • 19 අහෝසි කරන ක්‍රමවේදය ගැන අලි සබ්‍රි - ගම්මන්පිල පැහැදිලි කරති
  • එජාපය ඉල්ලන තරුණ නායකයා රුවන්?
  • රතන හිමි අත්අඩංගුවට ගන්න යනවාද?
  • 20 සංශෝධනයට විරෝධය දක්වන්න සජබ සැලැසුම්
  • සම්පන්දන්ලා ඉන්දියාවේ සරණ පතති

 

මැතිවරණ උණුසුම මැකී යමින් පවතින අතර අලුත් ආණ්ඩුවේ නව දේශපාලන මාතෘකාව කරළියට පැමිණීම පසුගිය සතිය තුළද සිදුවෙමින් පැවතිණි. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, පළාත් සභා ක්‍රමය සහ පළාත් සභා මැතිවරණය, නියෝජ්‍ය අගමැති ධූරය මේ අතරින් ප්‍රමුඛව සංවාදයට ගැනුණි. ආණ්ඩුව අභ්‍යන්තරයේ අනාගත දේශපාලන සැලසුම් රුසක් සකස් වෙමින් තිබුණි.

නියෝජ්‍ය අගමැති ධූරය සම්බන්ධව කතාව පසුගිය සතියේ විශාල දේශපාලන ආන්දෝලනයකට තුඩු දුන්නේය. මේ පිටුපස වූ දේශපාලන රහස කාහටත් ප්‍රහේළිකාවක් විය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නියෝජ්‍ය අගමැති ධූරයක් ලැබෙන්නට යන බවට කීවේ කවුදැයි කිසිවෙක් දැන සිටියේ නැත. නමුත් මාධ්‍ය ඔස්සේ සැණින් මෙම කටකතාව පැතිර ගියේය. අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් කරළියට පැමිණ එවැනි සාකච්ඡාවක් නැතැයි කීය. එවිට ශ්‍රීලනිප පාර්ශ්වයෙන්ද එවැනි ඉල්ලීමක් නොකළ බව කියන්නට විය. එහෙත් එහි සැඟවුණ සත්‍ය කතාවක් තිබෙන බව දන්නේ ටික දෙනෙකි.

දේශපාලන කරළියේ ආරංචි පරිදි මෙම ඉල්ලීම නිල වශයෙන් ලිඛිතව ඉදිරිපත් කළ එකක් නොවේ. බොහෝ රහසේ ඉහළ තැන්වලට ලැබුණු ඉල්ලීමකි. නමුත් ආණ්ඩුවේ ප්‍රධානීන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව ලබාදීමට සූදානමින් සිටියේ කැබිනට් අමාත්‍ය ධූරයකි. උප අගමැතිකමක් පිළිබඳ සංවාදයක් ඔවුන් අතර නොවීය. කොයි හැටි වෙතත් මුලක් මැදක් අගක් නැතිව පැතිර ගිය මේ කටකතාවේ ගැඹුර පිළිබඳ සැක සංකා පළකරන්නෝ ද වූහ. අමාත්‍ය ප්‍රසන්න රණතුංග සුපුරැදු පරිදි දුම්මල වරම අතට ගෙන සිටියේය. කෙසේ නමුත් ශ්‍රීලනිපයේ ප්‍රධානීන් සිය සභාපතිට ලොකු තනතුරක් ලැබිය යුතුය යන අදහසින් පසුවන බව සත්‍යයක් විය. එහෙත් කැබිනට් ඇමැතිකම මිස වෙනත් යමක් මෛත්‍රීට නොලැබෙන බවට ආණ්ඩුවේ ඉහළ තැන්වලින් සංඥා පළවෙමින් තිබුණි.

මේ අතර පසුගිය කැබිනට් හමුවේදී සුවිශේෂී කතාබහ කිහිපයක්ම සිදුවී තිබුණි. 20 වැනි සංශෝධනය පිළිබඳ කතාබහ ඒ අතරින් ප්‍රමුඛය. එහිදී අධිකරණ අමාත්‍ය අලි සබ්රි කීවේ දැනටමත් 20 වැනි සංශෝධනය නීති කෙටුම්පත් සම්පාදක වෙත යවා ඇති බවය. එවිට සංශෝධනය පිළිබඳ ජනපති අමාත්‍යවරයාගෙන් තවදුරටත් කරුණු විමසා සිටියේය. මෙහිදී එක් වගන්තියකින් 19 වැනි සංශෝධනය අහෝසි කළ නොහැකි බවත් එය වගන්ති එකින් එක ගෙන වෙනම කියවමින් අහෝසි කළ යුතු බව අමාත්‍යවරයා සභාවට පැහැදිලි කළේය. එම කතාව තහවුරැ කරමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කරැණු පැහැදිලි කර තිබේ. ඔහු මේ සම්බන්ධව කටයුතු කිරීමට මංගල කැබිනට් හමුවේදී පත් කළ කැබිනට් අනු කමිටුවේ සාමාජිකයෙකි.

වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, විමල් වීරවංශ ඇතුළු අමාත්‍යවරැ විශේෂ කරැණු කිහිපයක් මතු කළහ. ඒ අනුව ඔවුන් 19 වැනි සංශෝධනයේ පවතින සමාජ පැසසුමට ලක්ව ඇති ගුණාංග පිළිබඳව අවධානය යොමුකර තිබේ. විගණන කොමිසම ඇතුළු 19 න් ස්ථාපිත ආයතන කිහිපයක් ඉදිරියට පවත්වාගෙන යා යුතු බව යෝජනා කර ඇත. එහෙත් මෙහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වැනි ආයතන සම්බන්ධව ගැටලු මතුවී ඇති බවද එම ආයතන අහෝසි කළ යුතු බවද ප්‍රකාශ විය. මෙම අහෝසි කිරීම්වලට පිළියමක් ලෙස 17 වැනි සංශෝධනයේ ක්‍රමවේදයට එම ආයතන සතු බලතල ක්‍රියාවට නැංවීම පිළිබඳව ද සංවාදයක් ඇතිව තිබේ. එසේම තොරතුරැ දැනගැනීමේ අයිතිය ආදිය ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය බවද මෙහිදී සාකච්ඡා වී ඇත.

සමගි ජනබලවේගය ද මේ සතියේ සිය පූර්ණ අවධානය 20 වැනි සංශෝධනය දෙසට යොමුකර තිබුණි. ඒ කල් ඇතිව කතිකා කරගත් පරිදිය. මෙම සංශෝධනයට විරෝධය ගොනු කිරීමේ පාර්ශ්ව අතර ප්‍රමුඛයා වීම විපක්ෂ දේශපාලනයේ දී වාසි සහගත තත්ත්වයක් බව ඔවුන් අවබෝධ කරගෙන සිටියි. රාජිත සේනාරත්න මහතා විසින් මෙහිදී "19 සුරකිමු" යනුවෙන් දේශපාලන ව්‍යාපාරයක් අරඹන්නට පිඹුරැපත් සකස් කර ඇත. ඒ අතර ශිරාල් ලක්තිලක මහතා විසින් 19 පිළිබඳ කළ ජන සමීක්ෂණක් පිළිබඳව ද ඔවුහු තොරතුරැ කරළියට ගෙන එමින් සිටිති. මෙහිදී 20 වැනි සංශෝධනය බැසිල් රාජපක්ෂගේ අවශ්‍යතාවක් බවට සමාජගත කිරීම ප්‍රමුඛ අභිප්‍රායකි. ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ කරුණු ඉදිරියේදී භාවිතයට ගනු ඇත. මෙය 18 වැනි සංශෝධනය වැනි සිය බලය තහවුරු කර ගැනීමේ සංශෝධනයක් බව රංජිත් මද්දුමබණ්ඩාර මහතා පෙන්වා දී තිබේ. සංශෝධනය කරළියට පැමිණි පසු ඒ පිළිබඳව ද විධිමත් අධ්‍යනයක් සිදු කරන බවද මහලේකම්වරයා සඳහන් කර ඇත.

මේ සියල්ල අතරේ සමගි ජන බලවේගය තුල එක්සත් ජාතික පක්ෂය පිළිබඳ මත දෙකක් නිරූපණය වන්නට පටන්ගෙන ඇත. එක්සත් ජාතික පක්ෂය අත්පත් කරගෙන එහි නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට පිරිසක් උත්සාහ දරමින් සිටිති. එම පිරිසේ කැපීපෙනෙන චරිතය තිස්ස අත්තනායක මහතාය. ඔහු රහසේ එජාපයේ ප්‍රබලයන් හමුවෙන බවට ද ආරංචි ඇත. කෙසේ නමුත් සමගි ජනබලවේගයේ තවත් පිරිසක් එක්සත් ජාතික පක්ෂය පිළිබඳ වද වීමට අවශ්‍ය නැති බව කියමින් සිටිති. ඕනෑ නම් එක්සත් ජාතික පක්ෂයට සමගි ජනබලවේගය සමඟ සන්ධානගත විය හැකි බව මෙම පිරිස පෙන්වා දෙති. සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු පිරිසක් මෙම මතයට සමීපව සිටින බව පෙනී යයි.
පළාත් සභා සම්බන්ධයෙන් ද කතිකාවක් රට තුළ නිර්මාණය වෙන්නට පටන්ගෙන තිබේ. පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා අමාත්‍යාංශයේ නිලධාරීන්ට විශේෂ නියෝගයක් දී තිබුණි. පළාත් සභාවට දීලා තියෙන මුදල් ගැන, ඒවායින් රටට වෙලා තියෙන සේවය ගැන වාර්තාවක් හදන්න. මේක අහෝසි කරනවාද නැද්ද කියලා ඊට පස්සේ තීරණය කරන්න පුළුවන්* යැයි ඔහු කියා තිබුණි. මෙය තරමක් බැරූරැම් වැඩකි.

ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය සමඟ දෙමළ ජාතික සන්ධානය ඉන්දියාවේ පිළිසරණ සොයන්නට පටන්ගෙන ඇත. දෙමළ ජාතික සන්ධානයේ ආර්. සම්පන්දන් ඇතුළු පිරිසක් ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ හමුවීමට ගියේ එබැවිණි. පවතින දේශපාලන වටපිටාව මත සිදුවන ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් දෙමළ ජනතාවට විය හැකි අවාසි පිළිබඳ සම්පන්දන් පෙන්වා දී ඇත. එවිට ඉන්දියානු මහ කොමසාරිස්වරයා කියා ඇත්තේ ඉන්දියාව ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතීන් දිනා දීම සඳහා මැදිහත් වන බවය. පසුව ඉන්දියාව ප්‍රකාශයක් කරමින් 13 වැනි සංශෝධනයේ බලතල සම්බන්ධව සිය ස්ථාවරයේ වෙනසක් වී නැතැයි ද ප්‍රකාශ කළේය.

එජාප නායකත්ව අර්බුදයට කිසිදු සහනයක් ගෙවුණු සතියේ ද ලැබුණේ නැත. නමුත් නායකත්ව සටනට බට කරෑ ජයසූරිය මහතා පිම්මක් ඉදිරියට පැන්නේය. මෙවර ඔහු තමන් පක්ෂයේ නායකත්වය බාරගැනීමට සූදානම් බවට නිවේදනයක් ද නිකුත් කළේය. ඔහු ඒ පිළිබඳ වර්තමාන නායකත්වයට සහ ජ්‍යෙෂ්ඨයන්ට කී බවද දක්වා තිබුණි. එහෙත් අගෝස්තු 25 වැනිදා රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට මෙම ඉල්ලීම නිල වශයෙන් ලැබී නැති බව කියැවුණි. මේ අතර කරු ජයසූරියගේ පක්ෂ සාමාජිකත්වය පිළිබඳ ගැටලුවක්ද මතුවූයේය. කරු ජයසූරිය කතානායක ධූරයට පත්වූ දින සිට පක්ෂ අරමුදල සඳහා මුදල් ලබාදී නොමැති බව එජාපය පාර්ශ්වයෙන් ප්‍රකාශයට පත්විය. එහෙත් තමන් එක්සත් ජාතික පක්ෂයේ යාවජීව සාමාජිකයකු බව කරැ ජයසූරිය කීවේය. කරැ බොරැ කියන බවත් යාවජීව සාමාජිකයකු බවට පෙන්වීමට දරන උත්සාහය පදනම් විරහිත බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

මේ අනුව තරුණ නායකත්වය පිළිබඳ කතිකාව නිසා නායකත්ව සටනේදී කරැ පිළිබඳ වික්‍රමසිංහ මහතාගේ අවධානය අඩුව ඇති බව පෙනී යයි. කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී පක්ෂ නායකත්වයට නම් යෝජනා විය. තරැණ නායකයකු පිළිබඳ කතාබහ නිසා රුවන් විජයවර්ධන මහතා පිළිබඳ යම් අවධානයක් මතුවෙමින් තිබුණි. ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට ද නම් යෝජනා වූ නමුත් අවසාන තීන්දුවක් ගැනීම නැවත කල් ගියේය. මේ සියල්ල අතරේ සමගි ජනබලවේගයේ ප්‍රබලයෝ කරැ ජයසූරිය හමුවීමට ගියහ. එක්සත් ජාතික පක්ෂයේ පිරිසුදු චරිත තමන්ට එකතුවන බව ඔවුන් කීවේ ඉන් අනතුරුවය.

සතිය මැද පාර්ලිමේන්තුවේ මන්ත්‍රී පුහුණුව ක්‍රියාත්මක වෙමින් තිබුණි. රසවත් කතා රැසක් මැවූ මෙම පුහුණු සැසියේදී පාර්ලිමේන්තුවේ රුපියල් 3000 කෑමවේලේ කතාව බොහෝ ප්‍රසිද්ධ විය. පුහුණු සැසිය අතරතුර රුපියල් තුන්දහසක් වටිනා කෑමවේලක් රුපියල් දෙසීයකට මන්ත්‍රීවරයකුට ලබාදෙන බව දේශකයෙක් පැවසීය. එම අවස්ථාවේදී නවක මන්ත්‍රීවරු නොසන්සුන් වූහ. රාජ්‍ය ඇමැතිනී සීතා අරඹේපොළ ඇසුවේ අපි මේ දවස් දෙකේ ඔය කියන ආහාරවේල ගත්තා. මේ කෑමවේල රුපියල් 3000ක් වටිනවද? යනුවෙනි. ඔය කතාව පිටට කියන්න එපා. 3000 කෑම එක 200ට දෙනවා කීවාම අපටත් ලජ්ජයි. ඕක සමාජගත කරන්න එපා යනුවෙන් මන්ත්‍රීවරු කියන්නට වූහ. මන්ත්‍රී ප්‍රේමනාත් දොළවත්ත අපිට කෑම එපා. අපි ගෙදරින් කෑම ගේනවා* යැයි කීවේය. තත්ත්වය උණුසුම් වූ අතට රුපියල් 3000 යනු කෑමවේලක පිරිවැය බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් කීවේය. මන්ත්‍රීවරැන් එය ද පිළිගත්තේ නැත. අවසානයේ හරි මිල සොයා බැලීමට නිලධාරීන්ට සිදුවිය. විගණන අංශයෙන් විමසා බැලූ පසු මාළු කෑම එක රැපියල් 950ක් බවත් එළවළු කෑම එක රුපියල් 629ක් බවත් දැනගන්නට ලැබුණි.

ජාතික ජනබලවේගය මේ දිනවල තරමක් නිහඬව පක්ෂ සංවිධාන කටයුතුවලට නිරත වෙමින් සිටියේය. දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කය ගොස් සිය කණ්ඩායම් හමුවී දැනුවත් කිරීම් සිදු කිරීමට ඔවුහු උත්සුක වූහ. මේ අතර සුනිල් හඳුන්නෙත්ති ජනපති පරීක්ෂණ කොමිෂන් සභාවට කැඳවීම පිළිබඳ පාර්ලිමේන්තුවේදී අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්නයක් මතු කළේය. තම අවසරයකින් තොරව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් සඳහා කෝප් කමිටු සාමාජිකයන් හෝ එහි සභාපතිවරයා කැඳවිය නොහැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මෙහිදී අවධාරණය කළේය.

අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රීධූරය පිළිබඳ අර්බුදය ද මේ සතියේ නොවිසඳුණු ගැටලු අතර විය. අපේ ජනබල පක්ෂයේ මහලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගියේ අතුරලියේ රතන හිමියන් විසින් බවට දැනටමත් පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බව කියැවුණි. ඒ අනුව පොලීසියට කටඋත්තරයක් දීම මගහරිමින් සිටින අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට යන බවටද ආරංචි ලැබුණි. ඒ අතර රතන හිමියන් සොයා ගැනීමට නොහැකි බවද කියැවුණි. කෙසේ නමුත් මුළු මහත් සංඝ සමාජයම අපකීර්තියට ලක්කරන මෙම සිදුවීම පිළිබඳ නාහිමිවරැ රුසක් දැඩි කනස්සල්ලකින් පසුවූහ.

සති අන්තය එළඹෙන විට බොහෝ දෙනාගේ අවධානය අතුරැ සම්මත ගිණුම දෙසට යොමු වී තිබුණි. ඉදිරි මාස 04 සඳහා වන අතුරු සම්මත ගිණුම අගෝස්තු 27 වැනිදා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. රුපියල් බිලියන 1,300කට නොවැඩි මුදලක් වියදම් සඳහා දැරීමට අනුමැතිය ඉල්ලමින් එම අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කරනු ලැබීය. අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදය 27 සහ 28 දෙදින පුරා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

එම විවාදයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කතාව කැපී පෙනිණි. එය ගෝඨාභය හිතවාදී කතාවක් විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළෙහි රජයේ කාර්යක්ෂමතාව පිළිබඳ ඇතුළත් වී ඇති කරැණු පිළිබඳ ඔහු ප්‍රශංසාත්මකව කතා කළේය.

මැතිසබයේ අසුන් පැනවීමේදී මෛත්‍රීපාල සිරිසේන මහතා නිසාවෙන් ගැටලුවක් ද මතුවිය. හිටපු ජනපතිවරයා වෙනුවෙන් මුලින්ම වෙන්කර තිබුණේ ආණ්ඩු පක්ෂ පැත්තේ සිව්වැනි පෙළේ ආසනයකි. මෙය මැතිසබයේ සම්ප්‍රදාය අනුව හිටපු ජනපතිවරයකුට හිමිවන ආසනය විය. නමුත් සිරිසේන මහතාට එම අසුන පිළිබඳ ගැටලුවක් ඇති විය. අවසානයේ මැතිසබයේ මුල්පෙළ පළමු අසුන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදී තිබිණි. මේ පිළිබඳ කටයුතු කලේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාය.

ඊට අමතරව විග්නේෂ්වරන්ගේ කතාව හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කළයුතු බවට සරත් වීරසේකර මහතා කළ කතාවද කැපී පෙනුණි. පාඨලී චම්පික මහතාගේ රජයේ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධව කළ විවේචනය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිදුකළ පැහැදිලි කිරීම පළමු දිනයේ විවාදය තුළ කැපී පෙනෙන සිදුවීම් අතරට එක්විය.

කෝප් කමිටු සභාපති ධූරය විපක්ෂයට ඉල්ලා කතානායකවරයාගෙන් සජිත් ප්‍රේමදාස මහතා සහ නලීන් බණ්ඩාර මහතා ඉල්ලීමක් සිදුකර තිබේ. කෙසේ වෙතත් මෙම ඉල්ලීම පිළිබඳ ආණ්ඩුවේ ප්‍රතිචාරය කුමක්ද යන්න පැහැදිලි නැත. මේ අතර පාර්ලිමේන්තු කෑම වේලේ කතාව එස්.එම්. මරික්කාර් මහතා විසින් පාර්ලිමේන්තු සභා ගැබට රැගෙන ආවේය. එයද සුවිශේෂී සිදුවීමක් වූ අතර කතානායකවරයා ලවා ප්‍රකාශයක් කරවා ගැනීමට ඔහු දැරෑ උත්සාහය සාර්ථක වූයේ නැත.

මේ අතර ජනාධිපති කාර්යාලයේදී රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරැන්ට පත්වීම් ලිපි ප්‍රදානය අගෝස්තු 26 වැනිදා සිදුවිය. ජනාධිපති ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේ දී ජනපති සිදුකළ කතාව සුවිශේෂී විය. ඒ අනුව සියලු ක්ෂේත්‍රවල වැඩ පහළම තැන සිට ආරම්භ කර ඇති නිසා දැන් අවශ්‍ය වන්නේ ජනතාවට කඩිනම් ප්‍රතිඵල අත් කරදීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරැන්ට කියා සිටියේය. ඊට අමතරව ජනපති රාජ්‍ය ලේකම්වරැහට පැවරෙන ප්‍රමුඛ රාජකාරිය පස් අවුරැදු සැලැස්මක් සැකසීම බවත් වසරින් වසර ළඟා කර ගතයුතු ඉලක්ක සපුරා ගත යුතු බවත් අවධාරණය කළේය.

 චමිඳු නිසල්

 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00